Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඇමෙරිකාවේ ‘මරණීය මල්සරා’- රොඩ්නි අල්කලා

1978 වසරේ සැප්තැම්බර් මස 13 වැනි දා ඇමෙරිකානු ජනප්‍රිය රූපවාහිනී වැඩසටහනක තවත් එක් කොටසක් දිගහැරුණා. ‘ද ඩේටින් ගේම්’ නම් තාරුණ්‍යයේ වැඩසටහනක් වූ එහිදී සිදුවන්නේ සහකරුවකු හෝ සහකාරියක නොමැති තරුණ තරුණියන්ට තමන් කැමති සහකරුවෙකු සොයාගැනීමට අවකාශ සැලැස්වීම යි.
මෙදින සහකරුවෙකු තෝරාගැනීමට ‘ස්වයංවරය’ ලැබී තිබුණේ චෙරිල් බ්‍රැඩ්ෂෝ නම් තරුණියකට යි. පැමිණ සිටි තරුණයින් අතරින් එක්තරා තරුණයෙකුට සිය සිත හොඳින්ම ඇදී ගිය නිසා පැකිලීමකින් තොරව ඇය වැඩසටහනේ ඉදිරි කොටස් සඳහා සිය සහකරු ලෙස ඔහු තෝරාගන්නවා.

මෙලෙස ඇය විසින් තෝරාගැණුනේ රොඩ්නි අල්කලා නම් කඩවසම් තරුණයා යි. රුවෙන් අතිශය කඩවසම් වුව ද ඔහු විශාල රහසක් සඟවාගෙන සිටී බව චෙරිල් තබා එම පරිශ්‍රයේ කිසිවෙකුත් දැන සිටියේ නැහැ. මේ කඩවසම් තරුණයා ඉතා දරුණු ගණයේ දාම ඝාතකයෙක් වුණා!

ඩේටින් ගේම් හි අල්කලා- Youtube

ගැහැණු ඉව

වැඩසටහනෙන් අනතුරුව චෙරිල් එය පැවැත්වූ පරිශ්‍රයේ දීම සිය නව පෙම්වතා හමුවුණා. කෙසේ නමුත් ඇයට ඉක්මණින්ම ඔහුගේ යම් ‘අමුත්තක්’ තිබෙන බැව් ඒත්තු ගියා. ඔහුගේ හැසිරීමෙහි අසාමාන්‍යතාවක් නිරීක්ෂණය කළ ඇය අවසානයේ තීරණය කරන්නේ තවදුරටත් ඔහු හමුවීමෙන් වැලකී සිටින්නට යි. ඇයගේ මේ ‘ගැහැණු ඉව’ නොවන්නට අද වන විට චෙරිල් බ්‍රැඩ්ෂෝ නාමයත් අල්කලාගේ සාර්ථක ඝාතන ලැයිස්තුවෙහි ඉහළින්ම සිටින්නට හොඳින්ම ඉඩ තිබුණා. ඇය මේ පිළිබඳව පසු කලෙක මාධ්‍ය හමුවේ පවසා තිබුණා.

‘ද ඩේටින් ගේම්’ සඳහා තරුණ තරුණියන් තෝරාගැනීමේ දී එහි සංවිධායකයින් ඔවුන්ගේ පසුබිම ගැන එතරම් සැලකිලිමත් වී තිබුණේ නැහැ. එලෙස සොයාබැලුවා නම් ඒ වන විටත් රොඩ්නි අල්කලා අට හැවිරිදි ගැහැණු දරුවෙකුට පහර දී ලිංගික අඩන්තේට්ටම් කිරීම හේතුවෙන් වසර තුනක් සිරගත වී සිටි අයෙකු බැව් සොයාගන්නට ඉඩ තිබුණා. මේ ආකාරයටම දහතුන් හැවිරිදි දැරියකටත් අඩන්තේට්ටම් කර තිබූ ඔහු විටෙක එෆ්.බී. අයි ආයතනයේ ‘වඩාත් ඕනෑකර තිබෙන පුද්ගලයින් දසදෙනා’ ලැයිස්තුවේ ද සිටි අයෙකු වුණා. කෙසේ නමුත් ඒ වන විට ඔහු මිනිමැරුම් ගණනාවකුත් සිදුකර තිබූ අයෙකු බැව් එෆ්.බී. අයි ආයතනය දැන සිටියේ නැහැ.

