ලාංකේය​ සංගීතයක් ආරම්භ කිරීමේ ප්‍රමුඛත්වයක් ගත් සුනිල් ශාන්තයන්ගේ අඩුව පිරිමැසීමට පැමිණි පුද්ගලයා අප සැවොම නම කියූ පමණින් හඳුනන අයිවෝ ඩෙනිස් ය. සුභාවිත සංගීතය පෝෂණය කිරීමෙහිලා අනගි සේවාවක් කල පුද්ගලයන් අතර අයිවෝ ඩෙනිස්ට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයක්. වසර 86 ක් ආයු වදාළා ජූනි මස 18 වනදා ඔහු අප අතරින් සමු ගත්තා.. මේ සටහන ඔහු පිළිබඳ​ මතකය ආවර්ජනය කිරීමටයි.

කුඩා කල සහ අධ්‍යාපනය

පැස්කුවෙල් දොන් ඔගස්ටින් අයිවෝ ලෙස සීදුවේ දී මෙම කලාකරුවා උපත ලබන්නේ 1932 වසරේ මැයි මස 28 වන දිනයි. මූලික අධ්‍යාපනය මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයෙන් ලබාගන්නා අයිවෝ අයිවෝ උසස් පෙළ අධ්‍යාපනය ලබන්නේ මීගමුවේ ලොයෙලා විද්‍යාලයෙනි. ලංකාවේ බිහි වූ විශිෂ්ට ගායක ගායිකාවන් බොහෝ දෙනෙක් පල්ලියේ ගීතිකා කණ්ඩායම් වලින් ලද අභාෂය තම ඉදිරි සංගීත කලාවට ආලෝකයක් කරගත්තේය. රුක්මනී දේවි, ලතා වල්පොල, මර්වින් පෙරේරා සහ අමරදේව ඊට උදාහරණ කිහිපයකි. අයිවෝ ඩෙනිස් ද කුඩා කල පටන් සීදුව කතෝලික දේවස්ථානයේ ගීතිකා කණ්ඩායමේ සාමාජිකයකු ව සිට ඇත​. තම පියා ගීතිකා කණ්ඩායම මෙහෙයවූ නිසා අයිවෝට එයට නිරතුරුව සම්බන්ධ වීමට හැකියාව ලැබුණි. කෙසේ නමුත් අයිවෝ ඩෙනිස් සඳහන් කර තිබුණේ ඔහුගේ දෙමව්පියන් තමන් සංගීතයෙන් ඉදිරියට යනවාට එතරම් කැමැත්තක් දැක්වූයේ නැති බවයි.

අයිවෝ ඩෙනිස් තරුණ කල (amarasara.info)


සුනිල් ශාන්තයන් හමුවීම

ඒ 1952 වසරයි. ගුවන්විදුලියේ ‘ආධුනික පැය’ නමින් වූ වැඩසටහනකට අයිවෝ ඩෙනිස් පැමිණියේ සුනිල් ශාන්තගේ ‘වරෙන් හීන් සැරේ රිදී වළාවේ’ ගීතය ගායනා කිරීමටයි. මේ අවස්ථාවේ සුනිල් ශාන්ත සිටියේ බම්බලපිටියේ තම නිවාසයේ ස්නානය කරමිනි. ඔහු තමන්ගේ ගීතයක් තමන්ගේ කටහඬට බොහෝ සමානව ගුවන්විදුලියේ ප්‍රචාරය වන නිසා ස්නානය මදකට නතර කර එය හොදින් ශ්‍රවණය කලේය. ඔහු මුලින් සිතුවේ එය තමන්ගේම ගීය නැවත ප්‍රචාරය වනවා කියායි. එහෙත් ගීතයේ යම් යම් තැන් වල අඩුපාඩු වූයෙන් මෙය ගායනා කරන්නේ කවුරුන්දැයි ඔහු තුල කුතුහලයක් ඇති විය. ගායනය අවසානයේ නිවේදකයා කියා සිටියේ එම ගීතයේ ගැයුවේ අයිවෝ ඩෙනිස් විසින් වන බවයි.


එකල සුනිල් ශාන්ත විසින් මරදානේ සංගීත පන්තියක් පවත්වන ලදී. ඔහු එහිදී කියා සිටියේ අයිවෝ ඩෙනිස් නම් පුද්ගලයාව තමන්ට හමුවිය යුතු බවයි. මෙම සංගීත පන්තියේ සුනිල් ශාන්තගේ ගෝලයෙක් ලෙස පැට්‍රික් දෙනිපිටිය සිටි අතර ඔහු ජීවත් වූයේ ජා ඇල ය. අයිවෝ ජීවත් වූයේ සීදුවේ ය. තමන් අයිවෝ ව හඳුනන​ බව පැට්‍රික් කියා සිටි නිසා ඔහුව සුනිල් ශාන්තට මුණගැස්සවීම පැට්‍රික් දෙනිපිටියට බාර විය. මේ අනුව අයිවෝ ඩෙනිස් සුනිල් ශාන්තව හමුවීම ඔහුගේ ජීවිතයේ සුවිශාල සංධිස්ථානයකි.

