Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අමතක නොවන පැරණි සිංහයෝ 3- රෝයි ඩයස්

1979-1987 කාලසමය තුළ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ රෝයි ඩයස්, ඉතාමත් ඉහළ තාක්ෂණයක් තිබුණු පිතිකරුවෙකු ලෙසින් ප්‍රසිද්ධව සිටියා. එම නිසාම වරෙක මොහු එල්ල කළ ඩ්‍රයිව් පහරවල් ඉන්දීය ක්‍රීඩක සුනිල් ගවස්කාර්ගේ පවා පැසසුමට ලක් වුණා. එලෙස ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ කැපී පෙනෙන දස්කම් දැක්වූ රෝයි ඩයස් නම් සුපිරි පිතිකරුවා ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසය තුළ තැබූ වාර්තා රැසක් අදටත් ඉතිරිව තිබෙනවා. එදා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ලෝක මට්ටමට ගෙන යාම සඳහා අමිල මෙහෙයක් කළ මෙම සුපිරි තරුව පිළිබඳව වර්තමාන පරපුර එතරම් නොදන්න නිසාම, අමතක නොවන පැරණි සිංහයෝ ලිපි මාලාවේ 3 වැනි ලිපිය වෙන් වන්නේ රෝයි ඩයස් වෙනුවෙන්.

රෝයි ඩයස්ගේ ටෙස්ට් ක්‍රිකට් දිවියේ මතක සටහන් 

ටෙස්ට් තරග 20ක දී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ රෝයි ඩයස්, ඉනිම් 36ක් තුළ ලකුණු 1285ක් ලබාගෙන තිබෙනවා. එසේම සිය ටෙස්ට් ක්‍රිකට් දිවිය තුළ අර්ධ ශතක 8ක් සහ ශතක 3ක් ලබාගත් රෝයි, ලකුණු 95-100 අතර අවස්ථා 3ක දී දැවීගොස් තිබෙනවා.

මංගල ටෙස්ට් තරගයේ දී රෝයිට අමිහිරි වාර්තාවක් 

ශ්‍රී ලංකාව මංගල ටෙස්ට් තරගය සඳහා සහභාගි වුණේ 1982 වසරේ දී යි. පී සරා ඕවල් පිටියේ පැවති එම තරගයේ දී ශ්‍රී ලංකාව තරග වැදුණේ එංගලන්ත කණ්ඩායම සමග යි. එම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ අංක 3 පිතිකරු ලෙසින් පිටියට පිවිසි රෝයි, පළමු ඉනිමේ දී ලකුණු නොලබා දැවීගියා. ඒ අනුව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ මුලින්ම ලකුණු නොලබා දැවීගිය පිතිකරුවා ලෙසින් රෝයි ඩයස් ඉතිහාසගත වුණා. එලෙස පළමු ඉනිමේ දී අසාර්ථක වුණත් දෙවන ඉනිමේ දී සුපුරුදු රිද්මයට පැමිණි රෝයි, අගනා ලකුණු 77ක් ලබාගත්තේ අලංකාර හතරේ පහර 11ක් පිටිය පුරා එල්ල කරමින්.

රෝයි පිත්තෙන් දස්කම් දැක්වූ ටෙස්ට් තරග 

රෝයි ඩයස් මව්බිමේ දී ටෙස්ට් ශතකයක් ලබාගත් මුල්ම පිතිකරුවා ලෙසින් ඉතිහාසගත වුණා. එම ශතකයට අමතරව රෝයි ලබාගත් ඉතිරි ශතක 2ම ඉතාමත් විශිෂ්ට ගණයේ ශතක ලෙසින් බොහෝ දෙනෙකුගේ ඇගයීමට ලක් වුණා. 

1982 වසරේ දී පාකිස්ථානයට එරෙහිව ලබාගත් ලකුණු 98  

1982 වසරේ දී ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර පැවැත්වුණු ටෙස්ට් තරගාවලියේ දෙවන තරගය ක්‍රියාත්මක වුණේ ෆයිසලාබාද් නුවර ඉක්බාල් පිටියේ දී යි. එම තරගයේ දී මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 454ක් ලබාගත්තා. එහි දී අගනා ඉනිමක් ක්‍රීඩා කළ සිදත් වෙත්තමුණි ලකුණු 157ක් ලබාගනිමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් මංගල ටෙස්ට් ශතකය ලබාගන්නා විට, රෝයි ලකුණු 98කට දැවීගියේ අවසානාවන්ත අයුරින්. 