චෙරිල් බ්‍රැඩ්ෂෝ- Youtube

චෙරිල් විසින් ඔහු ප්‍රතික්ෂේප කිරීමත් සමග ඔහුගේ ‘මරණීය චේතනාව’ තවත් වැඩි වූ බැව් පසු කලෙක අල්කලා විසින් ප්‍රකාශ කර තිබුණා. වැඩසටහනට පෙර හා පසු ඔහු විසින් සිදු කර තිබූ මනුෂ්‍ය ඝාතන ප්‍රමාණය 50- 100 අතර සංඛ්‍යාවක් බැව් ඔහු අත්අඩංගුවට පත් වූ පසු හෙළි වුණා.

උපත හා මුල් කාලය

ඇමෙරිකා එක්සත් ජනපදයේ, ටෙක්සාස් ප්‍රාන්තයේ නගරයක් වූ සැන් ඇන්ටෝනියෝ හී දී රොඩ්නි අල්කලා උපත ලැබුවේ 1943 වසරෙහි අගෝස්තු මස 23 වැනි දා යි. ඔහුට වසර අටක් වන විට ඔහුගේ පියා සිය පවුල මෙක්සිකෝවේ පදිංචිය සඳහා ගෙනයන අතර ඉන් වසර 3කට පසු ඔවුන්ව තනිකර දමා ඉවත යනවා. මේ නිසා ඔහුගේ මව කුඩා රොඩ්නි හා ඔහුගේ සොයුරිය ලොස් ඇන්ජලීස් කරා ගෙන එනවා.

හොඳ අධ්‍යාපනයක් ලද අල්කලා 17 වියැතිව සිටිය දී යුධ හමුදාවේ ලිපිකරුවෙකු ලෙස සේවයට බැඳුනත් ස්නායු සම්බන්ධ ආබාධයක් නිසා ඉන් ඉවත් වීමට සිදුවෙනවා. ඉන් අනතුරුව කෙටි කාලීනව කැලිෆෝනියා විශ්වවිද්‍යාලයට අනුයුක්ත වුව ද එහි ද වැඩිකල් හොඳින් ගතකරන්නට ඔහුට නොලැබෙන්නේ ස්නායු ආබාධය නිසා ඇති වූ මානසික ගැටළු නිසා යි. මේ මානසික ගැටළු අවසානයේ අල්කලා ඝාතකයෙකු බවට පත් කරන්නටත් උරදෙන්නට ඇති බැව් පැවසෙනවා.