විවාහ වූ දා (divaina.com)

අයිවෝ ඩෙනිස් ගුවන්විදුලියට සම්බන්ධ වන්නේ සුනිල් ශාන්තයන්ගේ සංගීත වැඩසටහන් වලිනි. ඒවා ‘මධුර මධු’, ‘පංච මධුර’ සහ ‘සීගිරු ගී’ වේ. මොහු ගායකයෙක් ලෙස ප්‍රසිද්ධියට පත් වන්නේ සුනිල් ශාන්ත විසින් සංගීතවත් කල තිලක සුධර්මන් ද සිල්වා පදරචනය කල ‘කුරුලු පාරාදීසයේ කුරුලු ගීත සාගරේ’ ගීතය ගායනා කිරීම තුලිනි. මෙම ගීතය ගුවන්විදුලියේ ප්‍රචාරය වූයේ සුනිල් ශාන්තගේ ‘රන් වලාව’ නම් සංගීත වැඩසටහන තුලිනි. තම ප්‍රථම ගීතයෙන්ම ජනප්‍රියත්වයක් අයිවෝ හිමිකර ගත්තේය. එමෙන්ම සුධර්මන් ද සිල්වා පදරචනය කල එකම ගීය ද මෙයයි.

ගුරු දිවිය

අයිවෝ ඩෙනිස් ගැන පවසන විට ඔහුගේ ගුරු දිවිය ගැන කිව යුතුමයි. ඔහු පාසල් කිහිපයකම සංගීත ගුරුවරයා වශයෙන් සේවය කර තිබේ. 1959 වසරේ ඔහුගේ පලමු ගුරු පත්වීම ලැබෙන්නේ රත්නපුරේ ගැටන්ගම විද්‍යාලයටයි. ඔහු එම විද්‍යාලයේ වසර තුනක් සේවය කරයි. ඉන්පසු මීගමුවේ තිඹිරිගස්කටුව මහා විද්‍යාලයට යයි. එහි වසර දෙකක් සේවය කිරීමෙන් අනතුරුව මීගමුව හරිශ්චන්ද්‍ර විද්‍යාලයට ගුරු පත්වීමක් ලැබ එහි උගැන්මට යයි.

මේ අතරතුර 1974 වසරේ දී සෞන්දර් අධ්‍යන ආයතයේ ජන ගී සම්බන්ධ උපදේශක තනතුරක් ඔහුට ලැබේ. ඉන්පසු ශ්‍රීපාලි මණ්ඩපයේ ජන සංගීත උපදේශක ලෙසද කටයුතු කරයි. මින් බොහෝ කලකට පසු නැවතත් පාසල් ඉගැන්වීමේ කටයුතු වලට ඔහු පැමිණෙයි. එනම් වසර ගනනාවකට පසු ශාන්ත ආනා විද්‍යාලයට ගුරුවරයෙක් ලෙස පැමිණ වසර 4 ක් සේවය කර 1993 දී ගුරු දිවියෙන් විශ්‍රාම යයි.

අයිවෝ ඩෙනිස්. (දයාන් විතාරණ)


අයිවෝ සිනමාවේ

අයිවෝ ඩෙනිස් සිනමා ක්ෂේත්‍රයට පිවිසෙන්නේ ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘රේඛාව’ චිත්‍රපටයත් සමගයි. රේඛාව චිත්‍රපටයේ සුනිල් ශාන්තයන්ව නියෝජනය කිරීමට ඉන්දියාවට යන්නේ අයිවෝ ඩෙනිස් ය. ඔහු එහිදී ‘ඕළු නෙළුම් නෙරිය රඟාලා’ සහ ‘සීගිරි ළඳකගේ’ ගීත පුහුණු කරවනු ලබනවා. රේඛාව චිත්‍රපටයේ ආරම්භක විරිඳු ගායනය වන ‘අනුරාපුර පොළොන්නරුව සීගිරි මන බන්දනීය..’ විරිඳුව ගායනා කලේ අයිවෝ ඩෙනිස් විසිනි. ඉන්පසු ‘සන්දේශය’ , ‘හිම කතර’ චිත්‍රපට වලට ගායනා කිරීමට ඔහුට ඉඩහසර ලැබෙනවා. හිම කතර චිත්‍රපටයට ‘කන්ද එහා වැස්ස වහින්නා’ ගීතයත් ‘අවරගිර’ චිත්‍රපටයට ‘බමරුද බමරුද’ ගීතයත් ‘බඹරු ඇවිත්’ චිත්‍රපටයට ‘උදුම්බරා හිනැහෙනවා’ ගීතයත් ඔහුට ගායනා කරන්නට අවස්ථාව ලැබෙනවා. ඒ, ටී.එම්. ජයරත්න සහ සුනිලා අබේසේකර සමගයි. එමෙන්ම ‘ආදර හසුන’ චිත්‍රපටයට සුනිල් එදිරිසිංහ සමග ‘රන් දෙවොලින් බැස එන දෙයියෝ’ ගීතය ගායනා කරනවා.

