Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දෙවන ලෝක යුද්ධයේ සෝවියට් ගුවන් නියමුවරිය- මාරියා දෝලිනා

1939 වසරේ සිට 1945 වසර දක්වා පැවති දෙවන ලෝක යුද්ධයේ දී මිත්‍ර මෙන්ම අක්ෂ පාර්ශවය ද නියෝජනය කරමින් යුද්ධය සඳහා කාන්තා දායකත්වය ලැබෙනවා. ඔවුන් මෙම සංග්‍රාම සමයේ දී විවිධ අයුරින් යුද්ධය සඳහා සහභාගි වෙනවා. එනම් යුද පෙරමුණේ සෙබළියන්, ගුවන් නියමුවරියන්, සැඟවුණු වෙඩික්කාරියන්, හෙදියන් හා යුද සැපයුම් අංශ සාමාජිකාවන් ආදී වශයෙන්.

දෙවන ලෝක යුද සමයේ කාන්තා නියෝජනය ඉහළම රට ලෙස සෝවියට් දේශය හැදින්විය හැකි යි. සෝවියට් දේශයේ රතු හමුදාවේ සෙබළියන් බොහෝ ප්‍රමාණයක් සෘජුවම යුද්ධයට හා යුද ආධාරක ක්ෂේත්‍රයන්ට අනුයුක්තව සේවය කර තිබෙනවා. ඒ අතරින් කිහිපදෙනෙක්ම යුද්ධය අවසන් වීමෙන් පසුව සෝවියට් සංගමයේ උපහාරයට ලක් වෙනවා. සෝවියට් කාන්තාවන් වැඩි ප්‍රමාණයක් සංග්‍රාමය හා අත්වැල් බැඳ ගන්නේ දෙවන ලෝක යුද්ධයේ හැරවුම් ලක්ෂයක් වන ස්ටාලින්ග්‍රාද් සටනේ දී යි. 

සෝවියට් ගුවන් හමුදාවේ ගුවන් නියමුවරියක් ලෙස කටයුතු කළ මාරියා දෝලිනා ද පසු කාලයේ සෝවියට් සංගමයේ උපහාරයට ලක් වූ යුද වීරවරියක් ලෙස නම් කළ හැකි යි. 1941 වසරේ සිට 1950 වසර දක්වා සෝවියට් ගුවන් හමුදාවේ සේවය කළ ඇය දෙවන ලෝක යුද්ධය සම්බන්ධ මෙහෙයුම් ගණනාවකට සහභාගී වී තිබෙනවා. පසුව ඇයට සෝවියට් දේශයෙන් පිරිනැමෙන ඉහළම සම්මානය වන සෝවියට් සංගමයේ වීරයා සම්මානය (Hero of the Soviet Union) හිමි වෙනවා.

වයස අවු: 18 දී සෝවියට් ගුවන් හමුදාවට ආ මාරියා දෝලිනා 

මාරියා දෝලිනා (pinimg)

වර්තමානයේ සයිබීරියාවට අයත් ප්‍රදේශයක 1922 වසරේ පවුලේ වැඩිමලා ලෙස මාරියා දෝලිනා උපත ලබනවා. ඇයට තවත් සොයුරු සොයුරියන් නව දෙනක් ද සිටිනවා. 1917 වසරේ වූ රුසියානු විප්ලවයේ දී ඇයගේ පියාගේ එක් පාදයක් අහිමි වෙනවා. ඉන්පසුව, 1934 වසරේ දී ඔවුන් සිය පදිංචිය වෙනස් කරමින් යුක්රේනයේ වෙත සංක්‍රමණය වෙනවා. පියාගේ පාදය අහිමි වීමත් සමග පවුලේ කුඩා සහෝදර සහෝදරියන් පෝෂණය කිරීමේ වගකීම ඈ හා ඇයගේ මවගේ උර මත පැටවෙනවා. 

මේ හේතුවෙන් වසර 12 දී පමණ පාසලෙන් ඉවත්ව කර්මාන්තශාලාවල රැකියා කිරීම සඳහා පෙළඹෙන මාරියා, මවගේ විරෝධතාවය නොසලකා හරිමින් සෝවියට් ගුවන් පුහුණු පාඨමාලාව සඳහා අයදුම් කරනවා. පුහුණුව සාර්ථකව නිමා කරමින් 1940 වසරේ දී එනම්, ඇයට හරියටම වයස අවු: 18 දී ගුවන් පුහුණු පාසලෙන් තම උපාධිය ලබාගැනීමට ඇයට හැකියාව ලැබෙනවා. පසුව ගුවන් පුහුණු වීම් වැඩිදුරටත් හැදෑරීම සඳහා Engels හමුදා ගුවන් පුහුණු පාසල සඳහා ඇතුළත් වෙන අතර, එම පුහුණුවත් සාර්ථකව නිම කිරීමට ඇයට හැකියාව ලැබෙනවා. ජර්මානුවන් විසින් සෝවියට් දේශය ආක්‍රමණය කිරීමට පෙර කාල සීමාවේ දී ඇය ගුවන් පුහුණු උපදේශිකාවක ලෙස පුහුණු පාඨමාලා කිහිපයකම කටයුතු කරනවා.

දෙවන ලෝක යුද්ධ සමයේ සෝවියට් ගුවන් නියමුවරියක් ලෙස 

මාරියා (staticflickr)

ඇයව සෝවියට් ගුවන් හමුදාවේ 587 වන බෝම්බ ප්‍රහාරක රෙජිමේන්තුවට අනුයුක්ත කරනවා. Petlyakov Pe-2 මධ්‍යම ප්‍රමාණයේ බෝම්බ හෙලන යානාවක් පදවන ඇය පාබල හමුදාව සමග සම්බන්ධව මෙහෙයුම් කටයුතුවල නිරත වෙනවා. ටික කාලයකින් ඇය එම ඒකකයේ උප බලඝන නායක ධූරය දක්වා උසස් වීමක් ලබනවා.

