Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ප්‍රථම ලාංකික පුරාවිද්‍යා කොමසාරිස් – මහාචාර්‍ය සෙනරත් පරණවිතාන

ලංකාව යනු ශ්‍රේෂ්ඨ අතීතයකට උරුමකම් කියන රටකි. අප රටේ සිටි රජවරුන් කරවූ මාළිගා, විශාල ගොඩනැගිලි, වෙහෙර විහාර, වැව් අමුණු, ශිලා ලේඛන ආදී  බොහොමයක ඉතිරිව ඇත්තේ නටඹුන් පමණි. මෙවන් පුරාවිද්‍යාත්මක නටඹුන් අධ්‍යයනය කර ඒවා ඉදිකර ඇති කාල වකවානුව, යොදාගෙන ඇති තාක්ෂණය, අමුද්‍රව්‍ය ආදිය පිළිබඳ මත පල කිරීමට හැක්කේ පුරා විද්‍යාව පිළිබඳ හසළ දැනුමක් ඇති පුද්ගලයෙකුට පමණි. සෙනරත් පරණවිතාන මහතා යනු ලාංකිකයන්ගේ පිනට පහළ වූ එවන් ශ්‍රේෂ්ඨ පුරාවිද්‍යාඥයෙකි.

ඔහු හැකියාවන් දක්වන ලද්දේ පුරාවිද්‍යා ක්ෂේත්‍රය තුළ පමණක් නොවේ. සාහිත්‍ය, භාෂාව, ඉතිහාසය, ලලිත කලාව ආදී ක්ෂේත්‍රය ගණනාවකට තම සේවය ලබා දෙන ලදි. මොහු නිර්මාණය කළ සමීක්ෂණ වාර්තා වර්තමානයේදී පවා පුරාවිද්‍යාඥයින් පරිහරණය කිරීම සිදු කරයි. ලංකාවේ ජ්‍යෙෂ්ඨතම පුරා විද්‍යාඥයකු ලෙස සැලකෙන මොහු දේශීය පුරාවිද්‍යාව ගොඩනැංවීමට අති මහත් සේවයක් සිදු කර ඇත. මෙම ලිපිය තුළින් අප බලාපොරොත්තු වන්නේ එවන් සේවයක් කළ සෙනරත් පරණවිතාන මහතා පිළිබඳ තොරතුරු ඔබ වෙත ගෙන ඒමටයි.

ළමා කාලය

en.wikipedia.org

1896 වසරේ දෙසැම්බර් මස 26 වන දින ගාල්ලේ මැටරඹ නම් ගමේ උපත ලැබූ සෙනරත් පරණවිතානයන්ගේ පියා ඒබ්‍රහම් පරණවිතාන වූ අතර මව ලෝරා හෙට්ටිගේ නම් විය. මොහු සහෝදර සහෝදරියන් 5ක ගෙන් යුතු පවුලක බාලම දරුවා විය. පරණවිතාන මහතාට අකුරු කියවන ලද්දේ ශ්‍රී රතනජෝති ස්වාමීන් වහන්සේ විසිනි. මොහු මුලින්ම ඇතුළු වූයේ අන්නාසි හෙට්ටිගොඩ මෙතෝදිස්ත සිංහල පාසලටයි. 1901 වසරේදී එහි අධ්‍යාපනය නිම කළ මොහු අනතුරුව ගාල්ල උණවටුනේ බොනවිස්ටා ඉංග්‍රීසි පාසලට ඇතුළත් වන ලදි. ඒ 1903 වසරේදී ය. පාසල් අධ්‍යාපනය ලබන අතරතුරදීම සවස් කාලයේදී මොහු හීනටිගල රන්වලගොඩ විද්‍යාවර්ධන පිරිවෙනට යන ලද්දේ සිංහල, පාලි හා සංස්කෘත භාෂා ඉගෙන ගැනීමටයි.

පාසල් කාලයේදී කීර්තිමත් ශිෂ්‍යයකු වූ පරණවිතානයන් “සිංහල තරුණයා” නමැති සංගමයකින් පවත්වන ලද බෞද්ධ ශිෂ්ටාචාරය පිළිබඳ විභාගයකින් ඉහළම ලකුණු ලබා ගත් අතර මේ සඳහා ත්‍යාග ලෙස ඔහුට හිමි වූයේ “epigraphia zeylanic” නමැති ග්‍රන්ථයයි. මෙය ඉතිහාසය පිළිබඳ ග්‍රන්ථයක් පමණක් නොව පරණවිතාන මහතාගේ ජීවිතය වෙනස් කිරීමට සමත් වූ ග්‍රන්ථය ලෙසද දැක්විය හැක.

පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට සම්බන්ධ වීම

archaeology.lk

පරණවිතාන මහතා ප්‍රථමයෙන් සිංහල විෂය පිළිබඳ උප ගුරුවරයකු වශයෙන් සේවය කර තිබේ. ඒ 1922 වසරේදීය. මේ කාලයේදී ඔහුට පුවත් පතක තිබී පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ ශිලා ලේඛන සහකාර තනතුරට ඇති ඇබෑර්තුවක් පිළිබඳ දැනගන්නට ලැබේ. මෙම තනතුර සඳහා ඉල්ලුම් කළ පරණවිතාන මහතාව කිසිදු පැකිලීමකින් තොරව එයට බඳවා ගන්නා ලද්දේ ඔහු සතු වූ සිංහල, පාලි හා සංස්කෘත යන භාෂා පිළිබඳ වූ දැනුම හේතුවෙනි. සේවයට බැඳුණු පසු පුරා විද්‍යා සංරක්ෂණය පිළිබඳ වැඩිදුර හැදෑරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් පරණවිතාන මහතාව ඉන්දියාවට යවන ලදි. මෙහිදී වසර තුනක අධ්‍යාපනයක් ලබා ලංකාවට පැමිණි මොහු ශිලා ලේඛන සහකාර තනතුරේ වැඩ භාරගන්නා ලදී.

පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට සම්බන්ධ වූ අවදිය

පරණවිතාන මහතා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට සම්බන්ධ වන ලද්දේ බ්‍රිතාන්‍ය පාලන කාලය තුළදී ය. එකල බ්‍රිතාන්‍යයන් ලාංකික ජනතාවට රජයේ ඉහළ තනතුරු ලබා නොදෙන ලද්දේ ඉංග්‍රීසින් ඉහළ තනතුරු වල රඳවා ගැනීම තම පාලනයට පහසු වීම හේතුවෙනි. නමුත් පරණවිතාන මහතාගේ තිබූ සහජ හැකියාවන් හා බුද්ධියට මේ සියලුම බාධක පරදා දැමීමට හැකි විය.

ශිලා ලේඛන, සෙල්ලිපි, බ්‍රාහ්මි නොවන සංකේත පිළිබඳ කරන ලද අනාවරණයන්

amazinglanka.com

පරණවිතාන මහතා ශිලා ලේඛන පිළිබඳ ප්‍රථම විවරණය කර ඇත්තේ 1926 වසරේදී ය. පිටු 18කින් යුතු පුවත්පත් ලිපියක් වන එම විස්තරය 1 වන විජයබාහු රජුට අයත් පොළොන්නරු සෙල්ලිපිය පිළිබඳව විවරණයක් විය. මේ ආකාරයටම උදය රජුගේ බදුලු ටැම් ලිපිය පිළිබඳවද විවරණයක් කර ඇත. පරණවිතාන මහතාට පෙර මෙම ලිපි පල කළ ඉසඩ් වික්‍රමසිංහ මහතාගේ ලිපි සමඟ සසඳා බැලීමේදී පරණවිතාන මහතාගේ ලිපි ඉතා ඉහළ මට්ටමක පැවතුණි. මෙතුමන් විසින් 1943 වසරේදී ශිලා ලේඛන සංග්‍රහයේ 6 වන වෙළුම එළි දක්වන ලදි. එහි මුල්ම ලිපිය “සංගමු විහාර සෙල්ලිපිය” පිළිබඳ විවරණයක් විය. මෙතුමාගෙන් සාහිත්‍යයට සිදු වූ විශාලම සේවය ලෙස සැලකෙන්නේ 1956 වසරේදී “සීගිරි කුරුටු ගී’’ නමැති කාණ්ඩ දෙකකින් යුතු පොත එළි දැක්වීමයි. ක්‍රිස්තු වර්ෂ 6-9 දක්වා සීගිරි කැටපත් පවුරේ ලියා තිබූ කුරුටු ගීත වලට අර්ථ විවරණයක් ලබා දීම මෙහිදී සිදු කරන ලදි.

පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුතු අන්තරාලීන සෙල්ලිපි පිළිබඳවද පරණවිතාන මහතා වටිනා කරුණු රාශියක් හෙළිදරව් කර ඇත. ප්‍රසිද්ධ අන්තරාලීන සෙල්ලිපි කීපයක් ලෙස මිහින්තලා පුවරු ලිපිය, පොළොන්නරු ගල් පොත ලිපිය, කිත්සිරිමෙවන් කැලණි විහාර ලිපිය ආදිය දැක්විය හැක.

පරණවිතාන මහතා දීර්ඝ කාලයක් තිස්සේ සෙල්ලිපි කියවීම හා ඒ සමඟ කටයුතු කිරීම නිසා සෙල්ලිපි සම්බන්ධ නව සොයා ගැනීම සිදු කිරීමට එතුමාට හැකි විය. මෙහිදී බ්‍රාහ්මීය සෙල්ලිපි රාශියක බ්‍රාහ්මීය නොවන සංකේත ඇති බව ඔහු නිරීක්ෂණය කළේය. ඔහු විසින් මේ පිළිබඳව පල කළ සඟරා පොත් ආදියෙහි එම එම සංකේත 43ක් දක්වා ඇත. වස්තු විද්‍යාව පිළිබඳව ද උනන්දුවක් දැක්වූ මෙතුමාගේ වාස්තු විද්‍යාව පිළිබඳව මුල්ම ලිපිය පල වන ලද්දේ 1930 වසරේදී ය.

1956 දෙසැම්බර් මස පුරාවිද්‍යා කොමසාරිස් ධූරයෙන් විශ්‍රාම ලැබූ මෙතුමා 1957 ජනවාරි මස 01 වන දින පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ප්‍රථම පුරාවිද්‍යා මහාචාර්යවරයා ලෙස පත් විය. ලාංකික ජනයාට අනුපමේය සේවයක් කළ පරණවිතාන මහතා 1972 ඔක්තෝම්බර් මස 4 වන දින අප අතරින් වියෝ විය.

කවරයේ පින්තුරය – chandrajeewasarath.blogspot.com

Related Articles