Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අත්ලාන්තික් සාගරය කැළඹූ භයානක මුහුදු කොල්ලකාරයා

1453 වසරේ දී කොන්ස්තන්තිනෝපලය තුර්කීන් අතට පත්වීමෙන් පසුව යුරෝපා ජාතීන් දේශ ගවේශනය ආරම්භ කළ බව ඔබ දන්නවා. ඔවුන් අත්ලාන්තික්, ඉන්දියන්, සහ පැසිෆික් සාගර කලාපවල වැඩිපුර සැරිසැරුවේ නව රටවල් සොයාගැනීමේ අරමුණෙන්. 17 වන සියවස පමණ වන විට දේශ ගවේශන කටයුතු පුළුල් මට්ටමෙන් සිදුවුණ. නමුත් එකල දේශ ගවේශකයන්ට සමහර සාගර කලාපවල දී අමිහිරි අත්දැකීම්වලට මුහුණදීමට සිදුවුණා. ඒ මුහුදු කොල්ලකරුවන් නිසා යි.

එම යුගයේ ප්‍රසිද්ධියට පත්වුණු මුහුදු කොල්ලකරුවන් අතරට එඩ්වඩ් ටීක්, හෙන්රි මෝර්ගන්, බාර්තොලමියු රොබට්ස්, හෙන්රි ඒවරි වැනි උදවිය අයත් වුණා. කොල්ලකරුවන්ගේ ක්‍රියාකාරිත්වය වැඩිපුරම දක්නට ලැබුණේ අත්ලාන්තික් සාගර ප්‍රදේශයන්වල දී යි. අත්ලාන්තික් සාගරයේ විශාල භීෂණයක් නිර්මාණය කළ මුහුදු මංකොල්ලකරුවන්ගෙන් බර්තොලමියු රොබට්ස් හෙවත් බ්ලැක් බාට් ඉතාම දරුණු තැනැත්තෙකු බවට පතලව සිටි අයෙක්. මෙතැන් සිට ඔබ වෙත ගෙන එන්නේ බ්ලැක් බාට්ගේ කතාව යි.

හෙන්රි මෝගන් (TopTenz)

බ්ලැක් බාට්ගේ උපත සහ ජීවිතයේ මුල් යුගය 

1682 මැයි 17 වැනිදා වේල්සයේ හැවර්ෆර්ඩ්වෙස්ට්හි දී ජෝන් රොබට්ස් නමින් දරුවෙකු උපත ලැබුවා. ඔහුගේ පියා ජෝර්ජ් රොබට්ස්ගේ මිතුරන් කිහිපදෙනෙකුම නාවිකයන්. ජෝන් දරුවා බහ තෝරන වියට එළඹුණු පසුව පියාගේ මේ නාවික මිතුරන්ගේ ආශ්‍රයට වැටුණා. ඔවුන් මුහුදු ගමන්වල දී මුහුණදුන් ත්‍රාසජනක අත්දැකීම් ජෝන් සමග පවසා සිටියා. එවැනි කතා ඇසීමෙන් කුඩා ජෝන් අපූරු ආශ්වාදයක් ලැබුවා. 

මඳක් වැඩෙද්දී ජෝන් දරුවා විවිධ මුහුදු යාත්‍රා වර්ග, මුහුදු මාර්ග, ප්‍රසිද්ධ ගවේශකයන් ආදී මාතෘකාවන් පිළිබඳව තොරතුරු සොයන්නට පටන්ගත්තා. කුඩා කාලයේ සිට නාවිකයෙකු වීමට ආශා කළ ජෝන්ට තරුණ වයස එළඹෙන තුරුම සිය සිහිනය සැබෑ කරගැනීමට අවස්ථාවක් ලැබුණේ නැහැ.

නැවක සේවයට එක්වීම 

ජෝන් රොබට්ස් නැවක රැකියාව කිරීම සඳහා කැමැත්තෙන් සිටි නිසා වෙනත් වෘත්තියක් සඳහා ඔහුගේ සිත යොමුවුණේ නැහැ. එම නිසා ඔහු නැවක රැකියාවක් බලාපොරොත්තුවෙන් ගෙවූ කාලය අතරතුර සිය ජීවිකාව ගෙනයාම සඳහා සුළු රැකියාවල නිරත වුණා. 

