Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව ලොකු ම ධනවතා වුණු රෙදි කම්හලක සුළු සේවකයා

දිළිඳු පවුල්වල ඉපදෙන සමහර පුද්ගලයන් සිය ජීවිත කාලය පුරා ම දුක් විඳ අන්ත දිළින්දන් සේ මිය යනවා. තවත් සමහර දිළිඳු පුද්ගලයන් උත්සාහය සහ කැපවීම තුළින් සිය ජීවිත ඉරණම වෙනස් කරගෙන මහා ධනවතුන් සේ මිය යනවා. මෙම ලිපියේ කතා නායකයා වන ඇන්ඩෘ කානගී ඉහත දෙවන කාණ්ඩයට අයත් වන පුද්ගලයෙක්.

1830 දශකයේ දී ස්කොට්ලන්තයේ දුෂ්කර ගම්මානයක උපත ලැබූ කානගී පසු කලෙක අමෙරිකාවට සංක්‍රමණය වුණා. ඉන් අනතුරු ව එකම අරමුණක් සිතේ තබා ගෙන වෙහෙස මහන්සි වී වැඩ කළ කානගී පියවරෙන් පියවර දියුණුව කරා ගියා. එහි අවසන් ප්‍රතිඵලය වුණේ ඔහු ලෝකයේ ලොකු ම ධනවතා බවට පත්වීම යි. මෙතැන් සිට ඔබ වෙත ඉදිරිපත් කරන්නේ ඇන්ඩෘ කානගී නම් එම උත්සාහවන්ත මිනිසාගේ අපූරු කතා පුවත යි. 

ඇන්ඩෘගේ උපත සිදුවුණු නිවස – massiveactiontoday.wordpress.com

ජීවිතයේ මුල් අවධිය 

ඇන්ඩෘ කානගී 1835 නොවැම්බර් 25 වැනිදා ස්කොට්ලන්තයේ ඩන්ෆර්ම්ලයින් ප්‍රදේශයේ දී උපත ලැබුවා. ඔහුගේ පියා වුණු විලියම් කානගී අත් යන්ත්‍ර රෙදි වියන්නකු ලෙස සේවය කළා. ඔහුගේ මව වුණු මාග්‍රට් මොරිසන් මැහුම් ගෙතුම් වැඩවල නිරතවෙමින් අමතර ආදායමක් උපයා ගත්තා. ඇන්ඩෘ උපත ලබන විට ඔහුගේ පවුලේ ආර්ථික තත්ත්වය ඉතාමත් යහපත් තත්ත්වයක පැවතුණා.

ඇන්ඩෘට සහ ඔහුගේ සොහොයුරා වුණු තෝමස්ට හොඳින් අධ්‍යාපන කටයුතු කිරීමට එනිසා අවස්ථාවක් ලැබුණා. කුඩා කල සිට ඉගෙනුම් කටයුතුවලට දක්ෂයකු වුණු ඇන්ඩෘ පාසලේ කැපී පෙනෙන දරුවෙක් බවට පත්වුණා. ඒ අයුරින් කාලය ගෙවී යද්දී ඇන්ඩෘගේ පවුලට වඩාත් නරක කාලයක් උදා වුණා.

 

ආර්ථික අපහසුකම් මැද ගෙවුණු ජීවිතය 

විලියම් කානගීගේ බිරියගේ පියා වුණු තෝමස් මොරිසන් සපත්තු සෑදීමේ ව්‍යාපාරයක් කරගෙන ගියා. එකල මහා බ්‍රිතාන්‍ය ආශ්‍රිත ව චාර්ටිස්ට් නමින් දේශපාලන ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයක් ක්‍රියාත්මක වුණා. එහි අරමුණ වුණේ මහා බ්‍රිතාන්‍ය තුළ ක්‍රියාත්මක වුණු දේශපාලන ක්‍රමය වෙනස් කරමින් නව දේශපාලන ක්‍රමයක් ඇති කිරීම යි. එම දේශපාලන ප්‍රතිසංස්කරණවලින් පසුව කම්කරුවන්ට හිතවත් පාලකයක් පත්කර ගැනීමට හැකි වනු ඇති බව චාර්ටිස්ට් ව්‍යාපාරය මෙහෙය වූ අයගේ බලාපොරොත්තුව වුණා. 

