මිනී මස් කෑ බව කියන ඒකාධිපතියා – ඉඩි අමීන්

යටත් විජිතවාදී යුගයෙන් පසු බිහිවූ අප්‍රිකාව ශෝචනීය ඉතිහාසයකට උරුමකම් කියනවා. ඊට එක් හේතුවක් වූයේ බොහෝ රටවල බිහිවූ ඒකාධිපති පාලකයන්​. නමුත් අප්‍රිකාවේ බිහිවූ අතිශය දරුණු ඒකාධිපතීන් අතුරින් දෙදෙනකු පිළිබඳ නිතරම කතා බහට ලක් වනවා. ඊට හේතුව ඔවුන් දෙදෙනා මිනී මස් කෑ බවට වන කටකතා යි​. මින් එක් අයෙකු වූයේ මධ්‍යම අප්‍රිකාවේ ශෝන් බදෙල් බොකාසා වන අතර අනෙක් ඒකාධිපතියා මෙම ලිපියේ අප සළකා බලන ඉඩි අමීන් ය​.

ඉඩි අමීන් සත්‍ය වශයෙන්ම මිනීමස් අනුභව කළේද යන්න විවාදාත්මක නමුත් ඔහු අතිශයින්ම දරුණු ඒකාධිපතියකු වූ බව නම් සැකයක් නැහැ. අප්‍රිකාව වැනි ඒකාධිපති පාලකයන් අඩු නැති ප්‍රදේශයක වුවද ඉඩි අමීන් කැපී පෙනෙනවා.

ඉඩි අමීන්ගේ උපන් දිනය පිළිබඳ නිවැරදි වාර්තා දකින්න ලැබෙන්නේ නැහැ. බොහොමයක් මූලාශ්‍ර සඳහන් කරන්නේ අමීන් 1925 දී උපත ලබාපු බවයි. සමහර වාර්තා අනුව 1923 තරම් ඈතකදීත්, තවත් වාර්තා අනුව 1928 තරම් මෑතකදීත් ඔහු උපත ලැබුවා වෙන්නට පුළුවන්.

අමීන්ගේ පියා “කාක්වා” ගෝත්‍රිකයකු ද මව “ලුග්බාරා” ගෝත්‍රික කාන්තාවක ද බව සඳහන් වෙනවා. අමීන්ගේ පියා 1910 දී පමණ රෝමානු කතෝලික දහම අතැර ඉස්ලාමය වැළඳගත් කෙනෙක්. අමීන්ගේ මව සාම්ප්‍රදායික වෙදැදුරුවරියක් බව සඳහන්.

අමීන් 1940 දශකයේ මුල් කාලයේ ඉස්ලාමික පාසැලකින් අධ්‍යාපනය ලබා තිබෙනවා. නමුත් පසු කලෙක ඔහුගේ උසස් නිලධාරියකු සඳහන් කළ පරිදි එම අධ්‍යාපනය එතරම් සාර්ථක වූ බවක් පෙනෙන්නේ නැහැ. මෙම ලිපියේ තව ඉදිරියට යද්දී ඔබට ඒ විස්තරය හමු වේවි.

අමීන් ලංකාවට ආවාද​?

ඉඩි අමීන් පිළිබඳ එක් කතාවක් වන්නේ ඔහු දෙවන ලෝක යුධ සමයේදී ලංකාවට පැමිණි බවයි. ඒ බ්‍රිතාන්‍ය යුධ හමුදාවේ කෝකියකු ලෙස. නමුත් මෙම කතාව ප්‍රබන්ධයක් බවයි හිතන්නට පුළුවන් වෙන්නේ. අමීන් බ්‍රිතාන්‍ය හමුදාවේ අප්‍රිකානු සේනාංකය වූ කිංග්ස් ඇෆ්‍රිකන් රයිෆල්ස් (King’s African Rifles) හෙවත් රජතුමාගේ අප්‍රිකානු රයිෆල් හමුදාවට බැඳෙන්නේ 1946 දී දෙවන ලෝක යුද්ධය නිමා වූ පසුයි. මුලින්ම කෝකියකු ලෙස හමුදාවට බැඳෙන ඔහු පසුව උසස්වීම් ලබන අතර 1961 දී ලුතිනන්වරයකු ලෙස උසස්වීමක් ලැබුවා.