අසීරු අවස්ථාවක ලබාගත් මංගල ටෙස්ට් ශතකය 

1982 පාකිස්ථානු සංචාරයේ තෙවන ටෙස්ට් තරගය ලාහෝර් නුවර ගඩාෆි පිටියේ දී යි. එම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඉම්රාන් ඛාන්ගේ මනරම් වේග පන්දු යැවීම ඉදිරියේ අන්ත අසරණ වන විට, රෝයි හුදෙකලා සටනක නිරත වුණා. එහි දී අලංකාර හතරේ පහර 14ක් සහ දැවැන්ත හයේ පහරක් එල්ල කළ රෝයි, ලකුණු 109ක් ලබාගත්තේ සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කරමින්.

රෝයි ඩයස් ටෙස්ට් තරගයක පන්දුවට පහරදෙමින් (gettyimages)

ඉන්දු බිමේ දී අහිමි කරගත් ශතකය 

1982 වසරේ දී ඉන්දීය කණ්ඩායමට එරෙහිව මදුරාසියේ දී (වර්තමානයේ චෙන්නායි) පැවති ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා දෙවන ඉනිම ආරම්භ කරන විට ඔවුන් ඉන්දියානු කණ්ඩායමට වඩා ලකුණු 220ක් පිටුපසින් සිටියා. එවැනි අසීරු අඩියක සිට දෙවනි ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භය අසාර්ථක වුණේ මුල් කඩුලු 2ම ලකුණු 47ක් තුළ දැවීගිය නිසා යි. එලෙස සිය කණ්ඩායම ක්‍රමයෙන් පරාජය කරා යමින් සිටි මොහොතක ක්‍රියාත්මක වුණු රෝයි ඩයස්, වේගවත් ලකුණු 97ක් ලබාගනිමින් ශ්‍රී ලංකාව පරාජයෙන් ගලවාගැනීමට විශාල මෙහෙයක් ඉටුකළා. එහි දී රෝයිට ශතකය අහිමි වුණත්, තරගය අවසානයේ දී ජය පැරදුමෙන් තොරව අවසන් කරගැනීම සඳහා පන්නරය ලැබුණේ රෝයි අවශ්‍ය ම අවස්ථාවක දියත් කළ වේගවත් ඉනිම නිසා යි.

මව්බිමේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් මුල්ම ටෙස්ට් ශතකය ලබාගත් පිතිකරුවා ඔහු යි 

1984 වසරේ දී සිංහල ක්‍රීඩා සමාජ පිටියේ පැවති ශ්‍රී ලංකා-නවසීලන්ත ටෙස්ට් තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව ලබාගත් ලකුණු 174ට පිළිතුරු ලෙසින් නවසීලන්තය ලකුණු 198ක් ලබාගත්තා. ඉන්පසුව සිය දෙවන ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු 2ම ලකුණු 13ක් තුළ දැවීගියා. රිචඩ් හැඩ්ලි ප්‍රමුඛ නවසීලන්ත පන්දු යවන්නන් මැනවින් පන්දු යවමින් සිටි අවස්ථාවේ ක්‍රියාත්මක වුණු රෝයි, හතරේ පහර 18ක් සමගින් අගනා ලකුණු 108ක් ලබාගත්තේ සිදත් හා එක්ව ලකුණු 163ක සබඳතාවයක් ගොඩනගමින්. එහි දී රෝයි ලබාගත් ශතකය ශ්‍රී ලංකා පිතිකරුවෙකු මව්බිමේ දී ලබාගත් මුල්ම ටෙස්ට් ශතකය ලෙසින් ඉතිහාසගත වුණා.

ඉන්දියාවට එරෙහිව තවත් ටෙස්ට් ශතකයක් අහිමිකර ගනියි 

ශ්‍රී ලංකාව මංගල ටෙස්ට් ජයග්‍රහණය වාර්තා කළේ 1985 වසරේ දී යි. ඉන්දීය කණ්ඩායමට එරෙහිව පී සරා ඕවල් පිටියේ දී පැවති එම තරගයේ මුලින්ම පන්දුවට ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 385ක් ලබාගත්තා. එහි දී අගනා ඉනිමක් ක්‍රීඩා කළ අමල් සිල්වා ලකුණු 111ක් ලබාගන්නා විට, රෝයි ලකුණු 95කට දැවීගියේ තවත් ටෙස්ට් ශතකයක් අහිමි කර ගනිමින්. 

ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයෙන් බේරාගත් ශතකය 

1985 වසරේ දී ඉන්දීය කණ්ඩායමට එරෙහිව අස්ගිරියේ පැවති ටෙස්ට් තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 377ක ඉලක්කයක් හඹායාමට සිදුවුණා. එහි දී ක්‍රියාත්මක වුණු ඉන්දීය වේග පන්දු යවන්නන් ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු 3ම ලකුණු 34ක් තුළ දවාගත්තා. එලෙස ශ්‍රී ලංකා කණ්ඩායම අසීරු අඩියකට වැටී සිටි අවස්ථාවේ ක්‍රියාත්මක වුණු දුලිප් සහ රෝයි, ශතක ලබා ගනිමින් ලකුණු 216ක දැවැන්ත සබඳතාවයක් ගොඩනැගුවා. එහි දී අගනා ඉනිමක් ක්‍රීඩා කළ රෝයි, ලකුණු 106ක් ලබා ගනිමින් සිය තෙවන ටෙස්ට් ශතකය වාර්තා කළා.  

රෝයි ඩයස්ගේ එක්දින ක්‍රිකට් දිවියේ මතක සටහන් 

එක්දින තරග 58ක දී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ රෝයි ඩයස්, ඉනිම් 55ක් තුළ ලකුණු 1573ක් ලබාගෙන තිබෙනවා. එසේම සිය එක්දින ක්‍රිකට් දිවිය තුළ ශතක 2ක් සහ අර්ධ ශතක 11ක් ලබාගත් රෝයි,  එම ශතක දෙකම ලබාගත්තේ ඉන්දියාවට එරෙහිව යි.

රෝයි 1979 වසරේ දී මුල්ම එක්දින තරගයට සහභාගි වුණා 

1979 ලෝක කුසලාන තරගාවලිය යටතේ නවසීලන්තය සමග පැවති තරගයේ දී රෝයි මුල්මවරට ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම නියෝජනය කළා. එම තරගයේ දී විශේෂ දස්කමක් දැක්වීමට අසමත් වුණු රෝයි, පන්දු 46ක දී ලකුණු 25ක් ලබා ගැනීමට සමත් වුණා.

රෝයි පිත්තෙන් දස්කම් දැක්වූ එක්දින තරග

ශ්‍රී ලංකාව එක්දින ක්‍රිකට් ඉතිහාසය තුළ වාර්තා වුණු මුල්ම ශතකයේ හිමිකරුවා වන රෝයි ඩයස්, 80 දශකයේ දී ශ්‍රී ලංකාව ලබාගත් එක්දින ජයග්‍රහණය රැසකට සිය දායකත්වය ලබාදුන්නා. එසේම රෝයි තැබූ ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් වාර්තා කිහිපයක්ම අදටත් නොබිඳී පවතිනවා.

පාකිස්ථානයට එරෙහිව ලබාගත් මංගල එක්දින තරග ජයග්‍රහණයයේ නියමුවා ඔහු යි 

1982 වසරේ ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර පැවති දෙවන එක්දින තරගය පන්දුවාර 40කට සීමා වුණා. එම තරගයේ දී මුලින්ම පන්දුවට පහරදුන් පාකිස්ථානු කණ්ඩායම නියමිත පන්දුවාර 40 තුළ කඩුලු 4කට ලකුණු 239ක් ලබාගත්තේ සහීර් අබ්බාස් පන්දු 87කින් ලබාගත් ලකුණු 123 නිසා යි. ඉන්පසුව, ලකුණු 240ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 33ක් අවසානයේ දී කඩුලු 4කට ලකුණු 227ක් ලබා සිටිය දී වර්ෂාව ඇඳ වැටුණා. එලෙස වර්ෂාව ඇඳ වැටෙන අවස්ථාව වන විට ක්‍රියාත්මකව තිබුණු පන්දුවාර ප්‍රමාණය අනුව ශ්‍රී ලංකාවට ලබා ගැනීමට තිබුණේ ලකුණු 198ක් පමණයි. ඒ අනුව ශ්‍රී ලංකාව ලකුණු 30ක ජයක් ලැබූ එම තරගයේ දී සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ රෝයි, පන්දු 59ක දී වේගවත් ලකුණු 81ක් ලබාගත්තේ හතරේ පහර 12ක් එල්ල කරමින්. එදා ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන යමින් රෝයි දියත් කළ එම මනරම් ඉනිම නිසාම ඔහුට තරගයේ වීරයා සම්මානයත් හිමි වුණා. 

