රොබර්ට් මුගාබේ – නිදහස් සටන් නායකයකුගේ ආගමනය

සිම්බාබ්වේ රාජ්‍යය සුදු ජාතික පාලනයෙන් නිදහස ලද්දේ 1980 වසරේදීයි. එතැන් පටන් වර්තමානය දක්වාම එරට පාලනය කරන රොබර්ට් මුගාබේ අප්‍රිකානු මෙන්ම ලෝක දේශපාලනයේ ද ආන්දෝලනාත්මක චරිතයක් වනවා. සිම්බාබ්වේ නිදහස් සටනෙහි ප්‍රකට නායකයකු වූ ඔහු 1980 සිට 1987 දක්වා එරට අගමැති ධූරය දරා, එම වසරේදි සිම්බාබ්වේහි ජනාධිපති ධූරයට පත් වුණා. ඇතැමෙකුට මුගාබේ අධිරජ්‍යවිරෝධී සටනේ වීරයකු වන විට තවකෙකුට ඔහු අකාර්යක්ෂම ආර්ථික පරිපාලකයකු සහ මර්ධනකාරී පාලකයකු වනවා.

සත්‍ය වශයෙන්ම රොබර්ට් මුගාබේ කිනම් ආකාරයේ පුද්ගලයකුද​? ඔහු ජාතික නිදහස් සටනෙහි පෙරමුණට පැමිණියේ කෙසේද​? එමෙන්ම ඔහු සිම්බාබ්වේ දේශය පාලනය කළේ කෙසේද​? මෙවන් කරුණු පිළිබඳව අද අප විමසා බැලීමට බලාපොරොත්තු වනවා.

කතෝලික පවුලක්

රොබර්ට් මුගාබේගේ පියා ගේබ්‍රියෙල්, න්‍යාසාලන්තයේ (වත්මන් මලාවි) උපන් වඩු කාර්මිකයෙකි. ෂෝනා ගෝත්‍රික ගුරුවරියක වූ මවගේ නම බෝනා නම් වුණා.​ ඔවුන් ජීවත්වූ  කුටමා ප්‍රදේශය ජේසුයිට් නිකාය යටතේ වූ මීසමක් වූ අතර මුගාබේගේ දෙමාපියන්ට සිය වෘත්තීන් උගැන්මට ලැබුණේ ද එම නිකාය හරහායි​. 1924 පෙබරවාරි 21 වනදා උපන් ඔවුනගේ පුත්‍රයාට රොබර්ට් ගේබ්‍රියෙල් මුගාබේ යයි නම් තබනු ලැබුණා.

ජේසුයිට්වරුන් යටතේ විනයානුකූල මෙන්ම භක්තිමත් කතෝලික පරිසරයක රොබර්ට් මුගාබේ හැදී වැඩුණා. ඔහු කුඩා කළ පටන්ම අධ්‍යාපනයට සමර්ථකම් දැක්වූ, හුදෙකලා දරුවකු වුණා. ඔහුට මිතුරන් සිටියේ අඩුවෙන්. ඒ වෙනුවට පොත්පත් ඔහුගේ මිතුරන් වුණා. ජාතික නිදහස් ව්‍යාපාරයේ නායකයකු ලෙස ද රාජ්‍ය නායකයා ලෙස ද පසු කලෙක ඔහු දේශපාලනයේ නිරත වනවිට ද මෙම ලක්ෂණ දකින්නට තිබුණා.

කුටමා සාන්ත සේවියර් විද්‍යාලය​ (Kutama College)

මුගාබේගේ පවුලේ පූජකයා වන ෆිඩෙලිස් මුකොනෝරි, මුගාබේ සමඟ තනිව කතාබහ කිරීමට නිරන්තරයෙන් අවස්ථාව ලැබෙන, ළඟම ඥාතියකු නොවන අයෙක්. චීනයේ CGNT රූපවාහිනිය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ඔහු සඳහන් කළේ 1930 දශකයේ කුටමා මීසමේ ප්‍රධානියා ලෙස පත්වූ අයිරිෂ් ජාතික ජෙරෝම් ඕහේ (Jerome O’Hea) පූජකතුමා මුගාබේගේ ජීවිතයට දැඩි බලපෑමක් කළ බවයි. මුගාබේ මෙම පූජකයාගෙන් වැදගත් කුසලතා දෙකක් උගත් බව මුකොනෝරි කියා සිටියා. ඉන් එකක් නම් ඉංග්‍රීසි භාෂාවයි. මුගාබේට ඉතා හොඳින් ඉංග්‍රීසි හැසිරවිය හැකියි. සාමාන්‍ය අප්‍රිකානු උච්ඡාරණ ස්වරය ඔහුගේ ඉංග්‍රීසි කතාවෙහි නැති තරම් වනවා. අනෙක් කුසලතාව නම් පිහිනීමයි.

මේ හැරුණ කළ ඕහේ ආශ්‍රයෙන් මුගාබේ බ්‍රිතාන්‍ය විරෝධී අයිරිෂ් නිදහස් සටන පිළිබඳවද උගත් අතර ඔහුගේ අධිරාජ්‍ය විරෝධී අදහස් මෙකළ රෝපණය වන්නට ඇතැයි සිතීමට පිළිවන්.