බොක්සිං ශූරයා​

ඉඩි අමීන් විශාල ශරීරයකින් මෙන්ම අතිශය ප්‍රබල කාය ශක්තියකින් හෙබි වූ අයෙක්. ඔහු 1951 දී උගන්ඩාවේ හෙවි වේට් බර පන්තියේ බොක්සිං ශූරයා වූ අතර 1960 දක්වා අඛණ්ඩව එම කිරුළ දරන්නට සමත් වුණා.

කිංග්ස් අැෆ්‍රිකන් රයිෆල්ස් හි ඔහුගේ ප්‍රධානියකු වූ මේජර් ඉයන් ග්‍රැහැම් වාර්තා චිත්‍රපටයක් සඳහා සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ඉඩි අමීන්ගේ කාය ශක්තිය පිළිබඳ තොරතුරු කියා තිබෙනවා. 1950 දශකයේ කෙන්යාවේ “මාවු මාවු” කැරැල්ල මර්දනය කිරීමට කිංග්ස් අැෆ්‍රිකන් රයිෆල්ස් යවනු ලැබුවා. එහිදී එක් අවස්ථාවක තුවක්කු කිහිපයක් එක අතකින් ගෙන තුවාල ලද සගයකු අනෙක් උරහිස මත තබාගෙන ඉඩි අමීන් කිසිදු වෙහෙසකින් තොරව ඇවිද යනු තමන් දුටු බව මේජර් ග්‍රැහැම් සඳහන් කරනවා.

බැංකු ගිණුමක් විවෘත කිරීම​

උගන්ඩාවට 1962 දී නිදහස ලබා දීමට තීරණය වුණා. මේ අනුව ඊට අවුරුද්දකට කළින් පටන් උගන්ඩාවේ දේශීය යුධ හමුදාවක් ස්ථාපිත කිරීමේ කටයුතු පටන් ගැණුනා. ඉඩි අමීන් ද ලුතිනන්වරයකු ලෙස උසස් වන්නේ ඒ අනුවයි. ඒ සමඟම ඔහුට බැංකු ගිණුමක් විවෘත කරන්නත් උපදෙස් ලැබුණා.

මෙම ගිණුම විවෘත කිරීමට බැංකුවට ගිය අවස්ථාව ගැනත් මේජර් ග්‍රැහැම් විස්තර කරනවා. ඔහු සඳහන් කරන විදියට ඉඩි අමීන්ට තම අත්සන තබන්නට තරම්වත් සාක්ෂරතාවක් තිබී නැහැ. විනාඩි විස්සක් පමණ ඔට්ටු වීමෙන් පසු බැංකු කළමණාකරුට පිළිගන්න පුළුවන් ආකාරයේ අත්සනක් කුරුටු ගාන්නට අමීන් සමත් වූ බව ග්‍රැහැම් ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ නමුත් එදිනම ඔහු ගෙවන ක්‍රමයට මෝටර් රථයක් සහ ඇඳුම් කට්ටල කිහිපයක් මිලදී ගෙන තිබෙනවා.

හමුදා පාලකයා

1962 දී උගන්ඩාව ස්වාධීන රාජ්‍යයක් බවට පත් වුණා. එහි අගමැති බවට පත් වූයේ මිල්ටන් ඔබොටේ. වසර කිහිපයක් ගතවද්දී ඔබොටේ සහ අමීන් ඇත් දළ ජාවාරමකට සම්බන්ධ බව චෝදනාවක් එල්ල වුණා. එමෙන්ම අමීන්ට එරෙහිව වෙනත් දූෂණ චෝදනා ද එල්ල වෙමින් තිබුණා. විශාල වශයෙන් වියදම් කිරීමට ආශා කළ ඔහු අල්ලස් ලබාගත් බවත්, ඔහුගේ වැටුප මගින් වසර දහයකදීවත් ඉපයිය නොහැකි තරම් මුදලක් ඔහුගේ ගිණුමෙහි වූ බවත් සඳහන් වෙනවා.

