කළුසුද්දා අපි හැමෝම තුළ ජීවත් වෙනවා – සහන් රන්වල​

රන්වල බලකායේ නියමුවා ඔහුයි. ජනගීතය, ජනශ‍්‍රැතිය, සංස්කෘතිය, අපේකම, අපේ දේවල්  සංරක්ෂණය කරමින් අනාගත පරපුරට එය දායාද කිරීමේ මෙහෙවරක යෙදී සිටින රන්වල බලකායේ නියමුවා වන සහන් රන්වල සමගින් කාලීන සංවාදයක් කිරීමට අප කල්පනා කළෙමු

මුලින්ම අපි ටිකක් අතීතයට ගියොත්, එදා ලයනල් රන්වල (ඔබේ පියා) රන්වල බලකාය බිහි කිරීමේ සංකල්පය වෙලා තිබුණෙ මොකක්ද  ?

අපෙ තාත්තත් ඉන්දියානු සංගීතය ඉගෙන ගෙන ඉන්දියානු සංගීතය උගන්වමින් හිටියෙ. එතුමාට මකුළොළුව මහත්තයා හම්බ වුණේ නැත්නම් සමහර විට ඉන්දියානු සංගීතය උගන්වපු ගුරුවරයෙක් විදියට පමණක් මැරිලා යන්න ඉඩ තිබුණා. හැබැයි මකුළොළුව මහත්තයා මුණ ගැහෙනවත් එක්කම මකුළොළුව මහත්තයාගේ දර්ශනය අපෙ තාත්තට තදින් බලපානවා. මකුළොළුව මහත්තයා කියන්නෙ අපි ඉන්දියානු සංගීතය ඉගෙන ගත්තා. ඒකෙන් අපි අපේ කියලා සංගීතයක් වර්ධනය කර ගමු. අපිට අපේ කියලා සංගීතයක් නැහැ. ඒ සංගීතය අපි දැන් හදා ගන්න ඕනෙ. ඒ ඒ රටවල් වල සංගීතඥයො ඒ ඒ රටවල් වල සංගීතය හදා ගත්තා. කව්රුත් වෙන රටකින් ඇවිල්ලා තමන්ට කියලා ජාතික කොඩියක් හදලා දෙනකල් බලාගෙන ඉන්නෙ නැහැනෙ. ඒ ජාතික කොඩිය ඒගොල්ලන් නිර්මාණය කර ගන්නවා. ඒගොල්ලන්ගෙ උරුමයන් වලින් තමයි ඒක කර ගන්නෙ. ඒ වගේ අපේ ජාතික සංගීතය ගොඩනගා ගන්න අපිට පුළුවන් කියන අදහස මකුළොළුව මහත්තයා දැඩි ලෙස විශ්වාස කළා. ඒ සටනේ හිටපු ප‍්‍රබල සෙන්පතියෙක් වුණා ලයනල් රන්වලයන්. අපේ බැද්දගේ මහත්තයා, වීරසේන ගුණතිලක මහත්තයා, නන්දා පෙරේරා මහත්මිය වගේ තව පිරිස් මකුළොළුව මහත්තයාගේ මේ ගමනත් එක්ක එකතු වුණා. තොවිල්පළේ, කමතේ, වෙලේ, ගමේ ඇහුණු නාද මාලා එක්කාසු කරළා සංරක්ෂණය කරළා මේවා මත පදනම් වෙච්ච නව සංගීතයක් බිහි කර ගන්න එක ගැන වගේම අපිට අනන්‍ය වූ සංගීතයක් බිහි කරගැනීම සඳහා තමයි ඒ උත්සාහය දියත් වුණේ.

ඔබ ප‍්‍රමුඛ වත්මන් රන්වල බලකායේ සහ රන්වල පදනමේ අරමුණ පදනම් වෙන්නෙ කුමන නිර්ණායකයන් මතද ?

