අභ්‍යවකාශයට ගිය ප්‍රථම මිනිසා: යූරි ගගාරින්

1960 දශකය ආරම්භ වන විට සෝවියට් රුසියාව සහ ඇමරිකා එක්සත් ජනපදය අභ්‍යවකාශය ජයගැනීම සඳහා තරගයක යෙදෙමින් සිටියා. ඒ, අභ්‍යවකාශය වෙත මිනිසෙකු යවා යළි නිරුපද්‍රිතව පෘථිවිය වෙත ගෙන්වාගැනීම සඳහා පැවති තරගය යි. එම යුගය වන විට ලෝක බලවතුන් දෙදෙනා ලෙසින් වැජඹුණු සෝවියට් රුසියාව සහ ඇමරිකාව, තම අරමුණ සාර්ථක කරගැනීම සඳහා විවිධ අභ්‍යාවකාශ වැඩසටහන් දියත් කළා. අවසානයේ දී ඇමරිකානුවන් අභිබවා ගිය රුසියානුවන් මුලින්ම මිනිසෙකු අභ්‍යාවකාශයට යවා යළි නිරුපද්‍රිතව පෘථිවිය වෙත ගෙන්වා ගත්තා. 1961 වසරේ අප්‍රේල් 12 වැනිදා අභ්‍යාවකාශය වෙත ගිය එම ඓතිහාසික ගමන සඳහා සහභාගී වුණේ යූරි ගගාරින් නම් ගගනගාමියා යි. 

ගගාරින්ගේ ළමා කාලය 

1934 වසරේ මාර්තු 9 වැනිදා උපන් ගගාරින් දරුවා කුඩා කාලයේ දී කටුක දිවියක් ගත කළා. ඒ, වඩු කාර්මිකයෙකු ලෙස රැකියාව කළ ඔහුගේ පියාටත්, ගොවිපළක කිරි දොවන්නියක ලෙස රැකියාව කළ මවටත් යහමින් මුදල් නොතිබූ නිසා යි. වසර 7ක් යනතුරු දෙමාපියන්ගේ සහ සොහොයුරියන් දෙදෙනාගේ සෙවණේ වැඩුණු ගගාරින්ට දුක්මුසු කාල පරිච්ඡේදයක් උදාවුණේ හිට්ලර්ගේ නාසි හමුදාව සෝවියට් රුසියාව ආක්‍රමණය කිරීමත් සමග යි. එම කාල වකවානුවේ දී ගගාරින් පවුලට ඔවුන්ගේ නිවස අහිමි වුණා. ඔවුන්ගේ පවුලේ වැඩිමහල් ගැහැණු දරුවන් දෙදෙනාව බලහත්කාරයෙන් පෝලන්තයට රැගෙන ගියා. නාසි හමුදාවෙන් එල්ල වුණු බලපෑම් නිසා ගගාරින් පවුල කුඩා බිම් ගෙයක් තනාගෙන ජීවත් වුණා. එය ගගාරින්ගේ දිවියේ කටුකම කාල සීමාව බවට පත්වුණා.  

රුසියාවට පැමිණි නාසි භටයන් (gettyimages)  

අභියෝග රැසක් මධ්‍යයේ පාසල් අධ්‍යාපනය ලබයි  

නාසි හමුදාව විසින් ගගාරින් ජීවත් වුණු ප්‍රදේශය ආක්‍රමණය කරන විට ඔහු පාසල් අධ්‍යාපන කටයුතු ආරම්භ කර තිබුණා. නමුත් දෙවන ලෝක යුද්ධයේ බලපෑම හේතුවෙන් ඔහුගේ අධ්‍යාපන කටයුතු කඩාකප්පල් වුණා. ඒ, නාසි හමුදාව ගගාරින්ගේ පාසල ගිනි තබා විනාශ කළ නිසා යි. යුද්ධය අවසන් වීමෙන් පසුව යළි ක්‍රමවත්ව අධ්‍යාපන කටයුතුවල නිරත වුණු ගගාරින් ගණිතය, භෞතික විද්‍යාව වැනි විෂයයන්ට ප්‍රියතාවයක් දක්වනු ලැබුවා. පාසල් අවධියේ දී අභ්‍යාවකාශය පිළිබඳව ඉගෙනගත් මෙම දරුවා ඒ පිළිබඳව වඩාත් උනන්දුවක් දක්වන්නට පටන් ගත්තා. එම නිසා ඔහු අභ්‍යාවකාශය පිළිබඳව කරුණු සෙවීම ආරම්භ කළා. එමඟින් ලබාගත් දැනුම නිසා අනාගතයේ දී ගුවන් නියමුවෙකු වීම ඔහුගේ එකම සිහිනය වුණා. 

