Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

බවලත් බලවතුන් වෙනුවෙන් පෙනී සිටින රෝසි: Rosie The Riveter

“රෝසි”. අැය නූතන කාන්‍තා විමුක්ති අරගලයේ කැපී පෙනෙන චරිතයක්. හැබැයි අපි මේ කතා කරන්නේ රෝසි සේනානායක ගැන නෙමෙයි. බවලත් බලවතුන් වෙනුවෙන් පෙනී සිටින රෝසි ද රිවටර් (Rosie The Riveter) හෙවත් රෝසි නම් මිටියම් කරන්නිය කියන්නේ සැබෑ පුද්ගලයෙක් නෙවෙයි; එ්ත් අැය මුළු මහත් ස්ත්‍රී සමාජයම නියෝජනය කරන සදාකාලික තරුවක්.

දෙවන ලෝක යුද්ධ සමයේදී, මිලියන 18 ක් පමණ වූ කාන්තාවන්, දහඩිය, මහන්සිය වගුරවමින් කරපු කැපවීම වෙනුවෙන් මනඃකල්පිත වීර කතක් හැටියට රෝසි මාධ්‍ය හරහා කරලියට පැමිණියා. රතු බැන්ඩානාවක් (හිසකෙස් පටියක්) පැළඳ, තම දකුණු අත තේජවන්ත ලීලාවෙන් නමා සිටින, මේ අයෝමය කාන්තාවගේ රුව ඔබට හුරු පුරුදු ඇති. මේ පෝස්ටරයේ පෙනී සිටින රෝසි නම් කම්කරු ගැහැණිය ගැන වැඩි විස්තර මේ ලිපිය හරහා ඔබ වෙත ගෙන ඒමට අප බලාපොරොත්තු වෙනවා.

1940-1945 කාල පරිච්ඡේදයේ ඇමරිකාවේ කාන්‍තා ශ්‍රම බලකාය

(wikimedia.org)

දෙවන ලෝක යුද්ධ සමයේදී පෙර නොවූ විරූ අයුරින් ඇමරිකානු ශ්‍රම බලකායට කාන්තාවන් එකතු වුණා. මීට කලින් සමස්ත ස්ත්‍රී ජනගහණයෙන් 1% ක තරම් සුළු ප්‍රතිශතයක් පමණයි කාර්මික අංශයේ රැකියාවල නිරත උනේ. රටේ පිරිමින් එකිනෙකා හමුදාවට බැඳුණු නිසා 1940-1945 කාලය තුළ කම්කරු ශ්‍රම බලකායේ විශාල හිඟයක් හටගත්තා. මෙහි ප්‍රතිඵලයක් හැටියට ඇමරිකානු ශ්‍රම බලකායේ කාන්තා නියෝජනය 27% සිට 37% දක්වා සීඝ්‍රයෙන් ඉහළ ගිය අතර 1945 වසර වන විට සෑම විවාහක කාන්තාවන් 4 දෙනෙක්ගෙන් එක් අයෙකු නිවසින් බැහැර වෘත්තියක නියැලෙන තත්ත්වයක් ඇති වුණා.

පිරිමින් මිලිටේරියට යාමෙන් ඇතිවූ ශ්‍රම හිඩසට හිලව් වීමේ අරමුණින් මිලියන 8 ක පමණ කාන්තාවන්ට ආරක්ෂක අංශයේ කර්මාන්තවල රැකියාවන් වල නිරත වෙන්න සිද්ධ වුණා. 1943 වන විට ඇමරිකා එක්සත් ජනපදයේ ගුවන් යානා කර්මාන්තයේ 310,000 පමණ කාන්තාවන් පිරිසක් නියැලී සිටියා. රටේ සමස්ත ශ්‍රම බලකායෙන් 65% ක බහුතර කාන්තා නියෝජනයක් පැවති බව විශේෂයෙන් සඳහන් කළ යුතුයි.