පසුව 125 වන බෝම්බ ප්‍රහාරක රෙජිමේන්තුවට මාරියා එකතු වෙනවා. 1943 වසරේ ජුනි 2 වන දා ජර්මානු ඉලක්ක කිහිපයකට බෝම්බ හෙලීම සඳහා ඇය ඇතුළු ගුවන් කණ්ඩායමක් පිටත් වෙනවා. නමුත් ඉලක්කය කරා ගමන් කිරීමට පෙර ජර්මානු ගුවන් නාශක අවි ප්‍රහාරයක් ඇයගේ බෝම්බ හෙලන යානය ඉලක්ක කරමින් එල්ල වෙනවා. ප්‍රහාරයෙන් ගුවන් යානයට හානි වුවත්, තම ඉලක්කය අත් නොහරින ඇය තවත් ඉදිරියට ගොස් නියමිත ඉලක්කයට බෝම්බ පතිත කරනවා.

බෝම්බ පතිත කිරීමෙන් අනතුරුව නැවත ගුවන් තොටුපොළ කරා ගමන් කිරීමේ දී ඇයගේ ගුවන් යානය, ජර්මානු ප්‍රහාරක ගුවන් යානා හයක් (ජර්මානු Fw 190 යානා දෙකක් හා ජර්මානු Bf 109 යානා හතරක්) විසින් වටකර ගනු ලබනවා. නමුත් ඇය පැද වූ Petlyakov Pe-2 යානයේ සිටි මැෂින් තුවක්කු ක්‍රියාකරුවා විසින් එම යානා හයෙන් Fw 190 සතුරු යානාවක් හා Bf 109 සතුරු ගුවන් යානාවක් බිම හෙලීමට සමත් වෙනවා. 

මෙලෙස ප්‍රහාර එල්ල කිරීමෙන් පසුව මාරියා හා මැෂින් තුවක්කුකරු නිරුපද්‍රිතව ගුවන් තොටුපොළට ගොඩබෑමට සමත් වෙනවා. මෙම කාල සීමාව තුළ ඇය දිවා මෙහෙයුම් 72කට සහභාගී වී ඇති බව සඳහන් වෙනවා. විශේෂයෙන් නැගෙනහිර පෙරමුණේ ජර්මානුවන්ට බෝම්බ හෙළීමේ මෙහෙයුම්වලට වඩා වැඩි දායකත්වයක් ඇය විසින් දක්වනවා.

ප්‍රධාන බෝම්බ හෙලීමේ මෙහෙයුම්වලට අමතරව සෝවියට් භට කණ්ඩායම් ප්‍රවාහනය කිරීම, යුද ටැංකි, කාලතුවක්කු අවි, ප්‍රවාහන දුම්රියයන්, නාවික ප්‍රවාහන කටයුතු ආරක්ෂා කිරීම වැනි දෑටත් ගුවන් නියමුවරියක ලෙස ඇය සහභාගී වී වෙනවා. විශේෂයෙන්, ස්ටාලින්ග්‍රාද් වෙත සෙබළුන් හා සැපයුම් ප්‍රවාහනය සඳහා ඇය, සිය දායකත්වය දක්වනවා.

දෙවන ලෝක යුද්ධයෙන් පසුව 

සෝවියට් ගුවන් නියමුවරියන් (historycollection)

දෙවන ලෝක යුද්ධයේ සෝවියට් දේශය වෙනුවෙන් කළ ඉහළ සේවාව අගයනු වස් සෝවියට් දේශයෙන් පිරිනැමෙන ඉහළම සම්මානය වන “සෝවියට් සංගමයේ විරයා” සම්මානය ඇයට ප්‍රදානය කරනු ලබනවා. ඒ, 1945 වසරේ අගෝස්තු මාසයේ දී යි. එදිනම ඇයට සෝවියට් සංගමයෙන් ලෙනින් පදක්කම ද පිරිනැමෙනවා. ඊට ටික දිනකට පසුව දෙවන ලෝක යුද්ධය, සෝවියට් දේශය ඇතුළු මිත්‍ර පාර්ශවයට ජයග්‍රණය අත්කර දෙමින් නිමාවට පත් වෙනවා. 

යුද්ධය අවසන් වී ටික කාලයකින් පසුව එනම්, 1950 වසරේ දී ගුවන් හමුදාවෙන් සමුගන්නා ඇය පදිංචිය සඳහා තෝරාගන්නේ යුක්රේනය යි. 

ගුවන් හමුදාවෙන් සමුගත් පසුව ඇයට සෝවියට් දේශයෙන් හා පසුව, රුසියාව විසින් ද විවිධ අවස්ථාවල දී විවිධ සම්මාන ප්‍රදානය කර තිබෙනවා. දෙවරක් විවාහ දිවියට පත් වන ඇය, එම අවස්ථා දෙකේම විවාහ කරගන්නේ දෙවන ලෝක යුද සමයේ සෝවියට් දේශයේ ගුවන් යානා කාර්මික සෙබළුන් දෙදෙනකු යි. 2010 වසරේ දී මෙම සෝවියට් වීර කාන්තාව මියයන අතර, මියයන විට ඇයට වයස අවුරුදු 83ක්.

මූලාශ්‍රයයන්- 

honoraryunsubscribe.com

online war history.com

Related Articles