අද කොඩිවැලක් ගැටගසා ගැනීමට පමණක් භාවිතා වන ලංකාවේ අනේපිඬු සිටුතුමා

මරදානේ, ටවුන් හෝල් වටරවුමේ ඇති තුනටියට අත තබාගෙන සිටින ප්‍රතිමාව බොහෝ දෙනා දැක ඇතැ යි සිතමි. මෙය නොදුටු අයෙක් නොමැති තරම් ය. උදාර ලීලාවෙන් එසේ සිටින්නේ ලංකාවේ කලක් අංක එකේ ධානපතියෙකු, සමාජ සේවකයෙකු, හා බ්‍රිතාන්‍යයන්ට දැඩි පක්ෂපාතීත්වයක් දැරූ චාල්ස් හෙන්රි ද සොයිසා මහතා ය.

1803 මාර්තු මස 3 වන දින චාල්ස් හෙන්රි ද සොයිසා උපත ලබන්නේ රිදී හැන්ද කටේ ගසාගෙන යි. ඔහු උපතින්ම ධානපතියෙකි. තම පියාට එම ධනය ලැබූ සැටි පිළිබඳ කතාන්දර කිහිපයක් ම තිබේ. ඉන් වඩා ප්‍රකට වන්නේ පියාට හමුවූවායැ යි කියන නිධානය යි.

චාල්ස් හෙන්රි ද සොයිසා මහතාගේ පිළිරුවක්. (Lakdivanews.com)

පසුකාලීන ව චාල්ස් හෙන්රි ජීවත් වී ඇත්තේ අක්කර 112ක වපසරියක් තිබුණු කොල්ලුපිටියේ ඇල්ෆ්‍රඩ් මන්දිරයේ ය. ඔහු විසින් මෙම මන්දිරය සෑදුවේ එංගලන්තයේ  ඇල්ෆ්‍රඩ් කුමාරයාගේ ලංකා ගමන නිමිති කොටගෙන යි. එවකට ලංකාවේ ආණ්ඩුකාරයා ලෙස සිටියේ හර්කියුලස් රොබින්සන් මහතා ය. මොහු චාල්ස් හෙන්රි සිටුතුමාගේ මිත්‍රයෙකි. එම නිසා ඔහු ආණ්ඩුකාරයා ලවා ඇල්ෆ්‍රඩ් කුමාරයාට භෝජන සංග්‍රහයකට ආරාධනා කළේ ය. මෙය නිමිත්තෙනුයි ඇල්ෆ්‍රඩ් මන්දිරය දින 80ක් තුළ නිමවන්නේ. මන්දිරය සෑදීමට ඉතාමත් අනර්ඝ තත්ත්වයේ භාණ්ඩ එංගලන්තයෙන් හා බෙල්ජියමෙන් ගෙන්වා ඇති බවට සඳහන් වේ. මෙම භෝජන සංග්‍රහය අවස්ථාවේ දී ලංකාවේ පළමු නාඩගම වූ ‘ඇහැලේපොළ නාඩගම’ රඟ දක්වා තිබේ. ඇහැලේපොළ නාඩගම ගැන පවසනවා නම් එය රචනා කොට ඇත්තේ කොල්ලුපිටියේ පිලිප්පු සිඥ්ඥෝ ය. ඔහු වෘත්තියෙන් කම්මල්කරුවෙකි. මලේ මයිනහම අදින විට නාඩගමට ජවනිකා මතක් වී ඔහු මයිනහම පැත්තකට තබා කම්මලේ බිත්තියේ ගල් අඟුරුවලින් නාඩගම ලියා තිබේ. නාඩගමට අවශ්‍ය ඇඳුම් ආයිත්තම් චාල්ස් සොයිසා සිටුතුමා විසින් එංගලන්තයෙන් ගෙන්වා ඇත.

චාල්ස් සොයිසා (wikipedia.org)