චාර්ටිස්ට් ව්‍යාපාරය – artuk.org

 

ස්කොට්ලන්තය ආශ්‍රිතව ද ක්‍රියාත්මක වුණු එම දේශපාලන ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය සඳහා විලියම් කානගී සහ තෝමස් මොරිසන් සිය දායකත්වය ලබා දුන්නා. අවසානයේ දී චාර්ටිස්ට් ව්‍යාපාරය අසාර්ථක වීම හේතුවෙන් විලියම් කානගී ඇතුළු පවුලේ උදවියට බොහෝ කෙනෙහිලිකම්වලට මුහුණ දීමට සිදුවුණා. එකල ස්කොට්ලන්තය පුරා දරුණු ආර්ථික අර්බුදයක් ද නිර්මාණය වී තිබුණා. එනිසා ඇන්ඩෘගේ පියාට රැකියාවෙන් සැලකිය යුතු තරම් ආදායමක් ලැබුණේ නැහැ. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඇන්ඩෘගේ මව ද කුඩා රැකියාවක නිරතවෙමින් අමතර මුදලක් උපයා ගත්තා. 

අමෙරිකාවට සංක්‍රමණය වීම 

කානගී පවුලට ස්කොට්ලන්තයේ ජීවත් වීමට අපහසු වාතාවරණයක් නිර්මාණය වුණා. එනිසා විලියම් සිය දරු පවුල සමඟින් අමෙරිකාව බලා යාමට තීරණය කළා. ඒ සඳහා ඔහුගේ ඥාතිවරයකු වුණු ජෝර්ජ් ලෝඩර්ගේ සහාය ලැබුණා. 1848 සැප්තැම්බර් මාසයේ එක්තරා දිනයක සැලසුම් කර ආකාරයට කානගී පවුල අමෙරිකාව බලා සංක්‍රමණය වුණා.

අමෙරිකාවට ගිය එම පිරිස පෙනිසිල්වේනියාවේ ඇලෙගිනි ප්‍රදේශයේ පදිංචි වුණා. ඒ අයුරින් අමෙරිකාවට පැමිණි කානගී පවුලට ජීවත් වීම සඳහා ස්ථිර ආදායම් මාර්ගයක් තිබුණේ නැහැ. එනිසා විලියම් කපු රෙදි කම්හලක රැකියාවක් සොයා ගත්තා. එම රැකියාවෙන් ලැබුණු සුළු වැටුපෙන් ඔවුන්ගේ ජීවිත ගැට ගසා ගැනීමට හැකිවුණා. 

ඇන්ඩෘගේ මුල් ම රැකියාව 

එලෙස මාස කිහිපයක් ගෙවීයද්දී ජීවන වියදම ක්‍රමයෙන් වැඩිවන්නට පටන් ගත්තා. එනිසා 13 හැවිරිදි වියේ  පසුවුණු ඇන්ඩෘ දරුවා ද කපු රෙදි කම්හලේ සේවයට සඳහා රැගෙන යාමට විලියම්ට සිදුවුණා. ඇන්ඩෘ වයසින් කුඩා දරුවකු වුණු නිසා ඔහු අත්උදව්කරුවකු ලෙස සේවයට බඳවා ගැනීමට රෙදි කම්හලේ හිමිකරුවා කැමැත්ත පළ කළා.

ඒ අයුරින් මුල් ම වරට රැකියාවකට ගිය ඇන්ඩෘට මසකට ඩොලර් 5ක වැටුපක් හිමි වුණා. එම අමතර මුදල කානගී පවුලේ ආර්ථිකය සවිමත් කිරීමට විශාල දායකත්වයක් ලබා දුන්නා. ඉතාමත් කඩිසර දරුවකු වුණු ඇන්ඩෘ මහන්සි නොබලා වැඩ කළා. නමුත් සැලකිය යුතු තරම් කාලයක් රෙදි කම්හලේ සේවය කිරීමෙන් පසුව ඔහුට එක දෙයක් අවබෝධ වුණා. ඒ මෙම ස්ථානයේ අඛණ්ඩව සේවය කිරීමෙන් කිසිදු දිනක ඔහුට සාර්ථක මිනිසකු වීමට නොහැකි බව යි.