අපි අතීතයේ හැමදේම හොඳයි කියන වර්තමානයේ හැමදේම නරකයි කියන කට්ටිය නෙමෙයි. අපි ගමේ හැමදේම හොඳයි කියන නගරයේ හැමදේම නරකයි කියන කට්ටියත් නෙමෙයි. එතකොට මේක ගම සහ නගරය අතර ප‍්‍රශ්නයක්වත් අතීතය සහ වර්තමානය අතර ප‍්‍රශ්නයක්වත් නෙමෙයි. මේක අනාගතයට අපි යා යුත්තේ කොයි වගේ හැඳුනුම්පතක් එක්කද කියන එක ගැන ගැටළුවක්. කොටින්ම ජන ගීය තුළින් ජාතික සංගීතයක් හදා ගන්න සටනෙ තමයි අපි මේ නිරත වෙලා ඉන්නෙ. ඉතින් මේ වෙලාවෙ මේ රිලේ එකේ බැට්න් එක තියෙන්නෙ අපි අතේ. අපි වගකීමක් කියලා දකින මේක ඊළඟ පරම්පරාවට පවරන වැඩ කටයුත්තෙ තමයි අපි නියැළිලා ඉන්නෙ.

අපේ කම, අපේ දේවල්  කියන සංකල්පයෙන් ඔබ අදහස් කරන්නෙ මොන වගේ සංස්කෘතියක්ද ? ලෝකයෙන් දුරස් වෙච්ච හුදෙකලා සංස්කෘතියක් ද අපට තිබිය යුත්තෙ  ?

උදාහරණයක් විදියට ආයුබෝවන් කියන තරුණයෙක් හම්බවුණොත් අපි එක්කො හිනාවෙයි. එක්කො හිතයි එයා නිකන් ඇඩ් එකක් දාන්නෙ කියලා වගේ දෙයක් මේ සමාජයේ තිබෙනවා. ඉතින් අපි හිතනවා මුළු ලෝකෙම ඉන්නෙ ගුඩ් මෝනිංලා කියලා. මමත් එහෙම හිතන් හිටපු කාලයක් තිබුණා. හැබැයි මම චීනයට ගියාම තේරුම් ගත්තා ලොකේ නිහාව් ලත් ඉන්නවා කියලා. මම ඉතාලියට ගියාම තේරුම් ගත්තා චාවෝ ලත් ඉන්නවා කියලා. මම අරාබිකරයට ගියාම තේරුම් ගත්තා අස්සෙලාම් වලෙක්කුම් ලත් ඉන්නවා කියල. මම කොරියාවට ගියාම තේරුම් ගත්තා අන්නෙ හසෝ ලත් ඉන්නවා කියලා. වෙන එකක් නෙමෙයි යාපනයට ගියාම තේරුම් ගත්තා වනක්කම් ලත් ඉන්නවා කියලා. ඒ ඔක්කෝම මිනිස්සු තමන්ගෙ අනන්‍යතාවය පිළිබඳව අවබෝධයක් ඇතුව ගමන් කරද්දි අපිට විතරක් එහෙම නැහැයි කියන්න බැහැ.

එතකොට ලෝකයේ බොහෝ රටවල් එහෙමයි. හැබැයි අපි ඊට වඩා ගොඩාක් ගෝලීයකරණය වෙච්ච ජාතියක්නෙ. අපි ගොඩාක් ඉස්සරහින්නෙ ඉන්නෙ. ඉතින් ඇත්තටම ජර්මනියට ප‍්‍රංශයට එංගලන්තයට වගේ රටවල් වලට අපිට ටියුෂන් දාලා කියලා දෙන්න පුළුවන් කොහොමද මොඩ් වෙන්නෙ කියලා. තාම එංගලන්තය හිතාගෙන ඉන්නවා රජ පවුලක් ඉන්නවා කියලා. ඔටුන්න හිමි කුමාරයා කියනවා. මොන ඔටුනුද මේ ඡන්දෙන් පත් වෙන යුගයේ. අද ඔටුනු කතන්දරයක් ලංකාවෙ තිබ්බා නම් අපි ඔක්කෝම කියයි මොන විහිළුවක් ද මේ කියලා. නමුත් ඒක තියෙන්නෙ එංගලන්තෙනෙ. අපි ඒ ඔක්කොටම ගරු කරනවා. බකින්හැම් මාලිගාව කියනවා. මාලිගාව! මොන මාලිගාද මේ යුගයේ ? ඉතින් ඒ ඒ රටවල් තමන්ගෙ අනන්‍යතාවය ආරක්ෂා කරන විදියක් තියෙනවා. අපි කියන්නෙ ඒ රටවල් දිහා බලන්න. කරුමෙට අපි ඒ රටවල් දිහා බලලා ඒ විදියට වෙන්න හදනවා. අපි ඉතාලිකාරයො වෙන්න හදනවා. අපි ඉන්දියානුවො වෙන්න හදනවා. මම කියන්නෙ එහෙම නොවී අපි අපි වෙමු.

