Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

එලන් මස්ක්ගේ සාර්ථකත්වයට බලපෑ රහස් 6ක්

ලොව වඩාත් ම කතාබහට ලක්වන පුද්ගලයකු  ලෙස පසුගිය දිනවල දී සුප්‍රකට ටයිම් සඟරාවේ කවරයට ද ගිය ‘එලන් මස්ක්‘ ගැන නොදන්නා කෙනෙක් දැන්  නොමැති තරම් ය. ඔහු ලොව ධනවත් ම පුද්ගලයා ලෙස 2021 වසරේදී කිරුළු පැළඳුවේ ය. ටෙස්ලා, ස්පේස්එක්ස්, නියුරාලින්ක්, ස්ටාර්ලින්ක්, සෝලර්සිටි වැනි ජාත්‍යන්තරයේ නම් දැරූ සමාගම් කිහිපයක ම සාඩම්බර හිමිකරු වන්නේ මස්ක් ය.

ඔහුගේ සමස්ත වටිනාකම අමෙරිකා ඩොලර් බිලියන එකසිය අසූපහා ඉක්මවීම, ඔහු මෙම ජයග්‍රාහී කඩඉම වෙත ගෙන ආවේ ය. මස්ක්ගේ සාර්ථකත්වයට මුල්වූ සැබෑ හේතුව කුමක්ද ? මේ ලිපිය මස්ක් ම කියන පරිදි ඔහුගේ සාර්ථකත්වයට මඟ හෙළිකළ ආකල්පමය රහස් කිහිපයක් ගැන ය.

musk in one of his space ships
 පෙරළිකාර  එලන් මස්ක්  –  www.scmp.com 

 

01). සාර්ථකත්වය යනු මුදල් ම පමණක් නොවේ

  මස්ක් පවසන්නේ ධනවත්කමටත්, සාර්ථකත්වයටත් හේතුව මුදල් පසුපස හඹායාම නොවන බව යි. 2014 දී පැවති සම්මුඛ සාකච්ඡාවක දී තමගේ වත්කම කොපමණදැයි තමාවත් නොදන්නා බව ඔහු පවසා තිබුණේ කිසිදු පැකිලීමකින් තොරව ය.

“ ඇත්තටම මගේ ධනවත්කම කියලා අදහස් කරන්නේ කොහේ හරි තැනක පොදිගහලා තියෙන සල්ලි කන්දරාවක්  නෙවෙයි. ටෙස්ලා, ස්පේස්එක්ස්, සෝලර්සිටි වගේ සමාගම්වල කොටස්වලට වෙළඳපොලේ හිමිවෙලා තියෙන මුල්‍යමය වටිනාකම ඉහළ යෑම අනුව තමයි මගේ වත්කම තීරණය වෙන්නේ.“

මස්ක් එලෙස කියන කාලයේ ඔහුගේ වටිනාකම ඩොලර් බිලියන දහයක් ලෙස තක්සේරු වී තිබිණි. එතැන් පටන් ගත වූ වසර කිහිපයේදී ටෙස්ලා හි කොටස් මිල ඩොලර් බිලියන හත්සියය ඉක්මවා ගොස් තිබේ. එම මිලට ෆෝර්ඩ්, බී.එම්.ඩබ්, වොක්ස්වැගන්, ෆියැට් ක්‍රිස්ලර්, ෆෙරාරි වැනි මෝටර් රථ ක්ෂේත්‍රයේ නම ගිය සමාගම් සියල්ල ම වුව ද මිලයට ගැනීමට බැරි නැත. මේ වන විට සිය ජීවිතයේ අඩසිය වසක් ගෙවා අවසන් කර සිටින මස්ක්, අවසන් හුස්ම හෙළිය යුත්තේ බිලියනපතියෙකු ලෙස නොවන බව අදහන්නෙකි.

