Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

හොලිවුඩයේ ‘සුපිරි ආදරවන්තයා’ – රුඩොල්ෆ් වැලන්ටීනෝ

වසර සියයකටත් වඩා පැරණි ඉතිහාසයක් ඇති හොලිවුඩ් සිනමාවේ පළමු කතානාද චිත්‍රපටය තිරගත වන්නේ 1927 වසරේ දී යි. කෙසේ නමුත් ඊට පෙර පැවති නිහඬ සිනමාවත් ප්‍රේක්ෂකයින් ඇද බැඳ තබාගත් අතර, ඒවායේ රඟපෑ රංගන ශිල්පීන් ශිල්පිණියන් කිහිපදෙනෙකුත් අතිශය ජන ප්‍රසාදයට ලක් වුණා. ‘හොලිවුඩයේ සුපිරි ආදරවන්තයා’ ලෙස පරසිදු වූ රුඩොල්ෆ් වැලන්ටීනෝ ඉන් ඉදිරියෙන්ම සිටින අයෙක්.

මුල් කාලය

රුඩොල්ෆ් වැලන්ටීනෝ උපත ලැබුවේ 1895 වසරේ මැයි මස 6 වන දා ඉතාලියේ කැස්ටෙල්නෙටා හී දී යි. ඔහු හට කුඩා කාලයේ පටන් රංගන ශිල්පියෙකු වීමේ විශාල සිහිනයක් තිබුණා. එමෙන්ම ඔහු හට නළුවෙකුට ඔබින් කඩවසම් රූපයක් ද පිහිටා තිබුණා. නර්තනයට ද ඔහු දස්කම් පෑවා. කෙසේ නමුත් කුඩා කලම පියා මියයාමත්, පාසලේ වැඩ කටයුතුවලට දැක්වූ අදක්ෂතාවත් නිසා ඔහුගේ දිවියේ මුල් කාලයේ දැඩි දුෂ්කරතා විඳින්නට ඔහුට සිදුවුණා. නව යොවුන් වියෙහි තරුණයෙකු වශයෙන් විරැකියාවෙන් ද පීඩා විඳි ඔහු අවසානයේ රැකියාවක් බලාපොරොත්තුවෙන් 1913 වසරේ දී ඇමෙරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වෙනවා. එකල, ඇමෙරිකා එක්සත් ජනපදය තමන් ලොව වඩාත් ජනප්‍රිය හොලිවුඩ් තාරකාව බවට පත් කරනු ඇතැ යි ඔහු සිහිනයකින් වත් සිතුවේ නැහැ.

රුඩොල්ෆ් වැලන්ටීනෝ තුරුණු කාලයේ දී- biography.com

නිව්යෝක්හි දී වැලන්ටීනෝ හට කුඩා රැකියාවන් කිහිපයක්ම ලැබුණා. කෙසේ නමුත් ඒ කිසිවකින් ඔහු තෘප්තියට පත් වූයේ නැහැ. අවසානයේ ඔහු හට රාත්‍රී සමාජශාලාවක නර්තන ශිල්පියෙකු වශයෙන් රැකියාවක් ලැබෙනවා. පසුකාලීනව රංගන ශිල්පියෙකු වශයෙන් ඉදිරියට ආ ක්ලිෆ්ටන් වෙබ් වෙනුවට ඔහු මෙම රැකියාවට තෝරාගෙන තිබුණා. මේ තෝරාගැනීම සඳහා ඔහුගේ කඩවසම් පෙනුමත් නිසඟ නර්තන හැකියාවත් ඉවහල් වුණා.

මෙම රැකියාව රුඩොල්ෆ් වැලන්ටීනෝ නව මානයක් කරා රැගෙන යන්නට සමත් වුණා. ඔහුගේ ආත්ම විශ්වාසය වැඩි වූ අතර, මුදල් අතින් ද තරමක් යහපත් මට්ටමකට පැමිණියා.  මෙහිදී දැක්වූ දක්ෂතා හේතුවෙන් ඔහු හට ඇමෙරිකාව පුරා සංචාරය කෙරෙන නෘත්‍ය කණ්ඩායමකට ආරාධනා ලැබුණා. ඔහු ඊට සම්බන්ධ වුණා. කෙසේ නමුත් යූටාවේ දී නොසිතූ අන්දමින් මෙම කණ්ඩායම විසිරී යනවා. මෙහිදී නැවතත් වැලන්ටීනෝ අසරණ වන අතර, අවසානයේ සිය නර්තන හැකියාවේ පිහිටෙන් සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර රැකියාවක් සොයාගන්නට ඔහු සමත් වෙනවා. රුඩොල්ෆ් වැලන්ටීනෝ හොලිවුඩ් අධ්‍යක්ෂකවරුන් ගේ ඇස ගැටෙන්නේ මෙහිදී යි.