පැරණි දේවල් ආරක්ෂා කරමින් අලුත් නිර්මාණ සිදු කළ යුතුයි කියලා ඔබ කියනවා. කොහොමද එහෙම කරන්නෙ ? මොකක්ද ඊට තිබෙන ක්‍රමවේදය සහ නිර්ණායකය ?

ප‍්‍රධානම දේ තමයි ඒක සම්බන්ධයෙන් අපේ තිබෙන ආදරය. ලෝකය මෙච්චර දියුණු වෙලත් අපිට මව්කිරි හදන්න බැහැනෙ. ඒ වගේ දෙයක් ඒක. අපි අපේ දේට ආදරේ නම් අපි කරන නිර්මාණ තුළත් මේවා රැකගැනීම තියෙයි. එහෙම නැතුව ඒක බිස්නස් එකක් කියලා හිතලා එහෙම නැත්නම් වෙන අරමුනුත් එක්ක කළොත් ඒකට හානියක් වෙයි. හැබැයි ඒකෙදි අපිට පොඩි පොඩි නිර්ණායක ටිකක් දෙන්න පුළුවන්. එකක් තමයි අපි වෙනත් රටවල් වල ආභාෂයන් එහෙම නැත්නම් තාක්ෂනික ක‍්‍රම ශිල්ප ක‍්‍රම වගේ දේවල් අරගෙන අපේ දේ දියුණු කිරීම ගැන අපේ තරහක්, අකමැත්තක් නැහැ. අපි ඒකට එකඟයි. කැමරා ආම්පන්න කොහෙන් ගෙනාවත් ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්තයා හදපු සිනමාව ගත්තොත් කව්රුත් කියන්නෙ නැහැනෙ ඒක බටහිර සිනමාව කියලා. ආම්පන්න ගෙනාපු රටට ඒක අයිති වෙන්නෙ නැහැ. සිමෙන්ති කොහෙන් ගෙනාවත් හදන එක දළඳා මාලිගාව හැටියට හැදුවොත් ඒකට තිබෙනවා අමුද්‍රව්‍ය වලට එහා ගිය අනන්‍යතාවයක්. ඉතින් අපි ඒ දේවල් ප‍්‍රතික්ෂේප කරමින් යන්න ඕන නැහැ. ජන සංගීතය බැලුවොත් මේකෙ නාද මාලා ආරක්ෂා වෙන අන්දමෙන් ඊළඟ පරම්පරාවට ගමන් කරන අන්දමින් මේ වැඩකටයුතු කළා නම් මේක ගැටලුවක් එන්නෙ නැහැ.

ජනශ‍්‍රැතිය ජනගීතය සංස්කෘතිය ගැන ඔබේ දැක්ම සහ අදහස මොකක්ද ? එයින් සමාජය මත ඇතිකරන  බලපෑම මොකක් විදියටද ඔබ දකින්නෙ ?

ජනශ‍්‍රැතිය කියන්නෙ දශක ගණනාවක සියවස් ගණනාවක සමහර විට අවුරුදු දහස් ගණනාවක දැනුමේ එකතුවක්. ඒක රසවත්. ඒක රස ගුලාවක්. ඒක ස්පර්ශ කරන මනුස්සයාට ඒකෙ රසය ගන්න පුළුවන්. ඒක ස්පර්ශ නොකළැයි කියලා ගැටළුවක් නැහැ. මිනිස්සු කන්න බොන්න නැතිවුණොත් මැරෙනවා. හැබැයි  ජනශ‍්‍රැතිය වගේ දේවල් නැතුව සංස්කෘතියවගේ දේවල් නැතුව මිනිස්සු භෞතිකව මැරෙන්නෙ නැහැ.  ඕන නම් ඒ උරුමයේ රසය අපිට ගන්න පුළුවන්. එක්කො අතහරින්න පුළුවන්. හැබැයි උරුමයේ රසය ගන්නවා ලෝකයේ විවිධ රටවල් විවිධ ජාතීන්. අපෙත් සමහර කොටසක් ගන්නවා. සමහර කොටසක් ගන්නෙ නැහැ. අපි අයිති වෙන්නේ ඒ ගන්න කොටසට.

