Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

බුදු වන තෙක් නැවත ඉපදෙන දලයි ලාමා

දලයි ලාමා කියන්නෙ කවුද කියන එක නොදන්න කෙනෙක් නෑ. බෞද්ධයින් පමණක් නොව ක‍තෝලික, හින්දු, සහ ඉස්ලාමිකයින් අතරත් “දලයි ලාමා” කියන මේ නම ඉතා ප්‍රසිද්ධයි. නමුත් දලයි ලාමා කියන්නෙ බෞද්ධ නායකයෙක්, එතුමා වැඩ ඉන්නෙ ටිබෙටයේ කියන කරුණු දෙක හැරුණම අපි මොනවද දලයි ලාමා ගැන දන්නෙ?

කවුද මේ “දලයි ලාමා”?

“දලයි ලාමා” කියන්නෙ නමක් නෙවෙයි. අපි අපේ සංඝනායකවරුන් “මහ නායක”, “අනුනායක” කියලා හඳුන්වනවා වගේම තනතුරක් තමයි මේ දලයි ලාමා කියන්නෙ.

දලයි ලාමා කියන්නෙ ටිබෙට් ජනතාවගේ අධ්‍යාත්මික නායකයා. ටිබෙට් ජනතාව චීන ආණ්ඩුව යටතේ පාලනය වෙද්දී, මුළු ජනගහනයෙන් 78.5%ක් වුණු ටිබෙට් බෞද්ධයන්ට දලයි ලාමාතුමා අධ්‍යාත්මික නායකත්වය සපයනවා.

ගෙලග් නිකායට අනුව කහ හිස් ආවරණයක් පැළඳි දලයි ලාමා (Gendun Drubpa Buddhist Centre)

කෙසේ නමුත් මෙම තනතුර ප්‍රදානය කරන්නේ චීනයේ මධ්‍යම ආණ්ඩුවෙන් මිස ටිබෙට් ජාතිකයින් නම් නොවෙයි.

ටිබෙට් බුදු දහමේ ඉතිහාසය

ශ්‍රී ලාංකික බෞද්ධයන් මෙන් නොව ටිබෙට් බෞද්ධයා අනුගමනය කරන්නේ මහායාන බුදු දහමයි. මීට අඩ සියවසකට පමණ පෙර චීනය මින්ග් රාජ වංශය විසින් පාලනය කරන ලද සමයේ ටිබෙට් බුදු දහමේ නිකායයන් තුනක් පැවතුණා. සාක්ය, ගාග්ය, සහ ගඩන්ග් යනුවෙන් හැඳින්වුණු මේ නිකායන්වල භික්ෂූන් ගතකළේ ඉතාමත්ම දූෂිත දිවි පෙවෙතක්. බුදුන් වදාළ මග පිළිපදිනවා වෙනුවට දහමෙන් අනුමත නොකරන තාලයේ සෙල්ලක්කාර දිවියක් ගත කළ මොවුන් වයෝවෘධ භික්ෂූන්ට අපහාස කළා, දූ කෙළියේ යෙදුණා පමණක් නොවේ, කාන්තාවන් පවා පැහැරගෙන ගොස් අතවරයට ලක් කළා. මේ නිසා ටිබෙට් ජනයා භික්ෂූන් කෙරෙහි කළකිරුණා.

ට්සොන්ග්කාපා භික්ෂුව (The Treasury of Lives)

එකල චීනයේ ඉපිද බුදු දහම හැදෑරීම සඳහා ටිබෙටයට පැමිණි ට්සොන්ග්කාපා නම් භික්ෂුව මෙම තත්ත්වයට පිළියමක් ලෙස සංඝ සංශෝධනයක් යෝජනා කළ අතර, ටිබෙට් වංශාධිපතීන්ගේ අනුමැතියද ඇතිව 1409 වසරේදී “ගෙලග්” නම් නව නිකායක් ද පිහිටෙවුවා. ඉතා ඉක්මනින් පැතිර ගිය මෙම නිකාය කෙටි කලකින් අනෙකුත් නිකායයන් පරදා අනුගාමිකයින් ‍රැස්කර ගත්තා.

දලයි ලාමා තනතුර ඇරඹීම

ගෙන්ඩුන් ග්යට්සෝ දලයි ලාමා (The Treasury of Lives)

පළමු දලයි ලාමාවරයා වූයේ ට්සොන්ග්කාපා භික්ෂුවගේ ශිෂ්‍ය භික්ෂුවක් වූ ගෙන්ඩුන් ඩ්‍රප් නම් ලාමාවරයෙකුයි. නමුත් ඔහු පළමු ලාමාවරයා ලෙස නම් කෙරුණේ ඔහුගේ මරණයෙන් වසර 104කට පසුවයි. දෙවන දලයි ලාමාවරයා සොයාගැනුනේ 1487 දීයි. ඔහු ගෙන්ඩුන් ග්යට්සෝ නම් වුණා. දලයි ලාමාවරුන්ගේ පරපුර ස්ථිර ලෙස පිහිටවීම සිදු වුණේ 1543 දී උපත ලද සොනම් ග්යට්සෝ නම් තෙවන දලයි ලාමාවරයාත් සමඟයි.

