Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ක්‍රිකට් පිටිය ජයගෙන දේශපාලන පිටිය ආක්‍රමණය කළ ඉම්රාන් ඛාන්

ජූලි 25 වැනිදා පැවති පාකිස්තානු මහා මැතිවරණය ජයග්‍රහණය කිරීමට හිටපු පාකිස්තානු ක්‍රිකට් නායක ඉම්රාන් ඛාන්ගේ නායකත්වයෙන් යුතු තෙහ්රීක්-ඊ-ඉන්සාෆ් පක්ෂයට හැකිවිය. ඒ අනුව ඉම්රාන් ඛාන්, පාකිස්තානයේ 19 වැනි අග්‍රාමාත්‍යවරයා වශයෙන් එළඹෙන අගෝස්තු 11 වැනිදා දිවුරුම් දෙනු ඇත. ඒ වසර 5 ක කාලයකටයි.

ඉම්රාන් ඛාන් පාකිස්තානයේ අගමැති වීම සඳහා බොහෝ සුදුසුකම් සැපිරූ අයෙකි. වසර 20 ට වැඩි දේශපාලන අත්දැකීම්, වසර 20 ට වැඩි කාලයක් ජාත්‍යාන්තර ක්‍රිකට් ක්‍රීඩා කිරීම, ඉතා ඉහළ අධ්‍යාපනයක් ලැබූවෙකු වීම, සමාජ සේවා රාශියකට මුල් වීම, ඇතුළු බොහෝ සුදුසුකම් වලින් ඔහු සමන්විතයි. පාකිස්තානු අගමැති ලෙසින් ඉදිරි කාලය පුරාවටම අසන්නට දකින්නට ලැබෙන ඉම්රාන් ඛාන්ගේ ජීවිතයේ වතගොත පිළිබඳව සැකසුන කෙටි සටහනකි මේ.

ක්‍රීඩකයෙක් ලෙසින්

තරුණ ඉම්රාන් ඛාන්” (pinterest.com)

ක්‍රීඩා පිළිබඳ උනන්දු ඕනෑම අයෙකුට ඉම්රාන් ඛාන්ගේ නම ඇසුන පමණින් සිහියට නැගෙන්නේ ඉම්රාන් ඛාන් නමැති ක්‍රිකට් ක්‍රීඩකයාය. 18 හැවිරිදි ඉම්රාන් ඛාන් 1971 වසරේ දී  එංගලන්තයට එරෙහිව ජාත්‍යන්තර​ ක්‍රිකට් අත්පොත් තැබුවද 1976 වසර වනතෙක් පාකිස්තානු කණ්ඩායම වෙනුවෙන් නිත්‍ය ක්‍රීඩකයෙකු ලෙසින් ක්‍රීඩා නොකරන්නේ, ඔහු සිය අධ්‍යාපන කටයුතු සඳහා අවධානය යොමුකළ බැවිනි.  

ලොව එතෙක් මෙතෙක් පහල වූ විශිෂ්ටම ගණයේ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන ඉම්රාන් ඛාන්, ටෙස්ට් ක්‍රීඩා පිටිය තුළ තුන් ඉරියව්වෙන් දක්වා තිබෙන දස්කම් දෙවැනි වන්නේ ශ්‍රීමත් ගැරී සෝබර්ස්ගේ දස්කම් වලට පමණකැයි බොහෝ දෙනාගේ මතයයි. එක්දින සහ ටෙස්ට් යන දෙඅංශයෙන්ම හොඳම දස්කම් දක්වා ඇති ශ්‍රීමත් ඉයන් බොතම්, ශ්‍රීමත් රිචඩ් හැඩ්ලි, කපිල් දේව්, සනත් ජයසූරිය සහ ජාක්ස් කාලිස් යන ක්‍රීඩකයන් අතරට ඉම්රාන් ඛාන්ගේ නමත් එකතුවන්නේ නිරායාසයෙනි.

