Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පාලි භාෂාව ජාත්‍යන්තරයට ගෙන ගිය රීස් ඩේවිඩ්ස් විද්වතා

විදෙස් රටවල උපත ලබා ශ්‍රී ලංකාවට පසුකාලීන ව පැමිණ විවිධ ක්ෂේත්‍ර ඔස්සේ කැපිපෙනෙන සේවාවක් සිදු කල පුද්ගලයන් බොහොමයක් පිළිබඳ ව අපි අසා ඇත්තෙමු. මෙරට බෞද්ධ පුනරුදයක් ඇති කිරීමෙහි ලා සුවිශාල මෙහෙවරක් කළ අමෙරිකානු ජාතික කර්නල් හෙන්රි ස්ටීල් ඔල්කොට්තුමා, රුසියානු ජාතික හෙලේනා බ්ල්වැට්ස්කි මැතිනිය, මාරි මියුසියස් හිගින්ස්, බ්‍රිතාන්‍ය ජාතික ෆ්‍රෑන්ක් ලි වුඩ්වඩ් යන අය ඉන් කිහිප දෙනෙකි.

ඔවුන් මෙරට බෞද්ධ පුනරුදයක් ඇති කිරීමට මෙන් ම අධ්‍යාපනය ඇතුළු තවත් ක්ෂේත්‍ර ගණනාවක ද අභිවෘද්ධිය වෙනුවෙන් ක්‍රියා කළේ නැවත කිසිදු දෙයක් එයට ලබන අපේක්ෂාවෙන් තොරව ය. එවකට ලංකාව ද යටත් ව සිටි මහා බ්‍රිතාන්‍යයේ උපත ලබා, පසුකාලීන ව පරිපාලන නිලධාරියකු ලෙස මෙරටට පැමිණි රීස් ඩේවිඩ් ද එවැන්නෙකි. පාලි භාෂාව ඇතුළු අංශ ගණනාවක අභිවෘද්ධිය සඳහා සුවිශාල මෙහෙවරක් සිදු කළ තවත් පුද්ගලයකු ලෙස තෝමස් විලියම් රීස් ඩේවිඩ්ස් (1843 – 1922 ) හැඳින්විය හැකි ය.

රීස් ඩේවිඩ්ස් – Facebook- Beyond the Yellow Press

ගාල්ලේ මහේස්ත්‍රාත්වරයා ලෙස කටයුතු කරන අතරතුර එක්තරා නඩු කටයුත්තක් සඳහා ආශ්‍රිත ලියවිල්ලක් ලෙස උසාවියට ඉදිරිපත් වූ පාලි භාෂා ලියවිල්ලක් කියවීමෙන් අනතුරු ව පාලි භාෂාව ගැඹුරින් හැදෑරීමට රීස් ඩේවිඩ්ස් පටන් ගත් බව ප්‍රකට කරුණකි.  ඉතාමත් කෙටි කාලයක් ඇතුළත පාලි භාෂාව මැනවින් හදාරා පසුකාලීනව ඉතාමත් සංකීර්ණ දහම් කරුණු සහිත බෞද්ධ ග්‍රන්ථයන් පවා ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරන්නට ඔහු සමත්කම් පා ඇත. ඊට අමතර ව පාලි ග්‍රන්ථ සමාගම නමින් පාලි භාෂාවේ අභිවෘද්ධිය උදෙසා ආයතනයක් ද ආරම්භ කළ ඔහු පිළිබඳ ව තතු විත්ති අපි මෙම ලිපියෙන් දැනගනිමු.