හොලිවුඩ් තරුවක් ලෙස

හොලිවුඩයේ දී වැලන්ටීනෝ හට මුලින්ම හිමිවූයේ සුළු චරිත යි. එමෙන්ම ඔහු හට දුෂ්ටයාගේ සහායකයා වැනි චරිත නිතර ලැබුණා. මේවායින් ඔහුට කිසිදු ජනතා ප්‍රසාදයක් ලැබුණේ නැහැ. 1919 වසරේ දී ඔහු ජීන් ඇකර් නම් රංගන ශිල්පිණිය හා විවාහ වෙනවා. කෙසේ නමුත් මේ විවාහය සාර්ථක නොවූයේ ජීන් වැඩිමනක්ම කාන්තාවන් කෙරෙහි ආකර්ෂණය වූ තැනැත්තියක් වූ නිසා යි.

1920 දශකය ආරම්භයේ දීම වැලන්ටීනෝගේ වාසනාව පෑදුණා. ඔහු ජූන් මැතිස් නම් තිර පිටපත් රචකයෙකුගේ අවධානයට ලක් වෙනවා. ඒ වන විට නිෂ්පාදනය කරන්නට සැලසුම් කර තිබූ ද ෆෝ හෝස්මෙන් ඔෆ් ද ඇපොකැලිප්ස් (1921) චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට වඩාත් ගැලපෙන්නේ වැලන්ටීනෝ බැව් ඔහු තීරණය කරනවා. කෙසේ නමුත් මේ සඳහා එහි නිෂ්පාදකවරුන් කැමති කරවාගන්නට මහත් වෙහෙසක් දරන්නට ඔහුට සිදුවුණා. අවසානයේ වැලන්ටීනෝ චිත්‍රපටය සඳහා තෝරාගැනෙන අතර, එහි පළමු දර්ශනයේ එන ටැංගෝ නර්තයෙන් ප්‍රේක්ෂක සිත් සතන් සොරාගන්නට ඔහු සමත් වුණා. එක් රැයින් වැලන්ටීනෝ තරුවක් බවට පත් වුණා.

ෆෝ හෝස්මෙන් ඔෆ් ද ඇපොකැලිප්ස් (1921)  චිත්‍රපටයේ පෝස්ටරයක්- imdb.com

ඉක්මණින්ම හොලිවුඩය පුරා රුඩොල්ෆ් වැලන්ටීනෝ උන්මාදයක් පැතිර ගියා. කොටින්ම ඔහුගේ දෙවන සිනමා පටය වන ද ෂෙයික් (1921) හි ඔහු දුටු කාන්තාවන් කිහිප දෙනෙක් සිහි සුන්ව ඇද වැටුණු බවට සඳහන්. ඉන් අනතුරුව ඔහු වෙත් සිනමා නිර්මාන ගලා එන්නට පටන්ගත් අතර 1922 වසරේ තිරගත වූ බ්ලඩ් ඇන්ඩ් සෑන්ඩ් සිනමා පටයෙන් ඔහුගේ ජනප්‍රියත්වය තවත් ඉහළ ගියා.

1921 වසර වෙද්දී ඇකර්ගෙන් දික්කසාදව සිටි වැලන්ටිනෝ 1922 වසරේ දී නතාෂා රැම්බෝවා නම් තැනැත්තිය හා විවාහ වෙනවා. කෙසේ නමුත් මේ වන විටත් ඔහු කලින් විවාහයෙන් වෙන් වීමේ නීත්‍යානුකූල ක්‍රියා පිළිවෙත් නිසියාකාරව සම්පූර්ණ කර නොතිබූ අතර, දඩයක් ගෙවන්නට ද සිදුවුණා. මේ නිසා වැලන්ටීනෝගේ ජනප්‍රියත්වය තවත් ඉහළ ගියා. ඔහු ආසන්නවම ‘ඩේ ඩ්‍රීම්ස්’ නම් කාව්‍ය සංග්‍රහයකුත් එලිදක්වනවා.

නතාෂා රැම්බෝවා සමග වූ විවාහයත් වැලන්ටීනෝ හට එතරම් යහපත් වූයේ නැහැ. ඇය ඉතා දැඩි ලෙස සිය සැමියා පාලනය කරන්නට වුණා. විශේෂයෙන් ඇය චරිත තෝරාගැනීමේ දී ඔහු හට දැඩි බලපෑම් එල්ල කළ අතර, ඔහු හට අවසර දුන්නේ ඔහුගේ පෞරුෂය එතරම් නොපෙනෙන ‘ස්ත්‍රීත්වය’ යම් තරමකින් පෙනෙන චරිත රඟපෑමට පමණ යි. මෙය වැලන්ටීනෝගේ සිනමා දිවියට බලවත් පහරක් වූ අතර, ප්‍රේක්ෂකයින් හා විචාරකයින් ද ඔහු විවේචනය කරන්නට පටන්ගත්තා. අවසානයේ තීරණයක් ගත් ඔහු ඉක්මණින්ම එම විවාහයට ද ආයුබෝවන් කියනවා.

