Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ක්‍රිකට් පිටියේ කළු සිංහයා- ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස්

මීට වසර 30-40කට පෙර හෙවත් 1970-1980 දශකවල බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම සැලකුණේ කිසි ලෙසකින් මෙල්ල කළ නොහැකි ලොව භයානකම ක්‍රිකට් කණ්ඩායම ලෙස යි. ක්ලයිව් ලොයිඩ්ගේ සූක්ෂම නායකත්වයත්. මයිකල් හෝල්ඩිං, ජොයෙල් ගානර් වැනි අධිවේගී පන්දු යවන්නන් ඇති කළ භීතියත් ලොව අනෙකුත් කණ්ඩායම් පරයා ජයග්‍රහණ රාශියක් ලබා ගැනීමට කොදෙව් කණ්ඩායමට මහඟු පිටිවහලක් වුණා. ලොව පැවති පළමු හා දෙවන එක්දින ලෝක කුසලානවල ශූරතාවය හිමිවූයේත් ඔවුන්ට යි.
කොදෙව් කණ්ඩායමට ඉහත කී ජයග්‍රහණ ලබා දීමට ඔවුන්ගේ පිතිකරණ අංශයත් මහඟු දායකත්වයක් ලබා දුන්නා. එහි කොඳු නාරටිය වී තිබුණේ ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් නම් ආරෝහ පරිණාහ දේහයකින් යුතු තැනැත්තා යි. විස්සයි විස්ස තරග ගැන කිසිවෙකුත් අසා නොමැති සමයක පන්දු යවන්නන්ට දිගට හරහට බැට දුන් ඔහු පුරාවෘතයක් බවට පත් වූයේ නිතැතින්. එකල ඕස්ට්‍රේලියාව හා එංගලන්තය වැනි සුදු ජාතික කඳවුරුවල බලයට නතු වී තිබූ ක්‍රිකට් ක්‍රීඩාවේ ආධිපත්‍යය සුනු විසුනු කර දැමූ ඔහු එක්දින ක්‍රිකට් ක්‍රීඩාව එදාමෙදා තුර දුටු විශිෂ්ටතම පිතිකරුවා ලෙස අදටත් බොහෝ දෙනා සලකනවා.

උපත හා කුඩා කාලය

1952 වසරේ මාර්තු මස 7 වන දා බටහිර ඉන්දීය කොදෙව් හි ඇන්ටිගුවා හි උපත ලද අයිසැක් විවියන් ඇලෙක්සැන්ඩර් රිචර්ඩ්ස් කුඩාකල සිට ම පරිණත ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන ලක්ෂණ ප්‍රකට කළා. ඔහුගේ වැඩිමහලු සොහොයුරන් වන මර්වින් හා ඩොනල්ඩ් ඇන්ටිගුවා කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීම ඔහුගේ ක්‍රිකට් ජීවිතයට පන්නරය ලබා ගැනීමට මහත් පහසුවක් වුණා.

විවියන් රිචර්ඩ්ස් (දකුණේ) ක්ලයිව් ලොයිඩ් සමග- News Limited

ශන්ත ජෝන් හි බාලක පාසලට සිය ප්‍රාථමික අධ්‍යාපනය සඳහා ඇතුළු වූ ඔහු පසුකාලීන ව ඇන්ටිගුවා ග්‍රැමර් පාසලට ඇතුළත් වුණා. මෙහි දී ක්‍රිකට් ක්‍රීඩාවේ වැඩි දස්කම් පෑ ඔහු ක්‍රීඩා භාර ආචාර්යවරයාගේ මෙන්ම විදුහල්පතිගේ ද ඇගයීමට ලක් වෙනවා. 18 වැනි වියේ දී පාසල් ගමනට ආයුබෝවන් කියන ඔහු ශාන්ත ජෝන් හි ප්‍රාදේශීය ක්‍රිකට් කණ්ඩායමට බැඳෙනවා. මේ කාලයේ දී ඔහු ප්‍රදේශයේ තැබෑරුමක අර්ධකාලීන ව සේවයේ නියුතු වන්නේ ක්‍රිකට් ක්‍රීඩාව සඳහා තමන්ට දැරීමට වූ වීයදම් සඳහා වූ මුදල් සොයාගැනීම උදෙසා යි.

