Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අසාමාන්‍ය පුරුදු තිබූ ලොව ප්‍රසිද්ධ චරිත 6ක්

සෑම පුද්ගලයකුට ම ඔවුන්ට අනන්‍ය වූ පුරුදු තිබේ. සාමාන්‍ය ජීවිතයේ දී මෙන් ම රාජකාරී ජීවිතයේ ඔවුන්ගේ එම පුරුදු කැපී පෙනෙන අවස්ථා එමට ය. බොහෝ දෙනකු යෙදී සිටින රැකියාව හෝ වෙනත් නිර්මාණ කටයුතු සාර්ථක වීම සඳහා මූලික වශයෙන් හේතු වන එක් සාධකයක් ලෙස ඔවුන් සතු ව පවතින එවැනි පුරුදු හඳුනාගත හැකි ය.

සමහර පුද්ගලයන් සතු ව ඇති පුරුදු තරමක් අසාමාන්‍ය ඒවා වේ. විශේෂයෙන් ම ප්‍රසිද්ධ පුද්ගලයන් බොහෝ විට වැඩි වශයෙන් සමාජය තුළ අවධානයට ලක් වන බැවින් ඔවුන් තුළ වන සමහර පුරුදු පිළිබඳව ද විශාල කතාබහක් ඇති වේ. මෙම ලිපිය එවැනි අසාමාන්‍ය පුරුදු තිබූ, ඔබ අප කවුරුත් දන්නා ප්‍රසිද්ධ චරිත කිහිපයක් පිළිබඳව යි.

චාර්ල්ස් ඩිකන්ස් – www.biography.com

1. චාර්ල්ස් ඩිකන්ස්

චාර්ල්ස් ඩිකන්ස් “A Tale of Two Cities” සහ “A Christmas Carol” වැනි සම්භාව්‍ය ග්‍රන්ථවල කතුවරයා විය. බ්‍රිතාන්‍ය ජාතිකයෙක් වූ ඔහු සතුව පැවැති සමහර පුරුදු නිසා විශාල වශයෙන් ඔහු සමාජය තුළ කතාබහට ලක් විය. ඔහු සිය කටයුතු කළේ ඔහු ම සකසා ගත් කාලසටහනකට අනුව බව කියැවේ. උදාහරණයක් ලෙස ඔහු සෑම දිනක ම උදෑසන 9 සිට සවස 2 දක්වා ලිවීමේ කටයුතුවල නිරත විය. ඊට පසුව ඔහු පැය තුනක් පුරාවට ඇවිදීමින් ව්‍යායාමවල යෙදී තිබේ. ලිවීමේ නිරත වන සෑම අවස්ථාවක ම නිවස තුළ උපරිම නිශ්ශබ්දතාවක් පවත්වා ගැනීමට ඔහු පවුලේ අයට උපදෙස් දී තිබිණි.

ඊට අමතර ව ඔහු සිය ලියන මේසය මත පෑන්, තීන්ත කුප්පි සහ කුඩා ප්‍රතිමා එකතුවක් විශේෂිත අනුපිළිවෙළකට තබා තිබූ අතර එමඟින් සිතීමේ ශක්තිය වැඩි වන බව ඔහු විශ්වාස කළැයි කියැවේ. එම ප්‍රතිමා එකතුව ඔහු යන සෑම තැනකට ම රැගෙන ගොස් තිබේ. තවත් සුවිශේෂී කරුණක් වන්නේ ඔහු හෝටල් කාමරවල සිටින අවස්ථාවලදී පවා සිය නිවසේ කාමරයේ පිළිවෙළට හෝටල් කාමර සකසා ගැනීම යි. එහිදී බොහෝ විට ඔහු හෝටල් කළමනාකාරීත්වය සමඟ සාකච්ඡා කොට එම කාමරවල ගෘහ භාණ්ඩ ආදිය තමන්ට අවශ්‍ය පරිදි ස්ථානගත කර තිබේ. ඔහු සෑමවිට ම නිදන කාමරයේ උතුරු දෙසට වන්නට නිදා ගත් අතර එමඟින් පෘථිවියේ ඇති විද්‍යුත් තරංග තමන් වෙතට පැමිණෙන බව ඔහු විශ්වාස කර තිබේ.