තම ධනයෙන් වැඩි ම කොටසක් අඟහරු මත ජනාවාස තැනීමේ සිහිනය සපල කරගැනීමට යෙදවීමේ අපේක්ෂාවෙන් සිටින මස්ක්, ඒ අතින් තවත් ධන කුවේරයෙකු වන බිල් ගේට්ස්ට සමාන ය. වසර ගණනාවක්ම ලෝක ධනවතා කිරුළ හෙබවූ බිල් ගේට්ස් ද විශ්වාස කරන්නේ බිලියනපතියකු ලෙස මිය යෑම යනු අසාර්ථකත්වයේ ලකුණක් බව ය. ඒ ජීවත් ව සිටිය දී තම ධනය පලදායි යමකට ආයෝජනය නොකළ බවක් ඉන් ඇඟවෙන නිසා ය. මස්ක් ද ඒ මතයේ ම සිටින්නකු බව ඔහුගේ කියුම් කෙරුම්වලින් ද ප්‍රකට වෙයි.

ටෙස්ලා
එලන් මස්ක්, ටෙස්ලා නිර්මාණයක් සමඟ – www.ft.com

 

02). ආසාවන් හඹා යෑමේ ගුණය

මස්ක්ගේ ආසාවන් හඹා යෑමේ ගුණය ඔප්පු කරන්නට ඔහුගේ අඟහරු කොලනි ව්‍යාපෘතිය හැර අන් යමක් අවශ්‍ය නැත. මස්ක්ගේ සෙසු සියලුම සමාගම් හා ව්‍යාපෘති පාහේ, අනාගතය වඩාත් සරුසාර කිරීමට ඔහු තුළ වන දැවෙන ආශාවේ ප්‍රතිපල ය. ස්පේස්එක්ස් නමැති රොකට් කක්ෂගත කිරීමේ සමාගම බිහිවූයේ රොකට්ටු කක්ෂගත කිරීමට දැනට පවත්නා ක්‍රමෝපායයන් කාර්යක්ෂ ම නොවන බව මස්ක්ට ප්‍රත්‍යක්ෂ වීමේ ප්‍රතිපලයක් ලෙස ය.

“ අමෙරිකාවේ අභ්‍යාවකාශ වැඩසටහන ඇත්තට ම මන්දගාමී යි. මං සෑහෙන කාලයක ඉඳලා ම බලාපොරොත්තු වුණා පෘථීවියෙන් එපිටට ගිහින් අඟහරු වෙත මිනිසකු යැවීම, සඳ මත අභ්‍යාවකාශ මධ්‍යස්ථානයක් පිහිටුවීම, වගේ දේවල් නාසා එකෙන් කරයි කියලා. කොටින් ම මීට වඩා සුලබව පෘථිවි කක්ෂයෙන් එපිටට මිනිසා ගමන් කරයි කියලා. නමුත් ඒක සිද්ධ වුණේ නැහැ.“

සිය බලාපොරොත්තු සුන්වීම ගැන එලෙස කනගාටුව පළකරන මස්ක්, සියල්ල අනාගතයට භාරදී නිකම් සිටියේ නැත. අඟහරු මතට කුඩා පරිමාණයේ හරිතාගාරයක් යැවීමේ ‘අඟහරු ක්ෂේමභූමි ව්‍යාපෘතිය‘ බිහිවූයේ එලෙස සුන් වූ බලාපොරොත්තු මතිනි. මහජනතාව පමණක් නොව අමෙරිකානු රජය හා නාසා ආයතනය ද, අභ්‍යාවකාශ චාරිකා සම්බන්ධයෙන් උනන්දු කිරීමට ඔහු කටයුතු කළේ ය. වැඩි ප්‍රතිපාදන ඒ සඳහා යෙදවීමට රජය පෙලඹවීම ද මස්ක්ගේ ඉලක්කය විය. එම ඉලක්කය සපුරා ගැනීමේදී ඔහුට එක් දෙයක් පැහැදිලි විය.

