චතුර කථිකත්වය නිසාම ආසියාවේ රිදී සීනුව ලෙස ප්‍රසිද්ධ වුණු ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතා ලංකාවේ සිව්වන අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත්වුණේ විශාල පෙරළියකින් පසුව යි. සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු පංච මහා බලවේගයන් එක් කරමින් පොදුජන යුගයක් නිර්මාණය කිරීමට යෝජනා කළ සොලමන් බණ්ඩාරනායක සාහසිකයෙකුගේ වෙඩි පහරකින් මරණයට පත්වුණා. ඔහු මරණයට පත්වී සැප්තැම්බර් 26 වැනිදාට වසර 60ක් සම්පූර්ණ වන නිසා බණ්ඩාරනායකගේ දේශපාලන දිවිය පිළිබඳව ලිපියක් මෙලෙසින් ඉදිරිපත් කරනවා .

විදෙස් අධ්‍යාපනය අවසන් කිරීමෙන් පසුව ජනතා සේවයට එක්වෙයි 

ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලෙන් සිප්සතර හැදෑරූ බණ්ඩාරනායක, ඉන් අනතුරුව උසස් අධ්‍යාපන කටයුතු සඳහා ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයයට ඇතුලත් වුණා. සාර්ථකව සිය අධ්‍යාපන කටයුතු නිමාකළ ඔහු නැවතත් ලංකාවට පැමිණියේ 1925 වසරේ දී යි. ඉන් පසුව නීතිඥවරයෙකු ලෙස සිය ජීවන වෘත්තීය ආරම්භ කළත් කෙටි කලකින්ම දේශපාලනය පිළිබඳව දැඩි උනන්දුවක් ඇතිවුණා. 1926 වසරේ දී ලංකා ජාතික සංගමයේ ලේකම්වරයා බවට පත්වුණු ඔහු එම වසරේ දීම ජාති හිතෛෂී පක්ෂයේ සභාපතිවරයා ලෙසත් තේරී පත්වුණා. එලෙස විවිධ ජාතික ව්‍යාපාර සමග අත්වැල් බැඳ ත් බණ්ඩාරනායක ජනතාව අතරට යමින් ඔවුන්ට සේවය කළේ සිය දේශපාලන දිවිය ආරම්භ කරමින්.

නාගරික මන්ත්‍රීවරයෙකු බවට පත්වෙයි 

1926 වසරේ පැවති කොළඹ නාගරික මැතිවරණයෙන් ක්‍රියාකාරී දේශපාලනයට පිවිසි ඔහු තරග කළේ මරදාන කොට්ඨාසය සඳහා යි. එහිදී ඔහු සටන් වැදුණේ කම්කරු පක්ෂයේ නායකයා වුණු ඒ.ඊ ගුණසිංහට එරෙහිව යි. කම්කරු පීඩිත පන්තියේ ජනතාව වැඩි වශයෙන් ජීවත් වන එවැනි ප්‍රදේශයක් ජයග්‍රහණය කිරීම බණ්ඩාරනායක වැනි රදළ නායකයෙකුට තරමක් දුෂ්කර කාර්යයක් බව බොහෝ දෙනෙකු සිතුවා. නමුත් ඉතා දුගී පැල්පත්වලට පවා ගොස් ක්‍රමානුකූලව සිය මැතිවරණ සටන දියත් කළ බණ්ඩාරනායක ටික කලකින් මරදාන කොට්ඨාසයේ සිටි ජනතාවගේ ආදරය දිනාගත්තා. එසේම එම ප්‍රදේශය සංවර්ධනය කිරීම සඳහා ප්‍රායෝගික වැඩපිළිවෙළක් ඉදිරිපත් කළ ඔහු මැතිවරණය ආසන්න වන විට ජනතා විශ්වාසය නොඅඩුව දිනාගෙන තිබුණා. එම නිසාම ප්‍රබල කම්කරු නායකයෙකු වුණු ගුණසිංහව වැඩි ඡන්ද 615කින් පරාජය කිරීමට ඔහුට හැකිවුණා.

