Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අමතක නොවන පැරණි සිංහයෝ 5- රංජන් මඩුගල්ල

1979-1988 කාලසමය තුළ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ රංජන් මඩුගල්ල දක්ෂ පිතිකරුවෙකු ලෙසින් ප්‍රසිද්ධියට පත්ව සිටියා. සිය ක්‍රිකට් දිවියේ අවසන් කාලයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට පවා පත් වුණු මෙම දක්ෂ ක්‍රීඩකයා ක්‍රිකට් දිවියෙන් සමුගැනීමෙන් අනතුරුව තරග තීරකවරයෙකු ලෙස කටයුතු කිරීම ආරම්භ කළා. එහි දී දක්ෂ තරග තීරකවරයෙකු ලෙස කීර්තියට පත් වුණු රංජන්, මේ වන විට වැඩිම ටෙස්ට් සහ එක්දින ජාත්‍යන්තර තරග ප්‍රමාණයක තරග තීරකවරයා ලෙස කටයුතු කර තිබෙනවා. එසේ නම්, අමතක නොවන පැරණි සිංහයෝ ලිපි මාලාවේ පස්වන ලිපිය වෙන් වන්නේ රංජන් මඩුගල්ල වෙනුවෙන්.

රංජන් මඩුගල්ලගේ ටෙස්ට් ක්‍රිකට් දිවියේ මතක සටහන්

ටෙස්ට් තරග 21ක දී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ රංජන් මඩුගල්ල ඉනිම් 39ක් තුළ ලකුණු 1029ක් ලබාගෙන තිබෙනවා. එසේම සිය ටෙස්ට් ක්‍රිකට් දිවිය තුළ අර්ධ ශතක 7ක් සහ ශතක 1ක් ලබාගත් රංජන්ගේ පිතිකරණ සාමාන්‍ය සටහන් වන්නේ 29.40ක් ලෙස යි. 

මංගල ටෙස්ට් තරගයේ දී රංජන්ගෙන් සටන්කාමී අර්ධ ශතකයක්  

ශ්‍රී ලංකාව මංගල ටෙස්ට් තරගය සඳහා සහභාගි වුණේ 1982 වසරේ දී යි. පී සරා ඕවල් පිටියේ පැවති එම තරගයේ දී ශ්‍රී ලංකාව තරග වැදුණේ එංගලන්ත කණ්ඩායම සමග යි. එම තරගයේ දී මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු 4ම ලකුණු 34කට දැවීගියා. එලෙස සිය කණ්ඩායම අසීරු අඩියකට වැටී සිටි අවස්ථාවේ ක්‍රියාත්මක වුණු රංජන්, හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 65ක් ලබාගත්තේ ශ්‍රී ලංකා පළමු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින්. එසේම එහි දී රංජන් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් වාර්තා අතරට එකතු වුණේ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ මුල්ම හයේ පහර එල්ල කළ පිතිකරුවා බවට පත් වෙමින්.

රංජන් මංගල ටෙස්ට් තරගයේ දී පන්දුවට පහරදෙමින් (gettyimages)

රංජන් පිත්තෙන් දස්කම් දැක්වූ ටෙස්ට් තරග 

රංජන් මඩුගල්ලේ සිය ටෙස්ට් ක්‍රිකට් දිවිය තුළ ලබාගත් එකම ශතකය වාර්තා කළේ ඉන්දීය කණ්ඩායමට එරෙහිව යි. ඊට අමතරව අවස්ථාවන් 2ක දී රංජන් ශතකය අසලටම පැමිණියත්, සහායට කිසිදු පිතිකරුවෙකු නොසිටි නිසා ඔහුට ශතක 2ක් අහිමිව ගියේ අවාසනාවන්ත අයුරින්. 