ඒ අමෙරිකා රජය මෙන් ම නාසා ආයතනය ද අභ්‍යාවකාශ චාරිකා වඩාත් සුලබ කිරීමට පසුගාමී වන්නේ අභ්‍යාවකාශ චාරිකා සඳහා දැරිය යුතු වියදම අති මහත් නිසා ය. දැනට භාවිත වන අභ්‍යාවකාශ ගවේෂණ තාක්ෂණය, අප සිතනවාට වඩා,  අනවශ්‍ය ලෙස වියදම් සහගත බව මස්ක්ට අවබෝධ විය. ඊට විසඳුම වූයේ ‘ස්පේස්එක්ස්‘ ය. වැදගත් ම කාරණය නම්, ලොව වඩාත් ම ලාබදායක රොකට්ටු කක්ෂගත කිරීමේ ව්‍යාපාරය ලෙස ජාත්‍යන්තරයේ අංක එකේ වැජඹෙන  ‘ස්පේස්එක්ස්‘ බිහිවීමට මූලික වූයේ මුදල් ඉපයීමේ පරමාර්ථය නොවීම ය. අඟහරු මතට කෙසේ හෝ මිනිසකු යැවීම එහි නිමිත්ත විය.

මුදල් යනු මස්ක්ගේ සාර්ථකත්වයේ කේන්ද්‍රස්ථානය නොවන බව කියාපාන තවත් සාධකයක් වන්නේ තමා හුදෙක් ඉංජිනේරුවකු මිස ආයෝජකයකු නොවන බවට මස්ක් කරන ප්‍රකාශය යි. ඔහු ම පවසන පරිදි සෑම දිනක ම උදෑසන අවදිව රැකියාවට යාමට මස්ක් පොලඹවන්නේ බැංකු ගිණුමට එකතුවන ඩොලර් මිටි නොව, තාක්ෂණික ගැටලු විසඳීමට ඔහු තුළ වන සහජ කැමැත්ත නිසා ය. මුල්‍යමය වශයෙන් සිදුවන අලාභය තඹයකට නොතකමින්, ටෙස්ලා සමාගමේ සියලු පේටන්ට් බලපත්‍ර ඔහු මහජනතාවට විවෘත කළේ ද, විද්‍යුත් මෝටර් රථ ක්ෂේත්‍රෙය් ප්‍රගමනය පමණක් අරමුණු කරගෙන ය.

spacex
ස්පේස්එක්ස් හි ඩ්‍රැගන් කෘ යානයක් ඉදිරිපිට සිටින මස්ක්   – www.fossbytes.com

 

03) දැවැන්ත අරමුණුවලට බිය නොවීම

මස්ක්ගේ ව්‍යාපාරවලට ම අනන්‍ය වූ තවත් කැපී පෙනෙන ලක්ෂණයක් නම් ඒවා කෙතරම් දැවැන්ත, වික්‍රමාන්විත ඉලක්ක අරමුණු කරගත් ඒවා ද යන්න ය. මෝටර්රථ ක්ෂේත්‍රය විද්‍යුත් වශයෙන් (ටෙස්ලා) විප්ලවීය වෙනසකට ලක්කිරීමටත්, අඟහරු මත ජනාවාස තැනීමටත් (ස්පේස්එක්ස්), රික්තක භූගත මාර්ග තුළ සුපිරි වේගවත් දුම්රිය යැවීමටත් (හයිපර්ලූප්), කෘත්‍රිම බුද්ධිය මිනිස් මොළය හා ඒකාබද්ධ කිරීමටත් (නියුරාලින්ක්), අධිවේගී චන්ද්‍රිකා අන්තජාල සබඳතා සක්‍රීය කරන්නටත් (ස්ටර්ලින්ක් ), සූර්ය බල හා විද්‍යුත් කෝෂ ක්ෂේත්‍රය උඩුයටිකුරු කිරීමටත් (සෝලර් සිටි) ඔහුට ඇවැසි ය. මේ සියලු වික්‍රමාන්විත අරමුණවලට පොදු වූ සාධකයක් තිබේ. ඒ මේ සියල්ල අසූව දශකයේ දී පමණ දැකගත හැකි වූ ළමා චිත්‍රකතා සඟරාවලින් ප්‍රකට කළ අනාගතවාදී දැක්මකින් යුතු, විසිතුරු මනංකල්පිත වන බැවිනි.