යුද්ධෝපකරණ නිමැවුම් කර්මාන්තයේ පවා කාන්තා නියෝජනයේ වැඩිවීමක් පෙන්නුම් කෙරුණා. එවකට පැවති ඇමරිකානු රජය “රෝසි ද රිවටර්” (රෝසි නම් මිටියම් කරන්නිය) නම් ප්‍රචාරණ සැලැස්මක් දියත් කිරීමට තීරණය කළා. මෙහි ප්‍රධාන පරමාර්ථය වුණේ කර්මාන්ත ක්ෂේත්‍රයේ රැකියාවන් කෙරෙහි කාන්තා මනාපය සහ උනන්දුව දිනා ගැනීමයි. ක්‍රම ක්‍රමයෙන් කාන්තාවන් ආර්ථිකය නගා සිටුවීම සඳහා තම ශ්‍රමයෙන් දායකත්වය සැපයූවත් පිරිමින්ට සාපේක්ෂව ඔවුන්ගේ වැටුප්වල සැළකිය යුතු විෂමතාවයක් දක්නට ලැබුණා.

දෙවන ලෝක යුද්ධ සමයේ ඇමරිකන් හමුදා සාමාජිකාවන්ගෙන් ලැබුණු දායකත්වය.

(buzzfeed.com)

එවකට ජනාධිපති ආර්‍යාව වූ එලනෝර් රූස්වෙල්ට් ගේ මැදිහත්වීමෙන්, ජෙනරල් ජෝර්ජ් මාෂල් 1942 දී ඇමරිකානු ඉතිහාසයේ ප්‍රථම වරට කාන්තා හමුදා බලකායක් හඳුන්වා දුන්නා. එහි සාමාජිකාවන් (WAC) 200 කට සංඛ්‍යාවක් අධික සිවිල් සේවා රැකියාවල නිරත වුණා. ගුවන් හමුදාවේ සාමාජිකාවන්ට පළමු වරට ඇමරිකානු මිලිටරි ගුවන් යානා නියාමක බලපත්‍රය හිමිවුණේ මේ කාලයේදීමයි.

දෙවන ලෝක යුද්ධ සමයේ කර්මාන්තශාලාවල සිට හමුදා පර්‍යන්ත දක්වා භාණ්ඩ ප්‍රවාහනය කිරීම, පිරිමි ගුවන් නියමුවන් රාජකාරියෙන් නිදහස් කොට ඔවුන්ගේ වගකීම් කරට ගැනීම, හමුදා මෙහෙයුම් වලට සක්‍රීය දායකත්වය සැපයීම වැනි වැදගත් සේවාවන් රැසක් මොවුන් අතින් ඉටු වුණා.

හොවර්ඩ් මිලර්ගේ “We Can Do It!” (අපිට එය කරන්න පුළුවන්) පෝස්ටරය නිර්මාණය වූ හැටි.

ජෙරල්ඩින් ඩොයිල් සහ රෝසි (history.com)

යුධමය වාතාවරණය තුළ කර්මාන්තවල ශ්‍රම ඌණතාවය පුරවන්න හැකි පමණ කාන්තාවන් රැකියාවට බඳවා ගැනීමේ අවශ්‍යතාවය පහළ වුණා. 1942 වසරේ මුල් භාගයේ වෙස්ටිංහවුස් සමාගම රජයේ අනුග්‍රහය සහිතව තම කාර්යාලයේ සේවිකාවන්ගේ ආත්ම විශ්වාසය දියුණු කිරීමේ සහ නවක සේවිකාවන් බඳවා ගැනීමේ අරමුණින් අලුත් වැඩ පිළිවෙලක් දියත් කළා. මේ වැඩපිළිවෙලට ජේ. හොවර්ඩ් මිලර් සම්බන්ධ වුණේ පෝස්ටරයක් නිර්මාණය කිරීමෙන්. “We Can Do it!” ලෙස අද ලොව පුරා ජනප්‍රිය වී තිබෙන චිත්‍රය මිලර්ගේ තෙළි තුඩින් නිර්මාණය වූවක්.

වෙස්ටිංහවුස් සමාගම් පෝස්ටරයෙන් නිරූපණය වන්නේ එවකට පැරණි කර්මාන්තශාලාවක වැඩකරමින් සිටි ජෙර්ල්ඩීන් හොෆ් නම් 17ත් හැවිරිදි තරුණියයි. ඇයගේ සැබෑ ඡායාරූපය 1986 Time-Life book “The Patriotic Tide: 1940-1950 පොතෙහි මුල් කවරයේ පළ වුණා.