උපත සහ අධ්‍යාපනය ලැබීම

රීස් ඩේවිඩ්ස්, බ්‍රිතාන්‍යයේ එසෙක්ස්හි පවුලේ වැඩිමලා ලෙස 1843 වසරේ මැයි මස 12 වන දින උපත ලබා ඇත. ඩේවිඩ්ස් ගේ පියා ක්‍රිස්තියානි පුජකවරයකු වූ අතර එවකට ඔහු එම ප්‍රදේශයේ කොතරම් ජනප්‍රිය වූවා ද යත් එම ප්‍රදේශයේ ජනතාව ඔහු හඳුන්වා ඇත්තේ ‘එසෙක්ස් හි රදගුරු’ යන අන්වර්ථ නාමයෙනි. ඩේවිඩ්ස් ගේ මව, සිය ස්වාමිපුරුෂයා පවත්වාගෙන ගිය දේවස්ථානයේ ඉරුදින දහම් පාසලක් පැවැත්වූවා ය. ඇය වයස අවුරුදු 37දී සිදු කළ දරු ප්‍රසුතියකින් අනතුරුව මිය ගියා ය.

එම ප්‍රදේශයේ ම පිහිටි පාසලකින් මුලික අධ්‍යාපනය ලබා ගන්නා ඩේවිඩ්ස් පසු ව පරිපාලන නිලධාරියකු වීමේ අරමුණින් සංස්කෘත භාෂාව හදාරයි. ඔහු ඒ සඳහා තෝරා ගන්නේ පෝලන්තයේ පිහිටි විශ්ව විද්‍යාලයකි. එම විශ්ව විද්‍යාලයේ සිටි ඉතාමත් ප්‍රවීන ආචාර්යවරයකු වූ ඒ.එෆ්. ස්ටෙන්ස්ලර් යටතේ සංස්කෘත භාෂාව හදාරන ඩේවිඩ්ස් එම කාලය ඇතුළත විශ්ව විද්‍යාලය ආසන්නයේ පිහිටි නිවෙස්වලට ගොස් ඉංග්‍රීසි භාෂාව උගන්වා අමතර ආදායමක් ද උපයා ගත්තේ ය.

ලංකාවට පැමිණීම සහ පාලි භාෂාව ඉගෙනීම

1863 වසරේ දී පෝලන්තයේ අධ්‍යාපන කටයුතු අවසන් කර බ්‍රිතාන්‍යයට ඔහු නැවතත් පැමිණ, පරිපාලන සේවා තරග විභාගය සඳහා පෙනී සිටියේ ය. එම විභාගයෙන් සමත් වන ඔහු එවකට බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් ව පැවති ලංකාවට පරිපාලන නිලධාරියකු වශයෙන් පත් වී පැමිණියේ ය.

මෙරටට පැමිණි ඩේවිඩ්ස් ටික කලක් ගාල්ල ප්‍රදේශය භාර මහේස්ත්‍රාත්වරයා ලෙස කටයුතු කර ඇත. ඩේවිඩ්ස්ට වරක් විභාග කිරීමට සිදු වූ නඩු කටයුත්තක් සඳහා සාක්ෂියක් ලෙස ඉදිරිපත් වුයේ පාලි භාෂාවෙන් ලියූ ලියවිල්ලකි. ඉන් අනතුරු ව ඔහුට පාලි භාෂාව ද හැදෑරීම සඳහා කැමැත්තක් ඇති විය.

රීස් ඩේවිඩ්ස් වෙනුවෙන් නිකුත් කළ මුද්දරයක් – blogs.bl.uk

මේ කාලයේ දී ගාල්ල ප්‍රදේශය අවට තිබූ විහාරස්ථාන හා ස්වාමීන් වහන්සේලා සමඟ මනා සබඳකමක් පවත්වාගෙන යෑමට ඩේවිඩ්ස් සමත් විය. ඒ නිසා ගාල්ල නගරයට ඉතා ආසන්නයේ පිහිටි විශාල පුස්කොළ පොත් එකතුවක් සතු වූ මාගාල්ල කච්චිවත්ත දීපදුත්තමාරාම පුරාණ මහා විහාරයට ඔහු නිරතරයෙන් ආ ගිය තැනකි. ඔහු එහි වූ එම පුස්කොළ පොත් එකතුව හා ග්‍රන්ථ ද පරිශීලනය කළේය. එකල මාගාල්ල කච්චිවත්ත දීපදුත්තමාරාම පුරාණ මහා විහාරාධිකාරී හා ප්‍රාචීන භාෂා ශාස්ත්‍රඥයකු වූ වෙහෙරගොඩ මේධංකර හිමියන් වෙතින් ඔහු ප්‍රාචීන භාෂා ආදියෙහි ගැටලු තැන් නිරාකරණය කර ගත් බව සඳහන් ය.