දකුණු අප්‍රිකාවේ ගත කළ ළමා විය විචිත්‍රවත් කළ සිනමාපට හා පොත්පත්වලින් ලත් ආභාසය තම ව්‍යපෘතිවල පදනම බව කියන්නට ඔහු පැකිලෙන්නේ නැත. කුඩා පරිමාණයෙන් නොව මහා පරිමාණයෙන් සිහින දැකිය යුතු බවත්, අනාගතය වෙනස් කරන එම සිහින සැබෑ කරගැනීමට වෙහෙසිය යුතු බවත්  මස්ක්ගේ කිය යි.

පවුල
එලන් මස්ක් සිය මව, සොහොයුරා හා සොයුරිය සමඟ   – www.cnbc.com

 

04). අවදානම පිළිගැනීමට සූදානම

සාර්ථකත්වය සොයා යන්නේ නම්, ඒ සමඟ අත්වැල් බැඳගත් අවදානම ද නිබඳව ම ඔබ සොයා පැමිණෙන බව දැන ගත යුතුම ය. අන් කවරකුටත් වඩා අවදානම්වලට මුහුණ දුන් මස්ක් හැර ඒ ගැන කියන්නට අන් සුදුස්සෙක් නැත. 2002 වසර වන විට ඔහු තමා සතු වූ මුල් ම සමාගම් දෙක වූ Zip2 (අන්තර්ජාලයෙන් නගරවල දිශාව සොයාගැනීමට ආධාරවන නාමාවලියකි ) හා PayPal (අන්තර්ජාලය හරහා මුදල් ගෙවීමේ පහසුකම ලබාදෙන සමාගමකි) හි සියලු කොටස් විකුණා ඩොලර් මිලියන දෙසීයක් අතැති ව සිටියේ ය. එවකට තිස්වැනි වියේ සිටි මස්ක් බලාපොරොත්තු වූයේ ඉන් අඩක් පමණක් ආයෝජනය කිරීමට වුව ද, සිදුවූයේ අනෙකකි. ස්පේස්එක්ස් හි  පළමු කක්ෂගත කිරීම් තුනම අසාර්ථක වූ අතර, සැපයුම් දාමයේ සිට නිර්මාණකරණය දක්වා සෑම අංශයක් ම මුහුණ දුන් පසුබෑම්වලින් ටෙස්ලා සමාගම ද හෙම්බත් ව සිටියේය. මුල්‍යමය අතින් මස්ක් මුහුණ දී සිටියේ විශාල අර්බුදයකට ය.

“ මට තෝරාගැනීම් දෙකක් තිබුණා. එක්කෝ මගේ මුදල් ටික රැකගෙන මගේ සමාගම් ටික වැටෙන්න ඉඩ හරින එක. නැතිනම් රැකෙන්න හරි නැතිවෙන්න හරි කියලා, අතේ ඉතිරිවෙලා තියෙන මුදල් ටික ආයෝජනය කරන එක.“

එලෙස කියන මස්ක් තෝරා ගත්තේ දෙවැනි විකල්පය යි. අතේ ඇති මුදල් සිය සමාගම්වල නැඟී සිටීම වෙනුවෙන් ඔහු ආයෝජනය කළේ ඉවක් බවක් නැති ව ය. අවසානයේ දී ණය බරින් කෙතරම් මිරිකී ගියාද යත්, ජීවන වියදම දරාගැනීම සඳහා මිතුරන්ගෙන් අතමාරු ලබාගැනීමට පවා මස්ක්ට සිදු විය. මස්ක් පවසන්නේ තමා කිසිදාක බුන්වත්වීමේ බියකින් නොපෙළුණු බව යි.