ක්‍රිකට් තරුවක් පායා එයි

ඇන්ටිගුවා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩා කරන සමයේ දී රිචර්ඩ්ස්ගේ පිතිකරණ දක්ෂතා කාට කාටත් හොඳින් දර්ශනය වන්නට පටන් ගත්තා. මේ හේතුවෙන් රයිසින් සන් ක්‍රිකට් ඇකඩමියේ ක්‍රීඩා කරන්නට අවස්ථාවක් ඔහුට ලැබෙනවා. එහි ඔහු වසර 3ක් පමණ ක්‍රීඩා කරන අතර, එහි දී විශාල ලකුණු ප්‍රමාණවලට යන්නට ඔහුට හැකි වෙනවා. මේ හේතුවෙන් එංගලන්තයේ සමර්සෙට් කණ්ඩායමේ බලධාරීන්ගේ පවා අවධානය ඔහුට යොමු වෙනවා. තරුණ රිචර්ඩ්ස්ට එංගලන්තයේ ලෑන්ස්ඩවුන් ක්‍රීඩා සමාජයට බැඳෙන්නට ලැබෙන්නේ මේ අනුව යි. මුලින්ම එහි අතිරේක ක්‍රීඩකයෙකු ලෙස බැඳුණ ද, ඉක්මනින් ම ඔහුට ප්‍රධාන කණ්ඩායමේ දොරගුළු විවරවන්නේ ප්‍රකට කළ දක්ෂතාවය නිසා ම යි. 1974 වසරේ ලැබුණු එම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත් ඔහු, එම තරග වාරය නිමා කරන්නේ කණ්ඩායමේ හොඳම සාමාන්‍යය රඳවා ගනිමින්. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඔහුට සමර්සෙට් කණ්ඩායමේ දොරගුළු විවර වෙනවා.

සමර්සෙට් කණ්ඩායම වෙනුවෙන් ලැබුණු ප්‍රථම තරගයේ දී ඔහු තරගයේ වීරයා බවට පත් වෙනවා. මේ නිසා මේ භද්‍ර යෞවනයා දෙසට බටහිර ඉන්දීය කොදෙව් බලධාරීන්ගේ ඇස යොමු වෙනවා.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ දී දැක්වූ දක්ෂතා

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ 1974 වසරේ ඉන්දියානු තරග සංචාරයට රිචර්ඩ්ස් තෝරා ගැනුණු අතර, එම වසරේ නොවැම්බර් මස 22 දා බැංගලෝර් හි දී ටෙස්ට් වරම් දිනා ගන්නවා. පළමු තරගයේ සාර්ථක නොවුණත්, දිල්ලියේ පැවති සිය දෙවන ටෙස්ට් තරගයේ දී සදානුස්මරණීය ඉනිමක් දියත් කිරීමට ඔහු සමත් වෙනවා. ඒ නොදැවී ලකුණු 192ක් ලබා ගැනීමත් සමග යි. මේත් සමග විවියන් රිචර්ඩ්ස් ගැන දේශ දේශාන්තරයන් හි කතාබහ ඇති වෙනවා.

Getty Images

1975 වසරේ පැවති පළමුවන සීමිත ඕවර ලෝක කුසලානය දිනාගන්නේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම යි. එහි දී ද රිචර්ඩ්ස් සෑහෙන දායකත්වයක් තම කණ්ඩායමට ලබා දෙනවා. 1976 වසරේ දී ටෙස්ට් ක්‍රීඩාවේ හිණිපෙත්තට ම ළඟා වූ ඔහු, එම වසරේ තරග 11ක් තුළ ලකුණු 1710ක් ලබා ගන්නවා. මෙය වසර 30කින් ක්‍රීඩකයෙක් වර්ෂයක් තුළ ලබාගත් ඉහළම ලකුණු ප්‍රමාණය යි.

1979 වසරේ දී ලෝක කුසලානය නැවත වාරයක් තමන් සතු කරගන්නට බටහිර ඉන්දීය කොදෙව්වන් සමත් වූ අතර, එංගලන්තය සමග පැවති අවසන් තරගයේ දී අගනා ශතකයක් රැස්කර සිය කණ්ඩායම ජයටැඹ කරා මෙහෙයවන්නට ඔහු සමත් වුණා.

