Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

විලියම් ටෙල් වීරයාගේ සැබෑ ජීවිත කතාවෙන් බිඳක්

ජාතික රූපවාහිනිය මඟින් විලියම් ටෙල්  කතා මාලාව විකාශය කිරීම 2000 ඔක්තෝබර් 7 වන සෙනසුරාදා ආරම්භ කළා. එම කතා මාලාවට අනුව විලියම් ටෙල් සහ ඔහුගේ මාපියන් කිසිම කෙනකුට කරදරයක් නොකර තමන්ගේ පාඩුවේ ජීවත් වුණා. ඒත් එම රටේ පාලකයාවිලියම් ටෙල්ගේ මාපියන්  නිකරුණේ ඝාතනය කළා.

එහි වාඩුව ගැනීම සඳහා සටනට පිවිසි විලියම් ටෙල් සිය සතුරා පරාජය කළ හැකි බලගතු ඊතලයක් සොයා යනවා. ඒ අතරතුර ඔහුට විවිධ හැකියාවන්ගෙන් යුත් මිතුරු මිතුරියන් පිරිසක් හමුවෙනවා. ඔවුන් විලියම් ටෙල් නම් වීරයාට  සහාය ලබා දෙනවා. ඒ වාගේම සුවිශේෂී බලයකින් යුත් කාන්තාවක් ද විලියම් ටෙල්ගේ පිහිටට  පැමිණෙනවා. 

විලියම් ටෙල් කතා මාලාවේ රූපරාමුවක් – imdb.com

 

එම බලගතු ඊතලය සොයා යන ගමනේ දීඅසාධාරණයට ලක් වුණු බොහෝ දුප්පත් ජනතාවට විලියම් ටෙල් ඇතුළු පිරිස  උදව් කරනවා. එහි දී අභියෝග රැසකට මුහුණ දෙන විලියම් ටෙල් ඇතුළු කණ්ඩායම අවසානයේ දී සිය අරමුණ ඉටුකර ගන්නවා. එදා ශ්‍රී ලංකාව තුළ විශාල ලෙස ජනප්‍රියත්වයට පත්වුණු මෙම කතා මාලාව නිර්මාණය කළේ රේමන්ඩ් තොම්සන් නම් නවසීලන්ත නිර්මාණකරුවා යි.

එය 1998 වසරේ දී මුල් ම වරට ප්‍රදර්ශනය කළා. කොටස් 16කින් සමන්විත වුණු එම කතා මාලාවේ විලියම් ටෙල් චරිතය නිරූපණය කළේ කිරාන් හචින්සන් නම් ප්‍රසිද්ධ නළුවා යි. මෙම කතා මාලාව ශ්‍රී ලංකාව තුළ ජනප්‍රියත්වයට පත්වීමට එයත් හේතුවක් වුණා.  

විලියම් ටෙල් චරිතය නිරූපණය කළ කිරාන් හචින්සන්  – next-episode.net

 

එසේ නිර්මාණය කළ විලියම් ටෙල් කතා මාලාවට පදනම වුණේ ස්විට්සර්ලන්තයේ ජීවත් වුණා යැයි සැලකෙන විලියම් ටෙල් නම් වීර චරිතය යි. නමුත් ඔහුගේ සත්‍ය ජීවිත කතාව මීට වඩා තරමක් වෙනස්. විලියම් ටෙල්ට ආදරය කරන විශාල රසික රසිකාවියන් පිරිසක් අදටත් අප රට තුළ සිටින නිසා ඔහුගේ සත්‍ය ජීවිත කතාව ඉදිරිපත් කිරීම යෝග්‍ය යැයි අප සිතුවා. මෙතැන් සිට ඔබට කියන්නේ විලියම් ටෙල් නම් වීරයාගේ සත්‍ය කතා පුවත යි.

ඇල්බ්‍රෙක්ට් ගෙස්ලර් 

ඇල්බ්‍රෙක්ට් ගෙස්ලර්ස්විට්සර්ලන්තයේ ග්‍රොනින්ගන් ප්‍රදේශයේ පාලකයා වශයෙන් 14 වන සියවස ආරම්භ වෙද්දී  කටයුතු කළා. උපතින්ම දුෂ්ට පුද්ගලයකු වුණු ගෙස්ලර්  බලයට පත්වීමෙන් පසුව එම ගති ලක්ෂණ තව තවත් වර්ධනය වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහු ඉතාමත් දරුණු පාලකයෙක් බවට පත්වුණා.

