Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නවසීලන්තයේ නම ලොව රැන්දූ එඩ්මන්ඩ් හිලරි

ශ්‍රීමත් එඩ්මන්ඩ් හිලරි සැලකෙන්නේ 20 වන සියවසෙහි ලොව පහළ වූ දක්ෂතම දේශගවේෂකයෙකු හා කඳු නගින්නෙකු ලෙස යි. ලොව උසම කඳු මුදුන වන එවරස්ට් මුලින්ම සාර්ථකව තරණය කළ දෙදෙනාගෙන් එක් අයෙකු වූ ඔහු දක්ෂිණ ධ්‍රැවය තරණය කිරීම නිසාත් පසුකාලීනව ගෞරවාදරයට පාත්‍ර වුණා. මේ ඔහුගේ කතාව යි.

නවසීලතයේ ගෙවුණු දිවියේ මුල් කාලය

එඩ්මන්ඩ් හිලරි උපත ලැබුවේ 1919 වසරේ ජූලි මස 20 වන දා නවසීලන්තයේ ඕක්ලන්ඩ් හී දී යි. ඔහු සිය දිවියේ මුල් වසර කිහිපය ගතකළේ ඕක්ලන්ඩ් නුවරට නුදුරු ටකාඋ නම් ගම්බද පෙදෙසේ යි. එහිදී ඔහු සිය මූලික අධ්‍යාපනය ලැබුවා.

එඩ්මන්ඩ් හිලරි ළදරුවෙකු ලෙස- noted.co.nz

කියවීමෙහි ලැදියෙකු වූ එඩ්මන්ඩ් කුඩා කළ සිටම වික්‍රමාන්විත කතා රැගත් පොත් කියවීමට වඩාත් ආශා කළා. කෙසේ නමුත් ඔහු ඉතා ලැජ්ජාශීලී, නිහඬ දරුවෙකු වූ නිසා සිය ආශාවන් කිසිවෙකුට පැවසූයේ නැහැ. කෙටිකාලීනව ඕක්ලන්ඩ්හි පාසලකට ද ගිය ඔහු නව යොවුන් වියට එළැඹෙද්දී ඊට ආයුබෝවන් කියා සිය පියාගේ මීමැස්සන් ඇතිකිරීමේ ව්‍යාපාරය සමග පූර්ණකාලීනව සම්බන්ධ වෙනවා.

එඩ්මන්ඩ් සිය කඳු නැගීමේ ලැදියාව හා දක්ශතාවය  වටහාගන්නේ 1935 වසරේ දී යි. ඔහු 16 හැවිරිදිව සිටිය දී පාසලෙන් විනෝද චාරිකාවක් සංවිධානය කර තිබූ අතර එහිදී රුඅපෙහු කන්ද නැගීමේ අවස්ථාව ඔහුට ලැබුණා. ඔහු මේ ගමනට පෙම්බැඳි අතර ඉන් අනතුරුව ලත් සෑම අවස්ථාවක දීම කඳු තරණය හා හිම ක්‍රීඩා කිරීම ඔහු විසින් සිදුකළා. ඉතා උනන්දුවෙන් කඳු තරණය කිරීම සඳහා අවශ්‍ය වන අත්දැකීම් ඔහු ලබාගත් අතර, ඊට අවශ්‍ය කාය ශක්තිය ද වර්ධනය කරගත්තා. ඔහු වසර කිහිපයකට පසු නවසීලන්තයේ උස් කන්දක් ලෙස සැලකෙන, අඩි 7500ක උසකින් යුතු උසකින් යුතු ඔලිවර් කඳු මුදුන සාර්ථකව තරණය කළා.

දෙවන ලෝක යුධ සමයේ දී එඩ්මන්ඩ් හිලරි නවසීලන්ත රාජකීය ගුවන් හමුදාවට අනුයුක්තව කටයුතු කළා. මෙහිදී ඔහු ප්‍රධාන වශයෙන් මාර්ගෝපදේශකයෙකු ලෙස කටයුතු කළ අතර සටනක් අතරතුර තුවාල ලැබුවා. කෙසේ නමුත් කෙටිකලෙකින්ම සම්පූර්ණයෙන් ඔහු සුව අතට පත් වූ අතර නැවත කඳු නැගීමේ කටයුතු ආරම්භ කළා.

