ලලිත් විලියම් ඇතුලත්මුදලි ශ්‍රී ලංකාවේ කෘතහස්ත දේශපාලකයෙකු මෙන්ම කීර්තිමත් නීති විශාරදයෙකු වුණා. කලක් ජාත්‍යන්තර විශ්වවිද්‍යාල කිහිපයකම නීතිය ඉගැන්වීමෙහි යෙදී 1970 දශකයේ දේශපාලනයට පිවිසියා. මුලින් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ ඔහු 1992 සිට මිය යනතුරු ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කළා. සාහසිකයෙකුගේ වෙඩි පහරින් 1993 අප්‍රේල් 23 රාත්‍රියේ මිය ගිය ලලිත් ඇතුලත්මුදලි වඩාත් ප්‍රකටව සිටින්නේ මහපොළ ශිෂ්‍යාධාර ක්‍රමයෙහි නිර්මාතෘ ලෙසයැ යි සඳහන් කළ හැකියි.

හිටපු රාජ්‍ය මන්ත්‍රණ සභා මන්ත්‍රී ඩී. ඩී. ඇතුලත්මුදලි ලලිත්ගේ පියා වුණා. ඩී. ඩී. ඇතුලත්මුදලි 1931 – 36 සමයෙහි රාජ්‍ය මන්ත්‍රණ සභාව නියෝජනය කළ අතර 1947 සහ 1952 වසරවල දී එක්සත් ජාතික පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත්ව පරාජය වුණා. 1946 සැප්තැම්බර් 6 වනදා එක්සත් ජාතික පක්ෂය පිහිටුවීම සනිටුහන් කළ රැස්වීමට ද ඩී. ඩී. සහභාගී වුණා.

ලලිත් ඇතුලත්මුදලි තවත් බාල සහෝදරියකගේ සහ සහෝදරයෙකුගේ වැඩිමහල් සොහොයුරා වුණා.

පාසැල් සමය

ලලිත් ඇතුලත්මුදලි සිය පළමු පාසැල් වසර ගත කළේ කොළඹ කාන්තා විද්‍යාලයේ යි. එකල කොළඹ ප්‍රධාන කාන්තා පාසැල්වල පළමු පන්තිවල පිරිමි ළමුන් කිහිප දෙනෙකුට අවස්ථාව දෙනු ලැබුණා. ලලිත් කාන්තා විද්‍යාලයේ ඉගෙනුම ලබන්නේ එලෙසින්.

කෙසේ නමුත් ඉන්පසු, 1942 ජනවාරියේ, ඔහු රාජකීය ප්‍රාථමිකයට ඇතුලත් කෙරුණා. නමුත් ඔහුට එහි වැඩිකල් සිටීමට වූයේ නැහැ. මාර්තු මාසයේ ඇතුලත්මුදලි පවුල කොළඹින් පිට පදිංචියට ගියේ දෙවන ලෝක යුද්ධයේ උණුසුම ඒ වන විට ලංකාවට ද දැනෙමින් තිබූ බැවිනි. කෙටි කලකට පසු ඔහු පානදුර ශාන්ත ජෝන් විද්‍යාලයයට ඇතුළත් කෙරුණ අතර නැවතත් 1943 ජනවාරියේ සිට කොළඹ රාජකීය ප්‍රාථමික විද්‍යාලයට ඇතුලත් කෙරුණා.

1948 දී ඔහු රාජකීය ප්‍රාථමික විද්‍යාලයයෙන් රාජකීය විද්‍යාලයයට ඇතුලත් වුණා (එකල රාජකීය විද්‍යාලයය සහ රාජකීය ප්‍රාථමික විද්‍යාලයය වෙනමම පාසැල් දෙකක් ලෙසයි ක්‍රියාත්මක වුණේ).

