Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

තම සෙබළුන්ට උණ බට වලින් කෘතීම පාද සෑදු වෛද්‍යවරයා – කර්නල් එඩ්වර්ඩ් ඩන්ලොප්

දෙවන ලෝක යුධ සමයේදී ජපන් හමුදාවේ අත් අඩංගුවට පත්ව සිටි ඕස්ට්‍රේලියානු රාජකීය වෛද්‍ය බළකායේ කර්නල් වරයෙක් වූ ශල්‍ය වෛද්‍ය සර් එඩ්වඩ් ඩන්ලොප් යුධ සිරකරුවෙක් ලෙස දීර්ඝ කාලයක් ජපන් අත්අඩංගුවේ පසුවෙනවා. ඉන් වැඩි කාලයක් ගත කරන්නේ  ජපනුන් විසින් නිර්මාණය කළ බුරුමය හා තායිවානය යා කරමින් ඉදිකරන ලද දුම්රිය මාර්ගයට අවශ්‍ය ශ්‍රමය සපයමින්.

මේ කාලය තුළ ඕස්ට්‍රේලියානු යුධ සිරකරුවන්ට මුහුණ පෑමට සිදු වූ කටුක වධ බන්ධන හමුවේ බොහෝ සිරකරුවන් ප්‍රමාණයක් රෝගීන් බවට පත්වෙනවා. අධික ලෙස වෙහෙස මහන්සියෙන් වැඩ කරන සිරකරුවන්ට අවශ්‍ය තරම් ආහාර පාන ලැබෙන්නේ නෑ. මූලික සෞඛ්‍ය පහසුකම් කිසිවක් නොලැබුණ අතර ඒ හේතුවෙන් සිරකරුවන් සියළු දෙනා පාහේ විවිධ රෝග වලට ගොදුරු වෙනවා. එම රෝගීන්ගේ සුභ සාධනය වෙනුවෙන් ඉතාමත්ම කැපවීමෙන් කටයුතු කළ සර් එඩ්වඩ් ඩන්ලොප් ඉතා අඩු පහසුකම් යටතේ පාද වල සුව නොවන තුවාල තිබූ සිරකරුවන්ගේ පාද ඉවත් කරමින් ඔවුන්ගේ ජීවිත මරණයෙන් බේරා ගන්නවා. ඉතින් අද ලිපිය සර් එඩ්වර්ඩ් ඩන්ලොප් පිළිබඳවයි.

ඖෂධවේදය හැදෑරු තරුණ ඩන්ලොප්

1907 වසරේ ජූලි 12 වනදා ඕස්ට්‍රේලියාවේ  වික්ටෝරියා ප්‍රාන්තයේ පවුලේ පළමු දරුවා ලෙස උපතලබන අර්නස්ට් එඩ්වර්ඩ් ඩන්ලොප් සිය ප්‍රාථමික අධ්‍යාපනය නිමකිරීමෙන් පසුව 1924 වසරේදී ඖෂධවේදය හැදෑරීම ආරම්භ කරනවා. 1927 වසරේදී මෙල්බර්න් නුවර ඖෂධවේදී පුහුණු පාසලකට ඇතුළත් වෙන ඔහු දැක්වූ දක්ෂතා හේතුවෙන් 1930 වසරේදී මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යාව හැදෑරීම සඳහා ශිෂ්‍යත්වයක් දිනා ගන්නවා. ඒ අනුව මෙල්බර්න් විශ්ව විද්‍යාලයට ඇතුළත් වන ඔහු 1934 වසරේදී ඉන් පිට වන්නේ පළමු පන්තියේ සාමාර්ථයක් සමගිනුයි. වෛද්‍ය විද්‍යාවට මෙන්ම ක්‍රීඩාවටද එකසේ දස්කම් දක්වන ඔහුට 1932 වසරේදී ඕස්ට්‍රේලියානු ජාතික රග්බි සංචිතයට ඇතුළත් වීමේ හැකියාව ලැබෙනවා.

ඕස්ට්‍රේලියානු  රාජකීය හමුදාවේ වෛද්‍ය බළකායට

සර් එඩ්වඩ් ඩන්ලොප් (Daily Telegraph)