ඔබොටේ සහ අමීන්ට එරෙහිව චෝදනා එල්ල වෙද්දී ඔබොටේ කළේ නව ව්‍යවස්ථාවක් හඳුන්වා දෙමින් විධායක ජනාධිපති ධූරයක් ඇති කර එම ධූරයට පත් වීමයි. ඉන් ටික කළකට පසු කර්නල්වරයකු ලෙස උසස් කෙරුණ ඉඩි අමීන් හමුදාපති ලෙස පත් කරනු ලැබුණා.

මිල්ටන් ඔබොටේ (Getty)

කෙසේ නමුත් මේ දෙදෙනා අතරත් ප්‍රශ්න ඇති වීමට බොහෝ කල් ගත වුණේ නැහැ. ඊට මූලිකම හේතුවක් වූයේ ඉඩි අමීන් තම ගෝත්‍රයේ පිරිස් වැඩිපුර හමුදාවට බඳවා ගැනීමයි.

මූල්‍ය අක්‍රමිකතා සහ හමුදා නිලධාරියකුගේ ඝාතනය පිළිබඳව ඉඩි අමීන්ට චෝදනා එල්ල වෙමින් පැවතුණා. මේ අතර ඔබොටේ ඉඩි අමීන් අත් අඩංගුවට ගැනීමට සූදානම් වෙමින් සිටි අතර ඊට පෙර ඉඩි අමීන් ක්‍රියාත්මක වුණා. 1971 ජනවාරි 25 වනදා, ඔබොටේ සිංගප්පූරුවේ පැවති පොදු රාජ්‍ය මණ්ඩල නායකයින්ගේ හමුව (පළමු චෝගම් හමුව​) සඳහා සහභාගී වෙමින් සිටියදී ඉඩි අමීන් රටේ බලය අල්ලා ගත්තා.

ඔබොටේගේ පාලනය සෝවියට් කඳවුර දෙසට නැඹුරු වෙමින් පැවති හෙයින් ඉඩි අමීන් බලය පැහැර ගැනීම පිළිබඳ බටහිර කඳවුර මුලින්ම දැක්වූයේ යහපත් ප්‍රතිචාරයක්. අමීන් ද බලය පැහැර ගත් වහාම කියා සිටියේ තමන් සොල්දාදුවකු මිස දේශපාලකයකු නොවන හෙයින් වැඩි කල් නොගොස් යළි ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ඇති කරන බවයි. එහෙත් සතියකට පසු ඉඩි අමීන් උගන්ඩාවේ ජනාධිපති ලෙස තමන්වම ප්‍රකාශයට පත් කර ගත්තා. මේ අතර ඔබොටේට යාබද ටැන්සානියාවේ රැකවරණ ලබා හිමි වුණා.

ඉඩි අමීන් පාලනය ඔබොටේ විසින් සිරගත කළ දේශපාලන සිරකරුවන්ට නිදහස ලබා දුන්නා. නමුත් වැඩි දිනක් යාමට පෙර ඔහුගේ අනුගාමිකයන් සිය විරුද්ධවාදීන්ව​ අමු අමුවේ මරා දමන්නට පටන් ගත්තා.

සිය පාලනයට තර්ජනයක් විය හැකි යයි සැක සිතූ වෙනත් ගෝත්‍රවල හමුදා නිලධාරීන් සහ සෙබලුන්, මාධ්‍යවේදීන්, දේශපාලකයන්, බුද්ධිමතුන්, ගුරුවරුන් ආදී විවිධ පිරිස් මෙසේ ඉඩි අමීන්ගේ සහචරයන් විසින් මරා දමනු ලැබුණා. ඔබොටේගේ අනුගාමිකයන් 1972 දී ටැන්සානියාවේ සිට උගන්ඩාව ආක්‍රමණය කිරීමට කළ අසාර්ථක උත්සාහයෙන් පසු මෙවන් ඝාතනයන් තවත් පුළුල් වුණා.