පාසැල් සමයෙහි ඔහු මළල ක්‍රීඩාවට යොමු වූ අතර බාලදක්ෂ ව්‍යාපාරයට සහ ශිෂ්‍යභට කණ්ඩායමට ද සම්බන්ධ වුණා. 1954 දී දෙවන එලිසබෙත් රැජිණ ලංකාවට පැමිණි අවස්ථාවේ ආචාර පෙළපාලියකට ද ඔහු සහභාගී වුණා. මේ අතර 1952 දී අන්තර් පාඨශාලයීය කඩුලු මතින් දිවීමේ වයස 16න් පහල වාර්තාව හිමි කරගැනීමට ද ඔහු සමත් වුණා.

ඔක්ස්ෆර්ඩ් සරසවිය

පාසැලෙන් පසු වැඩිදුර අධ්‍යාපනය සඳහා බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවියට ඇතුලත් වූ ඇතුලත්මුදලි එහිදී හැදෑරූයේ නීතිය යි. මේ අතර ඔක්ස්ෆර්ඩ් ශිෂ්‍ය සංගමයේ (Oxford Union) කනිෂ්ඨ කාරක සභාවට 1956 මැද දී තරග කළ ඔහු ඉන් ජය ලබා ගත්තා. 1956 නොවැම්බර් 26 වනදා ඔහු එහි ලේකම් ලෙස තේරී පත් වුණා. මේ අතර 1957 දී ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලීය බෞද්ධ සංගමයේ ආරම්භක සභාපති වූ ඔහු 1957 ජූනියේ දී ඔක්ස්ෆර්ඩ් ශිෂ්‍ය සංගමයේ භාණ්ඩාගාරික ලෙස තෝරාගනු ලැබුණා.

1957 නොවැම්බර් 26 වනදා ඔහුගේ උපන් දිනය දාම, ඔක්ස්ෆර්ඩ් සරසවියේ ශිෂ්‍ය සංගමයේ සභාපති ධුරයට තරග​ කළ ලලිත් එම ධුරයට තේරී පත්වුණා.

ලලිත් ඇතුලත්මුදලි අධ්‍යාපනය ලද ඔක්ස්ෆර්ඩ් සරසවියේ ජීසස් විද්‍යාලය​ (Wikimedia Commons)

ලලිත් ඇතුලත්මුදලිගේ ඔක්ස්ෆර්ඩ් දිවිය නිම වීමට පෙර ඔහුගේ පියා මියගියා. ඒ 1958 නොවැම්බර් 10 වනදා යි. ඒ සමගම ඔහුගේ පවුලට ආර්ථික අපහසුතා එල්ලවන්නට වුණා. මේ අවස්ථාවේ එවක අගමැති එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක ඔහුගේ අධ්‍යාපනය සඳහා රජයෙන් ශිෂ්‍යත්වයක් ලබාදීමට​ අදහස් කළා​​. එවක අධ්‍යාපන ඇමති විජයානන්ද දහනායක විසින් පාර්ලිමේන්තුවට ඉරිදිපත් කළ යෝජනාව සම්මත වූයෙන් ලලිත් ඇතුලත්මුදලිට විශේෂ ශිෂ්‍යත්වයක් හිමි වුණා.

එම විවාදය පැවතියේ 1959 පෙබරවාරි 24 දා යි. ඇතුලත්මුදලිට දෙවසරක අධ්‍යාපනය සඳහා රුපියල් 5000කට නොවැඩි මුදලක් වෙන් කරනු ලැබුණා.

වෘත්තීය දිවිය

ඔක්ස්ෆර්ඩ් සරසවියෙන් උපාධිය අවසන් කළ පසු ඇතුලත්මුදලිට මලයා විශ්වවිද්‍යාලයයේ සිංගප්පූරු සරසවියේ (University of Malaya, Singapore Campus) සහකාර කථිකාචාර්ය තනතුරක් ලැබුණා. පසුව සිංගප්පූරු විශ්වවිද්‍යාලයය බවට පත්ව, අද වන විට සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලයය නමින් සුපතලව ඇත්තේ මෙම ආයතනය යි.