 බීතෝවන් – www.wikipedia.org

 

2. බීතෝවන්

ලුඩ්විග් වැන් බීතෝවන් ලෝ ප්‍රකට සංගීතඥයෙක් විය. ඔහු සිය නිර්මාණවලින් වැඩි කොටසක් කළේ ඇවිදිමින් බව කියැවේ. උදෑසන ආහාරය ලෙස කෝපි කෝප්පයක් පානය කළ ඔහු ඉන්පසු බෝංචි ඇට හැටක් ගණන් කළේ ඉන් මානසික ඒකාග්‍රතාවක් ඇති වන බව විශ්වාස කළ හෙයිනි. ඉන් අනතුරුව සිය ලියන මේසය ආසන්නයේ ටික වේලාවක් ගත කළ ඔහු ඇවිදීමට පිටත් ව ගියේ ය.

ඇවිද යන අවස්ථාවල ඔහුට අසන්නට සහ දකින්නට ලැබුණු දේවල් ඔහුගේ නිර්මාණ වඩාත් සාර්ථක වීමට හේතු වන්නට ඇති බව බොහෝ දෙනකු ගේ විශ්වාසය යි. ඇවිද යන අතරතුර තරමක් විශාල පොතක සංගීතය පිළිබඳ සටහන් යෙදීමට ද ඔහු පුරුදු වී තිබිණි.  එම පොතේ ම වෙනත් සංගීතඥයන් සකස් කළ තනු නිර්මාණ සටහන් කළ ඔහු ඒවායේ ඇති සුවිශේෂී දෑ අධ්‍යයනය කළේ ය. ඔහු නාමින් සිටි අවස්ථාවල දී පවා තනු නිර්මාණ කර තිබේ. ඔහු නිතර සිය දෑත්වලට ජලය වත්කරගත් බවත් කියැවේ.

මාර්සෙල් ප්‍රවුස්ට් – www.vikidea.org

 

3. මාර්සෙල් ප්‍රවුස්ට්

පිටු 3,000කින් යුතු දැවැන්ත නවකතාවක් වන “ඉන් සර්ච් ඔෆ් ලොස්ට් ටයිම්” රචනා කරන අතරතුර, ප්‍රවුස්ට් බොහෝ දුරට ජීවත් වූයේ ඔහුගේ නිදන කාමරයේ සීමාව තුළ පමණක් බව කියැවේ. ඔහු සාමාන්‍යයෙන් සවස 3 හෝ 4 වන තෙක් අවදි නොවී ය. එතරම් නින්දට ඇබ්බැහි වී සිටි ඔහු අවදි වූ වහා ම කෝපි කෝප්පයක් පානය කර ක්‍රොයිසන්ට් එකක් හෝ දෙකක් ආහාරයට ගෙන තිබේ.

සමහර දිනවල එය ඔහුගේ එක ම ආහාර වේල වූ අවස්ථා ද තිබේ. ඇදුම රෝගයෙන් පෙළුණු ඔහු එය සුව වේයැයි සිතා අබිං මිශ්‍ර දුම්වැටි කිහිපයක් ද දිනපතා පානය කළේ ය. ප්‍රවුස්ට් කොට්ට ගණනාවක් සිය ඇඳ මත තබා තිබූ අතර ඔහු ලිවීමේ නිරත වූයේ ද ඇඳේ සිට ය. එතරම් සැපපහසු ආකාරයෙන් කාලය ගත කළත් ඔහු පසුකාලීන ව පවසා තිබුණේ මෙම නවකතාව රචනා කිරීම තමන්ට විශාල බරක් වූ බව යි.

සැල්වදෝර් ඩාලි – www.redbubble.com

 

4. සැල්වදෝර් ඩාලි

ස්පාඤ්ඤ ජාතික සැල්වදෝර් ඩාලි අධි යථාර්තවාදයේ, එනම් අවිඥානික මනසට පිවිස පරිකල්පනයන් කිරීමේ ශිල්පයේ අති දක්ෂයෙක් ලෙස හඳුනා ගැනේ. “The Persistence of Memory” සහ “Swans Reflecting Elephants,” වැනි චිත්‍ර නිර්මාණය කිරීමේ දී ඔහුගේ සිහින සහ යථාර්තය අතර ඇති රේඛාව සටහන් කිරීමට ඔහු මෙම හැකියාව යොදාගෙන තිබේ.