spacex launch
ස්පේස් එක්ස් පරිශ්‍රෙය්දි  කක්ෂගත කෙරෙන රොකට්ටුවක්   –  www.aa.com.tr 

05). විවේචකයන් නොසලකා හරින්න

මස්ක් පවසන පරිදි ඔහු වඩාත්ම කම්පනයට පත් කළේ බහුශ්‍රැත පණ්ඩිතයන්ගෙන් එල්ලවූ නිර්දය විවේචන ය. ටෙස්ලා සමාගමේ අවසානය ගැන පෙර නිමිති පහළකළ බ්ලෝග් අඩවි ඒ අතරින් පෙරමුණ ගත්තේ ය. සිය ඉලක්ක සපුරාගැනීමෙහිලා මස්ක් දැක් වූ හිතුවක්කාර අධිෂ්ඨානය ඊට එක් හේතුවක් වූවා විය හැක. නමුත් මස්ක් කියන්නේ වෙනස් කතාවකි.

“ මං කිව්වා නම් මං මේක අනිවාර්යයෙන් ම කරනවා කියලා, අන්න ඒක නම් මුරණ්ඩු කතාවක් වෙන්න පුළුවන්. නමුත් මං නිතර ම කිව්වේ මේ දේ කරන්න මං උපරිමයෙන් කැපවෙනවා කියලයි. “ මස්ක් පවසන්නේ එලෙසය.

ඔහු විවේචනය කළවුන් සේ ම මස්ක් ද ස්පේස්එක්ස් හා ටෙස්ලා වැනි සමාගම් කිසිදිනක ආර්ථික ලාභ ලබනු ඇතැයි සිතුවේ නැත. විවේචකයන් නොසලකා හැර තමාගේ ගමන යාමට තරම් මස්ක් නිර්භය විය. මස්ක් යනු සාර්ථකත්වය මුදල් මත තීරණය වන්නක් බව නොඇදහූවෙකි. ගැටලු විසඳීමේ හැකියාව මතත්, වැදගත් යැයි හැඟෙන ඉලක්ක හඹායාම මතත් සිය සාර්ථකත්වය රැඳී ඇතැයි විශ්වාස කළ මස්ක්ට ඒ නිසාම තීරණ ගැනීම ද පහසු විය. පුදුමයකට මෙන් වෙළඳපොළ ද මස්ක්ගේ මෙම පිළිවෙත ම අනුමත කළේය.

ඊට හොඳ ම සාක්ෂිය ලෙස පසුගිය වසරේ දී ඔහුගේ ස්පේස්එක්ස් සමාගමේ වටිනාකම ඩොලර් බිලියන සියයක් ලෙස තක්සේරු විය. මස්ක් වඩාත් ම ආඩම්බරයට පත්කළේ අමෙරිකානු  අභ්‍යාවකාශ ව්‍යාපෘතියට ඉන් ලබා දුන් අනගිභවනීය දිරිගැන්වීම ය. ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට ෂටල යැවීමේ ව්‍යාපෘතිය 2011 දී අත්සිටුවීමෙන් පසු පළමුවරට ගගනගාමීන් තිදෙනකු ඒ වෙත යැව්වේ පසුගිය වසරේදී ය. 

son
මස්ක්  සිය පුතු  X AE A 12 සමඟ –  thesun.co.uk

 

06). පසුබෑම් හමුවේ වුව ද විනෝද වන්න

මස්ක් යනු සතියකට පැය එකසිය විස්සක් වැඩ කරන බවට පුරසාරම් කියන, වැඩ කිරීමටම ඇබ්බැහි වූවෙක් විය හැකි ය. ඒ කිසිවක් ඔහු විනෝදවීමට ලැබෙන අවස්ථා පැහැර හැරීමට හේතුවක් කර ගන්නේ නැත. කෝවිඩ් 19 වසංගතය නිසා නිසා ටෙස්ලා මෝටර් රථ නිෂ්පාදන කම්හල වසාදැමීමට සිදුවූ විට සමාජ මාධ්‍ය ඔස්සේ වසංගත බිය ‘මෝඩකමක්‘ ලෙස මස්ක් කළ හැඳින්වීම විශාල ආන්දෝලනයක් ඇති කළේ ය.