සංස්කෘතිය ජනශ‍්‍රැතිය අපේ දේවල් නැති වුණාට මිනිස්සු භෞතිකව මැරෙන්නෙ නැහැ කියල ඔබ කිව්වා. එහෙනම් මොනවද මිය යන්නෙ ?

අපි භෞතිකව මැරෙන තත්ත්වයකුත් දැන් තිබෙනවා. අනික් පැත්තෙන් බැලුවොත් සියුම්ව රසවිඳීම අහෝසි වෙලා තිබෙනවා. දැන් විහිළු කරන්නෙත් කියලනෙ. හිනා වෙන තැන්වල යටින් හිනාව දැම්මෙ නැත්නම් අපි දන්නෙ නැහැ හිනා වෙන්න ඕනෙ කියලා. ගීතයක් රසවිඳින්න ඕනෙ කියලා අපි දන්නෙ නැහැ. ගීතයක් ඇහෙනවා අපිට. අපි අහන්නෙ නෑ. අපි දේවල්  ඕන තරම් දකිනවා. අපි බලන්නෙ නෑ. අපිට මිනිස්සු හම්බවනවා. හැබැයි හැබැයි අපි මිනිස්සුන්ව ඇසුරු කරන්නෙ නෑ. අපි ඉපදෙනවා. ඉස්කෝලෙ යනවා. ඊට පස්සෙ කාලෙක අපි වැඩට යනවා. කසාද බඳිනවා. ළමයි හදනවා. හැබැයි අපි ජීවත් වෙන්නෙ නැහැ. මේ යාන්ත‍්‍රික බවත් එක්ක අපි ජීවිතේ කියලා යමක් ගත කරනවා. එච්චරයි.

ජනශ‍්‍රැතිය ජනසංගීතය වගේ දේවල් ජනසමාජයත් එක්ක එකට බද්ධ වෙලා තිබිය යුතු දෙයක්. නමුත් වර්තමානය වෙනකොට මේක අපෙන් දුරස් වෙලා තිබෙනවා. මොකක්ද මේකට හේතුව ?

අපිට ඒක අහඹු ලෙස අතහැරෙනවා නෙමෙයි. ඒක සැලසුම් සහගත අත්හැරවීමක්. වර්තමාන සමාජයට හැමදේම ක්ෂණිකයි. මොකද අපි බොහොම වේගෙන්නෙ යන්නෙ. ඒ ඔක්කොම කරළා කියනවා අපි දැන් විස කන්නෙ කියලා. අපිට කන්න කිසිම දෙයක් නැහැනෙ. අපිට පළතුරු කන්න බැහැ වස. එළවළු කන්න බැහැ වස. බත් කන්න බැහැ වස. පාන් කන්න බෑ වස. දැන් මේ මුළු සමාජයම එකඟතාවයෙන් වස කනවා. හැබැයි ඒක ගැන අපේ කිසි ආරෝවක් නැහැ. මුළු සමාජයම ඒක ගැන නිද්‍රාශීලීව එකඟයි.

එතකොට සංස්කෘතිය කියන කාරණයත් එහෙමයි. අපි මේ දේවල් වැළඳ ගත්තේ කැමැත්තෙන් නෙමෙයි. අපේ ඔළුවට දීලා තියෙනවා මේ තැනත් එක්ක රැඳිලා හිටියෙ නැත්නම් මේ ගමන අපිට යන්න බැහැ කියලා. අපිට ඉස්සර කිරි පිටි දුන්නෙ නොමිලෙ. දැන් අපිට කිරි පිටි නැතුවම බැරි වෙලා තිබෙනවා. ඒ වගේ මනසට ඇතුල් වන වස ගැනත් අපි කල්පනා කරන්නෙ නැහැ. ආහාර ගැන අඩුම ගානෙ කල්පනා කරනවනෙ මම වස ටිකක් කනවා කියන එක. අපි දන්නවා පොඩි කාලෙ ඉඳලා ශරීරයකට ලුණු වැඩියෙන් දුන්නොත් මිනිහෙක්ට ලුණු රහ විතරයි දැනෙන්නෙ. අනිත් රසයන් දැනෙන්නෙ නැහැ. ඒ වගේ කලාවේ තිබෙන සියුම් රසයන් අපිට පොඩි කාලෙම ඇහෙන සද්ද වලින් මරළා දානවා. මහා ඝෝෂාකාරී ශබ්ද. මම කියන්නෙ නැහැ ඝෝෂාකාරී ශබ්ද එපා කියලා. ඒකත්  ඕනෙ. අපි හිතමු මඟුල් ගෙදරකට ඕන සංගීතය වෙන එකක්. හැබැයි ඒක හැමවිටම ඇහෙනවා කියල කියන්නෙ අනෙකුත් රස නහර මැරෙනවා. ලුණුත් දාලා කන්න ඕනෙ. හැබැයි හැම විටම අච්චාරු කෑවාම අපේ රස නහර නැති වෙනවා. ඒ වගේ කලාවේ රසවින්දනයේ රසනහරවලට මේක බලපාලා තිබෙනවා.