උපාධිය ලබාගැනීමෙන් පසුව ළමා රෝහලක සේවය කරන ඔහු 1937 වසරේදී Master of Surgery උපාධිය ලබා ගන්නවා. පසුව බ්‍රිතානයේ රාජකීය වෛද්‍ය විද්‍යාලයට ඇතුලත් වන ඔහු ඉන් පිටවන්නේ ශල්‍ය වෛද්‍යවරයෙක් ලෙසයි. ඉන් පසුව 1939 වසරේදී එඩ්වර්ඩ් ඕස්ට්‍රේලියානු රාජකීය හමුදාවේ වෛද්‍ය බළකායේ 6 වන ඩිවිෂනයට ඇතුළත් වන්නේ කපිතාන් වරයෙක් ලෙසයි. ජෙරුසලමේ පිහිටි එතෙර පිහිටි ඕස්ට්‍රේලියානු ප්‍රධාන වෛද්‍ය මුලස්ථානය වෙත අනුයුක්ත කරනවා. එහි වැඩ බලන  සහකාර අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන ඔහු 1940 වසරේදී මේජර්වරයෙක් ලෙස උසස් වීමක් ලබා ගන්නවා. 1942 වසරේ පෙබරවාරි මාසයේ තවකාලික ලුතිනන් කර්නල් ධූරය දක්වා උසස් වීම් ලබන ඔහු ජාවා දූපතේ පිහිටි මිත්‍ර හමුදා සේනාංකයේ වෛද්‍ය සේවාව සදහා පිටත්කර හරිනවා.

ජපන් හමුදාවේ සිරකරුවෙක් ලෙස

ආක්‍රමණික ජපන් හමුදාව (Pinterest)

ජාවා දූපතේ පිහිටි මිත්‍ර හමුදාවේ අංක 1 මූලික රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයා ලෙස කටයුතු කරන්නට එඩ්වඩ්ට හැකියාව ලැබෙන අතර මිත්‍ර හමුදා හා ජපන් හමුදා අතර වූ සටනකින් අනතුරුව රෝහල ජපාන හමුදා විසින් යටත් කරගන්නවා. ඒ හේතුවෙන් එඩ්වඩ් හා තවත් මිත්‍ර හමුදාවේ වෛද්‍යවරුන් 106ක් ඇතුළු සොල්දාදුන් විශාල ගණනක් යුධ සිරකරුවන් ලෙස ජපන් හමුදා අත්අඩංගුවට පත්වන්නේ  1942 වසරේ මාර්තු මාසයේදීයි.

නිර්භීත යුධ සිරකරුවා

1943 වසරේ තායි – බුරුම දුම්රිය මාර්ගයේ සේවයේ නියුතු කම්කරුවෙක් ලෙස දකුණු පස සිටින්නේ ඩන්ලොප්ය. (SBS)

අල්ලාගැනීමෙන් පසුව මුලින්ම ඔහු ඇතුළු තවත් සිරකරුවන් 900ක්  සිංගප්පුරුවේ චැංගි (change) හි කඳවුරක​ රදවා තැබූ අතර 1943 වසරේ ජනවාරි මාසයේ එම සිරකරුවන් සියළු දෙනා තායිලන්තයට පිටත්කර හරිනවා. තායිලන්ත සිර කදවුරු තුළ ඒ වන විට 60000 කට ආසන්න සිරකරුවන් ප්‍රමාණයක් රදවා සිටි අතර ඒ අතරින් 13000ක් පමණ ඕස්ට්‍රේලියානු ජාතික භටයන් විය.

මෙම කාලයේදී තායිලන්තයේ සිට බුරුමය (මියන්මාරය) දක්වා කිලෝමීටර් 450ක දුරින් යුක්ත වූ නව දුම්රිය මාර්ගයක් ඉදිකිරීම අරඹන ජපන් හමුදාව එහි සියළු වැඩකටයුතු සඳහා කම්කරුවන් ලෙස යොදාගන්නේ යුධ සිරකරුවන්වයි. එඩ්වඩ් ඇතුළු සිරකරුවන් බොහෝ ප්‍රමාණයක් මේ සදහා යොදවනවා. මෙහිදී සිරකරුවන් 1000ක පමණ පිරිසක් අතර එඩ්වර්ඩ් එම කණ්ඩායම මෙහෙයවන පුද්ගලයා බවට පත්වෙනවා. මෙම 1000ක පමණ සිරකරුවන් කණ්ඩායම “ඩන්ලොප්ගේ බළකාය” ලෙස හැඳින්වුණා.

ජපන් හමුදාව විසින් කම්කරුවන් සදහා ප්‍රමාණවත් ආහාර ලබා නොදුන් අතර ඔවුන් විවිධ රෝගාබාධ වලට ලක්වෙනවා. ඔවුන්ට අවශ්‍ය මූලික වෛද්‍ය පහසුකම් පවා නොමැති මෙවැනි තත්වයක් යටතේ ස්වෙච්ජාවෙන්ම තම සහෝදර සෙබළුන්ගේ උපස්ථායකයා බවට පත්වෙන එඩ්වර්ඩ් ඔවුන්ට ප්‍රතිකාර කරනු ලබනවා.