ඉඩි අමීන් පිස්සෙක් ද​?

ඉඩි අමීන් සිදුකළ සමහරක් දේවල් හේතුවෙන් ඔහු උමතු පුද්ගලයෙක් කියලා අදහසක් ඇතැමුන් තුළ ඇතිව තිබෙනවා. ඔහු බ්‍රිතාන්‍යය සමඟ කළ ගනුදෙනු කළ අවස්ථා ගණනාවකදීම උමතුවක් යැයි කිව හැකි දේ දකින්න පුළුවන්.

ඉඩි අමීන් විශාල ආහාර ප්‍රමාණයක් ගිල දමන්නකු ලෙස ප්‍රකටව සිටියා (Getty)

ඉඩි අමීන් බලයට පැමිණ ටික දිනකට පසු එක් දිනක් ලන්ඩනයේ හීත්‍රෝ ගුවන් තොටට ඇමතුමක් ලැබුණා. ඒ උගන්ඩාවෙන් එන ගුවන් යානයකින්. ඒ අවස්ථාවේ තමයි ගුවන් නියමුවා සඳහන් කර ඇත්තේ එම ගුවන් යානයේ උගන්ඩාවේ ජනාධිපතිවරයා සිටින බව​. ඉඩි අමීන් ජනාධිපතිවරයාගේ බ්‍රිතාන්‍ය සංචාරය සිද්ධ වුණේ ඔන්න ඔය ආකාරයෙන්.

වාසනාවකට මෙන් එම අවස්ථාවේ දෙවන එලිසබත් රැජිණ ලන්ඩනයේ සිටි නිසා ඊළඟ දවසේ ඉඩි අමීන් සමඟ දිවා ආහාරය ගන්නට ඇයව කැමති කරවා ගන්න බ්‍රිතාන්‍ය රජයට හැකිවුණා. ඉතින් ආහාර ගැනීමෙන් පසු රැජිණ ඉඩි අමීන් ගෙන් විමසා තිබෙනවා මෙම හදිසි සංචාරයට හේතුව කුමක් ද කියා.

“රැජිණියනි, උගන්ඩාවේ සයිස් 14 සපත්තු හොයා ගන්න තැනක් නැහැ. ඒකයි මා ලන්ඩන් ආවේ” යයි අමීන් කියා තිබෙනවා.

නමුත් ඇත්තටම අමීන් පැමිණියේ යුධ ආධාර බලාපොරොත්තුවෙන්. ඒත් ඒ වෙද්දි ඔහුගේ පාලනය ගැන බ්‍රිතාන්‍යය දැනුවත් වී තිබුණා. ඒ හේතුව නිසා අමීන්ට යුධ ආධාර දීම බ්‍රිතාන්‍යය ප්‍රතික්ෂේප කළා. එදා පටන් ඉඩි අමීන් නිතරම බ්‍රිතාන්‍යය ලැජ්ජාවට පත් කරන්න උත්සාහ කළා.

එවන් එක් අවස්ථාවක් වූයේ “බ්‍රිතාන්‍යය බේරා ගැනීමේ අරමුදල​” පිහිටුවීමයි. 1970 දශකයේ මුල බ්‍රිතාන්‍යය ආර්ථික අවපාතයකට මුහුණ දී සිටියා. මේ අවස්ථාවේ ඉඩි අමීන් උගන්ඩා ජනතාවගෙන් ආහාර ද්‍රව්‍ය සහ මුදල් එකතු කළේ බ්‍රිතාන්‍යයට යවන්නයි.

“බ්‍රිතාන්‍යය දැඩි අර්බුදයක ඉන්නවා. ඒ නිසා අපි ආධාර එකතු කළා. නමුත් ඒවා එරටට යවන්න රැජිණ තවම ගුවන් යානයක් එව්වේ නැහැ” අමීන් කියා සිටියා.

