Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නිව් යෝර්ක් හි ලිංගික වෙළඳසැල් සහ ලාංකිකයින්

කලකට පෙර අප විසින් පලකරන ලද ‘ලංකාවෙන් පිට සිටින ලාංකිකයන්ට පමණක් දැනෙන දේ’ නම් ලිපියට ඉතා ඉහල ප්‍රතිචාරයක් ලැබුණි. මෙහි තවත් ප්‍රතිපලයක් වුයේ එය කියවූ නවින් නමැත්තකු විසින් අපවෙත ගෙන ආ වෙනත් කතාවකි. මුල සදහන් ලිපියට වඩා බොහෝ සේ වෙනස් විෂයක් සම්බන්ධ වුවත් අපට හැඟුනේ එය අනිවාර්යයෙන්ම පල කල යුත්තක් බවයි.

2013 වසර අග භාගය, මැන්හැටන් නුවර –

රැකියාවක් සඳහා මැන්හැටන් නුවරට පැමිණි නවින්ට නිදාගන්නට බැරි බවකුයි හැඟුනේ, එයට හේතුව එහි වෙලාවත් ලංකාවේ වෙලාවත් අතර ඉතා දැඩි වෙනසක් තිබීමයි. ඉතින් තවදුරත් ඇඳට වී නිදාගැනීමට වෑයම් කරනවාට වඩා නගරය පැත්තේ ඇවිදින්නට යාම සුදුසුයැයි සිතු නවින් කැමරාවත් ගෙන Herald Square පෙදෙසට සක්මන් කළා.

වැඩිදුරක් යාමට පෙර ඔහුට Empire Erotica නමින් වූ අති විශාල සාප්පුවක් දකින්නට ලැබුණි, මෙය පිහිටියේ ලෝකප්‍රසිද්ධ Empire State ගොඩනැගිල්ලට මදක් බටහිර පැත්තට වන්නටය. මැන්හටන් නගරයේ මැදට වන්නට පිහිටි මෙයට Empire Exotica නමින් තවත් සාප්පුවක් පාර එහාපැත්තේ දක්නට ඇත.

දවල් කාලයේදී Empire Exotica දිස්වන අයුරු. චායරුපය : Google Street View

දවල් කාලයේදී Empire Exotica දිස්වන අයුරු. චායරුපය : Google Street View

මැන්හැටන් නගරයේ ඇති ඉහත සාප්පුවත් ලංකාවත් අතර ඇති සම්බන්ධය කුමක්දැයි ඔබ දැන් කල්පනා කරනු ඇති. තරමක් වෙලා එහි රැඳී සිටින විට කිසියම් පුද්ගලයෙක් ඔහු දෙසට පැමිණෙන බව නිවීන්ට පෙනුනි. ඔහු ශ්‍රී ලංකාකියෙකි. වයස අවුරුදු 50ක් පමණ ලෙස පෙනුණු මොහු නවින්ගෙන් “ලංකාවෙන්ද?” යයි ඇසුවේ දැඩි සතුටක් සහිතව වුවත් නවීන්ගේ ගෙල වටා තිබුණු කැමරාව දුටු ඔහු “ෆොටෝ නම් ගන්න එපා” යයි පැවසුවේ වටපිට බලමිනි.

පිටතින් නම් ඔහු සාමාන්‍යයෙන් ලංකාවේ දක්නට ලැබෙන ‘අන්කල්’ කෙනෙකි. ලංකාවට අාවෙනික බත් කෑමෙන් නෙරා අා බඩක්ද ඇත්තෙකි. කතාව තවත් අරුමවත් වන්නේ මෙම ලිංගික වෙලඳසැලෙහි වැඩ කරන අන් අයව නවින් දුටු මොහොතේදීය. ඔවුන් සියලුදෙනාම ලාංකිකයන් විය.

මාධ්‍ය ආශ්‍රිත වැඩ කර තිබු නවීන්ට ප්‍රශ්න කිහිපයක් නොඅසා මෙතනින් යාමට නොහැකි බවක්  හැඟුනි. ඉතින් අංකල් සමග කතාකරගෙන යාමේදී නවින් දැනගත්තේ ඔහු ලාංකිකයින් බහුතරයක් වෙසෙන *Staten Island* හි පදිංචිකරුවකු බවත් ඔහු අවුරුදු 25 තිස්සේ මෙම වෙළඳාම කරගෙන යන බවත්ය. සම්පුර්ණයෙන්ම ලාංකිකයින් විසින් පවත්වාගෙන යන වෙළඳාමක් ලෙස පෙනුනද නවීන්ට ඔහු කතාවට වැටුණු අන්කල් එහි කලමනාකරුවකුද, අයිතිකරුද යන්න අසාගැනීමට නොහැකි විය.