ඉගෙනීම සහ ඉගැන්වීම​​

තරුණ මුගාබේ දක්ෂතාව දැක්වූ තවත් ක්ෂේත්‍ර දෙකක් වුණා. එනම් ඉගෙනීම සහ ඉගැන්වීමයි. 1941 – 1945 සමයේ කුටමා හි ශාන්ත සේවියර් විද්‍යාලයෙන් ගුරු වෘත්තිය පිළිබඳ ඩිප්ලෝමාවක් ලබාගත් ඔහු දකුණු රොඩේෂියාවේ ගුරුවරයකු ලෙස සේවය කිරීම ඇරඹුවා. මේ අතර දකුණු අප්‍රිකාවේ ෆෝර්ට් හෙයාර් විශ්ව විද්‍යාලයට ශිෂ්‍යත්වයක් ලද ඔහු එහි ඇතුලත්ව ඉතිහාසය සහ ඉංග්‍රීසි බස හදාරා 1951 දී කලා උපාධිය සම්පූර්ණ කළා. ඉන්පසු ඔහු නැවතත් රොඩේෂියාවට පැමිණි අතර දකුණු රොඩේසියාවේ මෙන්ම උතුරු රොඩේෂියාවේද ගුරුවරයකු ලෙස සේවය කළා. මේ අතර ඔහු සිය අධ්‍යාපනයද අත් හිටවූයේ නැහැ. දකුණු අප්‍රිකානු විශ්ව විද්‍යාලය විසින් ලබාදෙන තැපැල් මාර්ගයෙන් ඉගෙනීමේ අවස්ථාව ලබාගත් ඔහු අධ්‍යාපනය පිළිබඳව මූලික උපාධියක් ලබාගත්තා. මේ අනුව 1953 වනවිට ඔහු උපාධි දෙකක් සම්පූර්ණ කර තිබුණා. ඉන්පසු ඔහු ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් තැපැල් මගින් පරිපාලනය පිළිබඳ උපාධි පාඨමාලාවක් හැදෑරුවා.

ඝානාව​: ජීවිතයේ සන්ධිස්ථානයක්

රොබර්ට් මුගාබේ 1958 වසරේදී ඝානාවට පැමිණියා. ඔහු එරටට පැමිණියේ ඉතාම උද්‍යෝගීමත්වයි. ඊට හේතුව නම් ඊට පෙර වසරේදී ඝානාව බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබීමයි. මේ අනුව යටත් විජිත පාලකයකුගෙන් නිදහස ලද පළමු උප සහරා අප්‍රිකානු රාජ්‍යය බවට ඝානාව පත් වුණා.

ක්වාමේ න්කෲමා 1961 ඇමරිකානු සංචාරයක් අතරතුර​ (Public Domain)

ඝානාවේ නිදහස් සටනේ නායකයා සහ එරට පළමු අගමැති වූ ක්වාමේ න්කෲමා වාමාංශික අදහස්වලින් යුතු දේශපාලකයකු වුණා. ඝානාවේ සිටියදී මුගාබේ ද සිය දේශපාලන ස්ථාවරය ලෙස මාක්ස්වාදය පිළිගත්තා. ඊට පෙර ද ඔහුගේ වාමාංශික නැඹුරුවක් තිබුණද​, එය ස්ථාවර වූයේ ඝානාවේදී බවයි පැවසෙන්නේ.

මීට අමතරව මුගාබේට සිය පළමු බිරිඳ මුණ ගැසුණේ ද ඝානාවේදියි. සැලී හේෆ්‍රන් නම් වූ ඇය මුගාබේට මුණ ගැසුණේ ඔවුන් දෙදෙන ටකොරාඩි ගුරු අභ්‍යාස විද්‍යාලයේ ඉගැන්වීමෙහි නිරත වන අතර යි.

1960 දී මුගාබේ යළි දකුණු රොඩේෂියාවට පැමිණෙනවිට සැලී ද ඔහු කැටුව පැමිණියා. සැලී කතෝලික දහමට හැරුණ අතර 1961 දී ඔවුන් විවාහ වුණා.

නිදහස් සටනට සම්බන්ධ වීම​

මුගාබේ සියරට බලා පැමිණෙන අවස්ථාව වනවිට එරට දේශපාලන තත්ත්වය වෙනස් වෙමින් පැවතුණා. 1957 දී ජෝෂුවා න්කෝමෝ විසින් නායකත්වය දුන් දකුණු රොඩේෂියා අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය බිහිවූ අතර එය දකුණු රොඩේෂියාව තුල බිහිවූ පළමු කලු ජාතිකවාදී සංවිධානය වුණා. එය 1959 දී තහනම් කෙරුණ නමුත් එහි නායකයන් සමහරෙක් 1960 දී න්කෝමෝගේ නායකත්වයෙන් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ලෙස නැවත ප්‍රතිසංවිධානය වුණා. මුගාබේ ද මෙම සංවිධානය හා සම්බන්ධ වූ අතර එහි ප්‍රචාරක ලේකම් ලෙස තෝරාගනු ලැබුණා.