1931 දී රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත්වෙයි 

1931 වසරේ දී හඳුන්වාදුන් ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය තුළින් ලාංකිකයන්ට සර්වජන ඡන්ද බලය හිමිවුණා. ඒ අනුව රාජ්‍ය මන්ත්‍රණ සභාව සඳහා නියෝජිතයන් තෝරාගැනීම සඳහා මැතිවරණයක් පැවැත්වුණා. එහිදී වේයන්ගොඩ ආසනය සඳහා තරග වැදුණු බණ්ඩාරනායක නිතරග ජයක් ලැබුවා. එම වසරේම දෙසැම්බර් 18 වැනිදා ලංකා ජාතික සභාවේ සභාපති ධූරයට පත්වුණු බණ්ඩාරනායක එම අවදියේ එම තනතුර සඳහා පත්වුණු ලාබාලම පුද්ගලයා වුණා. ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභාව තුළ ක්‍රියාකාරී භූමිකාවක් ඉටුකල ඔහු, ලංකාවට පූර්ණ නිදහස ලැබීමට නම් රාජ්‍ය නිලධාරින් තිදෙනා සභාවෙන් පිටමං කළ යුතු බවත්, ඔවුන්ගේ ධුර අහෝසි කළ යුතු බවටත් ප්‍රකාශ කරනු ලැබුවා. එසේම 1933 ජුනි 14 දින බණ්ඩාරනායක මහතා විසින් ඇමති මණ්ඩලය වෙත විශ්වාස භංග යෝජනාවක් ද ඉදිරිපත් කළා. ව්‍යවස්ථාදායක සභාව තුළත් වඩාත් ප්‍රගතිශීලී භූමිකාවක් ඉටුකළ ඔහු රාජ්‍ය මන්ත්‍රණ සභා කථානායක වැටුප රුපියල් 1800 සිට රුපියල දක්වා අඩුකළ යුතු බවටත් යෝජනා කළා.

සිංහල මහා සභාව ආරම්භ කරයි 

1934 වර්ෂයේ දී එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායකගේ සභාපතිත්වයෙන් යුතුව සිංහල මහා සභාව ආරම්භ කළා. එය ආරම්භ කිරීමේ මූලික අරමුණ වුණේ භේද බින්න වී සිටි සිංහල ජාතිය සමගි කොට ජාතිමාමකත්වය වර්ධනය කරමින් ජාතික නිදහස් අරගලයට සවියක් ලබාදීමට යි. එලෙස ආරම්භ කළ සිංහල මහා සභාව දිවයින පුරාම ශාඛා මට්ටමින් ව්‍යාප්ත වුණේ ජනතාවගේ ආකර්ෂණය දිනාගනිමින්. පසුකලෙක සිංහල මහා සභාව එක්සත් ජාතික පක්ෂය පිහිටුවීමේ ආරම්භක රැස්වීමට සහභාගී වුණේ ප්‍රබල ජාතික සංවිධානයක් ලෙස යි. කෙසේ ‍වෙතත් එක්සත් ජාතික පක්ෂය හා සිංහල මහා සභාව එක්වීම සම්බන්ධව ඇතැම් බුද්ධිමතුන්ගේ විරෝධතා පැන නැගුනා. නමුත් බණ්ඩාරනායක ඊට ප්‍රතිචාර දක්වමින් ප්‍රකාශ කරනු ලැබුවේ,ජාතික නිදහස උදෙසාත්, බ්‍රිතාන්‍යයන් හඳුන්වාදෙන පාර්ලිමේන්තු ක්‍රමය අනුව ඒකාබද්ධ පක්ෂයක් ඇතිකරලීම උදෙසාත් එසේ ක්‍රියා කළ බවයි. අනතුරුව එක්සත් ජාතික පක්ෂයේ සභාපතිධූරයට ඩී.එස් සේනානායකව යෝජනා කරනු ලැබුවේත් බණ්ඩාරනායක විසින්. 