දෙවන විවාහයෙන් වෙන් වූ වැලන්ටීනෝ නැවතත් රිසි පරිදි රංගනයේ නිරත වෙනවා. ඔහු රුසියානු හමුදා සෙබලෙකු ලෙස චරිත නිරූපණය කළ ද ඊගල් (1925) චිත්‍රපටය නැවතත් ඔහුට ඉසුරු ගෙනෙනවා. 1926 වසරේදී ඔහු සිය අවසන් සිනමා නිර්මාණයේ පෙනී සිටිනවා. ඒ ද සන් ඔෆ් ෂෙයික් නම් චිත්‍රපටයේ යි.

අකල් මරණයක්

නැවත ජනප්‍රියත්වයට පත් වුව ද රුඩොල්ෆ් වැලන්ටීනෝ හට විචාරකයින් ගෙන් එතරම් යහපත් ප්‍රතිචාර ලැබුණේ නැහැ. විශේෂයෙන් ඔහුගේ ස්වරූපය, පෞද්ගලික දිවිය හා රංගනයේ දුර්වලතා හුවා දක්වමින් ඔවුන් ඔහු හට පහර එල්ල කළා. මේ සඳහා ඔහු ඉතාලි ජාතික සංක්‍රමණිකයෙකු වීමත් එක් හේතුවක් වුණා. සමහරෙක් ඔහුගේ පෙනුම ඇමෙරිකානු සාමාන්‍ය චරිත ලබා දෙන්නට නොහැකි තරම් ‘විදේශීය’ එකක් බව පවසමින් ඔහුට චරිත ලබා දීම ප්‍රතික්ෂේප කළා. ඔහු විටෙක පුවත්පත්වල රචකයින් හා පැටළුණු අතර, මේ නිසා අපකීර්තියට ද පත් වුණා.

ද සන් ඔෆ් ද ෂෙයික් චිත්‍රපටයේ ප්‍රවර්ධන වැඩසටහනක් සඳහා වූ සවාරියක් අතර මඟ දී වැලන්ටීනෝ ඉතා බරපතල ලෙස රෝගාතුර වෙනවා. ඔහු වහාම නිව්යෝක් රෝහලට ඇතුලත් කෙරෙන අතර, 1926 වසරේ අගෝස්තු මස 15 වැනිදා ශල්‍යකර්මයකට ද භාජනය වෙනවා. ඒ උණ්ඩුක පුච්ජ ප්‍රාදාහ තත්ත්වයක් හා අතුණුබහන්වල තුවාල හේතුවෙන්. කෙසේ නමුත් එය අසාර්ථක වන අතර වැලන්ටීනෝගේ සෞඛ්‍ය තත්ත්වය එන්න එන්නම අයහපත් අතට හැරුණා. මෙය ආරංචි වූ ඔහුගේ රසික රසිකාවියන් ඔහු ඇතුලත් කර තිබූ රෝහල වටා එක් වුණා. අවසානයේ රෝහල් ගතකර සතියකින් හෙවත් 1926 වසරේ අගෝස්තු මස 23 වන දා ඔහු සදහටම දෙනෙත් පියාගත්තා. ඒ වන විට ඔහු 31 වියැති වුණා.

රුඩොල්ෆ් වැලන්ටිනෝගේ අවමගුල- the13thfloor.tv

වැලන්ටීනෝගේ හදිසි මරණය ඔහුගේ රසිකයින්ට මහත් ප්‍රහේලිකාවක් හා දුකක් වුණා. අයෙක් පැවසුවේ ‘සුපිරි ආදරවන්තයා’ ලෙස අන්වර්ථ නාමයක් ලැබූ ඔහු ඊර්ෂ්‍යාකාර සැමියෙකු විසින් සිදුකළ විෂ දීමක් හේතුවෙන් මිය ගිය බව යි. 

රුඩොල්ෆ් වැලන්ටීනෝ අතිදක්ෂ රංගන ශිල්පියෙකු වූයේ නැහැ. කෙසේ නමුත් ඔහුගේ ආකර්ෂණීය පෙනුම හා නර්තන හැකියාව නිසා ඔහු අතිශය ජනාදරයට පත් වුණා. ඔහුගේ අකල් මරණය එම ජනප්‍රියත්වය දෙතුන් ගුණයකින් වැඩි කරන්නට සමත් වූ බැව් විචාරකයින් පවසනවා.

කවරයේ පින්තූරය- Hulton Archive/Getty Images

Related Articles