සුමංගල නාහිමියන් වෙතින් ලද ගුරු හරුකම්

දොඩන්දූවේ ශෛලබිම්බාරාමාධිපති ව වැඩ විසූ දොඩන්දූවේ ශ්‍රී සීලක්ඛන්ධ නාහිමියන් ද ඩේවිඩ්ස්ගේ සමීප මිතුරකු විය. ඔහු මාලිගාකන්දේ විද්‍යෝදය පරිවෙනාධිපති හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් වෙතින් ද ගුරු හරුකම් ලබා ගත් අතර වස්කඩුවේ ශ්‍රී සුභූති නාහිමියන් ද ඔහුගේ ගුරුවරයකු වේ.

එකල ප්‍රාචීන භාෂා විශාරදවරයකු ලෙස ප්‍රචලිත ව සිටි යාත්‍රාමුල්ලේ ධම්මාරාම හිමියන් වෙතින් ද රීස් ඩේවිඩ්ස් පාලි ආදී භාෂා ඉගෙන ඇත. ඉතා අඩු වයසකින් අපවත් වූ උන්වහන්සේ පිළිබඳ ව රීස් ඩේවිඩ්ස් සිදු කර ඇති එක්තරා ප්‍රකාශයකින් ලංකාවේ ගුරුවරුන් පිළිබඳ ව ඔහු තුළ තිබුණු ආකල්පය පිළිබිඹු වේ.

“….උන්වහන්සේ නිදන්ගත රෝගකින් පෙළෙමින් සිටියේය. මෙවැනි අවස්ථාක දී ආගන්තුකයකුට ඉගැන්වීම සදහා ස්වකීය ස්ථානයෙන් පිටත යාමට එකඟවීම ගැන මම උන්වහන්සේට කෘතඥ වෙමි. උන්වහන්සේගේ ගිලී ගිය ඇස්වල අස්වාභාවික ආලෝකයක් තිබුණි. උන්වහන්සේ කථා කරන විට බොහෝ සේ ම පාලි භාෂාව පිළිබඳ ප්‍රශ්න මග හැර ආගම සම්බන්ධ ප්‍රශ්නවලට බැස්සේය. උන්වහන්සේ සූත්‍රපිටකයේ ගැඹුරු දැනුමක් ඇතිව සිටි බව මට වැටහුණි. ඒ කථා ඇසීමට මම ප්‍රිය කෙළෙමි. උන්වහන්සේගේ විස්තර කළ නොහැකි විධියේ ආකර්ෂණ ගුණය ද, චාම් බව ද, උදාර අදහස් ඇති බව ද මා තුළ මහත් ගෞරවයක් පහළ කරවිය..”

අනුරාධපුරයට ස්ථානමාරුවක් ලැබීම

සහකාර රජයේ ඒජන්ත ලෙස පත්වීමක් ලබා  නුවරකලාවිය ප්‍රදේශයට (අනුරාධපුර පදනම් කරගත් පරිපාලන ඒකකයක්) 1871 වසරේ දී පිටත් ව යන රීස් ඩේවිඩ්ස්ට එම ප්‍රදේශයේ එවකට සිදු කළ පුරාවිද්‍යා කැණීම්වලට සහභාගී වීමට හැකියාව ලැබිණි. ඊට හේතුව වුයේ එවකට ලංකාවේ මහා බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කල ශ්‍රීමත් හර්කියුලිස් රොබින්සන් ඒ වන විට මෙරට පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථානවල කටයුතු විධිමත් කිරීමේ අරමුණින් පුරාවිද්‍යා කොමිසමක් පිහිටුවා තිබීම යි.