දුම්රිය මාර්ගය තනන යුධ සිරකරුවන් (Pinterest)

රෝග හේතුවෙන් පිඩාවට පත්ව සිටි සෙබළුන්ව මානසිකව දිරිමත් කරන ඔහු ජපනුන්ගේ නීති රීති නොතකා තම සගයන් වෙනුවෙන් කැපවෙනවා. ඔවුන්ට ප්‍රතිකාර කිරීම ජපනුන් විසින් තහනම් කර තිබුණු බැවින් රෝගීන් පවා එඩ්වර්ඩ්ගෙන් ප්‍රතිකාර ලබාගැනීමට බිය වන්නේ ජීවිත අවදානම ගැනීමට අකමැති බැවින්. නමුත් ඉන් නොසැලෙන මේ නිර්භීත සිරකරුවා තම සහෝදර සෙබළුන්ගේ ප්‍රතික්ෂේප කිරීම් මධ්‍යයේ පවා ඔවුන් වෙනුවෙන් ප්‍රතිකාර කරනවා.

වැඩ කරන අතරතුර සිදුවන තුවාල වලට නිසි ලෙස ප්‍රතිකාර නොලැබීමෙන් සුව නොවන තුවාල වලට හැරීමෙන් ජීවිත අවධානමට ලක් වී සිටි සෙබළුන්ගේ පාද ඉතා අඩු වෛද්‍ය පහසුකම් යටතේ ශල්‍යකර්ම කර ඉවත් කරන ඔහු ඒ වෙනුවෙන් උණ​ බට වලින් තනන ලද කෘත්‍රිම​ පාද නිර්මාණය කරනවා.

යුද්ධයෙන් පසු

නැවත ඕස්ට්‍රේලියාවට පැමිණීමෙන් පසුව (Famous People)

යුද්ධය නිමවීමෙන් පසුව ශල්‍ය වෛද්‍ය උපදේශකයෙක් ලෙස කටයුතු කරන ඔහු මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ  දේශකයෙක් ලෙසද කටයුතු කරනවා. ලෝකය පුරා රටවල සංචාරය කරමින් පිළිකා හා මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් වලට සහභාගී වන ඔහු 1974 වසරේ සිට 1980 වසර දක්වා වික්ටෝරියා පිළිකා නාශක කවුන්සලයේ (Anti-Cancer Council of Victoria) සාමාජිකයෙක් ලෙසත් ඕස්ට්‍රේලියාවේ Victorian Foundation on Alcoholism and Drug Dependence පදනමේ සභාපති ලෙස වසර 12ක් කටයුතු කරනවා.

ඉන්දියාවේ, ශ්‍රී ලංකාවේ, තායිලන්තයේ හා දකුණු වියට්නාමයේ ශල්‍ය වෛද්‍ය විද්‍යාව වැඩි දියුණු කිරීම සදහා වැඩ සටහන් රැසක් ක්‍රියාත්මක වීම සිදුවන්නේ මොහුගේ ප්‍රධානත්වයෙන්.

“දෙවන ලෝක යුධ සමයේ ඕස්ට්‍රේලියානු යුධ සිරකරුවන්ගේ සංගමයේ” සභාපති ලෙස කටයුතු කල ඔහු යුධ සිරකරුවන් ලෙස සිට නිදහස ලැබූ තම සෙබළුන්ගේ සුභ සාධනය පිළිබඳව නිතරම සොයා බලනවා.

ඔහු වෙනුවෙන් ඉදිකර ඇති පිළිරුව (The Anzac Portal)

යුධ සමයේ ඉතා නිර්භීතව මෙන්ම ඉන්පසුව සමාජ ප්‍රගමනය උදෙසා වෙහෙසව  කටයුතු කල මෙම නිළධාරියා වෙනුවෙන් පදක්කම් රැසක් පිරිනැමෙන අතර ඒ අතරට Order of the British Empire (1947), Knight Batchelor (1969), Companion of the Order of Australia (1987), Knight Grand Cross, Order of St John of Jerusalem (1992) හා Knight Grand Cross (1st Class) (1993) යන පදක්කම් අයත් වෙනවා.1977 වසරේදී “වසරේ ඕස්ට්‍රේලියානුවා” යන සම්මානය ලබා ගන්නා අතර 1988 වසරේදී ඕස්ට්‍රේලියාවේ ශ්‍රේෂ්ඨයන් 200 දෙනා අතරට නම් වෙන මෙම අසහාය පුරුෂයා 1993 වසරේ ජුලි 2 වනදා මිය යන්නේ වසර 85ක ජීවන ගමනකින් පසුවයි.

කවරයේ ජායාරූපය – තම සහෝදර සෙබළුන් වෙනුවෙන් කැපවීම පිළිබඳව සිහි වීමට ඔහු වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ ඉදි වූ ස්මාරකයක් (On The Wallaby)

Related Articles