ඒ වගේම පසු කලෙක ඔහු කියා සිටියා ස්කොට්ලන්ත ජනතාව ඉංග්‍රීසින්ගෙන් නිදහස ඉල්ලන බවත් තමන් ඔවුනට නායකත්වය දෙන බවත් එහෙයින් තමා ස්කොට්ලන්තයේ රජු ලෙස සැළකිය හැකි බවත්. ඉඩි අමීන් පාදක කරගත් නවකතාවක් ලියූ ඉංග්‍රීසි ජාතික “ජයිල්ස් ෆෝඩන්” එයට නම තැබුවේ “ද ලාස්ට් කිංග් ඔෆ් ස්කොට්ලන්ඩ්” (ස්කොට්ලන්තයේ අවසන් රජු) ලෙසයි. පසුව එනමින් ම තැනූ චිත්‍රපටය ලෝක ප්‍රසිද්ධ වූ බව ඔබත් අසා ඇති.

මෙවැනි ක්‍රියා හේතුවෙන් ඉඩි අමීන් උමතු පුද්ගලයකු යයි ඇතැමුන් සැළකූ නමුත් ඔහු මෙවන් අවස්ථාවලදී කළේ රඟපෑමක් පමණක් බවට තවත් විචාරකයන් අදහස් දක්වනවා.

බටහිරට පයින් ගැසීම

ඉඩි අමීන් 1972 දී බ්‍රිතාන්‍යයෙන් පළි ගැනීමට කළ ඊළඟ කාර්යය බ්‍රිතාන්‍ය ගමන් බලපත් හිමි ආසියාතිකයන් රටින් පිටුවහල් කිරීමයි. මේ අය සම්පූර්ණයෙන්ම පාහේ ඉන්දියානුවන් වූ අතර උගන්ඩාවේ විවිධ ව්‍යාපාරවල නිරත වූ මධ්‍යම පාන්තික කොටසක් ලෙස ඔවුන් කැපී පෙනුනා. නමුත් ඉඩි අමීන් කියා සිටියේ ඔවුන් උගන්ඩාවට ගෙනාවේ බ්‍රිතාන්‍යයන් නිසා ඔවුන් ගැන බලාගත යුත්තේ ද බ්‍රිතාන්‍යයන් බවයි.

1979 මාර්තු 26 වනදා, බලයෙන් පහ කිරීමට සති දෙකකට කළින් (Getty)

ආසියාතිකයන්ට උගන්ඩාවෙන් පිටවීමට දින 90 ක් ලබා දුන් අතර ඔවුන් හැර ගිය ව්‍යාපාර ඕනෑම අයකුට අල්ලා ගැනීමට ඉඩ ලැබුණා. මේ අනුව ඉඩි අමීන්ගේ ආධාරකරුවන් එක්වරම ව්‍යාපාරිකයන් බවට පත් වුණා.

නමුත් මේ බොහෝ දෙනෙකුට ව්‍යාපාරික ඥානයක් තිබුණේ නැහැ. ඒ හේතුවෙන් මේ බොහෝ ව්‍යාපාර ඉක්මනින් ම බංකොලොත් වුණා.

අමීන් බලයට එන විට උගන්ඩාවට ඊශ්‍රායලයේ හමුදා උපදේශකයන්ගේ සහය ලැබෙමින් පැවතුණා. ඔහු ඔවුන්ව පිටමං කර ලිබියාවේ මුවම්මර් ගඩාෆිගේ ආධාර ලබා ගත්තා.

“එන්ටෙබේ” සිද්ධිය

උගන්ඩාව සහ ඊශ්‍රායලය අතර දරුණු මතභේදයකට හේතු වූ ප්‍රංශ ගුවන් සේවයට අයත් යානයක් පැහැර ගැනීම සිදු වුණේ 1976 ජූනි මාසයේදී. එම ගුවන් යානය ටෙල් අවිව් සිට පැරිස් දක්වා ගමන් කරමින් තිබුණා. අමීන් එය පැහැරගත් ත්‍රස්තවාදීන්ට යානය උගන්ඩාවේ ගොඩ බස්වන්නට අවසර දුන්නා. මෙහිදී ඊශ්‍රායලය කළේ හමුදා මෙහෙයුමක් මගින් යානයෙහි සිටි ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීමයි. මෙහිදී උගන්ඩාවේ එන්ටෙබේ ගුවන් තොටට පිටින් පැමිණි පිරිසක් ප්‍රාණ ඇපකරුවන් මුදවාගෙන යාම ඉඩි අමීන් දරුණු අපකීර්තියකට පත් කළා.