එවරස්ට් තරණය

1953 පළමු සාර්ථක එවරස්ට් ගවේශන කණ්ඩායම- theguardian.com

1940 දශකය තුළ දී එඩ්මන්ඩ් හිලරි නවසීලන්තය තුළ වූ උස් කඳු මුදුන් රාශියක් සාර්ථකව තරණය කළා. මේ අතර එහි උස්ම කඳු පන්තියක් වූ ‘දකුණු දිග ඇල්ප්ස්’ ද වුණා. ලොව උස්ම කඳු මුදුන වන එවරස්ට් තරණය කිරීමේ නොතිත් ආශාව ඔහුට ඇතිවුණේ මේ අතර යි. අඩි 29,028ක උසින් යුක්ත මෙය ඒ වන විට කිසිවෙකු විසින් සාර්ථකව තරණය කර නොතිබූ නිසා, එය සිදුකළ පළමුවැන්නා වීමට ඔහු ඉටාගත්තා. මේ වාර්තාව පිහිටුවීමට ආසන්නතම වූ ජෝර්ජ් මැලෝයි හා ඇන්ඩෲ අර්වින් ඊට ඔන්න මෙන්න සිටිය දී අතුරුදන්ව තිබුණා ඔවුන්ට අමතරව එවරස්ට් තරණයට උත්සාහ කිරීමේ දී අහිමි වූ ජීවිත ගණන ඉතා ඉහළ යි.

එඩ්මන්ඩ් හිලරිට එවරස්ට තරණය කිරීම හඳහා ඔවුන් හා එක්වන ලෙස ශ්‍රීමත් ජෝන් හන්ට් ගෙන් ආරාධනාවක් ලැබෙන්නේ මේ අතරතුර යි. එය ඔහු සතුටින් භාරගත් අතර ස්කොට්ලන්තයේ දී වසර දෙකක පුහුණුවකට ද සහභාගී වුණා. අවසන 1953 වසරේ මාර්තුවේ දී එඩ්මන්ඩ් ඇතුළු තවත් 20 දෙනෙකු තීරණාත්මක එවරස්ට් චාරිකාව ඇරඹුවා. මෙහිදී ඔවුන්ගේ සහායට නේපාල ජාතිකයින් 350 දෙනෙකු ද එක්වූවා. මේ අතර ෂර්පාවරුන් 36 දෙනෙකු ද වුණා.

එඩ්මන්ඩ් හිලරි (වමේ) හා ටෙන්සින් නෝර්ගේ- AP

උක්ත කණ්ඩායමේ බොහෝ දෙනා එවරස්ට් තරණයට උත්සාහ ගත්ත ද ඒ උත්සාහයන් සියල්ල ව්‍යර්ථ වෙනවා. අවසන ඔවුන් තීරණය කරන්නේ එඩ්මන්ඩ් හිලරි හා ෂර්පාවරයෙකු වන ටෙන්සින් නෝර්ගේ පමණක් යොදාගෙන එය ජයගන්නට යි. අභියෝගය භාරගන්නා ඔවුන් මරණය කරපින්නාගත් දුෂ්කර ගමනකින් පසුව 1953 වසරේ මැයි මස 29 වන දා එවරස්ට් සාර්ථකව තරණය කොට නිරුපද්‍රිතව පැමිණීමට සමත් වෙනවා.