පාකිස්ථානයට එරෙහිව අහිමිකරගත් මංගල ටෙස්ට් ශතකය 

1982 වසරේ දී ෆයිසලාබාද් පිටියේ පැවති ශ්‍රී ලංකා-පාකිස්ථාන් ටෙස්ට් තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 1ක් දැවී ලකුණු 294ක් ලබා සිටියා. එලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රබල තත්ත්වයකට පත්ව සිටි අවස්ථාවේ රෝයි ලකුණු 98කට දැවීයාමත් සමගින් පිටියට පිවිසියේ රංජන් මඩුගල්ල යි. නමුත් ඔහු පිටියට පිවිසීමෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 4ක් ඉක්මනින්ම බිඳවැටුණු නිසා ලකුණු පුවරුව 355/6 බවට පත් වුණේ රංජන් එක් අන්තයක තනි කරමින්. එලෙස සිය කණ්ඩායමේ කඩුලු බිඳවැටෙන විට නොබියව පන්දුවට පහරදුන් රංජන්, දැකුම්කළු හතරේ පහරවල් 15ක් සමගින් ලකුණු 91ක් ලබාගැනීමට සමත් වුණත් ඔහුට මංගල ටෙස්ට් ශතකය අහිමි වුණේ අනිත් අන්තයේ සිටි සියලුම පිතිකරුවන් දැවීගිය නිසා යි. 

කිවි බිමේ දී ලබාගත් අගනා අර්ධ ශතකය 

1983 ශ්‍රී ලංකා-නවසීලන්ත ටෙස්ට් තරගාවලියේ දෙවන ටෙස්ට් තරගය පැවැත්වුණේ වෙලිංටන් නුවර බේසින් රිසව් පිටියේ දී යි. එම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු 4ම ලකුණු 48කට දැවීගියේ නවසීලන්ත වේගපන්දු යවන්නන් විසින් සිදුකළ ආක්‍රමණශීලී පන්දු යැවීම නිසා යි. එලෙස සිය කණ්ඩායම අසීරු අඩියකට වැටී අවස්ථාවේ ක්‍රියාත්මක වුණු රංජන් මඩුගල්ල, හතරේ පහර 12ක් සමගින් ලකුණු 79ක් ලබාගත්තේ  ශ්‍රී ලංකා ඉනිම සවිමත් කරමින්.

කිවියන්ට එරෙහිව මව්බිමේ දී දියත් කළ සටන්කාමී ඉනිම 

1984 ශ්‍රී ලංකා-නවසීලන්ත ටෙස්ට් තරගාවලිය යටතේ පැවැත්වුණු තෙවන ටෙස්ට් තරගයේ දී රංජන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළා. කොළඹ ක්‍රිකට් ක්‍රීඩා සමාජ පිටියේ පැවති එම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු 4ම ලකුණු 32කට දැවීගියේ රිචඩ් හැඩ්ලි විසින් සිදුකළ මනරම් පන්දු යැවීම නිසා යි. ශ්‍රී ලංකා කණ්ඩායම අවදානම් අඩියකට වැටී සිටි එම අවස්ථාවේ පිටියට පිවිසි රංජන් මඩුගල්ල, හතරේ පහර 12ක් සමගින් නොදැවී ලකුණු 89ක් ලබාගත්තේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව 256ක් දක්වා ඉහළ නංවමින්. එහි දී රංජන්ගේ සහායට අනිත් අන්තයේ පිතිකරුවෙකු සිටියා නම් ඔහුට ශතකය ලබාගැනීමට පවා හැකියාව තිබුණා. නමුත් ඔහුට අනිකුත් පිතිකරුවන්ගෙන් සහාය නොලැබුණු නිසා දෙවන වරටත් ශතකයක් ලබාගැනීමට තිබුණු අවස්ථාව අහිමි වුණා.

1985 වසරේ දී මංගල ටෙස්ට් ශතකය ලබාගනියි 

1985 වසරේ සිංහල ක්‍රීඩා සමාජ පිටියේ පැවති ඉන්දු-ශ්‍රී ලංකා ටෙස්ට් තරගයේ දී මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම ලකුණු 218ක් ලබාගත්තා. ඉන්පසුව සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 3ක් ලකුණු 33කට දැවීගොස් තිබුණු අවස්ථාවේ දක්ෂ පිතිහරඹයක නිරත වුණු රංජන්, ලකුණු 103ක් ලබාගත්තේ සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කරමින්.

