මිනිසුන් දඩයම් කළ දඩයක්කරු – රොබට් හැන්සන්

1924 වසරේ රිචඩ් කොනෙල් නම් ගත්කතුවරයා විසින් රචිත ‘ද මෝස්ට් ඩේන්ජරස් ගේම්’ නම් කෙටි කථාවෙහි අන්තර්ගතය සුවිශේෂී යි. මෙයට අනුව පැරණි යුධ ජෙනරාල්වරයෙකු පසුකාලීනව විනෝදය පිණිස සතුන් දඩයම් කරන්නෙකු බවට පත්වෙනවා. වරක් ඔහු අපූරු ‘දඩයම් තරගයක්’ සූදානම් කරනවා. මෙයට යම් දක්ෂ දඩයක්කරුවෙකු දින 3ක කාලයක් මුහුණදිය යුතු යි. මෙහිදී සිදුවන්නේ ජෙනරාල්වරයා එම දඩයක්කරු ‘දඩයම්’ කරන්නට උත්සාහ ගැනීම යි. ඔහු නියමිත කාලය පසුවන තුරු ඉන් බේරී සිටියොත් දිනුම හිමිවන අතර, පරාජය වීම යනුවෙන් අදහස් කරන්නේ ජීවිතය අහිමි වීම යි.

උක්ත කෙටිකතාව කොතරම් ප්‍රසිද්ධ වූවත් එය හුදෙක් සාමාන්‍ය ලෝකයේ සිදු නොවූ දෙයක් බව එය කියැවීමේ දී කාටත් ඒත්තු යනවා. කෙසේ නමුත් ඊට යම් තාක් දුරකට සමාන සිද්ධියක් ඇත්ත වශයෙන්ම 1970 දශකයේ ඇලෙස්කාවෙන් වාර්තා වුණා. මෙහි කතා නායකයා වන්නේ රොබට් හැන්සන් නම් බේකරි හිමියෙක්. කොනල්ගේ නවකතාවෙහි එන ජෙනරාල්වරයා මෙන් නොව හැන්සන් කෙසඟ, ලැජ්ජාශීලී, දුර්වල අයෙකු වුණා. කුඩාකල විවිධ අයගේ උසුළු විසුළුවලට ලක්වීම නිසා තනිවම වාසය කිරීම ප්‍රිය කළ ඔහු පසුකාලීනව හොඳ දඩයක්කරුවකු වුණා. මේ නිසා සමාජයෙහි යම් පිළිගැනීමක් ලබන්නට ඔහුට හැකිවුණා. මේ පිළිගැනීම හා දක්ෂතාව සිය දිවියෙහි මුල් කාලයෙහි මානසික තාඩන පීඩන ලබා දුන් සමාජයට එරෙහිව ඔහු භාවිතා කරතැයි කිසිවෙකුත් සිතුවේ නැහැ.

රොබට් හැන්සන්- Alaska Department of Corrections

මුල් කාලය

1939 වසරේ පෙබරවාරි මස 15 වන දා ඇමෙරිකා එක්සත් ජනපදයෙහි අයෝවා ප්‍රාන්තයේ උපන් රොබට් හෙන්සන් කුඩාකල නිතර රෝගී වන දරුවෙකු වුණා. නමුත් 1957 වසරේ දී 18 වියැති තරුණයෙකු ලෙස ඇමෙරිකානු යුධ හමුදාවට අනුයුක්ත වන්නට ඔහුට වරම් ලැබෙනවා. කුඩාකල තමන් හට තිබූ දුර්වලතා මෙමඟින් මඟහරවාගන්නට ඔහු ඉටාගත් අතර වසරක් එහි ගතකළ ඔහු ඉන් ඉවත් වී අයෝවාහිම සරඹ උපදේශකවරයෙකු ලෙස වැඩ බාරගන්නවා. ඒ තදාසන්නවම ඔහු විවාහයක් ද කරගන්නවා.

ගැටළුවල ඇරඹුම

විවාහ වී කෙටි කලක් හැන්සන් හොඳින් ගත කළත්, පාසල් බස් රථ ගාල් කළ ගරාජයක් ගිණිතැබීම හේතුවෙන් පොලිස් අත් අඩංගුවට පත්වීමත් සමගම ඔහුගේ සාමකාමී දිවියට කණකොකා හඬලන්නට පටන්ගන්නවා. මේ හේතුවෙන් ඔහුගේ බිරිය ඔහුගෙන් වෙන්වන අතර මාස 20ක් සිරෙහි තපින්නට ඔහුට සිදුවෙනවා. ඉන් අනතුරුවත් කිහිප විටක්ම සුළු සොරකම්වලට ඔහු පොලිස් භාරයට ගැනෙනවා. මින් සමහරක් ඔහු ඇත්තෙන්ම සිදුකළ ඒවා වූ අතර අනෙක්වා සැකය මත පදනම්ව පොලිස් භාරයට ගත් අවස්ථා යි.