එක්තරා දිනයක ජෝන් රාජකාරි කටයුත්තක් සඳහා ගිය අවස්ථාවක පියාගේ පැරණි මිතුරෙකු මුණගැසුණා. එම මිතුරා ජෝන්ගෙන් ආගිය තොරතුරු විමසද්දී ඔහු සිය අනාගත බලාපොරොත්තුව පිළිබඳව ද පවසා සිටියා. මෙහිදී පියාගේ මිතුරා ඔහුට සුබ ආරංචියක් ලබාදුන්නා. ඒ, ඝානාව බලා ගමන්කිරීමට නියමිතව තිබුණු වහලුන් ප්‍රවාහන නෞකාවක කපිතාන්වරයාගේ සහායට නිර්භීත තරුණ නිලධාරියෙකු සොයන බව යි. ඔවුන් දෙදෙනා නෞකාවේ කපිතාන්වරයා හමුවීමට පිටත්ව ගියා. පියාගේ මිතුරාගේ ඉල්ලීම සලකා බැලූ කපිතාන්වරයා ජෝන්ව නෞකාවේ සේවයට බඳවාගත්තා.

පළමු ගමනේ දී නොසිතූ අනතුරකට මුහුණ දෙයි 

1719 වසරේ දී පමණ ජෝන් ඝානාව බලා ගිය නෞකාවේ සේවයට එකතු වුණා. එම නෞකාවේ කපිතාන්වරයා ලෙසින් කටයුතු කළේ ඒබ්‍රහම් ප්ලම්බ් නැමැත්තා යි. ගමනට පෙර සිය සේවක පිරිස ඇමතූ කපිතාන්වරයා ඔවුනට පවසා සිටියේ නැව ගමන් කරන මාර්ගයේ දරුණු මුහුදු කොල්ලකරුවන් ගැවසෙන නිසා කල්පනාකාරීව ගමන් කළ යුතු බව යි. 

එදා ඝානාව බලා ගිය වහල් නෞකාවේ පිරිස දැඩි අවධානයෙන් යාත්‍රා කළත්, ඔවුන්ට මුහුදු කොල්ලකරුවන්ගෙන් බේරීමට හැකිවුණේ නැහැ. වහල් නැව හවෙල් ඩේවිස් නම් භයානක මුහුදු කොල්ලකරුවාගේ ග්‍රහණයට නතුවුණු අතර, නෞකාවේ පිරිස ඔවුන්ගේ සිරකරුවන් බවට පත්වුණා. 

සිරකරුවන්ට පිරික්සන හවෙල් ඩේවිස්ට ජෝන් රොබට්ස් නිර්භීත තරුණයෙකු බව වැටහී ගියා. ඔහු ජෝන් රොබට්ස් සිය මුහුදු කොල්ල කල්ලියට බඳවාගත්තා.

බ්ලැක් බාට්ට අයත්ව තිබුණු රෝයල් ෆෝචූන් නෞකාව (Worthpoint)

නොසිතූ වාසනාවක් පහළ වෙයි 

හවෙල් ඩේව්ස්ගේ කල්ලියට එකතුවූ රොබට්ස් ඉතා නිර්භීත මෙන්ම දක්ෂ සටන්කරුවෙකු ද බව කොල්ලකරුවන්ට පෙනීගිය. ඔහු කල්ලියේ සෙසු සාමාජිකයන් අතර ජනප්‍රියත්වයට පත්වුණා. මෙසේ සති 6ක් පමණ කොල්ලකෑම්වල නිරත වුණු රොබට්ස් විශාල ධනයක් එකතු කරගත්තා. එසේම සිය නායකයාගේ හිත දිනාගැනීමටත් ඔහුට හැකියාව ලැබුණා. හවෙල්ගේ කොල්ල කල්ලියට රොබට්ස් එක්වීමෙන් පසුව එම කල්ලියේ ශක්තිය තවත් වැඩිවුණු බව කියැවෙනවා. ඔහුගේ නිර්භීතකම පිළිබඳව කොල්ලකල්ලියේ සෙසු සාමාජිකයන් පවා මවිතයට පත්වුණා.