දක්ෂිණ ධ්‍රැවය ජයගැනීම

එවරස්ට් ජයගත් පළමු පුද්ගලයින් දෙදෙනාගෙන් අයෙකු වීමත් සමග එඩ්මන්ඩ් හිලරි වෙත ලොව නන් දෙසින් ගෞරවාදරය ගලා ආවා. මේ ප්‍රසිද්ධිය ගවේෂකයෙකු ලෙස තවත් වික්‍රමාන්විත ක්‍රියා කරන්නට ඔහු දිරිගැන්වෙන්නට හේතුවක් වුණා. 1957 හා 58 වසරවල දී ඇන්ටාක්ටික් තරණය කරන කණ්ඩායමක් හා එක්වන්නට ඔහුට ඇරයුම් ලැබුණු අතර එහිදී ඔහුට පැවරුණේ ප්‍රධාන වශයෙන් ගවේෂක කණ්ඩායම්වලට ආධාර ගෙන ගොස් දීම යි. කෙසේ නමුත් ඉන් සෑහීමකට පත් නොවූ ඔහු තමන්ම දක්ෂිණ ධ්‍රැවය කරා යන්නට තීරණය කළා. මේ අනුව 1958 වසරේ ජනවාරි මස 4 වන දා ඔහු එහි ළඟා වූ ඔහු භූමිය මතින් වසර 46ක කාලයකදී එහි ළඟා වූ පළමුවැන්නා වුණා.

ඇන්ටාක්ටිකාවේදී- macaudailytimes.com.mo

1960 – 70 දශකවල දී ද ඔහු කඳු තරණය කිරීම් හා ප්‍රදේශ ගවේෂණය කිරීම් රාශියක් සිදුකළ අතර ඉන් කිහිපයක්ම හිමාල අඩවිය ආශ්‍රිතව සිදුවුණා.

නේපාල ජනතාව වෙනුවෙන්

එඩ්මන්ඩ් හිලරි කිසි කලෙක නේපාල ජනතාව සමග තිබූ සම්බන්ධතාව අත්හැරියේ නැහැ. පළමු වරට එවරස්ට් තරණයේ දී නේපාලය සමග ඉතා තද බැඳීමක් ඔහු ඇති කරගෙන තිබූ අතර කිසි දිනෙක එය වියැකී ගියේ නැහැ. ඔහු සිය මුදලින් නේපාලයේ කඳුකර පෙදෙස්වල රෝහල්, පාසල් ආදිය ඉදි කළා. මින් බොහෝ ව්‍යාපෘතිවලට ඔහු සිය ශ්‍රම දායකත්වය දැක්වීමත් විශේෂ යි. මීට අමතරව නවසීලන්තය හා සෙසු ලෝකය මුහුණදෙන පාරිසරික හා සාමාජීය ගැටළුවලට එරෙහිව ද ඔහු ක්‍රියා කළා. න්‍යෂ්ටික අත්හදා බැලීම්වලට හා සාගරයට අපද්‍රව්‍ය බැහැර කිරීමට ද ඔහු තදින්ම විරුද්ධ වුණා.

ගෞරවයට පාත්‍ර වීම හා දිවියේ අවසන් සමය

එඩ්මන්ඩ් හිලරි සිය දිවිය තුළ කිහිප විටකම සම්මානයට පාත්‍ර වී තිබෙනවා. එවරස්ට් තරණයෙන් කෙටි කලකට පසු ඔහු නයිට් නාමයෙන් පිදුම් ලැබූ අතර 1985 වසරේ දී ඉන්දියාවේ නවසීලන්ත මහ කොමසාරිස්වරයා ලෙස ද පත් වෙනවා. ඔහුට නිව්යෝක් නුවර ගවේෂකයින්ගේ සමාජයෙහි ගෞරව සභාපති ධුරය ද ලැබෙනවා.

එඩ්මන්ඩ් හිලරි වියපත්ව- Getty images

1975 වසරේ සිය පළමු බිරිය හා දියණිය ගුවන් අනතුරකින් මියයෑමෙන් පසු නැවත විවාහ වන ඔහු, දිවියෙහි සැඳෑ සමයේ දී නැවත ඕක්ලන්ඩ්හි සිය මීමැසි ව්‍යාපාරය වෙත යොමු වෙනවා. හිලරි 2008 වසරේ ජනවාරි මස ඕක්ලන්ඩ්හි දී මියයන විට 88 වන වියෙහි පසු වුණා.

කවරයේ පින්තූරය- achievement.org

Related Articles