Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සාම්ප්‍රදායට බර නොවූ නූතන රාජකීය කතුන්

සාම්ප්‍රදායට බර නොවූ රාජකීය කාන්තාවන් කියූ සැනින් අපේ සිහියට නැගෙන්නේ එංගලන්තයේ ඩයනා කුමරිය හෝ කේට් කුමරියයි. නමුත් මේ ලිපියෙන් අපි කතාකරන්න බලාපොරොත්තු වෙන්නේ ඔවුන් ගැන නම් නෙමෙයි. ලාංකික අපි අතර එතරම් ප්‍රසිද්ධ නැති එහෙත් ලෝවැසියන්ගේ යහපත වෙනුවෙන් කටයුතු කරන විවිධ රටවල රැජිනියන් සහ කුමරියන් ගැනයි  කතාකරන්න යන්නේ.

ස්පාඤ්ඤයේ ලෙටීෂියා රැජින

ලෙටීෂියා රැජින සහ හය වැනි ෆිලිපේ රජතුමා. (gettyimages.com)

ලෙටීෂියා රැජින සහ හය වැනි ෆිලිපේ රජතුමා. (gettyimages.com)

ස්පාඤ්ඤ සිහසුන දරණ හයවැනි ෆිලිපේ රජතුමාගේ බිසව වන ලෙටීෂියා රැජින, 1972 වසරේදී ලෙටීෂියා ඕටිස් රොකසලානෝ නමින් උපත ලබන්නේ මධ්‍යම පාන්තික පවුලක වැඩිමල් දියණිය ලෙසයි. මැඩ්රිඩ් හි කම්ප්ලීටෙන්ස් විශ්ව විද්‍යාලයෙන් පුවත්පත් කලාව පිළිබඳ මූලික උපාධියක් ලබා ඇති ඇය විවාහයට පෙර පුවත්පත් කලාවේදිනියක් ලෙස මෙන්ම රූපවාහිනි වැඩසටහන් නිවේදිකාවක් ලෙසද කටයුතු කර තිබෙනවා.

ඇය 2004 වසරේදී එවකට කිරුළ හිමි කුමරු වූ අස්ටූරියස්හි කුමරු හෙවත් ෆිලිපේ කුමරු සමග විවාහ වූයේ මැඩ්රිඩ්හි අල්මුදීනා ආසන දෙව් මැදුරේදීයි. ඕලේයන්ස් හි මර්සේඩීස් රැජිනගෙන් පසුව ස්පාඤ්ඤ දේශ සීමාව තුළ උපත ලද ප්‍රථම රැජින ලෙස සැලකෙන ලෙටීෂියා රැජින, සාමාන්‍ය පවුලකින් බිහි වූ ස්පාඤ්ඤයේ ප්‍රථම රැජින ලෙසද සැලකෙනවා. විවාහයෙන් පසු ස්පාඤ්ඤ රජ පවුල වෙනුවෙන් ජාත්‍යන්තර සබඳතා බොහෝමයක් මෙහෙය වූ ඇය මේ වන විට එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ පෝෂණය පිළිබඳ විශේෂ තානාපතිවරියක් ලෙස කටයුතු කරනවා.

නෙදර්ලන්තයේ මැක්සිමා රැජින

මැක්සිමා රැජින සහ විලෙම්-ඇලෙක්සැන්ඩර් රජතුමා. (vibesngistsblog.com)

මැක්සිමා රැජින සහ විලෙම්-ඇලෙක්සැන්ඩර් රජතුමා. (vibesngistsblog.com)

1971 වසරේදී මැක්සිමා සොරෙගියේටා චෙරූටි නමින් උපත ලද නෙදර්ලන්තයේ මැක්සිමා රැජින, කලක් ආර්ජන්ටිනාවේ කෘෂිකාර්මික ඇමති ලෙස කටයුතු කළ ජෝජ් සොරෙගියේටාගේ දියණියක්. විවාහයට පෙර ගණිත ගුරුවරියක් ලෙස කටයුතු කළ ඇය ආර්ජන්ටිනාවේ පොන්ටිෆිකල් කතෝලික විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා උපාධිධාරිණියක්.