සංචරණ සීමා හා නිවෙස්වල රැඳී සිටීම මානූෂීය අයිතීන් උල්ලංඝණය කරන‘ෆැසිස්ට්වාදී‘ නීති ලෙස හැඳින්වූයේ ද ඔහු ය.  ඉන් හටගත් කලබගෑනිය මස්ක්  සැලකුවේ කදිම විනෝදයක් ලෙස ය. පසුගිය වසන්ත සෘතුවේ දී සිය සියලු භෞතික වත්කම් විකුණා දමන බවට ඔහු නිවේදනයක් කළේ ඒවා ‘තමාට බරක්‘ බව පවසමිනි. ඉන් දින කිහිපයකට පසු ට්විටර් ඔස්සේ  ඔහු සිය අලුත උපන් පුතුගේ නම ‘X AE A 12 මස්ක්‘ බව නිවේදනය කළේසමාජ මාධ්‍ය යළිත් වරක්  කළඹමිනි.

justien
මස්ක්  හා ජස්ටීන්  තරුණ වියේ දී – pinterest.com

 

ඉදිරි තෙවසර තුළ අමෙරිකා ඩොලර් විසිපන්දහසකට මිල දී ගත හැකි මෝටර් රථ වෙළඳපොළට නිකුත් කරන බවට වහසි බස් දොඩන මස්ක්ගේ අලුත් ම බලාපොරොත්තුව ස්වයං ධාවන මෝටර් රථ නිර්මාණය තීව්‍ර කිරීම ය. මේ සියල්ල මැද පසුගිය වසර අවසන් වූයේ මස්ක්ට විශාල කම්පනයක් ගෙන දෙන සිදුවීමක් සමඟ ය. ඒ අඟහරු මතට මිනිසුන් යැවීමට බලාපොරොත්තු වන ‘ස්ටාර්ෂිප්‘ වර්ගයේ අභ්‍යාවකාශ යානයක් ගුවන්ගත කොට මිනිත්තු හයකදි මුහුදට කඩාවැටීමයි.

එම සිදුවීම මස්ක් හැඳින්වුයේ සුවිසල් ජයග්‍රහණයක් ලෙසයි.

“අත්‍යන්ත සාර්ථකත්වය සාමාන්‍ය සාර්ථකත්වයට වඩා වෙනස්. එවැනි අසීමාන්තික සාර්ථකත්වයක් ලබන්න නම් යමක් කෙරෙහි සීමාව ඉක්මවා ගොස් උමතු බවට පැමිණෙන ආකාරයක දැඩි ඇබ්බැහියක් ඒ කෙරෙහි පවත්වා ගත යුතුයි. මස්ක්ට තියෙන්නේ ඒ වගේ ඇබ්බැහියක්.“

මස්ක්ගේ දැවැන්ත සාර්ථකත්වයට බලපෑ දැවැන්ත ම රහස ගැන එලෙස කියන්නේ ඔහු ගැන හොඳින් ම දන්නා ඔහුගේ හිටපු බිරිය වන ජස්ටීන් ය.

මස්ක් පිළිබඳ තවත් ලිපි මෙතැනින් කියවන්න.

කවරයේ ඡායාරූපය - සක්වළත්, පෘථිවියත් දික්විජය කරන්නට පෙරුම් පුරන පෙරළිකාරයා එලන් මස්ක් - www.gq/magazine.co.uk

මූලාශ්‍ර:           

Elon Musk’s six secrets to business success – bbc.com

How did Elon Musk just become the richest person in the world? The answer is simpler than you might think - www.inc.com 

Elon Musk’s ex-wife on the secret to getting rich: Be obsessed – www.cnbc.com

Related Articles