අවසානය​

ඉඩි අමීන් ගේ පාලනය අවසන් වූයේ ද අසළ පිහිටි ටැන්සානියාවට එරෙහිව යුධ වැදීමට යාමෙන්. 1978 දී ඔහු ටැන්සානියාවට හමුදා යවා එහි කගේරා ප්‍රදේශය උගන්ඩාවට ඈඳා ගන්නා බව ප්‍රකාශ කළා. නමුත් ටැන්සානියානු හමුදා සහ ඉඩි අමීන් ගේ විරුද්ධවාදී උගන්ඩානු කණ්ඩායම් එක්ව අමීන් ගේ සේනාංක පළවා හැරීමට කටයුතු කළා. 1979 අප්‍රේල් වෙද්දී අමීන් රටෙන් පළා ගියා. මුලින්ම ලිබියාව වෙත ගිය ඔහු පසුව සවුදි අරාබියේ රැකවරණ ලබාගෙන 2003 දී මිය යන තෙක් එහි වාසය කළා.

ප්‍රතිවාදීන්ගේ හිස් එකතු කිරීම​

ඉඩි අමීන්ට එල්ල වූ විශාලම චෝදනාවක් වූයේ අත් අඩංගුවට ගත් එදිරිවාදීන් ගේ හිස් ගසා දමා එම හිස් ශීතකරණයක තබාගෙන සිටි බවයි. අමීන් පළා ගිය පසුව ඒ පිළිබඳ සාධක නොලැබුණත් එවැනි හිස් තිබුණා නම් ඔහු පළා යාමට පෙර ඒවා සොයාගත නොහැකි වන ලෙස යම් පියවරක් ගන්නට ඇතැයි සිතන්න පුළුවන්.

ඔහු පිළිබඳ තවත් ප්‍රකට කතාවක් වන්නේ ඔහුගේ එක් බිරිඳක් වූ “කේ අමීන්”ට අත් වූ ඉරණමයි. 1966 දී ඔහු “මල්‍යාමු” සහ “කේ” නම් කාන්තාවන් දෙදෙනකු විවාහ කරගත් අතර 1967 දී නෝරා නම් කාන්තාවක ද විවාහ කරගත්තා. 1974 දී ඔහු ඒ තිදෙනාම දික්කසාද කළා. පසුව කේ අබිරහස් ලෙස මිය ගිය අතර ඇගේ සිරුර රෝහල වෙත එවනු ලැබ තිබුණේ කැබලිවලට වෙන් කිරීමෙන් පසුවයි. මෙය අමීන් විසින් කරවන ලද ඝාතනයක් බව සැක කෙරුණත් එ් පිළිබඳ අබිරහස තවමත් විසඳී නැහැ.

ඉඩි අමීන් කාන්තාවන් සත් දෙනෙකු හා විවාහ වූ අතර ඔහුට දරුවන් 40 ක් පමණ සිටි බව සඳහන් වෙනවා.

ඉඩි අමීන් පිළිබඳ අප මේ ඉදිරිපත් කළ තොරතුරුවලට අමතරව තවත් බොහෝ දේ කියන්නට තිබෙනවා. ඔහු ගැන ඔබත් කරුණු දන්නවා ඇති. ඒ ගැනත් comment එකකින් අපට කියන්න අමතක කරන්න එපා.

මූලාශ්‍ර​

  1. Patrick Keatley, Idi Amin: Obituary, The Guardian
  1. Idi Amin: a byword for brutality, News24
  1. The Most Evil Men in History: Idi Amin, Discovery Channel

කවරයේ ඡායාරූපය​: ඉඩි අමීන් (biography.com)

Related Articles