1936 දී නැවතත් රාජ්‍ය මන්ත්‍රණ සභාවට 

1936 රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයේ දී නැවතත් වේයන්ගොඩ අසුන නිතරගයෙන් ජයග්‍රහණය කිරීමට ඔහුට හැකිවුණා. දෙවන රාජ්‍ය මන්ත්‍රණ සභාවේ පළාත් පාලන කාරක සභාවේ සභාපති ධුරයට නිතරගයෙන්  තේරී පත්වුණා. බණ්ඩාරනායක එම තනතුරට තේරී පත්වීමට ප්‍රධාන හේතුව වුණේ එහි සාමාජිකයන් 5ක් සිංහල මහා සභාවේ සාමාජිකයින් වීම යි. එසේම දෙවන රාජ්‍ය මන්ත්‍රණ සභා අමාත්‍ය මණ්ඩලය තුළ සිටි ලාබාලම අමාත්‍යවරයා වුණේත් ඔහු යි. පසුකලෙක රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සභානායක ධූරයේ වැඩ බැලීම සඳහා තෝරා පත්කරගත් ඔහු විශාල පොදු වැඩ කොටසක් ඉටුකළා.

බණ්ඩාරනායක 1936 මැතිවරණයේ දී යොදාගත් පෝස්ටරයක් (silumina) 

පළමු මහා මැතිවරණයෙන් ඉහළ ජයක් 

ඔහු ආරම්භ කළ සිංහල මහා සභාව එක්සත් ජාතික පක්ෂයට එක්වුණු නිසා 1947 වසරේ පැවති පළමු මහා මැතිවරණයේ දී බණ්ඩාරනායක තරග කළේ එක්සත් ජාතික පක්ෂයෙන්. එදා අත්තනගල්ල ආසනයෙන් තරග වැදුණු ඔහු සිය ප්‍රතිවාදී අපේක්ෂකයා වුණු සී. ගුණසේකරව පරාජය කළේ වැඩි ඡන්ද 26854කින්. ඉන් අනතුරුව ඇතිවුණු ඩී.ඇස් සේනානායක රජයේ සෞඛ්‍යය සහ පළාත් පාලන අමාත්‍යවරයා ලෙසින් තේරී පත්වුණු ඔහු සෞඛ්‍යය සේවය වෙනුවෙන් විසල් මෙහෙයක් ඉටුකළා. එසේම දක්ෂ කථිකයෙකු වුණු ඔහු පාර්ලිමේන්තුවේ මුල්ම සිංහල කථාව කළ මහජන නියෝජිතයා බවටත් පත්වුණා. පසුකලෙක එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ රජය සිංහල මහා සභාව බලාපොරොත්තු වුණු ආකාරයේ ගමනක් නොයන බව ඔහු වටහාගත්තා. එම කාරණය හේතු ලෙස දක්වමින් සිංහල මහා සභාවේ මාදම්පේ සම්මේලනයේ දී සම්මත කරගත් යෝජනා මාලාවක් අගමැති වෙත ඉදිරිපත් කළා. නමුත් අගමැතිගෙන් ඊට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු නිසා බණ්ඩාරනායක විපක්ෂයට එක්වුණේ 1951 වසරේ ජූලි 12 වැනි දා යි. 

ඩී.ඇස් සේනානායකගේ කැබිනට් මණ්ඩලය (groundviews.org) 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇරඹෙයි 

ආණ්ඩු පක්ෂයෙන් ඉල්ලා අස්වුණු බණ්ඩාරනායක සමග ඩී.ඒ. රාජපක්ෂ, ඒ.පී. ජයසූරිය, ජයවීර කුරුප්පු, ඩී.ඇස්. ගුණසේකර, ජෝර්ජ් ආර් ද සිල්වා යන මන්ත්‍රීවරුන් ද ආණ්ඩු පක්ෂයෙන් ඉවත්ව විරුද්ධ පක්ෂය වෙත පැමිණියා. ඔහු 1951 සැප්තැම්බර් මස 02 වැනි දින “ශ්‍රී ලංකා නිදහස් පක්ෂය” නම්, සමාජ ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතිපත්තිය කරගත් නව දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කළා. එහි සභාපතිවරයා මෙන්ම නායකයා බවට පත්වුණේ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක යි.