ඇතුලත්මුදලි (Daily News)

කෙටි කලකින්ම කථිකාචාර්ය තනතුරට උසස්වීමක් ලද ඇතුලත්මුදලි 1962 දී සරසවි නිවාඩු සමයේ ඊශ්‍රායලයේ හීබෲ සරසවියේ ආගන්තුක කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කළා. පසුව ඔහු හාවඩ් විශ්ව විද්‍යාලයෙන් ශ්‍රාස්ත්‍රපති (L.L.M) උපාධිය සම්පූර්ණ කළා.

නැවත සිංගප්පූරු සරසවියේ වසරක් ගෙවූ ඔහු 1964 ජූනි මාසයේදී ලංකාවේ අධිනීතීඥයෙකු ලෙස දිවුරුම් දුන්නා.

දේශපාලන කටයුතු

ලලිත් ඇතුලත්මුදලි එක්සත් ජාතික පක්ෂයේ අගලවත්ත ආසන සංවිධායක ලෙස පත්වීම ලැබූයේ 1973 මැයි 23 වනදා යි. 1976 ජූනි 1 වනදා ඔහු රත්මලාන සංවිධායක ලෙස පත් කරන ලද අතර 1977 මහ මැතිවරණයට ඔහු එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් තරග​ කළා. ඇතුලත්මුදලි මෙහිදී ඡන්ද 19,972ක් ලබාගත් අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සී.වී. ගුණරත්න ඡන්ද 12,141ක් ද, ලංකා සම සමාජ පක්ෂයේ විවියන් ගුණවර්ධන ඡන්ද 3,305ක් ද ලබාගත්තා. යූ. ජී. ගුණදාස පෙරේරා ඡන්ද 108ක් පමණක් ලබාගන්නට සමත් වුණා.

ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන සමග (Sunday Observer)

1977 දී වෙළෙඳ ඇමති පදවියට පත් කරන ලද ඇතුලත්මුදලි විවෘත ආර්ථිකය ශ්‍රී ලංකාවට හඳුන්වා දීමේ මූලික කාර්යභාරයක් සිදු කළ බව සඳහන්. විවෘත ආර්ථිකය යනු නිදහස් ආර්ථිකයක් නොවන බවත් එහි දොරටුවක් ඇති බවත් ඔහු පවසා තිබෙනවා. මෙම දොරටුව කෙතරම් විවිර කරන්නේ ද යන්න විවෘත ආර්ථිකයේ දී තීරණය කළ යුතු බව ඔහුගේ අදහස වුණා.

ආර්ථිකයේ පදනම තරගය​ නම් මිනිසා කැපවීමෙන් වැඩ කරනු ඇතැ යි යන්න ද, එවිට ඔහුගේ කුසලතා මතුවනු ඇතැයි යන්න ද මෙහි තවත් උපකල්පනයක් වුණා.

1978 සැප්තැම්බර් 7 වනදා සිට ඇතුලත්මුදලි වෙළෙඳ සහ නාවික ඇමති ලෙස පත් කෙරුණ අතර, කොළඹ වරාය කන්ටේනර් වරායක් බවට පත්කිරීම ඔහුගේ නායකත්වය යටතේ සිදු කෙරුණා.

කෙසේ නමුත් ලලිත් ඇතුලත්මුදලි නාමය ශ්‍රී ලංකාවේ පැළපදියම් වූ හේතුව නම් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට මහපොල ශිෂ්‍යාධාර ක්‍රමය ඇති කිරීම යි. එම ක්‍රමය ඇරඹුණේ 1980 වසරේ දී යි.