චාල්ස් සොයිසා පරිත්‍යාගයන් සිදු කළේ කිසිදු ලෝභකමක් නොමැතිව යි. ලංකාවේ විශාලතම මාතෘ රෝහල (සොයිසා ලයිනින් හෝම්) සොයිසා මහතාගේ පරිත්‍යාගයකි. ඔහු ලංකාවට පමණක් නොව එංගලන්තයේ රෝහල් විසි ගණනකට රන් පවුම් විශාල ප්‍රමාණයක් පරිත්‍යාග කර තිබේ. එහෙයින් ඔහු එංගලන්ත රජ පවුලේ ගෞරවාදරයට ද පාත්‍ර වී තිබේ. රිජ්වේ ආර්යා ළමා රෝහල ගොඩනැගුවේ මොහුගේ ධන පරිත්‍යාගයෙනි. එක්දහස් අටසිය අගභාගයේ දී ලංකාවට ඇස් රෝහලක අවශ්‍යතාව තදින් ම දැනෙන්නට විය. මේ නිසා චාල්ස් සිල්වා සිටුතුමා ලිප්ටන් වටරවුම අසල ඉඩමක් රජයට පවරා දුන්නේ ය. එහි 1905 දී ඉන්දීය ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ඇස් වාට්ටුව ගොඩනගන ලදී. මම මෙහි ලිප්ටන් වටරවුමයැ යි පැවසුව ද එහි නිවැරදි නම ලිප්ටන් වටරවුම නොවේ. චාල්ස් සිල්වා සිටුතුමාගේ මෙම පරිත්‍යාගයට ගෞරව කිරීමක් වශයෙන් බ්‍රිතාන්‍ය ආණ්ඩුව විසින් ලිප්ටන් වටරවුම සොයිසා වටරවුම ලෙස ගැසට් කළේ ය. එම නිසා අදටත් ලිප්ටන් වටරවුමේ නීත්‍යානුකූල නාමය සොයිසා වටරවුම ය.

මුල් කාලයේ ලංකා වාණිජ මණ්ඩලය වෙන් වී තිබුණේ යුරෝපීයයන්ට පමණි. නමුත් එහි සාමාජිකත්වය දැරූ ප්‍රථම ලාංකිකයා වූයේ හෙන්රි චාල්ස් ය. එමෙන්ම බ්‍රිතාන්‍යයන් යටතේ තිබූ තේ ව්‍යාපාරවලට මහා පරිමාණයෙන් සම්බන්ධ වූ එක ම පුද්ගලයා ද වන්නේ මොහු යි. මොරටුවේ වේල්ස් කුමර හා කුමරි විද්‍යාලයන් ද මොහුගේ ධන පරිත්‍යාගවලින් ආරම්භ වූ අතර, බැංකුවක් ආරම්භ කළ ප්‍රථම ලාංකිකයා ද මොහු යි. ‘Bank Of Kandy’ එහි නාමය යි.

ඇල්ෆ්‍රඩ් මන්දිරය (lakdivaenews.com)

චාල්ස් සොයිසා ජ්‍යෝතිෂය පිළිබඳ දැඩි විශ්වාසයකින් යුක්ත වූ පුද්ගලයෙකි. ඔහුගේ එම වැඩ කටයුතු සඳහා ඔහු යොදාගත්තේ ගල්කිස්සේ තම්බි අප්පු ගුරුතුමා ය. ඔහු චාල්ස් සොයිසාගේ වේලාව බැලීමට නිතර ඇල්ෆ්‍රඩ් මන්දිරය වෙත ගිය බව කියැවේ. ඔහු තම 34 වෙනි වියේ දී එනම් 1870 දී එංගලන්තය බලා නැව් නැගි අතර ඔහු නැවත ලංකාවට පැමිණියේ ඉන් වසර 20කට පසුව යි. එසේ පැමිණි විට ද ඔහු පළමුව සිදු කළේ තම්බි අප්පු ඇල්ෆ්‍රඩ් මන්දිරයට ගෙන්වා වේලාව බලා ගැනීම යි.

චාල්ස් සොයිසා බල්ලන්ට දැක්වූයේ දැඩි ඇල්මකි. ඔහු සුරතලයට බැල්ලක් ඇති කළේ ය. විවේකී වේලාවල්වලට බගතලේ පාරේ සිට ගාලු මුවදොර දක්වා බැල්ල සමග ඇවිද යාම ඔහුගේ සිරිත යි. දිනක් උදෑසන උඩුමහලේ සිට චාල්ස් සොයිසා මහතා තරප්පු පෙළෙන් බැසගෙන එන විට බිම් මහලේ වියරු වැටීගෙන සිටි මේ බැල්ල චාල්ස් සොයිසාගේ ඇඟට කඩාපැන සපාකන්නට විය.