රොඩ්නි අල්කලා තුරුණු වියේදී- Bettmann/Contributor/Getty Images

ඝාතන හා මැරකම්

අනෙකුත් දාම ඝාතකයින්ට මෙන්ම අල්කලාටත් ඔහුටම අනන්‍ය වූ විධික්‍රම තිබුණා. සාමාන්‍යයෙන් ඔහු ගොදුරකට පහරදීම, සපාකෑම, ලිංගික අඩත්තේට්ටම් කිරීම හා ඉන් අනතුරුව ගෙල සිරකිරීම සිදුකළා. 1968 වසරේදී හොලිවුඩ්හි දී ඔහු සිය මුල්ම ගොදුර ලෙස අට හැවිරිදි දැරියක ලිංගික අඩත්තේට්ටම් කරන්නට යෙදුණු අතර ඇය ඝාතනය කරන්නට නොහැකි වෙනවා. මේ නිසා ඔහු පොලිස් අත් අඩංගුවට පත් වන අතර, ඉන් පලාගොස් ව්‍යාජ නමකින් නිව්යෝක් නුවර සිනමාකරණය පිළිබඳ පාඨමාලාවකට සම්බන්ධ වන්නට තරම් ඔහු සූක්ෂ්ම වෙනවා. එහිදී ඔහුව හඳුනාගන්නා එෆ්.බී.අයි නිලධාරීන් ඔහු අල්වාගෙන වසර 3ක් සිරගත කරන අතර, ඉන් ඉවතට ආ වනම නැවතත් 13 හැවිරිදි දැරියක ලිංගික අඩත්තේට්ටම් කර වසර දෙකක් සිරබත් කනවා. ඉන් අනතුරුව ඔහුට සමාව ලැබෙන අතර, ඉවතට විත් දින 7ක් ගත වීමටත් මත්තෙන් සිය පළමු ඝාතනය සිදුකරනවා. ඒ, හොලිවුඩ්හි රාත්‍රී සමාජශාලා හිමියෙකුගේ මිණිපිරියක වූ එලෙනි හූවර් නැමැත්තිය යි. කෙසේ නමුත් මේ ඝාතනය ඔහු විසින් සිදු කළ බවට එක්වරම හෙළිවන්නේ නැහැ.

මේ අතර අල්කලා ලොස් ඇංජලීස් ටයිම්ස් පුවත්පත් කාර්යයාලයේ රැකියාවක් සොයාගැනීමට සමත් වෙනවා. ඒ 1978 වසරේ දී යි. ඔහු එහිදී භාවිතා කළේ තමන්ගේ නියම නාමය යි. මේ රැකියාව තමන්ගේ කූඨ ආශාවන් මුදුන් පමුණුවාගන්නට භාවිතා කළ ඔහු රාත්‍රී කාලයේ දී විවිධ කාන්තාවන් නම්මවාගෙන, ලිංගික අඩත්තේට්ටම් කර ඝාතනය කරන ලද්දේ ඔවුන්ගේ සේයාරූ පුවත්පතෙහි පල කරන මුවාවෙනුයි. ඔහුගේ කඩවසම් රුවට හා ප්‍රසිද්ධ වීමේ ආශාවට බොහෝ තරුණ කාන්තාවන් පහසුවෙන්ම ඔහුගේ දැලෙහි පැටළුණා. ‘ද ඩේටින් ගේම්’ හි අල්කලාට අවස්ථාවක් ලැබෙන්නේ මේ අතර යි. එහිදී හමුවූ චෙරිල් ගොදුරු කරගන්නට වෙනදාටත් වඩා උවමනාවක් ඔහුට තිබූ අතර එය ව්‍යර්ථ වීමත් සමග ඔහුගේ මනස තවත් ව්‍යාකූල වී වැඩි වැඩියෙන් ඝාතන කරන්නට පටන්ගත්තා.

අල්කලාගේ ගොදුරු සමහරක්- Ted Soqui/Corbis via Getty Images

ද ඩේටින් ගේම්හි පෙනී සිට වසරක් ගත වූ තැන ලියෑන් ලීඩම් නම් තරුණ යුවතියක් අල්කලාගේ ග්‍රහණයෙන් මිදී පලා ගොස් ඒ පිළිබඳව තොරතුරු පොලිසියට ලබා දෙන්නට සමත් වුණා. මෙහිදී ඇය අල්කලා සතුව තිබූ ඡායාරූප එකතුවක් ද රැගෙන විත් තිබූ අතර ඉන් බහුතරය මේ වන විට අතුරුදන් වූවන්ගේ බැව් වටහාගන්නට පොලිස් නිලධාරීන්ට වැඩිවේලා ගියේ නැහැ. මේ ඡායාරූප පසු කලෙක අල්කලා විසින් සිදුකල ඝාතනයන් තෝරා බේරා ගන්නට මහෝපකාරී වුණා.