විපක්ෂනායක ධූරයට පත්වෙයි 

නව පක්ෂය පිහිටවාගෙන මාස 7ක් ගතවන විට මැතිවරණයකට මුහුණදීමට සිදුවුණු අතර එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආසන 9ක් ජයග්‍රහණය කිරීමට සමත් වුණා. එවරත් අත්තනගල්ල ආසනය වැඩි ඡන්ද 32544කින් ජයග්‍රහණය කළ බණ්ඩාරනායක පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධූරයට පත්වුණා. 1952-1956 කාල සමය තුළ විපක්ෂනායක වරයා ලෙස කටයුතු කළ ඔහු සිය වගකීම මැනවින් ඉටුකළේ ජනතා ආකර්ෂණයත් ලබාගනිමින්.

මහා බල පෙරළියකට වටපිටාව සැකසෙයි 

1955 සැප්තැම්බර් 24 දින බණ්ඩාරනායකගේ නායකත්වය සහිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ලංකා සම සමාජ පක්ෂය නිතරග ගිවිසුමක් ඇතිකර ගත්තා. 1955 ඔක්තෝම්බර් 19 වන දින ඇන්.ඇම්. පෙරේරා සිංහල හා දෙමළ භාෂා රාජ්‍ය භාෂා ලෙස පිළිගැනීමට හැකිවන ලෙස රාජ සභා ආඥාව සංශෝධනය කළ යුතු බවට යෝජනා කළා. එවිට නැගී සිටි බණ්ඩාරනායක සිංහල භාෂාව පමණක් ලංකාවේ රාජ්‍ය භාෂාව වශයෙන් පිළිගැනීමට හැකි ලෙස සංශෝධනයක් ඉදිරිපත් කරනු ලැබුවා. එසේම 1955 දෙසැම්බර් 17 දින සිංහල බස ලංකාවේ රාජ්‍ය භාෂාව වශයෙන් පත්විය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමුළුවක දී සම්මත කරගත්තා. එසේම සිංහල භාෂාව පමණක් ලංකාවේ රාජ්‍ය භාෂාව විය යුතු ය යන හඬින් එක්සත් භික්ෂු පෙරමුණ ඉදිරිපත් කළ “දස පනත” බණ්ඩාරනායක විසින් පිළිගනු ලැබුවා. තම ඉදිරි ආණ්ඩුවක් මඟින් එය ඉටු කරන බවටත්  ප්‍රතිඥා දුන්නා. ඒ අනුව භාෂා ප්‍රශ්නය ඉදිරියට පැමිණි නිසා 1956 පමණ වන විට සිංහල භාෂාව ලංකාවේ රාජ්‍ය භාෂාව විය යුතුයි යන මතය වර්ධනය වෙමින් පැවතුණා. එලෙස බණ්ඩාරනායක දේශපාලන පිටියේ පෙරළිකාරයෙකු ලෙස ඉදිරියට එන අතරතුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයෙන් යුතුව “මහජන එක්සත් පෙරමුණ” පිහිටුවාගනු ලැබුවේ 1956 වසරේ පෙබරවාරි 21 වැනිදා යි.

බණ්ඩාරනායක සිව්වන අගමැතිවරයා බවට පත්වෙයි 

1956 වසරේ පැවති මහා මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය අන්ත පරාජයකට ලක්වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ මහජන එක්සත් පෙරමුණට විශිෂ්ඨ ජයක් හිමිකරදෙමින්. එවරත් අත්තනගල්ල ආසනය වැඩි ඡන්ද 41997කින් ජයග්‍රහණය කළ බණ්ඩාරනායක ලංකාවේ සිව්වන අග්‍රාමාත්‍යවරයා බවට පත්වුණා. එදා පංච මහා බලවේගය යන සංකල්පය සමගින් බලයට පැමිණි බණ්ඩාරනායක රජය හැඳින්වූයේ පොදු ජනයාගේ රජයක් ලෙස යි.