ඩේවිස්ගේ කොල්ල කල්ලිය තුළ රොබට්ස්ගේ ජනප්‍රියත්වය ඉහළ යමින් පැවති වකවානුවක, කපිතාන් හවෙල් ඩේවිස් සතුරු පහරකට හසුවී මරණයට පත්වුණා. ඩේවිස්ගේ කල්ලියට නව නායකයෙකු තේරීම සඳහා ඡන්ද විමසීමක් පැවැත්වුණු අතර, කොල්ලකල්ලියේ සිටි නිර්භීතම කොල්ලකරුවා ලෙස සැලකුණු රොබට්ස් වැඩි ඡන්දයෙන් නායකත්වය සඳහා තේරී පත්වුණා. සිය නම බර්තොලමියු රොබට්ස් ලෙස වෙනස්කරගත් රෝන් රොබර්ට්ස් එතැන් පටන් හවෙල් ඩේවිස්ගේ කොල්ලකල්ලිය මෙහෙයවනු ලැබුවා.

ඩේවිස් මරණයට පත්වුණු අවස්ථාව (thevintagenews.com)

හවෙල් ඩේවිස් මැරූ පළිය ගැනීම 

බර්තොලමියු රොබට්ස් කොල්ල කල්ලියේ නායකත්වයට පත්වුණු විගසම සිය පැරණි නායකයා වුණු හවෙල් ඩේවිස් මැරූ පළිය ගන්නට තීරණය කළා. එනිසා රොබට්ස්ගේ කොල්ල කල්ලිය එදා රෝයල් රෝවර් ප්‍රින්සිප් නම් දූපත බලා යාත්‍රා කළා. ඩේවිස් මරණයට පත්වුණේ එම දූපතේ සිට සැඟවී වෙඩි තැබූ අයෙකු හේතුවෙන්.

දූපතට කඩා වැදුණු කොල්ලකරුවන් එහි සිටි පිරිමින් වැඩි කොටසක් මරා දැමුවා. දූපතේ වූ වටිනා වස්තුව කොල්ල කෑ රොබට්ස් ඇතුළු පිරිස ආපසු යන්නට හැරුණේ දූපත සම්පූර්ණයෙන්ම විනාශ කර දමා යි.

බ්‍රසීලය අසල දී කළ මහා කොල්ලය 

සිය නායකයා මැරූ පළියගත්  කොල්ලකරුවන් ඡන්ද විමසීමකින් පසුව ඊළඟට බ්‍රසීලයට යාමට තීරණය කළා. එදා සැලසුම් කළ පරිදි බ්‍රසීලය ආසන්න මුහුදට ගිය රොබට්ස් ඇතුළු පිරිස වෙළඳ නෞකාවක් එම ප්‍රදේශයෙන් ගමන් කරන තුරු බලාගෙන සිටියා. නමුත් සති කිහිපයක් යන තුරු ඔවුන්ට කිසිම නෞකාවක් හමුවුණේ නැහැ. 

ජෙසේ නමුත්, වෙළඳ නැවක් කොල්ලකෑමට බලාපොරොත්තුවෙන් සිටි මෙම පිරිසට උතුරු බ්‍රසීලයට ඔබ්බෙන් පිහිටි ඕල් සෙන්ට්ස් බොක්කෙහි නැංගුරම් ලා තිබුණු පෘතුගීසි නෞකාවන් දෙකක් දක්නට ලැබුණා. එවායේ පුරවා තිබුණේ පෘතුගාලයේ රජතුමා වෙත ගෙනයාමට සූදානම් කර තිබුණු වස්තුව යි. එම මහා වස්තු සම්භාරය දුටු රොබට්ස් ඇතුළු පිරිස සැලසුමක් සකස් කර, නෞකාවල තිබුණු වටිනා සම්පත් විශාල ප්‍රමාණයක් අත්පත් කරගත්තා. නමුත් එම සටනේ දී රොබට්ස්ගේ කොල්ල කල්ලියේ සාමාජිකයන් පිරිසක් මරණයට පත්වුණා.

බ්ලැක් බාට් කරළියට පිවිසීම 

එම මහා කොල්ලයෙන් පසුව රොබට්ස් ඇතුළු පිරිස මහා ධනවතුන් බවට පත්වුණා. ඔවුන් අළුතින් ආයුධ සහ පිරිස එකතු කරගෙන කොල්ල කල්ලියේ බලය වැඩි කරගත්තා. ඔවුන්ට එකල ඕනෑම සේනාවකට එරෙහිව සටන් කිරීමේ හැකියාව ලැබුණා. මේ බලයේ ප්‍රතිඵලයක් වශයෙන් 1720 වසරේ මුල් මාස 5 තුළ රොබට්ස් ඇතුළු සගයන් විශාල නැව් ප්‍රමාණයක් කොල්ල කෑවා. 