වික්ටෝරියා වේල්ල විවෘත කළ දිනය​. බ්‍රිතාන්‍ය අගමැතිණි මාග්‍රට් තැචර්, ජනාධිපති ජයවර්ධන​, ඇමති ගාමිණී දිසානායක ආදීන් සමග (JR Jayawardene Centre)

1984 මාර්තු 23 වනදා ඇතුලත්මුදලි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ලෙස දිවුරුම් දුන්නා. 1987 දී සුප්‍රසිද්ධ වඩමාරච්චි මෙහෙයුම හෙවත් විමුක්ති මෙහෙයුම (Operation Liberation) දියත් වන්නේ ඔහුගේ අධීක්ෂණය යටතේ යි. එම මෙහෙයුමේ දෙවන අදියරේ දී ඉන්දියානු බලපෑම මත එය නවතා දමන ලද අතර ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන සහ ඇතුලත්මුදලි අතර මතභේදයකට ද එය හේතු වුණා. ඉන්දියාවේ අවශ්‍යතාවට අත්සන් කෙරුණ ඉන්දු ලංකා ගිවිසුමට ඇතුලත්මුදලි තදින්ම විරුද්ධ වුණා.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය සමයේ (Getty Images)

කෙසේ නමුත් මෙම විරසකය දරුණු අර්බුදයක් වීමට පෙර 1987 අගෝස්තු 18 වන දා පාර්ලිමේන්තු බෝම්බ ප්‍රහාරය සිදු වුණා. රජයේ මන්ත්‍රීවරුන් එදින පාර්ලිමේන්තු සංකීර්ණයේ දී රැස් වූ අතර 1987 ඉන්දු – ලංකා ගිවිසුමෙන් පසු ඔවුන් එසේ රැස් වූ පළමු අවස්ථාව එය යි. එම කාමරය වෙත බෝම්බ ප්‍රහාරයක් එල්ල වුණා. මින් කීර්ති අබේවික්‍රම මන්ත්‍රීවරයා සහ තවත් නිලධාරියෙක් මිය ගියා. 1987 ඉන්දු – ලංකා ගිවිසුමට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් මෙම ප්‍රහාරය දියත් කළ බව සැලකෙනවා. මින් එම ගිවිසුමට එරෙහි වූ ඇතුලත්මුදලි බරපතල තුවාල ලැබීම දෛවෝපගත සිද්ධියකි.

සමානුපාත ක්‍රමය හඳුන්වා දීමෙන් පසු පැවති පළමු පාර්ලිමේන්තු මතිවරණය පවත්වන ලද්දේ 1989 පෙබරවාරි 15 දා යි. එහිදී එක්සත් ජාතික පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග​ කළ ඇතුලත්මුදලි මනාප 235,447ක් ලබා එම මැතිවරණයේ වැඩිම මනාප ලාභියා බවට පත් වුණා.

මෙම මැතිවරණයෙන් පසු කෘෂිකර්ම, ආහාර සහ සමූපකාර ඇමතිවරයා වූ ඔහු 1990 මාර්තුවේ දී අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ඇමති ලෙස පත් කරනු ලැබුණා.

මෙකළ ජනාධිපති ප්‍රේමදාස හා ගැටුම් වර්ධනය වන සමය වුණා. මෙහි උච්ච ස්ථානය වූයේ ජනාධිපතිවරයාට එරෙහිව දෝශාභියෝග යෝජනාවක් ගෙන ඒම යි. ඒ 1991 අගෝස්තුවේ යි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් සහ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රේමදාස විරෝධීන් පිරිසක් මෙම ක්‍රියාවලියෙහි නිරත වුණා. කෙසේ වෙතත්, දෝෂාභියෝහය ඉදිරිපත් කර දින දෙකකට පසු ඇතුලත්මුදලි ඇමතිධුරයෙන් ඉල්ලා අස් වුණා. ඒ 1991 අගෝස්තු 30 දා යි.

සැප්තැම්බර් 3 වනදා ඔහු ඇතුලු කැරලිකාර එජාප මන්ත්‍රීන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කෙරුණා. මන්ත්‍රීන් අට දෙනෙක් ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරුවා.