ඇය 2002 වසරේ දී නෙදර්ලන්තයේ විලෙම්-ඇලෙක්සැන්ඩර් රජු සමග විවාහ වන්නේ ඈම්ස්ටර්ඩෑම් හි බියූස් වෑන් බර්ලෙජ් මැදුරේදීයි. විවාහයෙන් පසු නෙදර්ලන්තය වෙනුවෙන් රාජ්‍ය තාන්ත්‍රික කටයුතු රැසකට සහභාගී වූ ඇය නෙදර්ලන්තයට සංක්‍රමණය වන විදෙස් ජාතිකයන්ට ලන්දේසි සංස්කෘතියට හැඩ ගැසීම පහසු කිරීම සඳහා විශේෂ වැඩසටහන් කිහිපයක්ම ක්‍රියාත්මක කරනවා. ඊට අමතරව සමලිංගික අයිතිවාසිකම් වෙනුවෙන් සටන් වදින ප්‍රථම රාජකීය කාන්තාව ලෙසද ඇය ලෝක ප්‍රසිද්ධයි. නෙදර්ලන්තයේ ආර්ථික කටයුතු මෙහෙය වීමේ දී මූලිකත්වය ගෙන කටයුතු කරන මැක්සිමා රැජින දැනට එක්සත් ජාතීන්ගේ මහ ලේකම්ගේ සංවර්ධන කටයුතු සඳහා වූ මූල්‍ය උපදේශක ලෙස කටයුතු කරනවා.

ජෝර්දානයේ රානියා රැජින

රානියා රැජින සහ අබ්දුල්ලා බින් අල්-හුසේන් රජතුමා. (flickr.com)

රානියා රැජින සහ අබ්දුල්ලා බින් අල්-හුසේන් රජතුමා. (flickr.com)

රානියා අල්-යාසින් ලෙස 1970 වසරේදී කුවේට් හිදී උපත ලද ජෝර්දානයේ රානියා රැජින, විවාහයෙන් පසුව හැඳින්වෙන්නේ රානියා අල්-අබ්දුල්ලා යන නාමයෙන්. කයිරෝහි ඇමෙරිකානු විශ්ව විද්‍යාලයෙන් ව්‍යපාර පරිපාලනය පිළිබඳ උපාධිය හැදෑරූ ඇය කලක් ඇපල් සමාගම වෙනුවෙන්ද සේවය කර තිබෙනවා.

1993 වසරේ දී ජෝර්දානයේ අබ්දුල්ලා බින් අල්-හුසේන් රජු සමග විවාහ වූ ඇය මුස්ලිම් ප්‍රජාව තුළ කැපී පෙනෙන රැජිනක් ලෙස යි සැලකෙන්නේ. ඒ ඇය විසින් ජෝර්දානයේ පමණක් නොව සමස්ත මුස්ලිම් ප්‍රජාවගේ ම යහපත සඳහා අධ්‍යාපනය, සෞඛ්‍ය සහ මූල්‍ය යන අංශ මගින් සිදුකර ඇති දායකත්වය නිසාවෙන්. ඒ වගේම ඇය දැනට ලේඛිකාවක් ලෙස ද කටයුතු කරනවා. අන්තර්ජාතික සංවිධාන රැසක සාමාජිකත්වය දරන රානියා රැජින, සමාජ ජාලා වෙබ් අඩවි බොහෝමයක්ද ඇගේ මානවවාදී වැඩසටහන් ජනතාව ප්‍රචලිත කිරීම සඳහා යොදාගෙන තිබෙනවා.

මොනකෝ හි චාර්ලීන් කුමරිය

චාර්ලීන් කුමරිය සහ දෙවැනි ඇල්බට් කුමරු. (gettyimages.com)

චාර්ලීන් කුමරිය සහ දෙවැනි ඇල්බට් කුමරු. (gettyimages.com)

එවකට රොඩීෂියාව නමින් හැඳින් වූ වත්මන් සිම්බාබ්වේ දී මධ්‍යම පාන්තික පවුලක එක ම දියණිය ලෙසින් චාර්ලීන් ලෙනට් විට්ස්ටොක් උපත ලබන්නේ 1978 වසරේ දී යි. විවාහයට පෙර වෘත්තීය පිහිනුම් ක්‍රීඩිකාවක් ලෙස කටයුතු කරමින් ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ රැසක් අත්පත් කර ගත් ඇය 2000 වසරේ වසන්ත ඔලිම්පික් තරඟාවලියේ දකුණු අප්‍රිකාව නියෝජනය කර තිබෙනවා.