දලයි ලාමා හඳුනාගැනීම

දලයි ලාමා තනතුර දිගින් දිගටම ප්‍රදානය කරනු ලබන්නේ එකම පුද්ගලයාට බව කිවහොත් එහි වැ‍රැද්දක් නැහැ. දලයි ලාමා ලෙස මියයමින් නැවතත් නව සිරුරක උපත ලබන්නේ එකම පුද්ගලයෙකු බව ටිබෙට් ජාතිකයින් විශ්වාස කරනවා.

වර්තමාන දලයි ලාමාවරයා නීත්‍යානුකූල ලෙස පත්කිරීමේ උත්සවය (His Holiness the Dalai Lama)

ඒ නිසා දලයි ලාමාවරයෙකු මියැදුණු විට නව දලයි ලාමාවරයෙකු පත්කිරීමට නම් පළමුව මියැදුණු දලයි ලාමාවරයා නැවත උපත ලබන තෙක් සිටිය යුතු බව ඔවුන් විශ්වාස කරනවා. එනිසා ඔහු සොයාගැනීමේ වැඩකටයුතු අැරඹෙන අතර මෙයට වසර දෙක තුනක් වුවද ගතවිය හැකියි. දලයි ලාමාවරයා නැවතත් උපත ලබා ඇති බව ආරංචි වූ පසු ඔවුන් එහි ගොස් විවිධ පරීක්ෂණ පවත්වා, මේ සිටින්නේ පෙර මියගිය දලයි ලාමාවරයාම බව තහවුරු කරගන්නවා.

ඉන් අනතුරුව ලාමාවරුන් මේ බව චීන ආණ්ඩුවට දැනුම් දෙන අතර, කුඩා දරුවා සහ ඔහුගේ පවුල ටිබෙටයේ ලාසා නුවරට ගෙන යනවා. එහිදී කුඩා දරුවා ද්‍රෙපන්ග් ලාමායතනයට ඇතුලත් කරගන්නා අතර, ඔහුට දහම් අධ්‍යාපනය ලබා දී අනාගත තනතුර සඳහා පුහුණු කරවනු ලබනවා.

දලයි ලාමා පිළිබඳව වන පුරාවෘත්තය

ටිබෙට් ජාතිකයින්ගේ තදබල විශ්වාසයක් තමයි මතු බුදුවන බව කියන අවලෝකිතේශ්වර බෝධිසත්වයින් වහන්සේ තම මහා කරුණාව නිසා විටින් විට ටිබෙට් ජනයාට මග පෙන්වීම සඳහා පාලකයින් සහ ගුරුවරුන් ටිබෙටයට එවන බව.

ඒ විශ්වාසයන්ට අනුව දලයි ලාමා ලෙස ටිබෙටයේ උපත ලබන්නේ මතු බුදු වීමට පෙරුම් පුරන අවලෝකිතේශ්වර බෝධිසත්වයින්ම බව ඔවුන්ගේ විශ්වාසයයි.

අවලෝකිතේශ්වර බෝධිසත්වයෝ (Pinterest)

කඩම්පා නම් බෞද්ධ නිකායක ඉගැන්වීම් සහිත ආගමික පොතකට අනුව දලයි ලාමා පරපුර ඇරඹීමට ප්‍රථම කාලයේත් අවලෝකිතේශ්වර බෝසතුන් 60 වරක් පමණ විවිධ රජවරුන් ලෙසත්, තාපසයින් සහ යෝගීවරුන් ලෙසත් උපත ලබා ඇති බව කියවෙනවා. වර්තමාන දලයි ලාමාතුමා 14 වන දලයි ලාමාවරයා වන නමුත්, ඔහු පවසන්නේ තමා අවලෝකිතේශ්වර බෝසතුන්ගේ 74 වන උපත බවයි.

වර්තමාන දලයි ලාමාතුමා.

වර්තමාන දලයි ලාමා තරුණ අවධියේ දී – 1950 ගණන්වල විය යුතුයි. (Mashable)

මේ වන විට 81 වන වියෙහි පසුවන ටෙන්සින් ග්යට්සෝ නම් වර්තමාන දලයි ලාමාවරයා මෙතෙක් විසූ 14 වන දලයි ලාමාවරයායි. ඔබ බොහොමයක් දෙනා දැක ඇති සිනහමුසු මුහුණින් සිටින දලයි ලාමාවරයා එතුමායි. 1935 දී උපත ලද මෙතුමා දලයි ලාමා ලෙස හඳුනාගනු ලැබුවේ ඔහුට වසර 4ක් පමණ වුණු 1939 වසරේදීයි. ඔහු දලයි ලාමා ලෙස තම තනතුරේ කාර්යභාරයන් බාරගත්තේ ඔහුට වයස අවුරුදු 15ක් ගිය තැනයි. වර්තමාන දලයි ලාමාවරයා විසින් 1989 දී සාමය සඳහා වන නොබෙල් ත්‍යාගයද දිනාගනු ලැබුවා.

කවරයේ රූපය: (Where and Wander)

මූලාශ්‍ර:

  1. china.org.cn
  2. Dalai-lama-dharma-dharamsala-miniguide.com

Related Articles