ඉන්දියාවට එරෙහිව පිට පිටම ශතක 2ක් 

1982 වසරේ දී පැවති ඉන්දු-ශ්‍රී ලංකා එක්දින තරගාවලිය රෝයිට සුවිශේෂී තරගාවලියක් වුණා. දිල්ලි නුවර දී පැවැත්වුණු එම තරගාවලියේ දෙවන තරගයේ දී පන්දු 114කින් අගනා ලකුණු 102ක් ලබාගත් රෝයි, එහි දී සිය මංගල එක්දින ශතකය වාර්තා කළා. එලෙස සිය මංගල එක්දින ශතකය ලබාගත් රෝයි, බැංගලෝරයේ දී පැවති තෙවන එක්දින තරගයේ දීත් මනරම් ලකුණු 121ක් වාර්තා කළේ සුපිරි දස්කම් දක්වමින්. රෝයි ඩයස් නම් සුපිරි පිතිකරුවා එලෙස එක්දින ශතක 2ක් වාර්තා කිරීමෙන් පසුව නැවතත් ශ්‍රී ලංකා පිතිකරුවෙකු එක්දින ශතකයක් වාර්තා කළේ 1990 වසරේ දී යි. එහි දී අරවින්ද ඉන්දියාවට එරෙහිව ලකුණු 104ක් ලබාගත්තා. එසේම රෝයි ලබාගත් ලකුණු 121 එක්දින තරගයක දී ශ්‍රී ලංකා පිතිකරුවෙකු ලබාගත් වැඩිම ලකුණු ප්‍රමාණය ලෙසින් 1994 වසරේ අග භාගය වන තුරුම පැවතුණා. එලෙස දිගු කලක් පැවතුණු වාර්තාව බිඳ දැමූ සනත් ජයසූරිය, 1994 වසරේ දී නවසීලන්තයට එරෙහිව ලකුණු 140ක් ලබාගත්තා.

රෝයි ඩයස් (gettyimages)

නවසීලන්තයට එරෙහිව ලබාගත් මංගල එක්දින තරග ජයග්‍රහණයයේ නියමුවා ඔහු යි 

1983 එක්දින ලෝක කුසලාන තරගාවලිය යටතේ ඩර්බිහි දී පැවති ශ්‍රී ලංකා-නවසීලන්ත තරගයේ දී ලකුණු 182ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 129ක් ලබා සිටියා. නමුත්, එම අවස්ථාවේ දී ක්‍රියාත්මක වුණු නවසීලන්ත පන්දු යවන්නන් ලකුණු 32කට කඩුලු 5ක් ලබාගත්තේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව 161/7 බවට පත් කරමින්. එලෙස ශ්‍රී ලංකා කණ්ඩායම අවදානම් අඩියකට වැටී සිටි අවස්ථාවේ ක්‍රියාත්මක වුණු රෝයි, නොදැවී ලකුණු 64ක් ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහණය වෙත රැගෙන ගියා. 

1984/85 ඕස්ට්‍රේලියානු වාර්ෂික තුන්කොන් තරගාවලියේ දී සුපිරි දස්කම් 

ඕස්ට්‍රේලියාව, බටහිර ඉන්දීය කොදෙව් සහ ශ්‍රී ලංකාව යන කණ්ඩායම්වල සහභාගිත්වය ඇතිව පැවැත්වුණු 1984/1985 ඕස්ට්‍රේලියානු වාර්ෂික තුන්කොන් තරගාවලියේ දී රෝයි ඩයස් ලකුණු 373ක් ලබාගත්තා. එහි දී ඔහු කොදෙව් කණ්ඩායමට එරෙහිව වටිනා අර්ධ ශතක 3ක් වාර්තා කරන විට, ඕස්ට්‍රේලියාවට එරෙහිවත් අර්ධ ශතකයක් වාර්තා කළේ මෙසේ යි.