ඔහු අවිඥානික මනසට පිවිසීමේ අරමුණින්, නිදා ගන්නා අවස්ථාවල දී එක්තරා ලෝහ යතුරක් අතින් දරා ගෙන සිටි බව කියැවේ. එම යතුර ඇඟට පතිත වූ වහාම අවදි වන ඔහු තමන් සිහිනෙන් දුටු දෑ ඉක්මනින් සටහන් කර තිබේ.

මායා ඇන්ජිලෝ – www.oprahdaily.com

 

5. මායා ඇන්ජිලෝ

“I Know Why the Caged Bird Sings” වැනි නිර්මාණ රචනා කළ අමෙරිකානු කිවිඳියක වූ මායා සිය නිවසේ සිට ලිවීමෙහි යෙදුණේ ඉතාමත් කලාතුරකිනි. නිවසේ ඇති සුවපහසු බව කාව්‍යකරණයට බාධාවක් යැයි සිතූ ඇය නිරන්තරයෙන් හෝටල්වල සහ වෙනත් බාහිර ස්ථානවල කාලය ගත කරමින් කාව්‍ය නිර්මාණයෙහි යෙදුණා ය. සමහර නිර්මාණ සිදු කිරීම සඳහා ඇය මාස ගණන් කුලී පදනම මත කාමර ලබාගත් බව කියැවේ.

ඒ සෑම අවස්ථාවකදී ම ඇය රැගෙන ගියේ ලිවීම සඳහා අවශ්‍ය පෑන්, කඩදාසි, බයිබලයක්, ශෙරි බෝතලයක් සහ කාඩ් කුට්ටමක් පමණි. ඇය සෑම විට ම විශාල ඉඩක් සහිත කාමර කුලී පදනම මත ලබා ගැනීමට ද වග බලා ගත්තා ය.  ඇඳේ ඇලයට වැතිර සිටිමින් කවි රචනා කිරීමට ඇය හුරු වී තිබුණි. ඒ නිසාම සිය අතක වැලමිටක් කළු පැහැයට හැරී තිබුණු බව ඇය එක්තරා පුවත්පතක් සමඟ ප්‍රකාශ කර තිබුණා ය.

ජොනතන් එඩ්වඩ්ස් – www.britannica.com

 

6. ජොනතන් එඩ්වර්ඩ්ස්

අමෙරිකානු ජාතික ක්‍රිස්තියානි දේශකයෙක් වූ ජොනතම් තරමක් ආන්දෝලනාත්මක ආකාරයේ ආගමික දේශන සිදු කළ අයකු ලෙස ප්‍රසිද්ධ විය. “Sinners in the Hands of an Angry God,” වැනි තේමා ඔස්සේ දේශන සිදු කළ ඔහු සතුව පැවැති සමහර පුරුදු අතිශයින් ම පුදුම සහගත ය. හිරු උදාවට පෙර අවදි වන ඔහු දිනකට පැය 13ක් පමණ පොත් පරිශීලනය කරමින් සහ සිය දේශනා ලියමින් කාලය ගත කළ බව කියැවේ.

පොත් කියවීමට බාධා වේ යැයි සිතා ඔහු ඒ පැය 13ක කාලය තුළ ආහාර ලබා ගැනීමෙන් පවා වැලකී සිටියේය. ඔහු ඇවිදීමේ ව්‍යායාම සඳහා යන විටත් පෑනක් සහ පොතක් රැගෙන ගියේ ඇවිදින අතරතුර සිහියට එන දෑ සටහන් කර ගැනීමේ අරමුණිනි. නිවසින් පිටව යන අවස්ථාවක යම් යම් දෑ සටහන් කරගැනීම මතක් වීමට සිය ඇඳුමේ කෙළවරක කඩදාසි කැබැල්ලක් රඳවා ගත්තේ ය.

 

කවරයේ පින්තූරය- ප්‍රවුස්ට් ඇඳක් මත වැතිර සිටින අයුරු දැක්වෙන සිතුවමක් - www.amp.dw.com

මූලාශ්‍ර:

www.history.com/ Evan Andrews
www.biography.com
www.britannica.com

Related Articles