රංජන් ටෙස්ට් තරගවල දී නායකයෙකු ලෙස දැක්වූ දස්කම් 

රංජන් ටෙස්ට් තරග 2ක දී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවා තිබෙනවා. එහි දී ඔහුට කිසිදු තරගයක් ජයග්‍රහණය කරා මෙහෙයවීමට හැකි වුණේ නැහැ. එලෙස රංජන් නායකත්වය දැරූ ටෙස්ට් තරග 2ම පැවැත්වුණේ මව්බිමෙන් පිටතදී යි. ඒ අනුව රංජන්ට මව්බිමේ දී ටෙස්ට් තරගයක නායකත්වය දැරීමට නොහැකි වීම කණගාටුදායක සිදුවීමක් වුණා.

රංජන් මඩුගල්ලගේ එක්දින ක්‍රිකට් දිවියේ මතක සටහන් 

එක්දින තරග 63ක දී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ රංජන් මඩුගල්ල ඉනිම් 56ක් තුළ ලකුණු 950ක් ලබාගෙන තිබෙනවා. එසේම සිය එක්දින ක්‍රිකට් දිවිය තුළ අර්ධ ශතක 3ක් ලබාගත් රංජන් සිය හොඳම එක්දින ඉනිම ක්‍රීඩා කළේ පාකිස්ථානු කණ්ඩායමට එරෙහිව යි.

රංජන් සහභාගි වුණු මංගල එක්දින තරගය ශ්‍රී ලංකාවට විශේෂ තරගයක් වුණා 

1979 එක්දින ලෝක කුසලාන තරගාවලිය යටතේ ඕල්ඩ් ට්‍රැෆර්ඩ් පිටියේ පැවති එක්දින තරගයේ දී රංජන් එක්දින වරම් දිනාගත්තා. එම තරගයේ දී අංක 5 පිතිකරු ලෙසින් පිවිසි රංජන් ලකුණු 4ක් පමණක් ලබාගනිමින් අසාර්ථක පිතිහරඹයක නිරත වුණත්, ශ්‍රී ලංකා කණ්ඩායම තරගය ජයග්‍රහණය කළේ ලකුණු 47කින්. එලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත් ජයග්‍රහණය ඔවුන් එක්දින තරග ඉතිහාසයේ ලබාගත් මුල්ම ජයග්‍රහණය ලෙසින් ඉතිහාසගත වුණා. එසේම ටෙස්ට් වරම් නොමැති කණ්ඩායමක් ටෙස්ට් වරම් තිබුණු රටක් එක්දින තරගයකින් පරාජය කළ මුල්ම අවස්ථාව ලෙස ද එය සටහන් වුණා.

රංජන් පිත්තෙන් දස්කම් දැක්වූ එක්දින තරග 

රංජන් එක්දින තරගවල දී හයේ පහරවල් එල්ල කිරීමට හැකි පිතිකරුවෙකු බවට පත්ව සිටියා. එම නිසාම ඔහු සිය එක්දින දිවිය අවසන් වන විට හයේ පහර 16ක් එල්ල කර තිබුණේ එම අවදියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරගවල දී වැඩිම හයේ පහර ප්‍රමාණයක් එල්ල කළ ක්‍රීඩකයා ලෙස වාර්තා අතරට එක් වෙමින්.

1983 ලෝක කුසලාන තරගාවලියේ දී ලබාගත් මංගල අර්ධ ශතකය 

1983 එක්දින ලෝක කුසලානය යටතේ පැවති 10 වැනි තරගය බ්‍රිස්ටල් පිටියේ දී ක්‍රියාත්මක වුණේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර යි. එම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 56.1ක් තුළ සියලුදෙනාම දැවී ලබාගත්තේ ලකුණු 206ක් පමණ යි. එහි දී සිය කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගත් රංජන් පන්දු 87කින් ලකුණු 60ක් ලබාගත්තේ මංගල එක්දින අර්ධ ශතකය වාර්තා කරමින්.