එදා ග්‍රොනින්ගන් ප්‍රදේශයේ ජීවත් වුණු ජනතාවට හිරිහැර කළ මෙම පාලකයා ඔහුට අකීකරු වුණු උදවිය කුරිරු වධහිංසනවලට ලක් කරමින් ඝාතනය කළා. එනිසා එම ප්‍රදේශයේ ජීවත් වුණු කිසිම පුද්ගලයකු ගෙස්ලර්ට ඉහළින් යාමට උත්සාහ කළේ නැහැ.   

ඇල්බ්‍රෙක්ට් ගෙස්ලර් සහ පිරිස – williamtell.nl

 

තොප්පියකට වැඳිමට ලබා දුන් අණ 

සිය ප්‍රදේශයේ ජනතාව සෑම විට ම තමන්ට යටහත් පහත් ව සිටිනු දැකීම ගෙස්ලර්ගේ එකම සිහිනය වුණා. එම යටහත් පහත් බව පරීක්ෂා කිරීම සඳහා ඔහු විවිධ ආකාරයේ පරීක්ෂණ සිදු කළා. එක්තරා දිනයක මෙම කුරිරු පාලකයා ග්‍රොනින්ගන් නගර මධ්‍යයේ තරමක් උස ලී කණුවක් සිටුවන මෙන සිය සේවකයන්ට අණ කළා. ඉන් අනතුරුව එම කණුව මත හිස්වැසුමක් තබන මෙන් නියෝග කළා. ඒ අයුරින් සකස් කළ ලී කණුව සහිත හිස් වැසුම අසලට ගිය ගෙස්ලර් ග්‍රොනින්ගන් නගරයේ ජනතාව අමතා මෙසේ පවසා සිටියා.

“නගර වැසියනි උඹලා ගෙස්ලර් උතුමාණන්ට කෙතරම් ගෞරව කරනවාද යන වග මට  දැනගැනීමට අවශ්‍ය යි. එනිසා මෙම හිස්වැසුම පළඳවා තිබෙන උස ලී කණුව උඹලාගේ  ගෙස්ලර්  උතුමාණන් යැයි සිතා එයට වන්දනාමාන කරන මෙන් මා නියෝග කරනවා. 

ගෙස්ලර් එම නියෝගය ලබාදීමෙන් පසු ව නගර වැසියන් වැල නොකැඩී ලී කණුව අසලට පැමිණ වැඳ වැටෙන්නට වුණා. එයින් සමහර උදවිය ලී කණුව පාමුල වර්ණවත් පුෂ්පවලින් සරසමින් සිය පාලකයාගේ සිත දිනා ගැනීමට උත්සාහ කළා. සිය නගර වැසියන්ගේ භක්තිය දුටු ගෙස්ලර් තව තවත් උද්දාමයට පත්වුණා. ඔහු අභිබවා යාමට කිසිම කෙනකු නගරයේ නොමැති බව තේරුම් ගත් ගෙස්ලර් තමන් ගැන අභිමානයක් ඇති කර ගත්තා. 

ග්‍රොනින්ගන් නගරයට රැස්ව සිටි පිරිස – gettyimages.com

ගෙස්ලර්ට සරදම් කළ කඳුකරයේ දඩයක්කරුවා 

එලෙස ගෙස්ලර්, ග්‍රොනින්ගන් නගරය තම අණසකට ගත් දිනයේ විලියම් ටෙල් නම් මිනිසා සිය පුත්‍රයා ද සමඟින් නගරයට පැමිණියා. නගර ආසන්නයේ පිහිටි කඳුකරයේ ජීවත් වුණු විලියම් ටෙල් අති දක්ෂ දඩයක්කරුවකු ලෙසින් ප්‍රසිද්ධියට පත් ව  සිටියා. කඳුකරයේ ජීවත් වුණු විලියම් ටෙල්ට නගරය ආගන්තුක තැනක් වුණා. එනිසා ඔහු වටපිටාවේ සිදුවන දේවල් පිළිබඳව විමසිල්ලෙන් සිය පුත්‍රයා සමඟ නගරය පුරා සැරිසරන්නට වුණා.