අවසන් ඝාතනය හා හසුවීම

1979 වසරේ ජුනි මස 20 වන දා කැලිෆෝනියාවේ රොබින් සැම්සෝ නම් 12 හැවිරිදි දැරියක අතුරුදන් වුණා. ඇයගේ මිතුරන් ප්‍රකාශ කළේ කිසිවෙකු ඇයට පුවත්පත් සඳහා ඡායාරූප කිහිපයක් ගැනීමට කතා කළ බව යි. ඇ‍ය එය පිළිගෙන එයට යන්නට ඇති බැව් ඔවුන් පැවසුවා. ඉන් දින කිහිපයකට පසු අසල වන රොදකින් සතුන් කා දමා තිබූ ඇයගේ ශරීර කොටස් හමුවුණා.

රොබින්ගේ මිතුරියන්ට ඡායාරූප ගැනීමට කතා කළ තැනැත්තා හොඳින් මතක තිබුණා. ඔවුන්ගේ විස්තරවලට අනුව ලහි ලහියේ පොලිසිය විසින් චිත්‍රයක් ඇඳි අතර, එය අල්කලාගේ රුව හා සැසඳුණා. පොලිසිය ඔහු සන්තකයේ තිබී රොබින්ගේ කරාබුවක් සොයාගැනීමත් සමග අල්කලා මේ ඝාතනය සිදුකළ බැව් තහවුරු වුණා. වහාම ඔහු උසාවියට ඉදිරිපත් කොට මිනිමැරුම් චෝදනා ගොනු කෙරුණා.

නඩු විභාගය

අල්කලා වියපත්ව- thefamouspeople.com

අල්කලාට එරෙහි නඩු විභාගය 1980 දී ඇරඹුණු අතර ඔහුට මරණ දඬුවම හිමිවෙනවා. කෙසේ නමුත් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනාවක් ඉදිරිපත් කර නඩුව නැවත අසන තැනට පත් කරගන්නට ඔහු සමත් වෙනවා. නැවත 1986 වසරේ දී ඔහුට එරෙහිව නඩු විභාගයක් පැවති අතර එහිදී නැවත වරක් ඔහුට මරණීය දණ්ඩනය හිමිවෙනවා. එයත් කෙසේ හෝ ව්‍යර්ථ කරගන්නට අල්කලා සමත් වන අතර, තමන් කළ ඝාතන එකින් එක ඉවතට දමමින් 2001 වසර වන තුරු තෙවන වර නඩුව කැඳවීම පමා කරගන්නට සමත් වෙනවා. 2001 වසරේ දී නිල වශයෙන් ඔහුට එරෙහි මරණ වරෙන්තුව ඉවත දැමුණුමුත් තෙවන වර නඩුව ඇසීම 2010 වසර වන තුරු කල් යනවා. ඒ වන විට ඔහු අත් අඩංගුවට පත් වී වසර 31ක් ගෙවී තිබුණා.

උක්ත කාලය තුළ අල්කලා රොබින් සැම්සෝ සිද්ධියට තමන්ගේ සම්බන්ධයක් නැති බැව් දක්වමින් පොතක් ද ලියා තිබුණා. මේ වන විට කැලිෆෝනියාවේ නීතිය විවේචනය කරමින් ඔහු ඊට එරෙහිව නඩු දෙකක් ද දමා තිබුණා. තෙවන වර නඩුව ඇසීමේ දී ඔහු නීතීඥයෙකු නොමැතිවම ඉදිරිපත් වුණා.

තෙවන වරට ද කැලිෆෝනියා අධිකරණය රොඩ්නි අල්කලාට මරණ දඬුවම නියම කළේ සියළු කාරණා හොඳින්ම සලකා බැලීමෙන් අනතුරුව යි. කෙසේ නමුත් අද වන තුරුත් ඔහුට එරෙහි එම දඬුවම ක්‍රියාත්මක වී නැහැ. අද වන විට 75 වියැති මහල්ලකු වී සිටින අල්කලා මරණය බලාපොරොත්තුවෙන් කැලිෆෝනියාවේ සිරගෙදරකට වී කාලය ගත කරනවා.

Related Articles