1956 මැතිවරණය අතරතුර (Daily FT)

මහජන එක්සත් පෙරමුණු රජයෙන් කළ මෙහෙවර 

විශාල ජනවරමකින් බලයට පත්වුණු මහජන එක්සත් පෙරමුණු රජය ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට උත්සාහ කළ බව කිව හැකියි. එහිදී ජනසතු ව්‍යාපාරය බිහි කිරීම සහ නව රාජ්‍ය සංස්ථා ආරම්භ කිරීම වැනි දේවල් තුළින් මහජන ප්‍රසාදය දිනාගැනීමට රජය සමත්වුණා. එසේම දේශීය භූමිය තුළ ක්‍රියාත්මක වුණු විදේශීය හමුදා කඳවුරු ඉවත් කිරීම, නව භාෂා ප්‍රතිපත්තියක් හඳුන්වාදීම, නව දේශීය සංස්කෘතියක්, ජාතික අධ්‍යාපනික ප්‍රතිපත්තියක් ඇති කිරීම වැනි දේවල් ද මහජන එක්සත් පෙරමුණු රජය මඟින් ඉටුකළා. පොදු ජනතාවට වෙන්වුණු රජයක් ලෙස හඳුන්වාගත් එම රජය ගොවිජන සහ කම්කරු සුභසාධනය ආදී සමාජ සුභසාධන කටයුතු ඉටුකළේ ජනතා ආකර්ෂණය රජය වෙත රඳවාගනිමින්. 

බස් ජනසතු කළ අවස්ථාව (Biography-Maithripala Senanayake)

අගමැතිවරයා සහාසිකයෙකුගේ වෙඩි පහරකට ලක්ව මියයයි  

බණ්ඩාරනායක ආණ්ඩුවේ ඇමතිවරියක වුණු විමලා විජේවර්ධන එවකට කැළණිය පන්සලේ විහාරාධිපති මාපිටිගම බුද්ධරක්ඛිත හිමි සමග අනියම් ඇසුරක් පවත්වා තිබෙන බවට රාවයක් පැතිරුනා. එය දැනගත් අගමැතිතුමා ඇතැම් අවස්ථාවල ඇමතිවරියට කළ විහිළු තහළු නිසා බුද්ධරක්ඛිත හිමි සහ අගමැති අතර විරසකයක් ඇතිවුණා. ඒ අනුව අගමැතිවරයාගෙන් පළිගැනීමට අදිටන් කරගත් බුද්ධරක්ඛිත හිමි, තල්දූවේ සෝමාරාම නම් භික්ෂුව යොදාගෙන බණ්ඩාරනායකට වෙඩි තබන්නේ 1959 වසරේ 25 වන දා යි. සිද්ධියෙන් අනතුරුව රෝහල්ගත කෙරුණු බණ්ඩාරනායක 1959 වසරේ සැප්තැම්බර් 26 වැනි දා සදහටම දෙනෙත් පියාගත්තා. පසුකලෙක බණ්ඩාරනායක ඝාතනය සම්බන්ධ නඩු විභාගයේ දී වැරදිකරුවන් වුණු මාපිටිගම බුද්ධරක්ඛිත සහ තල්දූවේ සෝමාරාම යන හිමිවරුවන්ට මරණ දඬුවම හිමිවුණු බව අවසන් වශයෙන් සිහිපත් කළ යුතුයි. 

බණ්ඩාරනායකගේ අවමංගල්‍යය උත්සවය (gettyimages)

කවරයේ ඡායාරූපය - බණ්ඩාරනායක 1956 මහා මැතිවරණයේ දී (Daily FT)

මූලාශ්‍රයයන්:

හෙන්රි අබේවික්‍රම දුටු බණ්ඩාරනායක පරිවර්තන යුගය -සෝමදාස අබේවික්‍රම