රීස් ඩේවිඩ්ස් ලියූ ග්‍රන්ථයක්/ www.amazon.com 

 

පුරාවිද්‍යා කැණීම් අතරතුර සෙල්ලිපි ඇතුළු පෞරාණික ලේඛන රැසක් පිළිබඳ ව අධ්‍යයනය කිරීමට ඩේවිඩ්ස්ට එහිදී හැකියාව ලැබිණි. ඒ අනුව ඔහු 1870 සහ 1872 අතර කාලයේ දී රාජකීය ආසියාතික සංගමයේ මෙරට ශාඛාව පළ කළ සඟරාවක් සඳහා එම ඓතිහාසික ලේඛන පදනම් කර ගෙන ලිපි ගණනාවක් ද ලියා තිබේ. මෙම කාල සීමාව තුළ නුවරකලාවිය ප්‍රදේශයේ ජිවත් වූ ලංකික ජනතාව සමඟ ඉතාමත් සමීප ව කටයුතු කළ ඔහු ඉතාමත් කෙටි කාලයක් තුළ මෙරට භාෂාව සහ සංස්කෘතික කරුණු ද මැනවින් උගත්තේ ය.

ලංකාවෙන් පිට වීමට සිදු වීම

වසර ගණනාවක් තිස්සේ ලංකාවේ පරිපාලන නිලධාරියකු ලෙස කටයුතු කළ රීස් ඩේවිඩ්ස්ට පරිපාලන සේවයෙන් සහ මෙරටින් අවසානයේ ඉතාමත් කනගාටුදායක ලෙස සමුගැනීමට සිදු වීම ඔහුගේ ජිවිතයේ ඉතාමත් සුවිශේෂී සිදුවීමකි. එවකට ඔහුගේ අධීක්ෂණ නිලධාරියකු ලෙස කටයුතු කළ සී. ඩබ්ලිව්. ට්වින්හැම් නම් පුද්ගලයා සමඟ තිබු යම් පුද්ගලික මත ගැටුමක් නිසා ඩේවිඩ්ස්ට එරෙහි ව විමර්ශනයක් ආරම්භ විය. එහි ප්‍රතිපලයක් ලෙස විනිශ්චය සභාවක් ඉදිරියේදී සුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් අවසානයේ දී වරදකරුවකු වූ ඔහු සේවයෙන් පහ කෙරිණි.

ඩේවිඩ්ස් සිය බිරිය සමග – tititudorancea.com

නීතිය හැදෑරීම සහ ලේඛන කලාවට පිවිසීම

මෙරට පරිපාලන සේවයෙන් ඉවත් ව නැවත බ්‍රිතාන්‍යය බලා පිටත් ව යන රීස් ඩේවිඩ්ස් එහිදී නීති අධ්‍යාපනය සඳහා යොමු විය. කෙසේ නමුත් ලංකාවේ ඓතිහාසික ලේඛන සහ ඒවායේ සඳහන් කරුණු පිළිබඳ ව ලිපි ලිවිම ද ඔහු අඛණ්ඩ ව සිදු කළේය. 1882 වසරේ 1904 වසර දක්වා ඔහු ලන්ඩන් විශ්ව විද්‍යාලයේ පාලි භාෂාව පිළිබඳ ව මහාචාර්යවරයකු ලෙස ද කටයුතු කළේ ය.

ඉන් අනතුරුව 1905 වසරේ දී මැන්චෙස්ටර් විශ්ව විද්‍යාලයේ ආගම් පිළිබඳ ව වන තනතුරක් ලබන ඔහු එම කාලය තුළ ථේරවාද බුදුදහම සහ පාලි භාෂාව බ්‍රිතාන්‍යය තුළ ප්‍රවර්ධනය කිරීමට ද විශාල ප්‍රයත්නයක් දැරුවේය. ඉන්දියානු භාෂා සහ සාහිත්‍ය පිළිබඳ ව හැදෑරීම සඳහා වන අරමුදල් ඉහළ නංවන ලෙස ඔහු රාජකීය ආසියාතික සංගමය හරහා එවකට බ්‍රිතාන්‍ය රජයට ද යෝජනා කර තිබිණි. ඔහු එහිදී සඳහන් කළේ ඒ ආකාරයෙන් අරමුදල් ඉහළ නැංවීම,  බ්‍රිතාන්‍ය බලය ඉන්දියාව තුළ රඳවා ගැනීමට උපකාරී වන බව යි.