ඉම්රාන් ඛාන් 1992 ලෝක කුසලානය අතැතිව” (Adrian Murrel/Getty Images)

දකුණත් පිතිකරුවෙක් සහ දකුණත් වේග පන්දු යවන්නෙකු වන ඔහු 1982-92 දක්වා කාලය තුළදී පාකිස්තානු ක්‍රිකට් නායකත්වය උසුලා ඇති අතර එම කාලය තුළදී පාකිස්තානය වෙනුවෙන් ටෙස්ට් තරග 48 ක් සහ එක්දින තරග 139 ක් මෙහෙයවා ඇත. පාකිස්තානය විසින් ජයග්‍රහණය කළ එකම ලෝක කුසලානය වන 1992 ලෝක කුසලාන තරගාවලියේ දී පාකිස්තානය මෙහෙයවූ ඔහු එහි අවසන් පූර්ව තරගයේ දී ලකුණු 44 ක්, අවසාන මහා තරගයේ දී ලකුණු 72 ක් සහ එක් කඩුල්ලක් ද ලබාගැනීමට සමත්විය. 1975-92 දක්වා පැවති සියලුම ලෝක කුසලාන තරගමාලා නියෝජනය කර තිබෙන ඔහු ලෝක කුසලාන තරග 28 දී ලකුණු 666 ක් සහ කඩුලු 34 ක් ලබාගෙන ඇත.

1977 වසරේ දී ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවති ටෙස්ට් තරගයකදී 165/12 (102/6 සහ 63/6) ක් ලෙසින් කඩුලු බිඳහෙළීමට ඔහු සමත්විය. එය සටහන් වන්නේ පාකිස්තානු පන්දු යවන්නෙකු ඕස්ට්‍රේලියාවේ දී වාර්තා කළ හොඳම පන්දු යැවීම වශයෙනි. 1982 වසරේ දී ටෙස්ට් තරග 9 දී කඩුලු 62 ක් ලබාගන්නා ඉම්රාන්ගේ එම වසරේ පන්දු යැවීමේ සාමාන්‍ය සටහන් වන්නේ 13.29 කි. එය වාර්තාවක් වන අතර කැලැන්ඩර් වසරකදී කඩුලු 50 ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් ලබාගත් පන්දු යවන්නන් අතරින් හොඳම පන්දු යැවීමේ සාමාන්‍ය (එම වසරේදී) හිමි ක්‍රීඩකයාගේ වාර්තාව පවතින්නේ ද ඉම්රාන්ගේ නමිනි. 1983 වසරේ දී ඉන්දියාවට එරෙහිව පැවති ටෙස්ට් තරගයක දී කඩුලු 11 ක් සහ ශතකයක් ලබාගැනීමටත් ඉම්රාන් ඛාන් සමත්විය. ඒ අනුව එක් ටෙස්ට් තරගයක කඩුලු 10 ක් සහ එම තරගයේ (ඉනිමකදී) ශතකයක් වාර්තා කල ක්‍රීඩකයින් දෙදෙනාගෙන් කෙනෙකු වීමටද (අනෙක් ක්‍රීඩකයා ශ්‍රීමත් ඉයන් බොතම්) ඔහුට හැකිවිය.

ඉම්රාන් ඛාන් සහ කපිල් දේව්” (m.dailyhunt.in)

ටෙස්ට් කඩුලු 300 සහ ලකුණු 3000 වෙත වේගයෙන්ම ළඟා වූ දෙවැනි ක්‍රීඩකයා වන්නේ ද ඉම්රාන්ය. ඒ තරග 75 නි. එහි වාර්තාව ශ්‍රීමත් ඉයන් බොතම් සතුවන අතර බොතම් විසින් තරග 73 දී එම කඩඉමට ළඟා වී තිබේ. ඉම්රාන් ඛාන්ගේ නායකත්වයෙන් 1987 දී පාකිස්තානය ඉතා වැදගත් ටෙස්ට් තරගාවලි දෙකක ජය ලබා තිබේ. ඒ පළමු වරට ඉන්දියාවේ දී ටෙස්ට් තරගාවලි ජයක් (1-0) සහ පළමු වරට එංගලන්තයේ දී ටෙස්ට් තරගාවලි ජයක් (1-0) ලබාගැනීමයි.

1992 වසරේ දී ජාත්‍යන්තර​ ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත් ඉම්රාන් ඛාන් ඒ වනවිට ටෙස්ට් තරග 88 දී ලකුණු 3807 ක් වාර්තා කර තිබෙන්නේ 37.69 ක ලකුණු සාමාන්‍යයක් රඳවා ගනිමිනි. එහිදී කඩුලු 362 ක් බිඳහෙලීමට ද ඔහු සමත්ව ඇත. එක්දින තරග 175 දී ඔහු විසින් රැස්කරගෙන තිබෙන ලකුණු සංඛ්‍යාව වන්නේ 3709 කි. එහි සාමාන්‍යය 33.41 ක අගයක් ගනී. එක්දින තරග වලදී කඩුලු 182 ක් ලබාගැනීමට ද ඔහු සමත්ව ඇත. 2010 වසරේ දී  ICC ය විසින් ICC Cricket Hall of Fame ලයිස්තුවට (ක්‍රිකට් ක්‍රීඩාවේ විශිෂ්ටයන්​) ඉම්රාන් ඛාන් නම් කරනු ලැබීය.