කර්මාන්ත පාසලකට ඇතුළු වෙයි 

1950 වසරේ දී කර්මාන්ත පාසලකට ඇතුළු වුණු ගගාරීන් කර්මාන්තශාලා සේවකයෙකු ලෙස ආධුනිකත්ව පුහුණුව ආරම්භ කළා. ඒ අතරතුර ඔහු වාත්තු ශිල්පය පිළිබඳව උපාධි පාඨමාලාවක් හදාරනු ලැබුවා. මාස 18ක පමණ කාලයක් එහි අධ්‍යයන කටයුතු කිරීමෙන් පසුව ඔහු වාත්තු ශිල්පය සහ කර්මාන්ත කටයුතු පිළිබඳ ගෞරව උපාධියක් ලබාගත්තා. ඉන් අනතුරුව ගගාරින් සිසුවා සරටොව්හි කාර්මික විද්‍යාලයට ඇතුළත් වුණේ වැඩිදුර අධ්‍යාපනය ලැබීම සඳහා යි. නමුත් ඔහු වාත්තු ශිල්පියෙකු ලෙස කටයුතු කිරීමට වැඩි කැමැත්තක් දැක්වූයේ නැහැ. ඒ, ගුවන් නියමුවෙකු බවට පත්වීම සඳහා ඔහු සිහින දකිමින් සිටි නිසා යි. 

ගුවන් නියමු ක්ෂේත්‍රයට පිවිසීම  

ගගාරින් තරුණයා ගුවන් නියමුවෙකු වීමට අධිෂ්ඨාන කරගත්තේ ඔහුට කුඩා කාලයේ දී මුහුණදීමට සිදුවුණු අත්දැකීමක් නිසා යි. ඔහුගේ නිවෙස ආසන්නයේ පිහිටි පෙදෙසකට ගුවන් හමුදාවේ ප්‍රහාරක යානයක් හදිසියේම ගොඩබස්සනු ලැබුවා. යානයෙන් එළියට පැමිණි ගුවන් නියමුවාට අවට සිටි ජනතාවගෙන් විශාල ප්‍රතිචාරයක් ලැබුණා. එම සිදුවීම කුඩා ගගාරින්ගේ සිතට තදින්ම කාවැදුණා. පසුකලෙක ඔහුට ගුවන් නියමුවෙකු වීමට පන්නරය ලබාදුන්නේ එම සිදුවීම යි. 

සරටොව්හි කාර්මික විද්‍යාලයේ සිටිය දී ගගාරින් තරුණයා දේශීය පියාසර සමාජයකට එක් වුණේ ස්වේච්ඡා සේවය සඳහා යි. එහි දී ලැබුණු නවතම අත්දැකීම් නිසා ඔහු තවත් දිරිමත් වුණා. 1955 වසරේ දී මුල්ම වරට ගුවන් යානයක් පැදවීමේ අවස්ථාව ඔහුට හිමිවුණා. ඉන් විශාල ආශ්වාදයක් ලැබූ මෙම තරුණයා අඛණ්ඩව පුහුණුවීම් කටයුතුවල නිරත වුණා. ඒ අතරතුර පැරෂුට් ආධාරයෙන් බිමට බැසීම ද ප්‍රගුණ කිරීමට මොහු අමතක කළේ නැහැ. 

ආධුනික ගුවන් නියමුවෙකු ලෙසින් (gettyimages)

ගුවන් හමුදා ජීවිතය 

1955 වසරේ අග භාගයේ දී සෝවියට් ගුවන් හමුදාවට එක් වුණු ගගාරින්, ඔරෙන්බර්ග්හි ගුවන් නියමු පාසලට අනියුක්ත කරනු ලැබුවා. එහි දී ඔහු විවිධ වර්ගයේ ගුවන් යානා පැදවීම සඳහා පුහුණුව ලබාගත්තා. වසරකට වැඩි කාලයක් උපදේශකවරයෙකු යටතේ පුහුණුව ලැබූ මොහු පසුව තනිවම ගුවන් යානා පියාසර කර හැකි මට්ටමට පැමිණියා. 