අපේ දේවල් අත්හැරීම සැලසුමක් බව ඔබ කිව්වා. මොකක්ද ඔබ ඔය කියන සැලසුම ?

එක්දහස් පන්සිය පහේදි යුරෝපා ජාතීන් මෙහෙට එනවා. පෘතුගීසි කාරයා රටවල් අල්ලන්න සූරයා කියළා කියනවනෙ. නමුත් ඇල්ලුවද අපේ රට? ඇල්ලුවෙ නෑ. ලන්දේසි කාරයාටත් බැරි වුණා. එතකොට පෘතුගීසි කාරයාටයි ලන්දේසි කාරයාටයි ඇයි බැරිවුණේ කියලා සුද්දා කල්පනා කළා. ඒගොල්ලො කියනවා නගුලෙයි සිවුරෙයි බලය තියෙනකල් මේ රට අල්ලන්න බෑ කියලා. එතකොට ඒගොල්ලො සැලසුම් කළා මේක කොහොමද බිඳින්නෙ කියලා. ඒ සැලසුම සාර්ථක වුණා. අපිව කෙටෙවුවා. ඒගොල්ලො කියනවා අප‍්‍රිකාව, ඉන්දියාව අල්ලපු විදියට ලංකාව අල්ලන්න බැහැ කියලා. ඒගොල්ලො ඒක තේරුම් ගත්තා. අපි යම් කිසි විදියකට හිතන, ම්ලේච්ඡ නොවන ශිෂ්ඨාචාරගත වෙච්ච වෙනස් සංස්කෘතියක්, වෙනස් දැක්මක් තිබුණු කට්ටියක් කියලා ඒගොල්ලො දැක්කා. එතකොට ඒගොල්ලො ඒක බිඳින්න අවශ්‍ය කරන ප‍්‍රවේශය ගත්තා. එංගලන්තයෙන් තමයි ඒක හරියටම හඳුන ගත්තෙ. අනෙක් අය බැලුවෙ සටන් කරලා ගන්න. ඊට වැඩිය එහා ගිය සැලැස්මක් සුද්දො තුළ තිබ්බා. ඒක එයා ක‍්‍රියාත්මක කළා. ඊට වඩා හොඳට දැන් අපිම ක‍්‍රියාත්මක කරගනිමින් ඉන්නවා.

වැඩිදුරටත් එය පැහැදිළි කරන්න පුලුවන්ද ? ඊට වඩා හොඳට දැන් අපිම ක‍්‍රියාත්මක කරමින් ඉන්නවා කියන කාරණය…

ඉස්සර අපි බයිනේත්තුවට බය නිසා එහෙම නැත්නම් තාන්න මාන්න වලට තිබෙන පෙරේතකම නිසා සුද්දා වගේ හැසිරුණා. නමුත් දැන් හැසිරෙන්නෙ පුරුද්දට. දැන් සුද්දා තුවක්කු වලට වියදම් කරන්න ඕනෙ නැහැ. ඌ ඇඳුම මහලා තියන්න විතරයි  ඕනෙ. අනේ අපි ඇඳගන්නවා. ඉස්සර මහලා බලෙන් අපිට අන්දවන්න ඕනෙ. දැන් එහෙම නෑ. එවැනි පෞරුෂයෙන් හීන පරම්පරාවක් ඇති කළාම, ඒක  ඕනෑම රටක් හරහා බලපෑමක් ඇති කරන්න ඒගොල්ලන්ට බොහොම පහසුවෙන් ප‍්‍රවේශ වෙන්න පුළුවන්. ප‍්‍රශ්නයක් තියෙන රටක් හදන එක ඒගොල්ලො බලාපොරොත්තු වෙන දෙයක්.