එවිට ඔහු හිස්වැසුමක් පැළඳි ලී කණුවක් අසලට  ගොස් වන්දනාමාන කරන මිනිසුන් පිරිසක් දුටුවා. ඒ සමඟ ම විලියම් ටෙල් පුදුමයට පත්වුණා. ඉන් අනතුරුව ඔහු අසල සිටි මිනිසකුගෙන් ඒ පිළිබඳ ව විමසා සිටියා. එවිට ඔහු ගෙස්ලර් උතුමාණන් ලබාදුන් නියෝගය පිළිබඳ ව පවසා සිටියා. එය ඇසීමෙන් පසුව විලියම් ටෙල් අවඥා සහගත ලෙස සිනාසුණා. එපමණක් නොව ඔහු සහ පුත්‍රයා එම ලී කණුවට වන්දනාමාන කිරීම ප්‍රතිකේෂ්ප කළා. 

විලියම් ටෙල් – gettyimages.com

 

ගෙස්ලර් කෝපයට පත්වෙයි 

ගෙස්ලර්ගේ මුර භටයන් නගරය පුරා සැරිසරමින් සිටියා. ඔවුන් විලියම් ටෙල් සහ පුත්‍රයාගේ හැසිරීම පිළිබඳ ව අවධානයෙන් පසුවුණා. විලියම් ටෙල් නගරයේ පාලකයා වුණු ගෙස්ලර්ට නිසි පරිදි ගෞරව නොකළ බව මුර භටයන්ට දැක ගන්නට ලැබුණා. ඒ ගැන උරණ වුණු මුර භටයන් විලියම් ටෙල්ගේ නොහික්මුණු හැසිරීම් රටාව පිළිබඳ ගෙස්ලර් හමුවේ පවසා සිටියා.

එය ඇසූ විගස ම ගෙස්ලර් දැඩි ලෙස කෝපයට පත්වුණා. ඔහුට උන් හිටි තැන් පවා අමතක වුණා. නගරයේ තමන්ට අවනත නැති කෙනෙක් සිටීම අභියෝගයක් යැයි සිතූ ගෙස්ලර් එම නොහික්මුණු මිනිසා මට්ටු කිරීමට සිතා ගත්තා. එසේ නොකළොත් නගරයේ සෑම මිනිසකු ම ඔහුට අකීකරු වී තමන්ට එරෙහි ව කැරලි ගසනු ඇති බව ගෙස්ලර්ගේ අනුමානය වුණා.

විලියම් ටෙල් සහ ගෙස්ලර් හමුවෙයි 

ඉන් පසුව විලියම් ටෙල් සහ ඔහුගේ පුත්‍රයා අල්ලාගෙන තමාගේ දෙපා මුලට ගෙන එන ලෙස  ගෙස්ලර් සිය භටයන්ට අණ කළා. සිය ස්වාමියාගේ අණට කීකරු වුණු මුර භටයන් එම කාර්යය ඉටු කළා. තමන්ගේ දෙපා මුලට රැගෙන ආ නිර්භීත මිනිසා දෙස බලාගෙන සිටි ගෙස්ලර් ඔහුගේ  තොරතුරු විමසා සිටියා. එවිට විලියම් ටෙල් කිසිදු ගරු සරුවක් නැතිව පිළිතුරු දෙමින් පවසා සිටියේ තමන් කඳුකරයේ ජීවත් වන දඩයක්කාරයෙක් බව යි.

එය අසා කෝපයට පත්වුණු කුරිරු ගෙස්ලර් මහා හඬින් අසා සිටියේ “උඹ වැනි පහත් පෙළේ මිනිහෙක්ට මට ගෞරව නොකර සිටීමට තරම් හයියක් ආවේ කොහොමද?” යන වචන පෙළයි. එවිට සිනාමුසු මුහුණින් පිළිතුරු දුන් විලියම් ටෙල් පවසා සිටියේ ‘මා ඔබට බය නැති නිසා එහෙම ගෞරව කරන්න කිසිදු අවශ්‍යතාවක් නොමැති බව’යි. විලියම් ටෙල් පැවසූ එම අකාරුණික වදන් පෙළත් සමඟින් ගෙස්ලර්ගේ කෝපය දෙගුණ තෙගුණ වුණා.

ගෙස්ලර් සහ විලියම් ටෙල් හමුවුණු මොහොත – springfieldmuseums.org

 

විලියම් ටෙල්ට අභියෝගයක් 

දැඩි ලෙස කෝපයට පත් ව සිටි කුරිරු ගෙස්ලර්, විලියම් ටෙල්ට හොඳ පාඩමක් ඉගැන්විය යුතු බව තීරණය කළා. ඒ සඳහා ඔහු අමුතු ම ආකාරයේ උපායක් යෙදුවා. විලියම් ටෙල් කඳුකරයේ ජීවත් වුණු දක්ෂ දඩයක්කරුවකු නිසා ඔහුට හොඳින් දුනු විදීමේ හැකියාව තිබුණා. ඒ පිළිබඳ සිය අවධානය යොමු කළ ගෙස්ලර් කුරිරු සැලැස්මක් සකස් කළා.

