“හින්දුත්වා” ආගමික ජාතිකවාදයේ අදේවවාදී පියා

1948 ජනවාරි 30 වැනි දා පශ්චාත් නිදහස් ඉන්දියාවේ අඳුරු දිනයක් වුණා. ඉන්දීය නිදහස් සටනේ ප්‍රතිරූපය බඳු මෝහන්දාස් කරම්චාන්ද් “මහත්මා” ගාන්ධි හින්දු ජාතිකවාදියෙකු වූ නතුරාම් ගොඩ්සේ අතින් ඝාතනය වූයේ එදින යි. ගොඩ්සේ හින්දු මහසභා නම් ජාතිකවාදී සංවිධානයේ සාමාජිකයෙක් වුණා. ගාන්ධි ඝාතනයට සතියකට පමණ පෙර බොම්බායේ දී ගොඩ්සේ තවත් අය සමග එක්තරා වැදගත් පුද්ගලයෙක් හමුවෙනවා. ගාන්ධී ඝාතන නඩුවේ දී සාක්ෂ්‍ය දුන් බාද්ගේ නම් සැකකරු පවසන පරිදි මේ වැදගත් පුද්ගලයා ගොඩ්සේ හට ඝාතනය සඳහා ආශිර්වාද කරනවා. එම සාක්ෂ්‍ය මත මේ පුද්ගලයාව අත්අඩංගුවට ගනු ලැබුවත්, බාද්ගේ සාක්ෂ්‍යයේ වලංගුභාවය ගැන සැක මතුවීම නිසා එම පුද්ගලයා නිදහස් වෙනවා. එසේ වුවත් මේ පුද්ගලයා සිය නිවසේ දී ගාන්ධි ඝාතනයේ ප්‍රධාන සැකකරුවන් සමග සිටින සමූහ ඡායාරූපයක් ද මේ පරීක්ෂනවල දී සොයා ගැනෙනවා. මහත්මා ගාන්ධිට හාත්පසින් වෙනස් චරිතයක් ලෙස හැඳින්විය හැකි මේ පුද්ගලයා වන්නේ විනායක් දමෝදර් “වීර්” සවර්කාර්. සවර්කාර් ගාන්ධි ඝාතනය පිටුපස අදිසි  හස්තය ද යන්න අදටත් නොවිසඳුනු අභිරහසක්. කෙසේ වුවත් සවර්කාර් ප්‍රකට වන්නේ ගාන්ධි ඝාතනයට නම් නොවේ. 2014 වසරේ දී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද ඉන්දීය පාර්ලිමේන්තුවේ ඇති සවර්කාර්ගේ ආලේඛ්‍ය චිත්‍රයට උපහාර දැක්වීමට කටයුතු කළා. ඔහු මෙලෙස භාරතීය ජනතා පක්ෂයේ හා, සමස්තයක් ලෙස හින්දු ආගමික ජාතිකවාදීන්ගේ ගෞරවයට ලක්වන්නේ ඇයි ද යන්න සොයා බලමු.