අයිවෝ නළුවෙක් ලෙස කලා ලෝකයට පා තබන්නේ මකුළොලුව විසින් කරළියට ගෙන ආ ‘දෙපානෝ’ නාට්‍ය තුලිනි. ඔහුට එහි ප්‍රධාන චරිතයට පණ පෙවීමට අවස්ථාව ලැබේ. ඉන්පසු සතිශ්චන්ද්‍ර එදිරිසිංහගේ ‘තහංචි’ ගීත නාටකයේ ද ප්‍රධාන නළුවාට පණ පෙවීම අයිවෝ විසින් සිදු කරනු ලබනවා.

සම්මාන

1968 වසරේ දී අයිවෝ ඩෙනිස් නවසීලන්තයේ ABU නමින් හැඳින්වූ ජාත්‍යන්තර ගායනා තරඟාවලියකට ඉදිරිපත් වේ. ඔහු මෙහිදී නව ගීයක් ගායනා කරමින් එම තරඟාවලියේ ප්‍රථම ස්ථානය දිනා ගනු ලබනවා. 1985 දී හිම කතර චිත්‍රපටයට ගැයූ කන්ද එහා වැස්ස වහින්නා ගීතයට වසරේ හොදම චිත්‍රපට පසුබිම් ගායනය වෙනුවෙන් ජනාධිපති සම්මාන හිමි කර ගැනීමට මොහු සමත්වේ. වසර 50 ක දීර්ඝ කාලයක් සංගීත ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා කටයුතු කල බැවිනි 1995 වසරේදී අයිවෝට උණ්ඩා සම්මානයද හිමි වනවා. එමෙන්ම 2004 දී ලක්හඬ ගුවන් විදුලිය මගින් දේශාභිමාන ගීත පෝෂණය කිරීම වෙනුවෙන් 2004 දී අයිවෝ සම්මානයට පාත්‍ර කරනු ලබනවා.

අයිවෝ ඩෙනිස් ප්‍රසංගයක් අතරතුර (sinhala.srilankamirror.com)

ලංකාවේ බොහෝ සංගීතඥයන් සංගීතයේ ස්පර්ෂ නොකල පැති ස්පර්ෂ කල අයෙක් ලෙස ප්‍රේමසිරි කේමදාස ප්‍රකටයි. එකල ඔහු විසින් ගුවන් විදුලියේ ‘ප්‍රබුද්ධ’ නමින් වූ ගී වැඩසටහනක් කරගෙන සිටියේය. ඔහු ඒ සදහා නවක ගායකයින් සොයනා බව දැනගත් පසු අයිවෝ, ටී.එම්. ජයරත්නගේ මාර්ගයෙන් කේමදාසයන් හමුවිය. එහිදී කේමදාසයන් නිර්මාණය කල ‘අදුරු කුටිය තුල’ ගීතයට ටී.එම්. සමග අයිවෝට එක්වීමට අවස්ථාව ලැබුණි. කේමදාස ඇසුර නිසා ඔහුගේ ඔපෙරා, කැන්ටාටා සහ සිම්ෆනි වැනි නිර්මාණ සඳහා දායක වන්නට අයිවෝට අවස්ථාව ලැබුණි. චිත්‍රපට පසුබිම් ගායනයෙන් අයිවෝගෙන් උපරිම ප්‍රයෝජන ගත්තේ කේමදාස බවද මතක් කල යුතු වේ.

‘දකුණු නැගෙනගිර’ , ‘අභිමානනීය වූ නවෝදය’ , ‘සැළෙන ළෙලෙන උකුළු තලේ’ , ‘වළාකුලින් බැස’ වැනි අයිවෝගේ ගී අදටත් ජනප්‍රියයි. අයිවෝ ඩෙනිස් සුවිශාල ගීත සමුදායකට හිමිකම් නොකීවත් ගෝලයන් රැසක් බිහි කරමින් සුනිල් ශාන්තයන්ගෙන් පසු ඔහුගේ හිඩැස පිරවීමට ගත් උත්සහය සදා අමරණීයයි.


මූලාශ්‍රයයන්

1) රාවය, රැස, දිවයින සහ සරසවිය පුවත්පත්

2) සඳ මිදුලේ රන් මීවිත - විජිත් කුමාර සේනාරත්න

කවරයේ පින්තූරය - අයිවෝ ඩෙනිස් අවසාන කාලයේ (resa.lk)