මේගැන කල්පනා කරමින් නවින් නගරයේ සෙනඟ අතරට ඇවිද ගියේ ලාංකිකයින් ස්වාභාවිකවම දුපත් සොයා යාමේ පුරුද්දක් ඇතිවුන්දයි සිතමිනි.

දෙවන කොටස

ලාංකිකයින් බහුතරයක් කෑම ආශ්‍රිත වෙළඳාම් කිරීමට පෙළඹුනද සමහරු වෙනත් ක්ෂේත්‍ර සොයා යයි. චායාරුපය: New York Times

ලාංකිකයින් බහුතරයක් කෑම ආශ්‍රිත වෙළඳාම් කිරීමට පෙළඹුනද සමහරු වෙනත් ක්ෂේත්‍ර සොයා යයි. චායාරුපය: New York Times

තවත් නිදි නොමැති රැයක් ගතරමින් සිටි නවින් Times Square පෙදෙසෙහි චිත්‍රකතා කඩයක පොත් බලමින් සිට යාමට පිටත්වුයේ 8 වන මාර්ගයෙහි 34 වන පටුමග හරහාය. එහි ඇවිදිමින් සිටි නවීන්ට දක්නට ලැබුනේ ‘Vihan’s Video’ නමින් වූ තවත් කඩයකි. විහාන් යන නම ලංකාවේ යයි හැඟුණු නවින් එම කඩයට පිවිසුනේ ඔහුගේ කුතුහලය සන්සින්දුවා ගැනීමටය.

ඔහු සිතූ පරිදිම එම වෙලඳසල ද වයස අවුරුදු 50ක් පමණ වූ ලාංකිකයකු විසින් පවත්වාගෙන යන්නක් වූ අතර එයද පෙරසේම තවත් වැඩිහිටියන්ට පමණක් වූ වෙළඳසලක් වූ අතර එහිද වැඩකරමින් සිටියේ ලාංකිකයන් පිරිසකි.

කෙතරම් ලාංකිකදැයි කියනවා නම්, රාජකාරී වෙලාවේදීත් මේ අන්කල් සිටියේ කඩේ රේඩියෝ එකේ නෙත් FM අසමිනි. එයද සිංහල සමාජ/සංස්කෘතිය පිලිබඳ වැඩසටහනක් වූ ‘බැලුම්ගල’ ය – සාවධානයෙන් මෙම වැඩසටහන අසා සිටින අන්කල් ලංකාවේ තරුණ පරපුර සංස්කෘතියට, සාරධර්මවලට කිසිදු සැලකිල්ලක් නොදක්වන ආකාරය අසා සිටින ඕනෑම අයෙකුට ඇසෙන ලෙස කියමින් සිටී…

මේ අතරේ කඩයට පිවිසෙන්නේ තවත් ලංකාවේම අන්කල් කෙනෙකි.

“බලන්නකෝ ලංකාවට වෙලා තියෙන දේ”, අංකල් අංක 1 පවසන්නේ දැන් කඩයට පිවිසුණු අංකල් අංක 2 වෙතය. අංකල් අංක 2 ද බැරෑරුම් බවක් මුහුණේ හඟවාගෙන ඔලුව එහාට මෙහාට සොලවයි.

බාල වර්ගයේ නිල් චිත්‍රපට සහ ලිංගික තෘප්තිය ලබාගැනීමට යොදාගන්නා කෘතීම ශිෂ්න ගොඩක් අතරේ සිට සිදුවන මේ කතාබහ අසාසිටි නවීන්ටනම් සිතුනේ මොවුන්ට මෙම සිදුවීමේ ඇති උපහාසාත්මක බව හා ව්‍යාජෝක්තිය දැනෙන්නේ නැතිද යන්නයි. එය සිතනවාත් සමගම ඔහුට වැටහුනේ මෙය ව්‍යාපාරයක් පමණක් වන අතර සදාචාර ගැන ලංකාවේදී ඇතිවන ගැටළු රටින් පිටතදී එතරම් බලපෑමක් ඇති නොකරන බවත්ය.

වැඩිදුර විස්තර සොයාබැලීමේදී අපට වැටහුනේ ‘Vihan’s Video’ යනු මැන්හැටන්  පෙදෙසේ ඉතිරි වී ඇති වැඩිහිටියන්ට පමණක් වූ කාම වෙළඳසල් අතොලොස්සකින් එකක් බවයි. මෙලෙසින් කලින් තිබු බොහොමයක් සාප්පු සම්බන්ධව ප්‍රදේශවාසීන් විසින් කරන ලද පැමිණිලි හේතුකොටගෙන ඒවා වසා දමා ඇත, ඊට අමතරව මන්හැටන් ප්‍රදේශයේ දිනෙන් දින ඉහල යන ගොඩනැගිලි සහ කුලී ගාස්තුද මෙම සාප්පු වැසීමට හේතු වී ඇත.