උක්ත කාරණා නිසා අයෝවාහි විසීම හැන්සන්ට එපා වෙනවා. නැවත විවාහයක් කරගත් ඔහු 1967 වසරේ දී ඇලෙස්කාවේ ඇන්කරේජ් බලා යන්නේ නිදහස් දිවියක් ගතකිරීමේ අටියෙනුයි.

තුරුණු වියේ දී- LANDOV/Press Association Images

ඇන්කරේජ්හි ජීවිතය

සිය පවුල හා ඇන්කරේජ් බලා ගිය හැන්සන්ට කරදර කරන්නට කිසිවෙකුත් සිටියේ නැහැ. ඔහු එහි බේකරියක් ආරම්භ කරන අතර විනෝදය සඳහා දඩයමේ යන්නටත් පුරුදු වෙනවා. හැකිතාක් සමාජයෙන් වෙන්ව ජීවත් වීමට උත්සාහා කළ ඔහු තනිවම බේකරියෙහි වැඩ කරන අයුරුත්, දඩයම සඳහා ලැහැබ්වල රිංගන අයුරුත් එහි වැසියන්ට සාමාන්‍ය දර්ශනයක් වුණා. මේ නිසා ඔවුන් අනුමාන කළේ හැන්සන් තමන්ගේ පාඩුවේ ජීවත් වන අහිංසක අයෙකු ලෙස යි.

කුඩාකල දුර්වලයෙකුව සිටි අවධියේ හැන්සන්ට සමාජයෙන් බලවත් උසුළු විසුළු එල්ල වුණා. මේ නිසා ඔහු සිටියේ මිනිසුන් ගැන කැකෑරෙන වෛරයකිනුයි. මේ නිසා කාටත් හොරෙන් සමාජයෙන් පළිගන්නට ඔහු අදිටන් කරගෙන සිටියා. මෙය කිසිවෙකුත් දැන හුන්නේ නැහැ.

ඇලෙස්කාවේ දී හැන්සන්- the-line-up.com

හැන්සන් නම් ඝාතකයා

හැන්සන් ඇලෙස්කාවට සංක්‍රමණය වී වසර 20ක් ගත වුණා. ඒ ආසන්නයේ දිනක 17 හැවිරිදි තරුණියක ප්‍රදේශයේ පාරක දිව එමින් සිටිය දී පොලිසියට හමුවනවා. ඇයගේ අත්වලට මාංචු දමා තිබූ අතර පාවහන් ද පැළඳ සිටියේ නැහැ. ඇය පොලිසියට පවසන්නේ යම් තැනැත්තෙක් තමන් පැහැරගෙන, දෑතට විළංගු දමා, දම්වැලකින් බැඳ ලිංගික අඩන්තේට්ටම් කිරීමට උත්සාහ කළ බව යි. ඔහු තමන්ව කුඩා ගුවන්යානයකට ගොඩකිරීමට උත්සාහ කළ බවත්, එහිදී ලත් අවස්ථාවෙන් ඔහුගේ මිදී පලා ආ බවත් ඇය වැඩිදුරටත් කියා සිටියා.

තරුණ යුවතියගේ කට උත්තරයට අනුව ඇයට අතවර කරන්නට උත්සාහ කළ තැනැත්තාගේ හැඩරුව හැන්සන් හා සැසඳුණා. මේ අනුව ඔහු පොලිසියට රැගෙන එනවා. එහිදී තමන් මේ කාන්තාව හමුවූ බැව් ඔහු පිළිගත්තත් අනෙකුත් චෝදනා ප්‍රතික්ෂේප කරන්නේ ඇය තමන්ගෙන් මුදල් හා වෙනත් විවිධ දේ ඉල්ලා කරදර කළ බැව් පවසමින්. හැන්සන් යහපත් අයෙකු ලෙස ප්‍රදේශයේ ප්‍රචලිතව තිබීමත්, මේ කාන්තාව පිළිබඳ වැඩිදුර අධ්‍යනය කිරීමේ දී ඇයගේ චරිතය එතරම් යහපත් නොවන බැව් ඒත්තු යාමත් නිසා හැන්සන් ඉක්මණින්ම නිදහස් කෙරෙනවා.

කෙසේ නමුත් තරුණ කාන්තාව තවදුරටත් පවසා සිටියේ වන ලැහැබක ඇති යම් කුටියක තමන් රඳවා තිබූ බව යි. ඇය පවසා සිටි පෙදෙස පරීක්ෂා කර බලන්නට පොලිසිය තීරණය කරන්නේ මේ අනුව යි. මේ පරීක්ෂාවේ දී ඔවුන් පුදුමයට පත් කරමින් ඒ අවටින් මරාදමා තිබූ කාන්තා මළසිරුරු කිහිපයකුත් හමුවනවා.