මේ අතර නව පක්ෂයක් ලියාපදිංචි කිරීමට ද මෙම පිරිස පියවර ගත්තේ නඩු තීන්දුව කිනම් ආකාර වේදැයි නොදත් නිසයි. කෙසේ නමුත් නඩු කටයුත්ත හේතුවෙන් ලලිත් ඇතුලු පිරිස නිල වශයෙන් ඊට සම්බන්ධ වුණේ නැහැ. මැතිවරණ කොමසාරිස් වෙත අදාල අයදුම්පත යොමු කළේ 1991 නොවැම්බර් 28 වනදා යි. පක්ෂ නායකයා වූයේ රාජනීතීඥ ඒ. සී. ගුණරත්න යි.

අවසන් සමය

දෙසැම්බර් 3 වනදා ඇතුලත්මුදලි ඇතුලු පිරිසට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප්‍රකාශ වුණා. ඉන්පසු ඔහු නව පක්ෂයේ වැඩකටයුතුවලට සම්බන්ධ වුණා. 1992 ජනවාරි 20 වනදා ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ රාජාලියා ලකුණින් ලියාපදිංචි පක්ෂයක් වෙද්දී ලලිත් ඇතුලත්මුදලි සහ ගාමිණී දිසානායක එහි උප සභාපතිවරු ලෙස පත් වුණා.

ප්‍රේමදාස පාර්ශවයෙන් ඇතුලත්මුදලිට 1991 – 1992 වසරවල සිව් වරක් මැර ප්‍රහාර එල්ල කෙරුණා. 1992 අගෝස්තු 29 වනදා දෙහිවල දී එල්ල වූ ප්‍රහාරයෙන් ඔහුගේ දිවි ගැලවුනේ වාසනාවටැ යි කිව හැකියි.

ලලිත් ඇතුලත්මුදලි 1993 අප්‍රේල් 23 වනදා රාත්‍රී 8.30 ට පමණ කිරුලපන පැවති ජන රැළියක් ඇමතුවා. ඒ පළාත් සභා මැතිවරණ සමය වූ අතර, ඔහු තම පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂකයෙකු වුණා. ඔහුගේ කතාව අවසන් වූ පසු ඔහුට සාහසිකයෙකු විසින් වෙඩි තබනු ලැබුණා. රෝහල්ගත කරන ලද ඇතුලත්මුදලි පසුව මියගියා.

එම ඝාතනයේ වගකීම එල්.ටී.ටී.ඊ සංවිධානය වෙත පැවරීමට රජය උත්සාහ කළ ද ජනාධිපති ප්‍රේමදාස වෙත එහි ඇඟිල්ල දිගු වන්නට වුණා. අප්‍රේල් 28 වනදා ඇතුලත්මුදලිගේ අවමඟුල දා, අවමඟුල් පෙරහැර අවස්ථාවේ ඇතිවූ නොසන්සුන්තාවයන් සහ කඳුලු ගෑස් ප්‍රහාර ද එම සැකය වැඩි කිරීමට හේතු වුණා.

ඔහුගේ මරණින් දින කිහිපයකට පසු 1993 මැයි 1 වනදා ජනපති රණසිංහ ප්‍රේමදාස මරාගෙන මැරෙන බෝම්බකරුවකුගේ ගොදුරක් බවට පත් වුණා.

ඇතුලත්මුදලිගේ මරණින් පසුවද ඔහු අතිශය ජනප්‍රිය පුද්ගලයෙකු වුණා. ඔහුගේ මරණින් පසුව පවත්වන ලද පළාත් සභා මැතිවරණයේ දී ඔහුට විශාල ඡන්ද ප්‍රමාණයක් ලැබුණ අතර ඔහුගේ බිරිඳ වූ ශ්‍රීමණී ඇතුලත්මුදලි 1994 මහ මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වුණා.

කෙසේ නමුත් ප්‍රේමදාසගේ මරණින් පසු ගාමිණී දිසානායක ඇතුලු ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ ප්‍රබලයින් පිරිසක් යළි එජාපයට එක් වූ අතර පක්ෂය දියාරු වී ගියා.

මූලාශ්‍රයයන්