විදේශිකයන් අපේ රට අතහැරලා ගියාට පස්සෙ දැන් අවුරුදු හැත්තෑවක් පුරා පාලනය කරන්නෙ ස්වදේශීයයන්. එතකොට විදේශිකයන් සෝදාපාලුවට ලක් කළ සංස්කෘතිය නැවත ගොඩ නගාන්න අපිට බැරිවුණේ ඇයි ?

සුද්දාගෙන් පස්සෙ ආවෙ කළු සුද්දො. ඉතින් උන්ගෙන් අලුත් දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. උන් සුද්දට වඩා අප්සෙට්. ඒ කළුසුද්දා අපි හැමෝම තුළ ජීවත් වෙනවා. අපි වහලෙක් කියලා දන්නවනම් අපි නිදහස් වෙන්න උත්සාහ කරයි. හැබැයි අපි දන්නෙ නැහැ අපි වහල්ලූ කියලා. අපි හිතාගෙන ඉන්නවා අපි නිදහස් කියලා. අපි හැම පෙබරවාරි හතරම නිදහස සමරනවා. හැබැයි එදා උදේටත් අපි කියන්නෙ ගුඩ් මෝනිං. ඉතින් සුද්දා අපිට හිතන්න පුරුදු කරපු විදියට තමයි අපි මේ යන්නෙ. අපි ඊට වැඩිය වෙනස්ව හිතන්න පුරුදු වෙන මිනිහා දිහා සැකෙන් බලනවා. විහිළුවෙන් බලනවා. රට පාලනය කරන කලු සුද්දාගේ දේශපාලන දර්ශනය තමයි අපේ සමාජයේ පහලට ගලාගෙන එන්නෙ. මාධ්‍ය හෝ වේවා අධ්‍යාපන ක‍්‍රමය හෝ වේවා ගුරුවරුවන්ගේ චින්තනය හෝ වේවා මේ මිනිස්සුන්ගේ චින්තනයට බලය කියන කාරණාව බලපානවනෙ. බලයේ සිටින සියළු පාර්ශ්ව මේක සම්බන්ධයෙන් තිබෙන අඩු වටිනාකම ජන සමාජයටත් බලපානවා. අපි දියුණු වෙන්න හිතන්නෙ නැහැ. දියුණුවක් අත්පත් කර ගන්න හිතන්නෙ නිදහස් ජාතියක්. ඉතින් අපි වහල්ලු. මේ වහල් බවේ සපත්තු ලෙව කමින් අපි ඒ ආශ්වාදය ගන්නවා. අපිව යටත් කරගෙන හිටියෙ ජපනා නම් අපි  අද වෙනකොට හැසිරෙන්නෙ ජපන්නු වගේ. මොකද අපි ආශ්වාදය කරන්නෙ අපි යටත් කරපු එකාව. අපි යටත් වෙලා කියලා පිළි අරගෙන  ඒකෙන් නිදහස් වෙන්න හිතන තාක් මම හිතන්නෙ නැහැ අපිට දියුණුවක් හෝ ප්‍රගමණයක් ගැන හිතන්නවත් බැහැ.

ජනමාධ්‍යත් මේක සංස්කෘතික සෝදාපාළුවට වග කියන්න  ඕන නේද ?

රටක් මෙහෙයවන මිනිස්සුන්ගේ ඔළු මෙහෙයවන ප‍්‍රධාන ගාමක බලවේග තුනක් තියෙනවා. එකක් දේශපාලනය. අනිත් එක ජනමාධ්‍ය, අනිත් එක කලාව. අවාසනාවට මේ තුනටම ප‍්‍රවේශ වෙන්න අපේ මොකක්වත් නිශ්චිත ක‍්‍රමවේදයක් නැහැ. අපේ එකඟතාවයක් නැහැ මේ කිසිම දෙයක් සම්බන්ධයෙන්. රටේ තීරණ ගන්න ප‍්‍රධානම කට්ටල් තුනට ඕනෑම මිනිහෙක්ට ප‍්‍රවිශ්ට වෙන්න ඉඩ හදලා තිබීම හරි භයානකයි. අතිශය භයානක තැනක අපි ඉන්නෙ. ඉතින් ඒ හැටියට මේ රට මේ විදියට හරි තියෙන එක වාසනාවක්.