මුල්කාලීන ජීවිතය

සවර්කාර් උපත ලබන්නේ 1883 වසරේ දී මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ. කුඩා කල සිටම නායකත්වය ගැනීමේ හැකියාවක් ඔහු සතුව පැවතුනා. පූනේ හි ෆර්ගසන් පාසලේ මූලික අධ්‍යාපනය ලබන ඔහු 1901 වසරේ දී විවාහ දිවියට ඇතුළු වෙනවා. සිය නව යොවුන් අවදියේ දීම සවර්කාර්, එවක සිටි රැඩිකල් ජාතිකවාදීන් වූ බාල් ගන්ගාධාර් තිලක් වැනි අයගේ ආභාෂය ලබනවා. බ්‍රිතාන්‍ය නිෂ්පාදන ප්‍රතික්ෂේප කරමින් ඇරඹූ “ස්වදේශී” ව්‍යාපාරයට ද ඔහු සහයෝගය ලබා දුන්නා. මේ අතර සවර්කාර් නීතිය හැදෑරීම සඳහා එංගලන්තයට යන්නේ ශිෂ්‍යත්වයක් මත යි. එංගලන්තයේ දී සවර්කාර් නවාතැන් පහසුකම් ලැබුවේ “ඉන්ඩියා හවුස්” නමින් හැඳින්වුණු, ජාතිකවාදී ශිෂ්‍යයන් සඳහා වූ නේවාසිකාගාරයේ. එහිදී ඔහු නිදහස් ඉන්දියා සමාජය පිහිටුවා ගන්නේ බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව ගරිල්ලා සටනක් කිරීමේ අභිප්‍රායයෙන්. එවක රුසියාව, බ්‍රිතාන්‍යය, ප්‍රංශය වැනි රටවල පැතිර යමින් තිබූ අරාජිකවාදී ව්‍යාපාරයේ සාමාජිකයන් භාවිතා කළ උපක්‍රම ගැන ද සවර්කාර් අධ්‍යයනය කළා. බෝම්බ සෑදීම හා ගරිල්ලා සටන්ක්‍රම සම්බන්ධ පත්‍රිකා සිය මිතුරන් අතර බෙදා හැරීමට ද ඔහු කටයුතු කළා.

විනායක් දමෝදර් සවර්කාර් ( Culture India)

 

රැඩිකල් දේශපාලනය

මේ අතර සවර්කාර්ගේ සගයෙක් සහ අනුගාමිකයෙක් වූ මාදන් ලාල් විසින් බ්‍රිතාන්‍ය හමුදා නිලධාරියෙකු වූ ශ්‍රීමත් විලියම් හට්න් ඝාතනයට ලක්වනවා. එය අනුමත කරමින් සවර්කාර් ද පුවත්පත්වලට ලිපි ලිවීම නිසා බ්‍රිතාන්‍ය පොලිසිය ඔහු පසුපස ලුහුබඳිනවා. ප්‍රංශයේ මාර්සෙයිය නගරයේ දී බ්‍රිතාන්‍ය පොලිස් අත්අඩංගුවට පත්වන සවර්කාර් ඉන්දියාවේ දී අවුරුදු 50ක සිරදඩුවමකට යටත් කොට අන්දමන් හා නිකෝබාර් දූපත්වල පිහිටි සෙලියුලර් සිරමැදිරියට යවනු ලබනවා. ඒ 1910 වසරේ දී. මෙතැන් සිට 1924 දක්වාම ඔහු සිරභාරයේ සිටිනවා. එය ඉතා දුෂ්කර ජීවිතයක් බව අමුතුවෙන් කිය යුතු නැහැ. ඔහු වාර විශාල ගණනක් තමා නිදහස් කරන ලෙස ඉල්ලමින් බ්‍රිතාන්‍ය රජයට ලිපි යවනවා. අවසානයේ දී ඔහු නිදහස ලබන්නේ ඉදිරි වසර 5කට දේශපාලනයේ නොයෙදෙන බවට පොරොන්දුවක් ද සමග යි.

බන්ධනාගාරයේ සිටින සමයේ සවර්කාර් ඔහුගේ වැදගත්ම දේශපාලනික දෘෂ්ඨිවාදී ලිපිය රචනා කරනවා. “හින්දුත්වා: හින්දුවෙක් යනු කවුරුන් ද?” නම් එම ලිපිය මඟින් සවර්කාර් පෙන්වා දෙන්නේ හින්දු යන අනන්‍යතාව හින්දු ආගමෙන් එපිටට යන දෙයක් බව යි. එනම් ඉන්දියාවේ වෙසෙන හින්දු, බෞද්ධ, සික් ආදි විවිධ ආගම්වලට අයත් ජනතාව හින්දු සංස්කෘතිය තුළ ජීවත්වන මෙම සංකල්පයේ පදනම යි. එසේ වුවත් සවර්කාර් ඉස්ලාම් හා ක්‍රිස්තියානි ආගම් අදහන ඉන්දියානුවන් “හින්දුත්වා” සංකල්පයට අදාළ කරගන්නෙ නැහැ. ඔවුන් හට සැබෑ ඉන්දියානුවන් වීම අපහසු බවයි ඔහුගේ අදහස.