පාලි ග්‍රන්ථ සමාගම

ප්‍රාචීන භාෂා අධ්‍යයනය කෙරෙහි උනන්දුවක් දැක්වූ එංගලන්තය, ප්‍රංශය, ඕලන්දය ජර්මනිය, එක්සත් ජනපදයේ සහ ශ්‍රී ලංකාව වැනි රටවල බොහෝ කීර්තිමත් විද්වතුන්ගේ සහයෝගය ඇතු ව ඩේවිඩ් 1882 වසරේ දී ලන්ඩනයේ පාලි ග්‍රන්ථ සමාගම ආරම්භ කළේ ය.

රීස් ඩේවිඩ්ස් බිරිය –  blogs.bl.uk

ශ්‍රී ලංකාවේ හා යුරෝපයේ බොහෝ පුස්තකාලවල විසිරී තිබුණු  පුස්කොළ පොත් ආදිය රෝම අකුරින් ඉංග්‍රිසි පරිවර්‍තන සමඟ ප්‍රකාශයට පත් කිරීම එහි මූලික අරමුණ විය. ඒ අනුව පාලි ත්‍රිපිටකය, අටුවා ඇතුළු බෞද්ධ සාහිත්‍ය ග්‍රන්ථ යුරෝපයේ ප්‍රචලිත වීමටත්, අද දක්වාත් රෝම අකුරෙන් සංරක්ෂණය වී පැවතීමටත් ඩේවිඩ් සිදු කළ සේවය අනභිභවනීය වේ. රීස් ඩේවිඩ්ස් මිය යන විට ග්‍රන්ථ කාණ්ඩ 94ක් පිටු 26,000 තරම් ප්‍රමාණයකින් මුද්‍රණය කොට තිබීම ඔහුගේ සේවය පිළිබඳ පැහැදිලි වන මනා සාක්ෂියකි.

පවුල් ජීවිතය

ඩේවිඩ් කැරොලින් ඔගස්ටා ෆෝලි සමඟ 1894 වසරේ දී රීස් ඩේවිඩ්ස් විවාහ වන අතර ඇය ද පාලි භාෂාව පිළිබඳ එවකට තරමක් ප්‍රසිද්ධ විද්වත් කාන්තාවක වූවා ය. මෙම යුවළට දරුවන් තිදෙනකු සිටි අතර ඉන් වැඩිමහල් දියණිය වූ විවියන් බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ ශ්‍රීමත් රොබර්ට් බේඩ්න් පවෙල්ගේ සමීප මිතුරියක් මෙන් ම බාලදක්ෂ ව්‍යාපාරයේ ආරම්භක සාමාජිකාවක් ලෙස ද කටයුතු කළා ය. ඔවුන්ගේ එකම පුත්‍රයා වූ ආතර් රීස් ඩේවිඩ් පළමු ලෝක යුද සමයේ දී රාජකීය ගුවන් හමුදාවේ සේවය කළ අතර ඔහු පළමු ලෝක යුද සමයේදී ම මිය ගියේ ය.

අභාවය

මෙරට පරිපාලන ක්ෂේත්‍රයට පමණක් නොව පාලි භාෂාවට කැපී පෙනෙන සේවාවක් ද සිදු කළ ඩේවිඩ්ස් 1922 වසරේ දෙසැම්බර් මස 22 වන දින අභාවප්‍රාප්ත විය.

කවරයේ පින්තූරය- තෝමස් විලියම් රීස් ඩේවිඩ්ස් - en.wikipedia.org

මූලාශ්‍ර:

Rhys Davids: His contribution to Pali and Buddhist studies - Lorna S. Dewaraja

සමීපාතීතයෙහි බෞද්ධාචාර්යෝ - අග්ගමහාපණ්ඩිත පොල්වත්තේ බුද්ධදත්ත මහනාහිමි

Related Articles