1) 60 (60)- ඕස්ට්‍රේලියාවට එරෙහිව සිඩ්නි පිටියේ දී 

2) 80 (109)- බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව බ්‍රිස්බේන් පිටියේ දී 

3) 65 (102)*- බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව සිඩ්නි පිටියේ දී 

4) 66 (107)- බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව ඇඩිලේඩ් පිටියේ දී 

එසේම එම තරගාවලියේ දී ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියානු බිමේ දී ලබාගත් මුල්ම එක්දින තරග ජයග්‍රහණය වාර්තා කළා. එහි දී තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වූ රෝයි, ලකුණු 48ක් ලබා ගනිමින් ලකුණු 25කට කඩුලු 3ක් ලබාගත්තා.

රෝයි 1985 වසරේ දී (gettyimages)

ඉන්දියාවට එරෙහිව දියත් කළ වේගවත් ඉනිම 

1985 ඉන්දු-ශ්‍රී ලංකා එක්දින තරගාවලියේ පළමු තරගය සිංහල ක්‍රීඩා සමාජ පිටියේ දී පැවැත්වුණා. පන්දුවාර 45කට සීමා වුණු එම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 241ක් ලබාගත්තා. එහි දී වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ රෝයි, පන්දු 67කින් ලකුණු 80ක් ලබාගත්තේ හතරේ පහර 8ක් සහ හයේ පහරක් එල්ල කරමින්.

ශ්‍රී ලංකා වාර්තාවක් සමගින් අවසන් වුණු රෝයිගේ එක්දින දිවිය 

1987 ලෝක කුසලාන තරගාවලිය යටතේ පූනේහි දී එංගලන්තයට එරෙහිව පැවති තරගය රෝයිගේ එක්දින දිවියේ අවසන් තරගය වුණා. එම තරගයේ දී මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 218ක් ලබාගන්නා විට ඉන් ලකුණු 80ක්ම ලබාගත්තේ රෝයි ඩයස් නම් සුපිරි පිතිකරුවා යි. එලෙස මනරම් ඉනිමක් දියත් කරමින් සිය එක්දින දිවිය අවසන් කළ රෝයි, ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින දිවියේ අවසන් ඉනිමේ දී වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවා ලෙස වාර්තා අතර රැඳී සිටිනවා.

රෝයි ඩයස්ගේ ක්‍රිකට් දිවියේ විශේෂ කරුණු 

1) ශ්‍රී ලංකාව වෙනුවෙන් මුල්ම එක්දින ශතකය වාර්තා කළේ රෝයි ඩයස් නම් පිතිකරුවා යි.

2) පිට පිටම පැවති එක්දින තරග 2ක දී ශතක ලබාගත් මුල්ම ශ්‍රී ලංකා පිතිකරුවා මොහු යි.

3) මව්බිමේ දී මුල්ම ටෙස්ට් ශතකය ලබාගත්තේ ද මෙම පිතිකරුවා යි.

4) ශ්‍රී ලංකාව වෙනුවෙන් අඩුම ඉනිම් ගණනක දී ටෙස්ට් ලකුණු 1000 වාර්තා කළේත් මොහු යි. (එම වාර්තාව පසුකලෙක මයිකල් වැන්ඩෝට් සහ ධනංජය ද සිල්වා සම කළා.)

5) රෝයි ඩයස් අඩුම ඉනිම් ගණනක දී ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ලකුණු 1000 ලබාගත් පිතිකරුවා වීමට සමත් වුණා.

6) ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින දිවියේ අවසන් ඉනිමේ දී වැඩිම ලකුණු ප්‍රමාණයක් ලබාගත්තේ ද රෝයි ඩයස් නම් පිතිකරුවා යි.

7) ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් ඉතිහාසයේ Hit Wicket වීමෙන් දැවීගිය මුල්ම පිතිකරුවා ලෙසත් මොහු වාර්තා අතරට එක් වුණා.

8) ඉහත වාර්තාවලට අමතරව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ලකුණු නොලබා දැවීගිය මුල්ම පිතිකරුවා ලෙසින් අමිහිරි වාර්තාවක් ද රෝයිගේ නම ඉදිරියේ ලියැ වී තිබෙනවා.

කවරයේ ඡායාරූපය- රෝයි ඩයස් (gettyimages)

Related Articles