ඉන්දීය කණ්ඩායමට එරෙහිව ලබාගත් වේගවත් අර්ධ ශතකය 

1985 වසරේ පී සරා ඕවල් පිටියේ දී පැවති ඉන්දු-ශ්‍රී ලංකා එක්දින තරගය පන්දුවාර 28කට සීමා වුණා. එම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 4ක් ලකුණු 86කට දැවීගොස් තිබුණු අවස්ථාවේ රංජන් පිටියට පිවිසියා. ඉන්පසුව ඉන්දීය පන්දු යවන්නන්ට දරුණු ප්‍රහාරයක් එල්ල කළ මෙම සුපිරි පිතිකරුවා පන්දු 39කින් නොදැවී ලකුණු 50ක් ලබාගත්තේ මනරම් හයේ පහර 3ක් ද එල්ල කරමින්. 

පාකිස්ථානයට එරෙහිව දියත් කළ හැඩකාර ඉනිම 

1985 වසරේ දී පාකිස්ථානු කණ්ඩායමට එරෙහිව ගඩාෆි පිටියේ පැවති එක්දින තරගය රංජන්ට අමතක නොවන එකක් වුණා. එම තරගයේ දී අංක 3 පිතිකරුවා ලෙසින් පිටියට පිවිසි රංජන් පන්දු 77කින් අගනා ලකුණු 73ක් ලබාගත්තේ දැවැන්ත හයේ පහර 4ක් ද එල්ල කරමින්. එහි දී ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරගයක වැඩිම හයේ පහර ප්‍රමාණයක් එල්ල කරමින් අරවින්ද තබා තිබුණු වාර්තාව සම කිරීමට රංජන්ට හැකි වුණා.

දුලිප් එක්දින තරගවල දී නායකයෙකු ලෙස දැක්වූ දස්කම් 

රංජන් එක්දින තරග 13ක දී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවා තිබෙනවා. එහි දී ඔහුට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවීමට හැකි වුණේ තරග 2ක දී පමණ යි. එලෙස රංජන් නායකත්වය ලබාදුන් එක්දින තරග 13ම මව්බිමෙන් පිටත දී පැවැත්වුණා. ඒ අනුව රංජන්ට සිය මව්බිමේ දී කිසිදු එක්දින තරගයක නායකත්වය දැරීමට හැකි වුණේ නැහැ. 

මඩුගල්ල තරග තීරකවරයෙකු ලෙස (gettyimages)

තරග තීරකවරයෙකු ලෙස ප්‍රසිද්ධියට පත් වුණු හැටි  

ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත් පසුව රංජන්, ජාත්‍යන්තර තරග තීරකවරයෙකු ලෙස කටයුතු කිරීම ආරම්භ කළේ 1993 වසරේ දී යි. එදා සිට අද දක්වා ටෙස්ට් තරග 191, එක්දින තරග 359, සහ 20/20 තරග 102ක තරග තීරකවරයා ලෙසින් කටයුතු කිරීමට රංජන්ට හැකියාව ලැබුණා. ඒ අනුව වැඩිම ටෙස්ට් සහ එක්දින තරග ප්‍රමාණයක තරග තීරකවරයා ලෙස වාර්තා අතරට එක්ව සිටින්නේ රංජන් මඩුගල්ල යි. එසේම 1999, 2003, 2015, සහ 2019 එක්දින ලෝක කුසලාන අවසන් තරගවලත්, 2007, 2010, 2016 වසරවල පැවති 20/20 ලෝක කුසලාන අවසන් තරගවලත් තරග තීරකවරයා ලෙස කටයුතු කිරීමේ අවස්ථාව හිමි වුණේ රංජන් මඩුගල්ලට යි. 

කවරයේ ඡායාරූපය- රංජන් මඩුගල්ලේ (gettyimages)

Related Articles