1937 වසරේ දී මොහොමඩ් අලි ජින්නා යටතේ මුස්ලිම් ලීගය ආගමික අනන්‍යතාවයක් ඔස්සේ අලුත් දේශපාලන ගමනකට මුල පිරීමත් සමග හින්දු ආගමික ජාතිකවාදය ජනප්‍රිය වීමත්, සවර්කාර් හින්දු මහසභා ජාතිකවාදී පක්ෂයේ නායකයා වීමත් සිදුවනවා. එම වසරේ පැවති ඉන්දීය ප්‍රාන්ත මැතිවරණවල දී ඉන්දීය කොන්ග්‍රස් පක්ෂය විසින් හින්දු මහසභාව සහ මුස්ලිම් ලීගය යන පක්ෂ දෙකම පරදවමින් විශිෂ්ඨ ජයග්‍රහණ ලබන්නට සමත් වනවා. එසේ වුවත් 1939 දී ඉන්දීය මහජනතාවගේ අනුමැතියෙන් තොරව ඉන්දියාව දෙවැනි ලෝක යුද්ධයේ දී මිත්‍ර හමුදාවට පක්ෂ ලෙස බ්‍රිතාන්‍ය රජය විසින් සැලකීමට විරෝධතාව පළ කරමින්, කොංග්‍රස් සාමාජිකයන් ප්‍රාන්ත ආණ්ඩුවලින් ඉවත් වීමත් සමග හින්දු මහ සභාව මුස්ලිම් ලීගය සමග එක්ව අළුත් ප්‍රාන්ත ආණ්ඩු පිහිටුවනවා. මෙය සවර්කාර්ගේ දේශපාලනයේ ප්‍රතිවිරුද්ධතාවලට එක් ප්‍රබල නිදසුනක්.

සවර්කාර් සහ ගාන්ධි

නතුරාම් ගොඩ්සේ ඇතුළු ගාන්ධි ඝාතනයට සම්බන්ධ කිහිප දෙනෙකු සමග සවර්කාර් පෙනී සිටි ඡායාරූපය    Twitter

සවර්කාර් බොහෝ විට ගාන්ධි කෙරෙහි සැලකුවේ ප්‍රසාදයකින් නො‍වේ. ඔහුගේ තර්කය වූයේ ගාන්ධි යනු දෙපිටකාට්ටු චරිතයක් බව යි. ගාන්ධි හා කොංග්‍රස් පක්ෂය ආරම්භ කළ “ඉන්දියාවෙන් පිටවව්” (Quit  India) ව්‍යාපාරයට සවර්කාර් හා හින්දු මහසභාව සහයෝගය දුන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම දෙවැනි ලෝක මහා සංග්‍රාම සමයේ ඇරඹූ එම ව්‍යාපාරය කඩාකප්පල් කිරීමට සවර්කාර්ට අවශ්‍ය වුණා. බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය යටතේ සිය තනතුරු දරමින් සහයෝගය ලබා දෙන ලෙස හින්දු මහසභා සාමාජිකයන්ගෙන් ඔහු ඉල්ලා සිටියා.