ජූනි මාසයේ දී රොබට්ස් කල්ලිය නිව්ෆවුන්ඩ්ලන්තය බලා යාත්‍රා කළා. එහි වරායක නැව් 22ක් නවතා තිබෙනු දුටු රොබට්ස් ඇතුළු පිරිස ඒවා කොල්ලකෑමට සූදානම් වුණා. එම අවස්ථාවේ දී රොබට්ස්ගේ නැව වූ රෝයල් ෆෝචූන් දුටු වරාය සේවකයන් වහාම පළාගියා. මේ අවසරයෙන් වරායට කඩා වැදුණු කොල්ල කල්ලිය ධනවත් නැව් රැසක තිබුණු මහා වස්තුවක් අයිති කරගත්තා. එසේම තවත් විශාල නැව් ප්‍රමාණයක් මෙම කොල්ල කල්ලිය අතින් විනාශ වුණා. 

මේ සිද්ධීන් නිසා බර්තොලමියු රොබට්ස් ඉතාමත් භයානක කොල්ලකරුවෙක් ලෙස ප්‍රසිද්ධියට පත්වුණු. ඔහුට “බ්ලැක් බාට්” යන නාමය පටබැඳුනා.

බ්ලැක් බාට් (Pinterest) 

අධික බලය නිසා ඇතිවුණු අසමගිකම් 

මුල් යුගයේ දී බර්තොලමියු රොබට්ස් සිය කොල්ල කල්ලියේ සාමාජිකයන් සමග සුහදව කටයුතු කළා. නමුත් පසු කලෙක රොබට්ස් ප්‍රසිද්ධ කොල්ලකරුවෙකු බවට පත්වී මහා ධනයකට උරුමකම් කියද්දී ඔහුගේ ගතිගුණ ක්‍රමයෙන් වෙනස් වුණා. ඔහු කොල්ල කල්ලිය තුළ ඒකාධිපති පාලනයක් ගෙන ගියා. 

වරක් ඔහුගේ එම හිතුවක්කාර පාලනය දෙස බලාගෙන ඉන්නට බැරිවුණු කල්ලියේ සාමාජිකයෙකු රොබට්ස්ට විරුද්ධව සිය හඬ අවදි කළා. එම අවස්ථාවේ දෙදෙනා අතර ඇතිවුණු බහින්බස්වීමකින් පසුව රොබට්ස්ගේ වෙඩි පහරින් කල්ලියේ සාමාජිකයා මරණයට පත්වුණා. මේ අවාසනාවන්ත සිදුවීමෙන් පසුව කොල්ල කල්ලියේ බොහෝදෙනා කලකිරීමට පත්වුණා. සැලකිය යුතු පිරිසක් රොබට්ස්ව අතහැර ගියා. රොබට්ස්ව අතහැර ගිය පිරිස අතර ඔහුගේ එක් නෞකාවක කපිතාන්වරයෙකු වුණු තෝමස් ඇන්ස්ටිස් පවා සිටියා.

බිඳවැටුණු කොල්ල කල්ලිය අප්‍රිකාව බලා ගමන් කරයි 

කොල්ල කල්ලියේ බලය අඩුවීමත් සමගම කැරිබියන් දූපත්වල සිටීම අවදානම් බව ඔවුන් තේරුම්ගත්තා. එනිසා 1721 වසරේ අප්‍රේල් මාසයේ දී රොබට්ස් ඇතුළු පිරිස අප්‍රිකාව බලා යාත්‍රා කළා. ඔවුන් මාස දෙකකින් පමණ බටහිර අප්‍රිකාවේ සෙනෙගාල් වෙරළ තීරය වෙත ළඟා වුණා. 