ගම , අපේකම, දේශීයත්වය මාකට් කරමින් ඒක විකුණමින් සිටින බවට විවේචනයක් තිබෙනවා සමාජය තුළ…

මම දෙදාස් එකොළහ අවුරුද්දෙ ගියා චීනයේ ෂැන්ජියෑං ජාත්‍යන්තර ජන සංගීත සම්මන්ත‍්‍රණයට. කණ්ඩායම් හැටක් අතරින් අපට පුළුවන් වෙනවා ලෝකයේ හොඳම ජනගී කණ්ඩායමට හිමි සම්මානය හිමි කර ගන්න. එදා ඒ ඇවිල්ලා හිටපු කණ්ඩායම් අරන් බැලුවාම ඒ අය වෘත්තීය කණ්ඩායම්. ඒගොල්ලො වෘත්තියක් විදියට කරන්නෙ ජන සංගීතයේ නියළීම. යම් කිසි ක්ෂේත‍්‍රයක් පවතින්න නම් ඒකට වෘත්තීමයභාවයක් ඕන. එහෙම නැත්නම් ඒකෙ ඉන්න පිරිස් වෙනත් ක්ෂේත‍්‍ර වලට ඇදිලා යනවා. උදාහරණයක් විදියට අපේ රූකඩ කලාව බලන්නකො. රූකඩ ශිල්පීන්ට වෘත්තීමය මට්ටමක් තිබුණා නම් අද ඔවුන් වෙනත් රස්සාවල්වලට ගිහිල්ලා රූකඩ කලාව නැති වෙන්නෙ නැහැ. වෙස් නැට්ටුවාට වෘත්තීමය තත්ත්වයක් නැත්නම් වෙස් කලාව ආරක්ෂා වෙන්නෙ නැහැ. ඉතින් කව්රුහරි කෙනෙක් කියනවානම් මේකට වෘත්තීමය භාවයක් තිබීම පාපයක් කියළා අපිට එයාගෙන් අහන්න වෙන්නෙ එයා වෘත්තියක් කරන කෙනෙක්ද කියලා. ඉතින් ඒක ගැන මට කිසි විස්සෝපයක් නැහැ. මම අවුරුදු ගාණක පරිශ‍්‍රමයකින් පස්ස තමයි මේකට වෘත්තීමය භාවයක් ඇති කර ගත්තෙ. මම වඩාත් තෘප්තිමත් වෙන්නෙ මේ වැඩවල නියලීමෙන්. නීතීඥයො ලංකාවෙ කොච්චරවත් ඉන්නවා. නලුවො කොච්චරවත් ඉන්නවා. නිවේදකයො කොච්චරවත් ඉන්නවා. මට ඒ කොයි ක්ෂේත‍්‍රයෙන් ගියත් ඉස්සරහට යන්න තිබුණු වටපිටාවක් තිබුණා. හැබැයි ඒවා කරන්න මිනිස්සු ඉන්නවා සහ ඒවා ජාතික වගකීම් නෙමෙයි. මට හැඟුණු මට පැවරුණු වගකීම මම අතගහලා කරගෙන යනවා. මේක වෙනුවෙන් දවස කැප කළාම මට වෙන වෘත්තියක් කරන්න වෙලාවක් නැහැ. එතකොට මම යැපෙන්නත් ඕනෙ මේකෙන්. හැබැයි මම යැපෙන්න මේක කරනවා නෙමෙයි. සේවය කියල කියන්නේ මුදලක් ගත්තාද නැද්ද කියන එක නෙමෙයි. ප‍්‍රජාවට අත්වෙන වාසි සහගත තත්ත්වය පිළිබඳව සහ ප‍්‍රජාවේ යහපැවැත්මට වාසි තත්ත්වය තමයි ඒකෙන් අදහස් වෙන්නෙ.

Related Articles