ජෝෂුවා න්කෝමෝ 1978 දී (Rob C. Croes/Anefo)

1961 දී එම පක්ෂය ද තහනම් කරන ලද අතර එහි සාමාජිකයන් විසින් සිම්බාබ්වේ අප්‍රිකානු ජනතා එකමුතුව (Zimbabwe African People’s Union – ZAPU) පිහිටුවා ගත්තා. න්කෝමෝ එහි නායකයා වූ අතර මුගාබේ ප්‍රචාරක ලේකම් වුණා.

1962 පැවති මහ මැතිවරණයෙන් සුදු ජාතික පාලනය දැඩි සේ පිළිගත් රොඩේෂියානු පෙරමුණ බලයට පත් වූ අතර ඉන්පසු එතෙක් පැවති කලු ජාතිකවාදී ව්‍යාපාර ඉලක්ක කරගත් මර්ධනය තවත් දැඩි වුණා.

මීට පිළිතුරු ලෙස පිටුවහලෙහි පිහිටුවාගත් රජයක් ප්‍රකාශයට පත් කිරීම කෙරෙහි න්කෝමෝ අවධානය යොමු කළා. නමුත් මුගාබේ ආදී ඇතැම් ප්‍රබලයන් ඊට එරෙහි වුණා. ඔවුන් සිය රටෙන් පිට ටැංගනීකාවේදී රැස්ව මේ පිළිබඳ සාකච්ඡා කළා. එමෙන්ම එවක ටැංගනීකා ජනාධිපති ජුලියස් නියරේරේ ද ප්‍රකාශ කළේ රට තුල ජනතාව අතර දේශපාලන ව්‍යාපාරය ශක්‍තිමත් කළ යුතු බවයි.

මේ අනුව 1963 අගෝස්තුවේදී න්කෝමෝගේ ස්ථාවරය සහ නායකත්වය පිළිගැනීමට මැළි වූ සාමාජිකයන් පිරිසක් සිම්බාබ්වේ අප්‍රිකානු ජාතික එකමුතුව (Zimbabwe African National Union – ZANU) පිහිටුවා ගත්තා. මුගාබේ ද මෙම නව සංවිධානයේ ප්‍රබලයකු බවට පත් වුණා.

මේ අතර මුගාබේ සහ සැලී යුවළට පුතකු ලැබුණ අතර ඔහුට ෂෝනා බසින් “දුක් විඳින දේශය​” යන අදහස ඇති න්හමොන්ඩ්සෙන් යිකා යන නම දෙනු ලැබුණා. ළඟ එන කටුක දවස් සැළකූ සැලී ඝානාව බලා පිටත් වුණා.

මුගාබේ නැවත දකුණු රොඩේෂියාවට පැමිණි විට ඔහු අත් අඩංගුවට ගනු ලැබුණා. ඒ රජයට අපහාස වන පරිදි කතාවක් පැවැත්වීම පිළිබඳ ඔහුට එල්ල වී තිබුණ චෝදනාවක් යටතේයි. 1964 මාර්තුවේදී ඔහු සිරගත කරනු ලැබුණා. පසුව මෙය කල් නියමයක් නොමැති රඳවාගැනීමක් බවට පෙරලුණා.

ඉයන් ස්මිත් 1965 දී (Getty)

මෙම තත්ත්වය වෙනස් වීමට හේතු වූයේ 1965 දී එවක එරට අගමැති වූ ඉයන් ස්මිත් විසින් රොඩේෂියාව බ්‍රිතාන්‍යයෙන් නිදහස් බව ප්‍රකාශ කිරීමත් සමඟයි. කෙසේ නමුත් මීට අන්තර්ජාතික පිළිගැනීමක් ලබාගැනීමට ස්මිත් අපොහොසත් වුණා.

1966 දී මුගාබේගේ පුත්‍රයා රෝගී තත්ත්වයක් හේතුවෙන් ඝානාවේදී මියගියා. ඔහුගේ අවසන් කටයුතු සඳහා සහභාගී වීමට අවසර ඉල්ලා සිටි නමුත් ස්මිත් පාලනය විසින් එය ප්‍රතික්ෂේප කෙරුණා. මෙයින් මුගාබේ රජය කෙරෙහි දැඩිව කලකිරුණා.

මුගාබේ 1975 දී නිදහස ලබා මොසැම්බික් වෙත ගිය අතර සැලී ද එහිදී ඔහු හා එක් වුණා.

රොබර්ට් මුගාබේ සිම්බාබ්වේ රාජ්‍යයේ අගමැති ධූරය තෙක් ගමන් කළ ආකාරය පිළිබඳ මීළඟ ලිපියෙන් සළකා බලමු.

අමතර මූලාශ්‍ර​

  1. Faces of Africa – Mugabe: The old man and the seat of power – Part 1 (CGNT)
  2. Zimbabwe – Mugabe’s Gamble – 1981 (Thames TV)

Cover Image: රොබර්ට් මුගාබේ සිය පළමු බිරිඳ සැලී සමඟ (Zimbabwe Today)

Related Articles