2011 වසරේ දී මොනකෝ හි දෙවැනි ඇල්බට් කුමරු සමග විවාහ වූ ඇය දෙදරු මවක්. එම වසරේදීම ඇයව මානසික ව්‍යාකූලතාවන්ගෙන් පෙළෙන පුද්ගලයන් සඳහා වන විශේෂ ඔලිම්පික් සංසදයේ ගෝලීය තානාපතිවරිය ලෙස පත් කරනු ලැබුවා. ඒ පිළිබඳ ව අදහස් දක්වමින් චාර්ලීන් කුමරිය කියා සිටියේ “ක්‍රීඩාව තුළ ඇති බලය මිනිසුන්ගේ ජීවිත වෙනස් කිරීමට යොදා ගැනීම” ඇයට සතුටක් බවයි.

ඩෙන්මාර්කයේ කිරුළ හිමි කුමරිය, මේරි

මේරි කුමරිය සහ ෆෙඩරික් කුමරු. (royalwatcher.tumblr.com)

මේරි කුමරිය සහ ෆෙඩරික් කුමරු. (royalwatcher.tumblr.com)

මේරි එළිසබෙත් ඩොනල්ඩ්සන් නමින් 1972 වසරේදී ස්කොට්ලන්ත ජාතික ගණිත මහාචාර්යවරයෙකු වූ ආචාර්ය ජෝන් ඩී. ඩොනල්ඩ්සන්ගේ බාලම දියණිය ලෙස ඩෙන්මාර්කයේ කිරුළ හිමි කුමරිය උපත ලබන්නේ ඕස්ට්‍රේලියාවේදීයි. දක්ෂ පියානෝ, බටනළා සහ ක්ලැරිනට් වාදිකාවක් මෙන්ම හොකී සහ පැස්පන්දු ක්‍රීඩිකාවක් වන ඇය ටස්මේනියා විශ්ව විද්‍යාලයේ වාණිජ විද්‍යාව සහ නීතිය පිළිබඳ ද්විත්ව උපාධිධාරිණියක්.

2004 වසරේ දී කෝපන්හේගන්හි ආසන දෙව් මැදුරේදී ඩෙන්මාර්කයේ කිරුළ හිමි ෆෙඩරික් කුමරු සමග විවාහ වූ ඇය සිව් දරු මවක්. උපතින් ඕස්ට්‍රේලියානු ජාතකයෙකු වුවත් ඇය 2007 වසරේදී ඇගේ විවාහය සඳහා ලැබුණු ත්‍යාග මුදල් යොදවමින් දරිද්‍රතාවයෙන් පෙළෙන ඩෙන්මාර්ක් ජාතිකයන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමේ අරමුණෙන් මේරි අරමුදල පිහිටවනු ලැබුවා. ඊට අමතරව ඇය එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ අනුග්‍රාහිකාව ලෙසද කටයුතු කරනවා.

මොරෝකෝ හි ලාල සල්මා කුමරිය

ලාල සල්මා කුමරිය සහ හය වැනි මොහොමඩ් රජතුමා. (hellomagazine.com)

ලාල සල්මා කුමරිය සහ හය වැනි මොහොමඩ් රජතුමා. (hellomagazine.com)

මොරෝකෝහි හයවැනි මොහොමඩ් රජුගේ බිසව වන ලාල සල්මා කුමරිය, 1978 වසරේදී සල්මා බෙනානි නමින් උපත ලබන්නේ ඉහළ මධ්‍යම පාන්තික පවුලක දියණියක් ලෙසයි. මොරෝකෝහි ඉහළම පෞද්ගලික පාසලක අධ්‍යාපනය හැදෑරූ ඇය විවාහයට පෙර තොරතුරු සේවා ඉංජිනේරුවරියක් ලෙස කටයුතු කළ අයෙක්.