සේවකයින් ලවා බල්ලව ඔහුගෙන් වෙන් කර කූඩුවකට දැමූ අතර චාල්ස් සොයිසාව තම නෑදෑ වෛද්‍යවරයෙකුට පෙන්වූයේ ය. චාල්ස් සොයිසාගේ රෝගී තත්ත්වය ක්‍රමක්‍රමයෙන් ජල භීතිකා තත්ත්වයට පෙරළෙන්නට වූයෙන් වෛද්‍යවරයාගේ නිර්දේශය වූයේ මොහුව ලෝකයේ හොඳම ජලභීතිකා විශේෂඥයා වෙතට රැගෙන යා යුතු බව යි. ඔහු ඒ වන විට සිටියේ ප්‍රංශයේ බැවින් චාල්ස් සොයිසා ව ප්‍රංශය වෙත රැගෙන යා යුතු විය. නමුත් මෙයට දේශීය වෛද්‍යවරු කැමැත්තක් දැක්වූයේ නැත. ඔවුන් පවසා සිටියේ දේශීය වෛද්‍ය ක්‍රමයට ජල භීතිකා රෝගී තත්ත්වය සම්පූර්ණයෙන් ම සුව කළ හැකි බව යි.

ඇල්ෆ්‍රඩ් මන්දිරයේ සිතුවමක් (lakdivaenews.com)

කෙසේ හෝ ප්‍රංශ ගමන නතර වූ අතර ඔහුට සිංහල වෙදකම් කිරීමට තීරණය විය. තමා ජීවත් ව සිටි කොල්ලුපිටියේ ඇල්ෆ්‍රඩ් නිවස අසල සිංහල බෙහෙත් මඳකම නිසා ඔහු ව මොරටුවේ මන්දොරය වෙත ගෙන යන ලදී. මේ අතරතුර ඔහු ව සපා කෑ බැල්ල ද නොකා නොබී වියරු වැටී කූඩු ව තුළ දී ම මිය යයි.

මේ 1890 සැප්තැම්බර් මස 28 වන දින යි. චාල්ස් සොයිසා මහතා පිස්සු බලු රෝගයේ ලක්ෂණ පෙන්නුම් කරන්නට විය. බැල්ල සපා කෑ ස්ථානය ඉදිමෙන්නට විය. ඔහු තත්ත්වය එසේ තිබිය දී ශුද්ධ එම්මානුවෙල් මන්දිරයේ ජොහානස් ද සිල්වා පූජකතුමාට සහ ලෝස් වැන්කියු ලැම්බර්ග් නීතීඥතුමා ව එසැනින් තමා වෙත රැගෙන එන්න යි නියෝග කළේ ය. ඔවුන් පැමිණි පසු පූජකතුමා ලවා ආගමික වතාවත් කර ගත් සොයිසා මහා නීතීඥයා ලවා අවසන් කැමැත්ත සකස් කළේ ය. අවසන් කැමැත්ත ලියා අවසන් වී ටික වේලාවකට පසු සොයිසා මහතා සදාකාලික නින්දකට ගියේ ය. ඔහුගේ අවමංගල්‍යය සඳහා එංගලන්ත රජ මාලිගයෙන් නියෝජිතයන් ද පැමිණි අතර එම අවමංගල්‍යය ලංකාවේ මෙතක් තිබූ විශාලතම අවමංගල්‍යවලින් එකක් ද වනවා.

චාල්ස් සොයිසා මහතාගේ අවමංගල්‍ය දින. (lankadipa.lk)

චාල්ස් සොයිසා සිටුතුමාගේ මෙම මරණය ගැන කටකතාවක සඳහන් වන්නේ සුභූති හිමියන් විසින් එවූ පිල්ලියක් මඟින් ඔහු මරණයට ලක් වූ බව යි. සුභූති හිමියන් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්වලට දක්ෂ අයෙක් බවට කීර්තියක් උසුලාගෙන සිටි අයෙකි. චාල්ස් සොයිසා මන්ත්‍ර ගුරුකම් ගැන එතරම් සැලකිල්ලක් දැක්වූයේ නැත. දිනක් සුභූති හිමියන් ඇල්ෆ්‍රඩ් මන්දිරය අසලින් යන විට “මුත්තර බල්ලන් යන්නේ!”යැ යි චාල්ස් සොයිසා පවසා තිබේ. මෙය අසා කෝපගත් හිමියන් “හොදයි මම උඹට මිත්තර බල්ලෙක් එවන්නම්”යැ යි පවසා ගොස් ඇත. මෙහි ඇත්ත නැත්ත සොයාගැනීමට වර්තමානය වන විට මෙයට සම්බන්ධ කිසිවෙකුවත් ජීවත් ව සිටීදැ යි සැක සහිත යි.

මූලාශ්‍රයයන්:

  • lakdivanews.com
  • ලංකාදීප, දිවයින පුවත්පත්
  • vidya-gaweshana.blogspot.com

කවරයේ පින්තූරය: චාල්ස් සොයිසාගේ පිළිරුවක් (lakdivanews.com)

Related Articles