විවියන් රිචර්ඩ්ස් කවදත් එක්දින රටාවට ගැලපෙන ප්‍රවේගකාරී පිතිකරුවෙක් වුණා. 1980 දශකය වැනි එක්දින කණ්ඩායමක පිතිකරුවෙකුගේ ලකුණු ලබා ගැනීමේ වේගය පන්දු 100කට ලකුණු 65ක් තිබීමත් වේගවත් ලෙස සැලකෙන සමයක රිචර්ඩ්ස්, එක්දින තරගවල 90.2ක වේගයක් රඳවා ගෙන තිබීම ප්‍රශංසනීය වෙනවා. එය වර්තමානයේ විරාත් කෝලි පහර දෙන වේගයට සමාන වෙනවා. 1985 වසරේ ඔහු එක් වරක් ටෙස්ට් තරගයක දී එංගලන්තයට එරෙහිව සිය ශතකය වාර්තා කළේ පන්දු 56කිනුයි.

නායකයෙකු ලෙස

විවියන් රිචර්ඩ්ස් 1984 වසරේ දී කොදෙව් කණ්ඩායමේ නායකත්වයට පත් වෙනවා. ඔහු යටතේ සාර්ථක ගමනක් ගිය කොදෙව් කණ්ඩායම තරග 50ක් ඔහු යටතේ තරග වැදී, ඉන් 27ක් ජයගන්නා අතර පරාජය වන්නේ 8ක් පමණයි. ඔහු යටතේ කිසිදු ටෙස්ට් තරගාවලියක් කොදෙව්වන් පරාජය වී නැහැ.

පසුවදන

සිය දිවිය තුළ ටෙස්ට් තරග 121කට තරග වැදුණු රිචර්ඩ්ස්, එහි දී ලකුණු 8,540ක් ලබාගත්තේ 50.23ක සාමාන්‍යයක් රඳවා ගනිමින්. මීට අමතර ව එක්දින තරග 187ක දී ඔහු ලකුණු 6721 ලබාගෙන තිබුණේ 47.00ක් වැනි ඉහළ සාමාන්‍යයක් රඳවා ගනිමින්. රිචර්ඩ්ස් 1991 වසරේ දී ක්‍රීඩාවෙන් සමුගන්නවා.

රිචර්ඩ්ස් (වමේ) විරාත් කෝලි සමග- indianexpress.com

2000 වසරේ දී රිචර්ඩ්ස්, ඒ වන විට ලෝකයා දුටු හොඳම එක්දින පිතිකරුවා ලෙස නම් කෙරුණා. සිය ක්‍රීඩා ජීවිතයේ අවසන් භාගයේ ඔහු විඳි ඇස් පෙනීමේ ගැටළු හේතුවෙන් දක්ෂතාවන්හි අඩුවක් දකින්නට ලැබුණා. වර්තමානය වන විට ඉන්දීය කණ්ඩායමේ විරාත් කෝලි දක්ෂතා අතරින් රිචර්ඩ්ස් ආසන්නයට ම පැමිණ තිබෙනවා. කෙසේ නමුත් තවමත් ඔහු රිචර්ඩ්ස් පසු කර ගොස් නොමැති බැව් බොහෝ දෙනා පවසනවා. 1980 දශකයේ පිතිකරුවන්ට වාසිදායක නොවූ තණතිලිවල, අවම ආරක්ෂක උපාංග සහිත ව තමන් ක්‍රීඩා කළ පළමු එක්දින ඉණිම් 100 තුළ ලකුණු 4600ක් සමග 57කට වැඩි ලකුණු සාමාන්‍යකුත්, පන්දු 100ට 90කට වැඩි ලකුණු ලබාගැනීමේ වේගයකුත්, එසේ මෙසේ පිතිකරුවෙකුට රඳවා තබාගත නොහැකි බව ඔවුන් වැඩිදුරටත් කියා සිටිනවා.

කවරයේ පින්තූරය: bcci.tv

Related Articles