මොරෝකෝ හි පිළිකා නිවාරණ සංසදය ආරම්භ කිරීමේදී මූලිකත්වය ගෙන කටයුතු කළ ඇය අප්‍රිකානු මහද්වීපය තුළ ඒඩ්ස් තුරන් කිරීමේ වැඩසටහන් පවත්වාගෙන යාම සඳහාද දායකත්වය ලබාදෙනවා. එසේම මොරෝකෝව තුළ ක්‍රියාත්මක වන පොදු සෞඛ්‍ය වැඩසටහන් සඳහා අරමුදල් සොයා ගැනීමේ කටයුතු සඳහාත් ඇය ලබා දෙන දායකත්වය විශාලයි.

ලක්සම්බර්ග් හි ටෙසී කුමරිය

ටෙසී කුමරිය සහ ලුවිස් කුමරු. (zimbio.com)

ටෙසී කුමරිය සහ ලුවිස් කුමරු. (zimbio.com)

ටෙසී ඇන්ටනි නමින් 1985 වසරේදී උපත ලද ලක්සම්බර්ග්හි ටෙසී කුමරිය, දහ අට වැනි වියේ සිටම ලක්සම්බර්ග් හමුදාවේ ක්‍රියාකාරී සාමාජිකාවක් ලෙස කටයුතු කරනවා. ඇය ලන්ඩන් විශ්ව විද්‍යාලයීය රිච්මන්ඩ් විදුහලේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ උපාධිධාරිණියක්.

2006 වසරේදී ලක්සම්බර්ග්හි ලුවිස් කුමරු සමග විවාහ වූ ඇය දැනට ඒඩ්ස් තුරන් කිරීමේ එක්සත් ජාතීන්ගේ වැඩසටහනේ උපදේශකවරියක් ලෙස කටයුතු කරනවා සේ ම ‘මනෝවිද්‍යාව සහ සාමාජීය සංවර්ධනය’ පිළිබඳ ඉහළ පෙළේ දේශකවරියක්ද වෙනවා.

නෝර්වේ හි කිරුළ හිමි කුමරිය, මෙට-මැරිට්

මෙට-මැරිට් කුමරිය සහ හාකන් කුමරු. (kongehuset.no)

මෙට-මැරිට් කුමරිය සහ හාකන් කුමරු. (kongehuset.no)

පුවත්පත් කලාවේදියෙකුගේ දියණිය ලෙස මෙට-මැරිට් ජියසෙම් හොයබි උපත ලබන්නේ 1973 වසරේදීයි. පාසල් සමයේදී දීප්තිමත් වොලිබෝල් ක්‍රීඩිකාවක් වූ ඇය විශ්ව විද්‍යාල කිහිපයකින් උපාධිය හැදැරූ විධායක කළමනාකරණය පිළිබඳ ආචාර්ය උපාධිධාරිණියක්.

2001 වසරේ දී නෝර්වේහි කිරුළ හිමි හාකන් කුමරු සමග විවාහ වූ ඇය, ඔවුන්ගේ විවාහය සඳහා ලද ත්‍යාග මුදල් යොදවමින් නෝර්වේ සහ ලෝකයේ අනෙකුත් රටවල් මගින් ක්‍රියාත්මක කරන මානවවාදී කටයුතු සඳහා අනුග්‍රහය දැක්වීමට අරමුදලක් පිහිටු වීමට කටයුතු කළා. මේ මගින් ප්‍රධාන වශයෙන් කුඩා දරුවන්ගේ සහ තරුණ ප්‍රජාවගේ අධ්‍යාපනය සහ සෞඛ්‍ය සඳහා අනුග්‍රහය දැක්වීම සිදුවෙනවා. එසේම ඇය නෝර්වේ මූලික කරගනිමින් ක්‍රියාත්මක වෙන බොහෝ ශුභසාධක සංගම්වල මුලසුන දරනවා.

කවරයේ පින්තූරය : feministing.com

Related Articles