නගරයේ සුළු දුරක් අතර දැන් ලාංකිකයින් විසින් පවත්වාගෙන යන ලිංගික වෙළඳසල් එකක් නොව දෙකක්ම දුටු නවින් මේ ගැන කල්පනා කරමින් තවදුරටත් ඇවිදින්නට විය …

තවත් සාප්පුවක්?

Jayasekara Video Inc.- වැඩිදුරක් යාමට පෙර කලින් සඳහන් කල සාප්පු දෙක ආකාරයටම ලාංකිකයින් විසින් පවත්වාගෙන යනු ලබන තවත් සාප්පුවක් නවීන්ට හමුවිය- පෙර සාප්පු වලට වැඩ එකම වෙනසකට තිබුනේ මෙය ඉදිරිපස ප්‍රදර්ශනය කොට තිබුණු ලාභ වර්ගයේ කාන්තා යට ඇඳුම්ය.

උදෑසන ආපසු වැඩට යාමටද ඇති බැවින් නවින් ගෙදර යන්නට විය. පසුව එම ප්‍රදේශයේ තවත් ලාංකිකයින් සමග කතාකිරීමේදී ඔහුට පැහැදිලි වුයේ නිව් යෝර්ක් නගරය ආශ්‍රිතව කෙරෙන සියලු වැඩිහිටියන්ට පමණක් වූ ලිංගික වෙළඳසල් බොහොමයක්ම ලංකාවේ පුද්ගලයින්ට අයිති සහ ලාංකිකයින් විසින් පවත්වාගෙන යනු ලබන ඒවා බවය. මෙයට අමතරව බෘක්ලින් සහ ස්ටේටන් දුව ආශ්‍රිතවද සිදුවන මෙම වෙළඳාමටද ලාංකිකයින් විසින් කරගෙන යනු ලබයි.

ඔබට මේගැන තවත් සාක්ෂි ඕනෑනම් ලිංගික වෙළඳසලක් ආශ්‍රිතව සිදුවූ මංකොල්ලකෑමක් සම්බන්ධ මෙම ලිපිය කියවා බලන්න.

ලොස් ඇන්ජලීස් නුවර සම්බන්ධයෙන්ද මේ ආකරයේම කථා ඇසුවද අපට මෙලෙස ඒවා ඇසින් දුටුවකු සොයාගත නොහැකි විය.

සාරාංශය

මෙම ලිපිය පළකිරීමෙන් අපි කිසිවෙකුටත් ඇඟිලි දික්කිරීමක් හෝ ඉහත සඳහන් වෘත්තියේ යෙදී සිටින්නන් පිලිබඳ තත්වය පහත්කිරිමකට අදහස් නොකරමු. පැරණි සිරිත් විරිත් වලට ගරු කරන සහ ඒවා පිළිපදින ලාංකීය සමාජයේ මෙවන් ලිපියකට මොන ආකාරයේ ප්‍රතිචාරයක් ලැබෙනු ඇතිද යන්න අපට සිතාගත නොහැක – නමුත් අවසානයේ ලිංගික වෙළඳසැලක් වුවද වෙළඳාමක් වන අතර ලංකාවේ එලිමහනේ මෙවන් දෙයක් කිරීමට නොහැකි වුවද බටහිර ලෝකයේ එවැන්නක් කිරීමට සදාචාරාත්මක දෘෂ්ටිකෝණයකින් ඇතිවිය හැකි බාධා ඉතාමත් අඩු බවද මතක් කරමු.

අවසානයේ අපට නැගෙන ප්‍රශ්නය නම් නිව් යෝර්ක් වැනි නගරයක මෙවැනි වෙළඳාම් සඳහා ලාංකිකයින් මෙතරම් ආකර්ෂණය වනුයේ කෙසේද යන්න වුවත් මෙවැනි අති විශාල නගරයක ලිංගික වෙළඳසලක් පවත්වාගෙන යන ලංකාවේ අන්කල් කෙනෙක් ගැන මනසින් සිතීමේදී මුවඟට එන මද සිනහව නවත්වාගැනීමටද නොහැක.

ඔබටත් රටින් පිට සිටින ලාංකිකයින් ගැන මෙබඳු කතන්දර තිබේද? එසේනම් පහලින් ඇති විචාර කොටසේ ඔබේ අදහස් දක්වන්න.

 

Related Articles