ගුවන් නියමුවෙකු ලෙසින් ලද සාර්ථකත්වය නිසා 1957 වසරේ නොවැම්බර් 5 වැනිදා ඔහුව ලුතිනන් තනතුර දක්වා උසස් කරනු ලැබුවා. ඉන් අනතුරුව ඔරෙන්බර්ග් ගුවන් නියමු පාසලෙන් උපාධිය ලබාගත් ගගාරින් තරුණයා වසර 2ක කාලයක් සඳහා නෝවිජියානු දේශ සීමාව ආසන්නයේ පිහිටි ලුස්ටාරි ගුවන් කඳවුර වෙත යවනු ලැබුවා. එහි දී සිය රාජකාරිය හොඳින් ඉටු කළ ගගාරින් මාස 20කට පසුව තුන්වන ශ්‍රේණියේ ගුවන් නියමුවෙකු බවට පත්වුණා. 

ගුවන් හමුදා සෙබළෙකු ලෙස (gettyimages) 

අභ්‍යාවකාශ ගවේෂණ වැඩසටහනට සම්බන්ධ වීම 

1950 දශකයේ අග භාගය වන විට සෝවියට් රුසියාව අභ්‍යාවකාශ ගවේශන වැඩසටහන් ආරම්භ කර තිබුණා. ඒ වන විට ගගාරින් තරුණයා ද අභ්‍යාවකාශ ගවේශනය පිළිබඳව උනන්දුවෙන් පසුවුණා. 1959 වසරේ ඔක්තෝබර් 6 වැනිදා ලූනා 3 යානය දියත් කිරීමෙන් පසුව ඔහුගේ උනන්දුව තවත් වැඩි වුණා. එම නිසා ඔහු අභ්‍යාවකාශ ගවේශන වැඩසටහන සමග සම්බන්ධවීම සඳහා අයදුම්පත් ඉදිරිපත් කළා. ඒ අතරතුර ඔහුව ජ්‍යෙෂ්ඨ ලුතිනන් තනතුර දක්වා උසස් කරනු ලැබුවා. එකල අභ්‍යවකාශ වැඩසටහන සඳහා ගුවන් නියමුවන් තෝරාගනු ලැබුවේ වෛද්‍ය කොමිෂන් සභාවක් විසින් සිදුකරන ලද සම්මුඛ පරීක්ෂණයකින් පසුව යි. එම සම්මුඛ පරීක්ෂණය සඳහා තෝරාගත්තේ වයස 25-30 අතර සිටි උස මීටර් 1.75ට නොවැඩි, බර කි.ග්‍රෑ 72 නොක්මවූ උදවිය යි. එලෙස පැවති සම්මුඛ පරීක්ෂණයෙන් සමත් වුණු ගගාරින් විසි දෙනෙකුගෙන් සමන්විත වුණු පුහුණු කණ්ඩායමක් සඳහා තෝරාගනු ලැබුවා. මාස 3ක පමණ පුහුණුවකින් පසුව එම කණ්ඩායමෙන් හයදෙනෙකු අවසන් අදියර සඳහා සුදුසුකම් ලබාගත්තා. ඒ අතර ගගාරින්ගේ නමත් ඇතුළත්ව තිබුණා.

අභ්‍යාවකාශ ගමනට සුදුසුකම් ලබාගැනීම 

අවසන් අදියර සඳහා සුදුසුකම් ලබා තිබුණේ ගගාරින්, කාටෂෝව්, නිකොලෙව්, පොපොවික්, ටිටොෆ්, සහ වාලමොව් යන ගගනගාමීන් හයදෙනා යි. 1960 වසරේ ජූනි මාසයේ දී ඔවුන් සඳහා පුහුණුවීම් ආරම්භ වුණේ විශේෂයෙන්ම සකස් කරන ලද ගගන යානයක් තුළ යි. මාසයක් පමණ පුහුණුවීම් කිරීමෙන් පසුව කාටෂෝව් සහ වාලමොව් යන ගගනගාමීන් දෙදෙනාව වෛද්‍ය හේතූන් මත පුහුණුවෙන් ඉවත් කරනු ලැබුවා. එහි දී කාටෂෝව්ව ඉවත් කරනු ලැබුවේ කේන්ද්‍රපසාරී පරීක්ෂණයේ දී ශරීර අභ්‍යන්තරයෙහි ඇතිවුණු තුවාල නිසා යි. එසේම වාලමොව්ව ඉවත් කරනු ලැබුවේ කිමිදීමක දී හිස තටාකයේ පතුලේ වැදීම නිසා ඇතිවුණු සංකූලතාවයන් හේතුකොටගෙන යි. එලෙස ඉවත් කළ දෙදෙනා වෙනුවට බයිකොව්ස්කි සහ නෙලිබොව් යන ගගනගාමීන් දෙදෙනා එක් කරගනු ලැබුවා. ඉන් පසුව අඛණ්ඩව මාස 5ක් පුරාවට විවිධ පුහුණුවීම් සිදුකරනු ලැබුවා. 