ඇන්ඩෘ සිය මුල්ම රැකියාවෙහි නිරතවෙමින් – massiveactiontoday.wordpress.com

 

මහන්සි වී වැඩ කළ වසර කිහිපයක් 

ඇන්ඩෘ කපු රෙදි කම්හලෙන් ඉවත්වීමට උත්සාහ කළ මොහොතේ එහි ඉහළ නිලධාරියකු ඔහු තවදුරටත් සේවයේ රඳවා ගැනීමට උත්සාහ කළා. ඒ ඇන්ඩෘ දක්ෂ අයුරින් සිය රාජකාරි කටයුතු සිදුකළ නිසා යි. එම ඉහළ නිලධාරියාගේ මැදිහත්වීමෙන් ඇන්ඩෘගේ මාසික පඩිය ඩොලර් 8 දක්වා වැඩි කිරීමෙන් පසුව ඔහු තවත් මාස කිහිපයක් එහි වැඩ කළා. ඔහුට පැවරුණු රාජකාරි ක්‍රම ක්‍රමයෙන් වැඩිවුණා. එනිසා ඇන්ඩෘ කපු රෙදි කම්හලේ රැකියාවට සදහට ම සමු දීමට තීරණය කළා.

ඉන් පසුව ඔහු සිය හිතවතකුගේ මාර්ගයෙන් දේශීය ටෙලිග්‍රාෆ් සමාගමක පණිවිඩකරුවකු ලෙසින් සේවයට එක් වුණා. එම සමාගමේ සේවයට එක්වීමෙන් පසුව අවංක සහ කැපවීමෙන් සේවය කළ ඇන්ඩෘ වැඩි කලක් යන්නට පෙර ප්‍රධානීන්ගේ හිත දිනා ගත්තා. එනිසා රැකියාවට එක්වෙද්දී ඩොලර් 10ක් ව පැවති ඔහුගේ මාසික පඩිය ඩොලර් 12 දක්වා වැඩි වුණා. ඉක්මනින් ම ටෙලිග්‍රාෆ් සංඥා හඳුනා ගැනීමට ඔහු තුළ තිබුණු හැකියාව නිසා වසරක කාලයක් ඇතුළත විදුලි පණිවිඩ ක්‍රියාකරු ලෙසින් උසස්වීමක් ලැබුණා.

ටෙලෙග්‍රාෆ් පණිවිඩකරුවෙකු ලෙස රැකියාව කළ අවධියේ – cyclesantamonica.blogspot.com

 

එකල ඔහුගේ ප්‍රධානියා වුණු කර්නල් ජේම්ස් ඇන්ඩර්සන් සිය සේවකයන්ට ඔහුගේ පුද්ගලික පුස්තකාලය පරිහරණය කිරීමට අවස්ථාව ලබා දී තිබුණා. ඉන් උපරිම ප්‍රයෝජන ගත් ඇන්ඩෘ ලැබූ සෑම අවස්ථාවක ම එහි ගොස් පොත්පත් කියවමින් සිය දැනුම වර්ධනය කර ගත්තා. ඔහු තුළ තිබුණු වෙහෙස මහන්සි වී වැඩ කිරීමට ඇති හැකියාව, නොපසුබට උත්සාහය, සුපරීක්ෂාකාරී බව, වගකීම් භාරගෙන වැඩ කිරීමට ඇති හැකියාව යන කාරණා නිසා ඉතාමත් ඉක්මනින් දියුණු වීමට අවස්ථාව ලැබුණා. ඒ වගේම බොහෝ දෙනකු සමඟින් සමීප මිතුදම් ඇති කරගැනීමට ඔහුට හැකි වුණා. එවැනි මිත්‍ර සම්බන්ධතාවලින් ඔහු ඇතැම් අවස්ථාවල දී ප්‍රයෝජන ලබා ගත්තා.

කැපවීම නිසා ලැබුණු උසස් රැකියාව

1853 වසර වන විට විදුලි පණිවිඩ ක්‍රියාකරුවකු ලෙසින් ඔහු පෙන්වූ දක්ෂතා පිළිබඳ ව පෙනිසිල්වේනියා දුම්රිය සමාගමේ නිලධාරියකු වුණු තෝමස් ස්කොට්ට ආරංචි වුණා. ඉන් පසු ඔහු සිය සහාය විදුලි පණිවිඩ ක්‍රියාකරු තනතුරට ඇන්ඩෘ බඳවා ගත්තා. නව රැකියාවේ මාසික වැටුප ලෙස ඩොලර් 16ක මුදලක් ලැබුණා. ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත් කානගී පෙරටත් වඩා උනන්දු වී වැඩ කළා. ඔහු නිතර ම සිය ප්‍රධානියා වුණු ස්කොට්ගෙන් දැනුම ලබා ගැනීමට උත්සාහ කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන් වසර 6ක් පමණ යන විට ඇන්ඩෘ හොඳ දැනුමක් තිබුණු විදුලි පණිවිඩකරුවකු බවට පත් ව සිටියා.