පර්යේෂණ කෙරෙමින්- Paul Brown/Anchorage Daily/MCT via Getty Images

වැඩිදුර පර්යේෂණ හා හැන්සන් පොලිස් භාරයට ගැනීම

වහාම සිද්ධිය එෆ්.බී.අයි ආයතනයට යොමු කෙරුණු අතර, එම ආයතනයෙන් මළසිරුරු පරීක්ෂා කර බලා ඒවා එකම අයෙකු විසින් ඝාතනය කරන්නට යෙදුණු බැව් සහතික කරනවා. ඊට අමතරව ඔහු හොඳ දඩයක්කරුවෙකු මෙන්ම අඩු ආත්ම විශ්වාසයක් ඇති, කාන්තාවන්ගෙන් ප්‍රතික්ෂේප වූ අතීතයක් සහිත අයෙකු බැව් ඔවුන් අනුමාන කළා.

පර්යේෂණ සිදුවන අතරතුර කිහිප විටක්ම හැන්සන් අත් අඩංගුවට ගැනීම හා නිදහස් කිරීම සිදුවුණා. ඒ සාක්ෂ්‍යයෙන් සාක්ෂ්‍යයට ඝාතකයාගේ පරිකල්පිත විස්තරය වැඩි වැඩියෙන් හැන්සන් හා සැසඳී යාම නිසා යි. අවසානයේ ඔහුට පෙර කී කාන්තාව පැවසූ ප්‍රදේශයේ කුටියක් මෙන්ම කුඩා ගුවන්යානයක් ද අයිති බැව් සොයාගැනීමත් සමග රොබට් හැන්සන් තමා සොයන ඝාතකයාම බැව් පොලිසියට හොඳාකාරවම වැටහී ගියා.

වහාම ක්‍රියාත්මක වන පරිදි හැන්සන්ට එරෙහිව වරෙන්තුවක් නිකුත් කළ පොලිසිය ඔහු මෙන්ම ඔහුගේ සියළු දේපළත් පොලිසිය භාරයට ගන්නේ වැඩිදුර පරීක්ෂණ සඳහා යි. එහිදී හෙළිවූ කරුණු අනුව ඔහු මුල දී සිතා සිටියාටත් වඩා දරුණු ගණයේ ඝාතකයෙකු බැව් බලධාරීන්ට ඔප්පු වුණා.

හැන්සන් ඝාතන කිහිපයක්ම සිදුකර තිබූ අතර ඔවුන් සියල්ලම පාහේ සමාජ ශාලාවල නර්ථනය කරන කාන්තාවන් හෝ ගණිකාවන් වුණා. ඔවුන් අල්ලාගැනීමෙන් පසු සිය කුටිය වෙතට ගෙන ගොස් හැන්සන් විසින් ඔවුනට අඩන්තේට්ටම් කර තිබුණා. අනතුරුව ඔවුන් මුදාහරින ඔහු ජීවිතය බේරාගැනීමට ඉවත දුවන විට පසුපසින් එළවා විත් ‘දඩයම්’ කිරීම කර තිබුණා.

හැන්සන් මේ කාන්තාවන් මරා දමා තිබුණේ සතුන් දඩයම් කරන ආකාරයටම අර්ධ ස්වයංක්‍රීය රයිෆලයක් යොදාගෙන යි. අනතුරුව ඔහු සිතියමක මොවුන් වළලා දැමූ ස්ථාන සළකුණු කර තිබුණේ ‘දඩයම් කිරීමේ තරගාවලියක්’ සිහිගන්වමිනුයි. මේ අනුව හැන්සන් විසින් සිදුකළ සියළු ඝාතන ප්‍රමාණය වැඩි ආයාසයකින් තොරවම සොයාගන්නට පොලිසියට හැකි වුණා. උක්ත සිතියමෙහි කතිර ලකුණු 17ක් තිබුණා.

වියපත්ව- learning-history.com

පාපොච්ඡාරණය හා නඩු තීන්දුව

පොලිස් භාරයට පත්ව කෙටි කලෙකින්ම තමන් කාන්තාවන් 13 දෙනෙකු ඝාතනය කළ බව හැන්සන් පාපොච්ඡාරණය කළා. කෙසේ නමුත් ඉතිරි සිවුදෙනා තමන් ඝාතනය නොකළ බැව් ඔහු කියා සිටියා. අනතුරුව මෙතෙක් සොයා නොගත් සිරුරු කිහිපයක් වැළලූ ස්ථාන සොයාගැනීමට ද ඔහු උපකාර කළා.

හැන්සන්ට එරෙහි නඩු විභාගය හා තීන්දුවත් හිතූ තරම් තදබල වුණේ නැහැ. ඔහුට චෝදනා ගොණුවූයේ මිදී ආ කාන්තාවට අඩන්තේට්ටම් කිරීම හා තවත් කාන්තාවන් සිවු දෙනෙකු ඝාතනය කිරීම සඳහා පමණයි. කෙසේ නමුත් මේ සඳහා ඔහු ජීවිතාන්තය දක්වා සිරගත කෙරුණු අතර එහිදී ඔහු 2014 වසරේ දී මියගියා.

කවරයේ පින්තූරය: Youtube.com

මූලාශ්‍රයයන්:

Allthatsinteresting.com

Criminalminds.fandom.com

rebelcircus.com

Related Articles