1961 වසරේ ජනවාරි 17 වැනිදා ඔවුන්ගේ අවසන් පරීක්ෂණය පැවැත්වුණා. එහි දී ප්‍රායෝගික සහ ලිඛිත යන දෙයාකාරයෙන්ම පරීක්ෂණ පැවැත්වුණා. ඉන් ලද අවසන් ප්‍රතිඵලයට අනුව අභ්‍යාවකාශ ගමන සඳහා සුදුසුකම් ලබා තිබුණේ යූරි ගගාරින්. හර්මන් ටිටොෆ් විකල්ප ගගනගාමියා බවට පත්වුණා.

වෛද්‍ය පරීක්ෂණයක් අතරතුර (gettyimages) 

ගගාරින්ගේ ඓතිහාසික අභ්‍යාවකාශ ගමන 

1961 වසරේ අප්‍රේල් 12 වැනිදා මුල්ම වරට මිනිසෙකු අභ්‍යාවකාශයට ගිය දිනය ලෙසින් සටහන් වුණා. එදා ගගාරින් සහ ටිටොෆ් ගගනගාමී ඇඳුමින් සැරසී, විශේෂ බස්රථයකින් වොස්ටොක් 1 යානය වෙත පැමිණියා. එහි දී ටිටොෆ් බස් රථයේ සිටිය දී ගගාරින් යානයට ඇතුළු වුණා.  වොස්ටොක් 1 යානය, ඉහළින් සවිකර තිබුණු වෘත්තාකාර සේවා ඒකකයකින් සහ අවස්ථා තුනක දී ක්‍රියාත්මක වන රොකට්වලින් සමන්විත වුණා. යානය සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීයව ධාවනය වීමට නිර්මාණය කර තිබුණේ, ශුන්‍ය ගුරුත්වයේ දී මිනිසකුගේ මානසික සහ ශාරීරික තත්ත්වයන් ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව පැහැදිලි අදහසක් ඒ වන විට නොතිබුණු නිසා යි. තව ද අවශ්‍ය වුණොත් ගගනගාමියාට යානයේ පාලනය සියතට ගතහැකි කේතයන් සහිත උපදෙස් පත්‍රිකාවක් ද ලබා දී තිබුණා.  

මෙම මෙහෙයුම නිසා ඔහුගේ ජීවිතය නැතිවීම සඳහා 50%ක අවදානමක් තිබුණත් ඔහු සැහැල්ලුවෙන් සහ ප්‍රීතියෙන් මෙහෙයුමට සහභාගි වුණා. මොස්කව් වේලාවෙන් උදෑසන 9.07ට යානය පිටත්වුණු අවස්ථාවේ දී ඔහුට දැනුණු හැඟීම විස්තර කොට තිබුණේ පහත දැක්වෙන ආකාරයට යි.

“මොස්කව් වෙලාවෙන් උදෑසන 09:07ට පමණ මට යානය බලගැන්වෙන ආකාරය දැනුණා. එවිට සියලු දේම දෙදරන්න පටන් ගත්තා. ඊළඟ මොහොතේ යානය සෙමෙන්  පිටත් වීම ඇරඹුණා. මොහොතකින් ගුරුත්වාකර්ශන පීඩනය තදින්ම මගේ සිරුරට දැනුණා. එය විසින් මා අසුනට දැඩි ලෙස තෙරපනු ලැබුවා. මාගේ දෙඅත් චලනය කිරීමට පවා නොහැකි වුණා. එම  පීඩනය වැඩි වේලාවක් නොපවතින බවත්, පෘථුවි ගුරුත්වාර්ශන සීමාවෙන් නික්මෙන තෙක් පමණක් බවත්, මා දැනගෙන සිටියා.”