තෝමස් ස්කොට් – pinterest.com

 

සිය ගෝලයා පිළිබඳ පැහැදී සිටි තෝමස් ස්කොට් ඔහුට අභියෝගයක් භාරදීමට තීරණය කළා. ඒ අනුව  පෙන්සිල්වේනියා දුම්රිය මාර්ගයේ බටහිර අංශයේ අධිකාරි තනතුර භාර ගැනීමට හැකිදැයි ඔහුගෙන් විමසා සිටියා. සිය අනාගත දියුණුව වෙනුවෙන් කවදත් අභියෝග භාර ගැනීමට කැමැත්තෙන් සිටි ඇන්ඩෘ දෙවරක් නොසිතා නව තනතුරේ වැඩ භාරගැනීමට කැමැත්ත පළ කළා.

නව තනතුරේ මාසික වැටුප ඩොලර් 125ක් තරම් ඉහළ අගයක් ගත්තා. ඉන් අනතුරුව ඇන්ඩෘ සිය සොහොයුරා වුණු ටොම් සිය පුද්ගලික ලේකම් සහ ටෙලිග්‍රාෆ් ක්‍රියාකරු තනතුරු සඳහා බඳවා ගත්තා. 

ඇන්ඩෘ සහ ඔහුගේ සොහොයුරු ටොම් – pbs.org

 

ඒ වගේම ඥාති සොහොයුරියක් වුණු මාරියා ගෝගන්ට ද ටෙලිග්‍රාෆ් ක්‍රියාකරු තනතුරක් ලබා දුන්නා. ඒ අයුරින් නව තනතුරේ වැඩ ආරම්භ කළ ඇන්ඩෘ සිය ප්‍රධානියා වුණු ස්කොට්ගෙන් කළමනාකරණය, පිරිවැය පාලනය වැනි අංශ පිළිබඳ බොහෝ දේ ඉගෙන ගත්තා. එනිසා ඔහුට තවත් සාර්ථක ව සිය ජීවිතය ඉදිරියට ගෙනයාමට හැකි වුණා. 

මහා ධනවතකු වීමට ආරම්භක පියවර තබයි 

එම අවධියේ දී ඇන්ඩෘගේ ප්‍රධානියා වුණු තෝමස් ස්කොට් විවිධ සමාගම්වල කොටස් මිල දී ගනිමින් සැලකිය යුතු තරම් මුදලක් උපයා ගත්තා. එක්තරා දිනයක ඇන්ඩෘ හමුවන්නට පැමිණි ස්කොට් ඇඩම්ස් එක්ස්ප්‍රස් නම් සමාගමේ කොටස් 10ක් විකිණීමට තිබෙන බව දන්වා සිටියා. එම කොටස් මිල දී ගැනීමට ප්‍රමාණවත් තරම් මුදලක් ඔහු ළඟ තිබුණේ නැහැ.

ඒ මොහොතේ ඇන්ඩෘගේ මව වුණු මාග්‍රට් ඔවුන්ගේ නිවසක් උකස් කර ඩොලර් 500ක මුදලක් ලබා දුන්නා. ඔහුගේ ප්‍රධානියා වුණු තෝමස් ස්කොට් ඉතිරි මුදල ලබාදුන්නා. ඒ අයුරින් මුලින් ම සිදුකළ ආයෝජනයෙන් සාර්ථක ප්‍රතිඵල ලැබුණු නිසා සැලකිය යුතු මුදලක් ඇන්ඩෘට හිමි වුණා. ඉන් පසුව ඔහු ණය මුදල් ගෙවා දමා ඉතිරි මුදල් තවත් ආයෝජන සඳහා යොමු කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන් 1864 වසර පමණ වන විට සැලකිය යුතු තරම් ධනයක් එකතු කරගැනීමට ඔහුට හැකිවුණා.