ගාන්ධි හට සවර්කාර්ගේ විරෝධය විශාල වශයෙන් එල්ල වුනේ එවක පැවතුනු බ්‍රිතාන්‍ය ඉන්දියාව දෙකඩ කැඩීමට ඔහු පක්ෂ වීම නිස යි. ඉන්දියාව බෙදීයාම පිළිබඳ වැඩිම වගකීම ඔහු එල්ල කළේ ගාන්ධි වෙත යි. 1947 ගාන්ධී ඝාතනය කිරීම සම්බන්ධයෙන් ද සවර්කාර්ට චෝදනා එල්ල කිරීමට මේ විරෝධය හේතු වනවා. විශේෂයෙන් ඝාතනයේ ප්‍රධාන සැකකරුවන් සමග ඔහු සබඳතා පැවැත්වූ බවට සාධක තිබූ නිසා. කෙසේ වුවත් වඩාත් ප්‍රබල සාක්ෂ්‍ය නොමැති නිසා සවර්කාර් ගාන්ධි ඝාතන චෝදනාවෙන් නිදහස් වනවා.

‍ආගමික මතවාදය

සවර්කාර් ප්‍රචලිත කළේ හින්දු ආගමික ජාතිකවාදය. එසේ වුවත් පුද්ගලික ජීවිතයේ දී ඔහු උග්‍ර අදේවවාදියෙක් වුණා. හින්දු ආගමේ එන ගවයන් පිදීම, හරක් මස් නොකෑම ආදිය ඔහුගේ අවඥාවට ලක් වුණා. එමෙන්ම 1966 පෙබරවාරි මස තම මරණයට පෙර ඔහු තම පුතුගෙන් හා ඥාතීන්ගෙන් ඉල්ලා සිටියේ සිය ආදාහනය පමණක් සිදු කරන ලෙසත්, කිසිදු හින්දු ආගමික චාරිත්‍රයක් නොකරන ලෙසත්. සවර්කාර් ගේ මේ ආකල්ප අනාගමික ඉන්දියාවක් වෙනුවෙන් පෙනී සිටි මහත්මා ගාන්ධිගෙන් සපුරා වෙනස් වූවක්. ගාන්ධී භක්තිමත් හින්දු බැතිමතෙක් පමණක් නොව කොරානය හා ඉස්ලාම් ආගම ගැන ද විශාල දැනුමක් තිබූ පුදගලයෙක්. සවර්කාර් මෙන්ම, ඉස්ලාමික භක්තිය මත පදනම් වූ පාකිස්තානය බිහි කිරීමට මුල්වූ මොහොමඩ් අලි ජින්නා ද ඉස්ලාම් ආගම අනුව ජීවත් වූවෙක් නොවේ. මත්පැන් පානය සහ ඌරුමස් සහිත සැන්ඩ්විච් ආහාරයට ගැනීම ඔහු සිදු කළ බව පැවසෙනවා. මෙලෙස ආගමික අනන්‍යතාවයන් මත පදනම් වූ රාජ්‍යයන් බිහි කරන්නට තැත්කළ සවර්කාර් සහ ජින්නා ඒ ආගමික ප්‍රතිපත්ති අනුගමනය කළේ නම් නැහැ.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී, සවර්කාර්ගේ ආලේඛ්‍ය චිත්‍රයකට උපහාර දක්වමින් ( The Wire)

බලපෑම

විනායක් දමෝදර් සවර්කාර් හින්දු ආගමික ජාතිකවාදය ප්‍රචලිත කිරීමේ ලා විශාල මෙහෙයක් සිදු කළා. ඉන්දියාවේ ප්‍රධානතම හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂයේ මෙම මතවාදය යම් යම් ආකාරයෙන් දක්නට පුළුවන්. භාරතීය ජනතා පක්ෂයේ නායකයන් වන අතල් බිහාරි වජ්පායී හා නරේන්ද්‍ර මෝදි ද විවිධ අවස්ථාවල සවර්කාර් හට ගරු බුහුමන් දක්වා තිබෙනවා. අවසානයේ මේ මතවාදයන් මුස්ලිම් විරෝධී කැරලි කෝලාහල දක්වා වර්ධනය වූයේ අවාසනාවන්ත ආකාරයට යි.

මූලාශ්‍ර : Culture India

කවරය : DNA India

Related Articles