වොස්ටොක් 1 යානය (gettyimages) 

පවුලේ උදවිය මෙම ගමන පිළිබඳව දැනගෙන සිටියේ නැහැ 

විනාඩි 108ක කාලයක් තුළ සිදුවුණු අභ්‍යාවකාශ මෙහෙයුම සාර්ථකව සිදුවුණු නිසා සෝවියට් බලධාරින් විසින් එය ලෝකයට හෙළිකරනු ලැබුවා. ගගාරින්ගේ බිරිඳ සහ මව ඔහුගේ ගමන පිළිබඳව දැනගත්තේ එම අවස්ථාවේ දී යි. ඔහු සිය මවට සහ බිරිඳට පවසා තිබුණේ විනෝද චාරිකාවක් සඳහා සහභාගි වන බව යි. මෙහෙයුම අවසන් වී ආපසු පෘථිවිය වෙත පැමිණෙමින් සිටි ගගාරින්ට විශාල අකරතැබ්බයකට මුහුණ දීමට සිදු වුණා.

ඒ සැලසුම් කොට තිබුණු පරිදි ආපසු ගෙන ඒමේ රොකට් යානය සේවා ඒකකයෙන් වෙන් නොවීම නිසා යි. එම නිසා යානය නැවත පෘථිවියට ඇතුල්වීමේ දී ප්‍රබල ගැස්මකට සහ කරකැවීමකට භාජනය වුණා. එසේම ඉලක්කකොට තිබුණු ගොඩබෑමේ ප්‍රදේශය ද වෙනස් වුණා. ඒ අනුව ස්ටාලින්ග්‍රාද් වෙතට ගොඩබැසීමට නියමිතව තිබුණු යානය සරටොව් වෙත ගොඩබසිනු ලැබුවා. එහි දී වාසනාවකට මෙන් නැවත ඇතුල්වීමේ දී ජනනය වුණු  තාපය නිසා සේවා ඒකකය හා රොකට් යානය අතර නොබිඳී තිබුණු සම්බන්ධය පිළිස්සීම මඟින් වෙන් වුණා. පොළවට සැතපුම් හතක් පමණ  ඉහළ අහසේ දී ගගාරින් පැරෂුටයක් ආධාරයෙන් සේවා ඒකකයෙන් ඉවත් වුණා. 

යානය තුළ සිටින ගගාරින් (gettyimages) 

ඉහළ පිළිගැනීමක් 

ඓතිහාසික අභ්‍යාවකාශ ගමන සාර්ථකව නිමා කරමින් යළි රුසියාවට පැමිණි ගගාරින්ව මහත් හරසරින් යුතුව පිළිගැනීම සඳහා උත්සව සංවිධානය කර තිබුණා. එසේම එවකට සෝවියට් නායකයා ඔහුව මේජර් තනතුර දක්වා උසස් කර තිබුණා. එදා යූරි ගගාරින් නාමය ලෝකය පුරාම ප්‍රසිද්ධියට පත්වුණා. 

ගගාරින්ට ලැබුණු ඉහළ පිළිගැනීම (gettyimages) 

ඉන් පසුව ගගාරින් මුළු ලෝකය පුරාම සංචාරය කළා. ඔහු 1961 වසරේ දෙසැම්බර් 7 වැනිදා ලංකාවටත් පැමිණියා. සෝවියට් රුසියාවේ ඊළඟ ඉලක්කය වී තිබුණේ මිනිසෙකු සඳ මතට යැවීම යි. ඒ සඳහා සම්බන්ධ වීමට ගගාරින් මහත් ආශාවෙන් සිටියා. නමුත් ඔහුගේ දෛවය ඒ සඳහා ඉඩ ලබාදුන්නේ නැහැ. 

ගගාරින් ලංකාවට පැමිණි අවස්ථාව (Facebook)

ගගාරින්ගේ ජීවිතයට අවාසනාව රැගෙන ආ දිනය ලෙසින් සටහන් වුණේ 1968 වසරේ මාර්තු 27 වැනිදා යි. එදා සිදුවුණු ගුවන් අනතුරකින් ගගාරින් මෙලොවින් සමුගත්තා. ඔහුගේ මරණය සැක සහිත එකක් බවට එකල මතයක් පැවතුණා. නමුත් ඉන් වසර 45කට පසුව ඇලෙක්ස් ලියොනොව් නම් රුසියානු ගගනගාමියා ගගාරින්ගේ මරණය සම්බන්ධ වැදගත් තොරතුරු කිහිපයක් අනාවරණය කළා. එහි දී ඔහු මරණයට සම්බන්ධ වුණු ගුවන් නියමුවාගේ නම හෙළිකලේ නැහැ. එම නිසා ගගාරින්ගේ මරණයට තවමත් අභිරහසක් සේ පවතිනවා.

කවරයේ ඡායාරූපය- යූරි ගගාරින් (gettyimages) 

මූලාශ්‍රයයන්- space.com

Related Articles