එම සැලැස්මට අනුව ගෙස්ලර්ගෙන් විලියම් ටෙල්ට අභියෝගයක් ලැබුණා. එම අභියෝගය වුණේ ග්‍රොනින්ගන් නගර මධ්‍යයේ විලියම් ටෙල්ගේ පුත්‍රයා සිටුවා, ඔහුගේ හිස මත කුඩා ඇපල් ගෙඩියක් තබා, සෑහෙන දුරක සිට එයට ඊතලයෙන් විදින ලෙස යි. විලියම් ටෙල්ට එය හරියාකාර ව කිරීමට බැරිවුණොත් ඔහුගේ ඇස් ඉදිරිපිට දීම පුත්‍රයා මරා දමන බවට ගෙස්ලර් ගෝරනාඩු කළා. 

සිය පුත්‍රයාට දුන්නෙන් විදීමට සැරැසෙන විලියම් ටෙල් – gettyimages.com

විලියම් ටෙල් දස්කම්  පෙන්වයි

ගෙස්ලර් එල්ල කළ අභියෝගය බරපතළ එකක් වුණා. දුන්නෙන් විදින අවස්ථාවේ ඔහුගේ අත්වල චලනයක් සිදු වුණොත් සිය පුත්‍රයාට මරණය උරුම වීමට ඉඩ තිබුණා. ඒ වාගේම ඔහුගේ පුත්‍රයා චලනය වුණොත් එම ඉරණම ම අත්වීමට ඉඩ තිබුණා. එනිසා විලියම් ටෙල් ගෙස්ලර්ගෙන් ඉල්ලා සිටියේ තම දක්ෂතාව මැන බැලීම සඳහා සිය පුත්‍රයාගේ ජීවිතය බිලි නොගන්නා ලෙස යි. නමුත් ගෙස්ලර් ඔහුගේ ඉල්ලීමට කන් දුන්නේ නැහැ. එනිසා විලියම් ටෙල් අසරණ තත්ත්වයට පත් වුණා.

ඒ මොහොතේ විලියම් සමීපයට පැමිණි ඔහුගේ පුත්‍රයා “පියාණෙනි මට ඔබගේ දක්ෂතාව ගැන විශ්වාස යි.  එනිසා මම බය නැතිව නොසෙල්වී ඉන්නම්. ඔබත් නොබියව මෙම අභියෝගයට ඉදිරිපත් වෙන්න”යන අභීත වචන පෙළ පවසා සිටියා. සිය පුත්‍රයාගේ නිර්භීත වදන් අසා ධෛර්යමත් වුණු විලියම් ටෙල් සාර්ථකව අභියෝගයට මුහුණ දුන්නා. එදා විලියම් ටෙල්ගේ දුන්නෙන් නික්මුණු ඊතලය ඔහුගේ පුත්‍රයාගේ හිස මත තිබුණු ඇපල් ගෙඩිය පසාරු කරගෙන ගියා. ඒ සමඟ ම නගරයට රැස්ව සිටි ජනතාව මහ හඬින් ප්‍රීති ඝෝෂා කරන්නට වුණා.

විලියම් ටෙල් ජයග්‍රහණය කළ මොහොත  – theculturetrip.com

 

විලියම් ටෙල් අත්අඩංගුවට 

විලියම් ටෙල් සිය අභියෝගය සාර්ථක ව නිමකිරීමෙන් පසුව අත් ඔසවා ජනතාවට ආචාර කරද්දී ඔහුගේ කබායෙහි සඟවාගෙන සිටි තවත් ඊතලයක් බිමට වැටුණා. එය දුටු ගෙස්ලර් වෙනත් ඊතලයක් සඟවා ගෙන සිටීමට හේතුව විමසා සිටියා. ඒ මොහොතේ පාලකයා හමුවේ නොබිය ව පිළිතුරු දුන් විලියම් ටෙල් පවසා සිටියේ යම් ආකාරයකින් ඉලක්කය වැරදී ගොස් තම පුත්‍රයා මරණයට පත් වුණා නම් ඔබටත් එම ඉරණම ලබාදීමට අවශ්‍ය වුණු නිසා තවත් ඊතලයක් සඟවාගෙන සිටි බවයි.