සමාගම් කිහිපයක හිමිකරුවකු බවට පත්වීම 

වසර කිහිපයක් ඇතුළත එකතු කරගත් මුදලින් නව ව්‍යාපාරයක් ආරම්භ කිරීම ඇන්ඩෘගේ අරමුණ වුණා. ඒ සඳහා ඔහු හිතවතුන් කිහිප දෙනකුගෙන් උපදෙස් ලබා ගත්තා. ඔවුන් ලබාදුන් උපදෙස් සහ සිය අදහස් එකතු කළ ඇන්ඩෘ කීස්ටෝන් පාලම් ඉදිකිරීමේ සමාගම ආරම්භ කළා. ඉන් නොනැවතුණු ඇන්ඩෘ පසුව යූනියන් අයන්වර්ක්ස් නමින් ද සමාගමක් ආරම්භ කළා.

කෙටි කාලයක් තුළ එම සමාගම් විශාල ප්‍රගතියක් ලබාගත් නිසා ඔහුට සිය ව්‍යාපාර කටයුතු කෙරෙහි අවධානය යොමු කිරීමට සැලකිය යුතු තරම් කාලයක් අවශ්‍ය වුණා. එනිසා ඔහු කරගෙන ගිය රැකියාවට සමු දුන්නා. කාලයක් තිස්සේ පාලම් ඉදිකිරීමේ කටයුතු කරගෙන යද්දී ඇන්ඩෘට එක් දෙයක් ඒත්තු ගියා. ඒ ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ වානේවලට තිබුණු ඉල්ලුම යි. ඒ පිළිබඳ සලකා බැලූ මෙම ශූර ව්‍යාපාරිකයා 1870 දශකය ආරම්භයේ දී වානේ කර්මාන්තයට අවතීර්ණ වුණා. එමඟින් ඔහුට තව තවත් මුදල් ඉපයීමට හැකිවුණා. 

කීස්ටෝන් සමාගමෙන් ඉදිකළ පාලමක් – timetoast.com

 

මහා ධනවතකු ව ගෙවූ ආදර්ශවත් ජීවිතය 

ඇන්ඩෘ සිය සමාගම්වල කටයුතු මනාව පාලනය කරමින් විශාල ආදායමක් උපයා ගත්තා. ඒ අතරතුර ඔහු සිය මුදල් තවත් ව්‍යාපාර සඳහා ආයෝජනය කළා. ඇන්ඩෘ සතුව තිබුණු මනා ව්‍යාපාරික ඥානය නිසා ඔහු අත ගැසූ සෑම ව්‍යාපාරික කටයුත්තක් වාගේ ම සාර්ථක වුණා.

එලෙස ධනය ගලාගෙන එද්දී ඇන්ඩෘට සුපිරි ජීවිතයක් ගත කිරීමට හැකිවුණා. ඒ අතරතුර ඔහු දුප්පත් දරුවන්ට ඉගෙනීම සඳහා උදව් උපකාර කළා. ඒ වෙනුවෙන් පුස්තකාල පවා ඉදිකර දුන්නා. එකල ඔහු පුස්තකාල 2500ක් පමණ ඉදි කළ බව වාර්තාවල ලියැවී තිබෙනවා.

ඔහු ඉදිකළ පුස්තකාලයකට ගොස් පොත් කියවන අවස්ථාවක් – americanlibrariesmagazine.org

 

ඊට අමතර ව දුප්පත් පවුල්වල උත්සාහවන්ත තරුණයන්ට උදව් උපකාර කළ ඇන්ඩෘ ඔවුන්ට උසස් ජීවන තත්ත්වයක් කරා ළඟාවීමට අත්වැලක් වුණා. මහා ධනවතකු වුණත් කිසි විටෙක උඩඟු නොවුණු මෙම අපූරු මිනිසා එක්තරා යුගයක ඔහු දිළින්දකු ව සිටි බව හොඳින් ම මතක තබාගෙන සිටියා.

එනිසා ඔහු සෑම විට ම අසරණ මිනිසුන්ට සරණක් වීමට උත්සාහ කළා. ව්‍යාපාරවලින් සාර්ථක වීමෙන් පසුව සිය ගෘහ ජීවිතය පිළිබඳ ව උනන්දුවක් දැක්වූ  ඇන්ඩෘ අවසානයේ දී විවාහ වීමට තීරණය කළා. ඒ අනුව ඔහු 1887 වසරේ දී ලුසී විට්ෆීල්ඩ් නම් තරුණිය සමඟින් විවාහ දිවියට ඇතුළත් වුණා. 