රෙඩ් එවන්ස් සග ජෝන් ජේකබ් විසින් 1943 දී “රෝසි ද රිවර්ටර්” නම් ගීතය එළි දක්වනු ලැබුවා. අතිශයින් ජනප්‍රිය වූ මෙම ගීතයෙන් කියවෙන්නේ නාවික භටයකු වන තම පෙම්වතා නැවත නිවස කරා පැමිණෙන තෙක් පුන පුනා බලා සිටින, දහඩිය මහන්සියෙන් කර්මාන්තශාලාවේ වැඩ කටයුතුවල නිරත වන රෝසි නම් නිර්භීත තරුණියක් ගැනයි.

bq “All day long whether rain or shine, she’s part of the assembly line. She’s making history working for victory”  – ගීතයෙන් කොටසක්.

නෝමන් රොක්වෙල් දුටු රෝසි

මේරි ඩොයිල් කීෆ් සහ නෝමන් රොක්වෙල් ගේ රෝසි (freerepublic.com)

1943 අවුරැද්දේ මැයි 29 වනදා The Saturday Evening Post හි විශේෂ වෙළුමේ මුල් කවරයේ අයෝමය කාන්තාවකගේ අපූරු චිත්‍රයක් පළ වුණා. නෝමන් රොක්වෙල් මෙහි නිර්මාතෘවරයායි. මයිකල් අාන්ජලෝ ගේ ජනප්‍රිය ෆ්‍රෙස්කෝ සිත්තමක් වන “ඉසායා ශාස්තෘවරයා”ගේ රුවට බෙහෙවින් සමානකමක් දැක්වූ මෙම කාන්තාව තම කකුල හිට්ලර්ගේ චරිතාපදානය වන “Mein Kampf” කෘතිය මත තබා, සැන්විචයක් කමින් සිටිනවා. ඇය පැළඳ සිටින්නේ කර්මාන්තශාලා සේවකයන් අඳින ඕවරෝල් ඇඳුමක්. ඇයගේ උකුල මත මිටියම් කරන ආවුදය සහ රෝසි යන නම සඳහන් කෑම පෙට්ටියක් ද දක්නට ලැබෙනවා.

නෝමන් තම නිර්මාණයට පසුබිම් කර ගත්තේ 19 හැවිරිදි ටෙලිෆෝන් ක්‍රියාකරවන්නියක් වන මේරි ඩොයිල් කීෆ් නම් තරුණියයි. නෝමන්ට උවමනා වුණේ කර්මාන්තවල වැඩකරන කතුන්ගේ සැබෑ වීරත්වය අතිශයෝක්තියෙන් විදහා පෑමටයි. එ් යුදමය වාතාවරණය තුල ඇමරිකාවේ කාන්තාවන් දිරියෙන්, ශ්‍රමයෙන් කළ කැප කිරීම්වලට ගෞරවයක් වශයෙන්.

අපිටත් පුළුවන්! WE CAN DO IT TOO!

විසි එක්වන සියවසේ රෝසි ලෙස බියොන්සේ කරලියට එයි. independent.co.uk

රොක්වෙල් අතින් නිර්මාණය වුණු රෝසිගේ කවරය ප්‍රකාශන අයිතීන් නිසා වැඩිදුර ප්‍රචාරණ කටයුතු සඳහා යොදා ගැනීමට නොහැකි වුණා. මේ නිසා ලෝක යුද්ධය අවසන් වීමෙන් පසුව කාන්තා විමුක්තිය වෙනුවෙන් සිදුකළ අරගල, වැඩමුළු සහ ව්‍යාපාර වලදී සංකේතයක් හැටියට යොදාගත්තේ අද අපි කවුරුත් හඳුනන, ජේ. හොවර්ඩ් මිලර්ගේ We Can Do It! පෝස්ටරයයි.

රෝසිගේ චරිතය බිහි උනේ හුදෙක් කාන්තා විමුක්තියේ සංකේතයක් හැටියට නෙවෙයි. 1940-1945 කාල සීමාවේ යුධමය වාතාවාරණයක් තුළ ඇමරිකානු කාන්තාවගේ ආත්ම විශ්වාසය නගා සිටුවීමට දියත් කළ පෝස්ටරය අද ලොව පුරා හිංසනයට, තාඩන, පීඩනයට ලක්ව සිටින කාන්තාවන් වෙනුවෙන් පෙනී සිටිනවා. අපිටත් පුළුවන්! රතු පැහැති බැන්ඩානාවක් හැඳ සිටින රෝසී තම දෑතෙන් අපට පෙන්වන්නේ කාන්තා බවලතා තුළ ඇති එ් අයෝමය ශක්තියයි.

කවරයේ පින්තුරය: wikimedia.org

Related Articles