එය ඇසූ ගෙස්ලර් දැඩි ලෙස කෝපයට පත්වුණා. ඉන් පසු විලියම් ටෙල් අත්අඩංගුවට ගන්නා ලෙස සිය මුර භටයන්ට නියෝග කළා. ඒ අනුව විලියම් ටෙල් අත්අඩංගුවට ගැනුණා.   

අත්අඩංගුවට පත්වුණු මොහොත – theculturetrip.com

 

ඉරණම වෙනස් වුණු මොහොත 

ඉන් පසු විලියම් ටෙල් කුස්නාච්ට් හි පිහිටි සිය මාලිගය වෙත රැගෙන යාමට ගෙස්ලර් තීරණය කළා. ඒ අනුව ගෙස්ලර් ඇතුළු පිරිස විලියම් ටෙල් ද රැගෙන ලුසර්න් විල හරහා යාත්‍රා කළා. එම  ගමන අතරතුර ගෙස්ලර් සිය සතුරාට පවසා සිටියේ උඹ පොළව යට සිරකිරීමෙන් පසු යළිත් කිසිදු දිනෙක එළියක් දැකීමට නොලැබෙන බවයි. එදා ඔවුන් ලුසර්න් විලේ හරි මැදට පැමිණෙද්දී දරුණු කුණාටුවක් විල හරහා හමා යන්නට වුණා. ඒ මොහොතේ ඔවුන්ගේ යාත්‍රාව පෙරළීමට ගිය නිසා එහි සිටි සියලුදෙනාට ම මරණ බය දැනුණා. 

එවැනි මොහොතක විලියම් ටෙල්ගේ ශක්තිය අවශ්‍ය බව මුර භටයන්ට ඒත්තු ගියා. ඔවුන් ඒ බව ගෙස්ලර්ට පවසා සිටියා. ගෙස්ලර්ටත් මරණ බය දැනී තිබුණු නිසා ඔහු විලියම් ටෙල්ගේ විලංගු ලෙහා දමන ලෙස අණ කළා. ඉන් පසුව යාත්‍රාව විලෙන් එගොඩට රැගෙන යාමේ වගකීම විලියම් ටෙල්ට පැවරුණා. ඔහු පැවරුණු වගකීම මනාව ඉටුකරමින් යාත්‍රාව විලෙන් එගොඩට ගෙන ගියා. ඒ මොහොතේ වඩාත් උපක්‍රමශීලී වුණු විලියම් ටෙල් ගොඩබිමට පැන නැවතත් යාත්‍රාව විලට තල්ලු කර සතුරන්ගේ ග්‍රහණයෙන් පැන ගියා.

විලියම් ටෙල් පැන ගිය මොහොත – gettyimages.com

අවසානය 

එසේ අත්අඩංගුවෙන් පැන ගිය විලියම් ටෙල් කුරිරු ගෙස්ලර් මරා දැමීමට තීරණය කළා. ඒ සඳහා ඔහු කුස්නාච්ට් මාලිගය අසල පිහිටි වනාන්තරයේ සැඟ වී සිටියා. ගෙස්ලර් ඇතුළු පිරිස අසීරුවෙන් ජීවිත බේරා ගෙන විලියම් ටෙල් සැඟ වී සිටි වනාන්තර ප්‍රදේශය පසුකරගෙන මාලිගය වෙත ගියා. ඒ මොහොතේ දී ක්‍රියාත්මක වුණු විලියම් ටෙල් නිවැරදි ඉලක්කයට ඊතල පහරක් එල්ල කරමින් ගෙස්ලර් නම් කුරිරු පාලකයා මරා දැම්මා.

එම පුවත ඇසූ  ප්‍රදේශයේ ජනතාව ප්‍රීතියට පත්වී විලියම් ටෙල් ඔවුන්ගේ වීරයා සේ සලකන්නට පටන් ගත්තා. පසුව එම කතාව ස්විට්සර්ලන්ත පුරාවෘත්තයක් බවට පත්වුණා. එනිසා පසු කලෙක විලියම් ටෙල් ජීවත් වුණා යැයි සැලකෙන ප්‍රදේශයේ ඔහුගේ ප්‍රතිමාවක් පවා ඉදිවුණා. 

විලියම් ටෙල්ගේ ප්‍රතිමාව – victorianopera.com

කවරයේ ඡායාරූපය- විලියම් ටෙල් රූපවාහිනි කතා මාලාවෙන්- youtube.com

මූලාශ්‍ර:

smithsonianmag.com

americanliterature.com

victorianopera.com 

Related Articles