ඇන්ඩෘ සහ ඔහුගේ බිරිය – timetoast.com

 

ලොව අංක එකේ ධනවතා බවට පත්වීම 

19 වන සියවසේ අවසානය වන විට ඇන්ඩෘ කානගී විවිධ ව්‍යාපාර ගණනාවක අයිතිකරුවා බවට පත්ව සිටියා. එම ව්‍යාපාරවලින් ඔහුට විශාල ආදායමක් ලැබුණා. 1901 වසරේ දී ඔහු සිය වානේ ව්‍යාපාරය ඩොලර් මිලියන 480කට විකුණා දැමුවා. ජෝන් මෝර්ගන් නම් ව්‍යාපාරිකයා එය මිල දී ගත්තා. ඒ අයුරින් ලැබුණු විශාල මුදල නිසා ලොව අංක එකේ ධනවතා බවට පත්වීමට ඇන්ඩෘ කානගීට අවස්ථාව ලැබුණා.

ඔහු සතු ව තිබුණු වැඩිම වත්කම් ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 11.8ක් ලෙසින් සටහන් වුණා. කපු රෙදි කම්හලක සුළු සේවකයකු ලෙසින් සිය ජීවිතය අරඹා අවසානයේ දී ලොව අංක එකේ ධනවතා බවට පත්වුණු මෙම අපූරු පුද්ගලයා එම තත්ත්වය කරා ළඟා වීමට විශාල කැපකිරීමක් කළා. උත්සාහය, අලුත් දේවල් ඉගෙන ගැනීමට තිබුණු ආශාව, අභියෝග භාර ගැනීම, කාල කළමනාකරණය, පිරිස් කළමනාකරණය කිරීමේ හැකියාව, මුදල් පරිපාලන හැකියාව වැනි ගුණාංග ඇන්ඩෘගේ ජීවිතය තුළ අඩංගු වුණු නිසා ඔහුට ජීවිතය ජයගැනීමට හැකි වුණා.

1901 දී ඇන්ඩෘ කානගී පිළිබඳ නිර්මාණය වුණු කාටුන් චිත්‍රයක් – gettyimages.com

 

රිපබ්ලිකන් පක්ෂයේ ප්‍රබල ආධාරකරුවෙක්

වසර කිහිපයක් ලොව ධනවත්ම මිනිසා ලෙසින් වැජඹුණු කානගීට 1905 වසරේ දී එම තත්ත්වය අහිමි ව ගියා.  ඒ ජෝන් රොක්ෆෙලර් නම් අමෙරිකානුවා එම තත්ත්වයට පත්වුණු නිසා යි. සිය තත්ත්වය අහිමි වුණත් ඒ ගැන තැකීමක් නොකළ මොහු දිගින් දිගට ම අසරණ මිනිසුන්ට සේවය කළා.

ඒ වගේම දේශපාලන කටයුතු පිළිබඳ උනන්දුවක් දැක්වූ ඇන්ඩෘ, රිපබ්ලිකන් පක්ෂයේ ප්‍රබල ආධාරකරුවෙක් වුණා. සිය ජීවිතයේ අවසන් කාලයේ දී හැකි තරම් විනෝදයෙන් සිටීමට උත්සාහ කළ ඇන්ඩෘ සිය ධනය හොඳින් වියදම් කරමින් සුපිරි පැලැන්තියේ ජීවිතයක් ගත කළා. 

කානගී ජීවත් වුණු නිවෙස්වලින් එකක් – ecoingolf.fr

 

ඒ අයුරින් සැපවත් ජීවිතයක්  ගතකරමින් සිටි මෙම ධන කුවේරයාට 1919 වසරේ මැද භාගයේ දී නියුමෝනියාව වැලඳුණා. ඔහුගේ ජීවිතය බේරා ගැනීමට එවකට ලෝකයේ සිටි ඉහළ ම පෙළේ වෛද්‍යවරුන් මහත් පරිශ්‍රමයක් දැරුවා. නමුත් එය සාර්ථක නොවුණු නිසා 1919 අගෝස්තු 11 වැනිදා ඇන්ඩෘ කානගී සදහට ම දෙනෙත් පියා ගත්තා. 

කවරයේ ඡායාරූපය- ඇන්ඩෘ කානගී - gettyimages.com 

මූලාශ්‍ර: 

carnegie.org 

biography.com 

history.com 

Related Articles