අප්‍රිකාවට ගිය රොබට්ස් ඇතුළු පිරිස මාස 6ක කාලයක් පමණ කොල්ලකෑම්වල නිරත වුණා. ඒ වන විට රොබට්ස්ගේ කොල්ල කල්ලිය වසර 2ක පමණ කාලයක් තුළ නැව් 400ක් පමණ විනාශකර තිබුණා. එකල රොබට්ස්ගේ ක්‍රියාකාරකම් නිසා බටහිර අප්‍රිකානු වෙරළ අසලින් වෙළඳ නෞකාවලට ගමන්කිරීමට අපහසු වාතාවරණයක් නිර්මාණය වී තිබුණා. එකල යුරෝපයේ සිට පෙරදිග බලා ගිය බොහෝ නැව් එම මාර්ගයේ ගමන් කිරීම නිසා රොබට්ස්ගේ කල්ලිය වෙළඳ කටයුතුවලට ද බාධාවක් වී තිබුණා. එම නිසා මෙම කල්ලිය විනාශ කිරීම සඳහා  බොහෝ පිරිසක් මාන බලමින් සිටියා. 

රොබට්ස් භාවිතා කළ කොඩියක්  (ebay)

රොබට්ස්ගේ අවසානය 

1722 වසරේ පෙබරවාරි 5 වැනිදා රොබට්ස් ඇතුළු පිරිස ගැබොන් අසල මුහුදේ සැරිසරමින් සිටියේ වෙළඳ නැව් එනතුරු යි. එම අවස්ථාවේ දී චාලනර් ඔගර් නම් කපිතාන්වරයා අණදුන් HMS ස්ලෝලෝ නම් විශාල යුධ නෞකාව එහි පැමිණියා. දුර සිටම කොල්ලකරුවන් නිරීක්ෂණය කළ කපිතාන් ඔගර් ඔවුන්ව කොටුකර ගැනීම සඳහා සූක්ෂම උපායක් අනුගමනය කළා. ඒ, බියට පත්වූ අයුරින් ආපසු පළායාම 

ඔගර්ගේ උපායට රොබට්ස් ඇතුළු පිරිස හසුවුණා. රොබට්ස් සිතුවේ විශාල වෙළඳ නැවක් ඔවුන්ව දැක බියවී පළායන බව යි. එම නිසා ඔගර්ගේ නෞකාව ලුහුබැඳ යාමට තීරණය කර, තමන් සතු යාත්‍රා දෙකක් ඒ සඳහා පිටත්කර හැරි රොබට්ස් ඉතිරි පිරිස සමග ගැබොන්හි කේප් ලෝපේස් අසල මුහුදේ තිබුණු නෞකාවක විනෝදවෙමින් සිටියා. වෙළඳ නෞකාව අල්ලාගෙන විශාල ධනයක් අත්පත් කරගැනීමට බලාපොරොත්තුවෙන් සිටි පිරිස මත්පැන් බොමින් හොඳින් විනෝද වුණා.  

රොබට්ස් විනෝද වන අතරතුර කපිතාන් ඔගර්ගේ නෞකාව යළි ගැබොන් දෙසට පැමිණෙමින් තිබුණා. ඒ වන විටත් ඔගර්ගේ යුධ නෞකාව ඔවුන් ලුහුබැඳ පැමිණි රොබට්ස්ගේ නැව් දෙක සාර්ථක ලෙස මඟහැර තිබුණා. 

බ්ලැක් බාට් ඇතුළු පිරිස විනෝද වුණු අයුරු (thevintagenews.com)

1722 පෙබරවාරි 10 වැනිදා කපිතාන් ඔගර්ගේ නෞකාව යළි ගැබොන් වෙත පැමිණියා. ඒ මොහොත වන විට රොබට්ස්ගේ කොල්ල කල්ලියෙන් භාගයකට වැඩි පිරිසක් එහි සිටියේ නැහැ. 

ඔගර්ගේ යුධ නැව කොල්ලකරුවන්ට පහරදීම ඇරඹුවා. කල්ලියේ පිරිස බලය තිබුණේ දුර්වල තැනක බැවින්, කපිතාන් ඔගර්ගේ නෞකාවෙන් එල්ල වුණු ප්‍රහාර හමුවේ රොබට්ස් ඇතුළු පිරිස මරණයට පත්වුණා. එයින් බ්ලැක් බාට් නම් මුහුදු කොල්ලකරුවා ඇතිකර තිබුණු භීෂණය සඳහටම තුරන් වී ගියා.

අවසන් සටන (Gettyimages)  

 

කවරයේ ඡායාරූපය- බ්ලැක් බාට් (Gettyimages)  

මූලාශ්‍රයයන්- www.thoughtco.com

                        thevintagenews.com

Related Articles