පෞද්ගලික ජීවිතය

ඉම්රාන් ඛාන් සිය පුත්‍රයන් සමඟින්” (indiatimes.com)

1952 ඔක්තෝබර් 5 වැනිදා පාකිස්තානයේ ලාහෝරයේ උපත ලබා ඇති ඉම්රාන් අහමඩ් ඛාන් නියාසිගේ පියා වන්නේ ඉක්‍රමුල්ලා ඛාන් නියාසි ය. ඔහු වෘත්තීය සිවිල් ඉංජිනේරුවරයෙකි. ඉම්රාන් ඛාන්ගේ මව ශෞකාත් ඛානූම්ය. කුඩා කල සිටම කිසිදු ආර්ථික අපහසුතාවකට මුහුණ දී නොමැති ඉම්රාන් ඛාන් හට සහෝදරියන් සිව්දෙනෙකු සිටී.

පාකිස්තානයේ අයිචිසන් පාසලෙන් සහ එංගලන්තයේ වොස්ටර් හී රෝයල් ග්‍රැමර් පාසලෙන් මූලික අධ්‍යාපනය ලබා ඇති ඔහු එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයෙන් දර්ශන විද්‍යාව, දේශපාලන විද්‍යාව සහ ආර්ථික විද්‍යාව (PPE) සඳහා ගෞරව උපාධියක් ලබා තිබේ. පාකිස්තානු පුරවැසියෙකුට ලැබිය හැකි දෙවැනි ඉහළම ගෞරව සම්මානය, Hilal-e-Imtiaz සම්මානයෙන් (1992) ද ඔහු පිදුම් ලබා තිබේ. තරුණ අවධියේ දී ඉතා කඩවසම් තරුණයෙකු වූ ඉම්රාන් ඛාන් හට ලොව පුරා තරුණියන්ගේ ප්‍රතිචාර හිමිවී ඇත.

හිටපු පාකිස්තානු අගමැතිවරයෙකුගේ දියණියක් සහ හිටපු පාකිස්තානු අගමැතිනියක් වන බෙනාසීර් භූතෝ සමඟින් ඉම්රාන් ඛාන් හට සම්බන්ධයක් තිබූ බව (ඔවුන් දෙදෙනා ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ඉගෙනගනිමින් සිටින අවධියේ දී) ප්‍රකට කතුවරයෙකු වන ක්‍රිස්ටෝෆර් ස්ටැම්ෆර්ඩ් විසින් ඔහුගේ කෘතියක සටහන් කළද ඉම්රාන් විසින් එය තරයේ ප්‍රතික්ෂේප කරන ලදී. “අපි දෙදෙනා (බෙනාසීර් සහ ඉම්රාන්) හොඳ යහළුවන් ලෙසින් පමණයි හිටියේ.” ඉම්රාන් එසේ ප්‍රතිචාර දැක්වීය.

ඉම්රාන් සහ ජෙමීමා” (dnaindia.com)

ඉම්රාන් ඛාන් මුල් වරට විවාහ වූයේ 1995 වසරේදී ය. ඒ බ්‍රිතාන්‍ය ජාතික තරුණියක් වන ජෙමීමා ගෝල්ඩ්ස්මිත් සමඟින්ය. ජෙමීනා, ඉම්රාන්ට වඩා වසර 22 ක් ලාබාල යුවතියකි. වසර නවයකට පසු ඔවුන් දෙදෙනාගේ විවාහය අවසන් විය. එයට ප්‍රධානම හේතුවක් වූයේ ඉම්රාන්ගේ දේශපාලන ජීවිතයට ජෙමීමා හට අනුගත වීමට නොහැකි වීමයි. දික්කසාද වූවත් ඔවුන් දෙදෙනා අතරෙහි විරසකයක් නොමැති අතර ජෙමීමා මේ වනවිට වැඩසටහන් සහ චිත්‍රපට නිෂ්පාදිකාවකි. එම විවාහයෙන් ඔවුන්ට​ පිරිමි දරුවන් දෙදෙනෙකු සිටී. ඉන්පසු 2015 වසරේ දී ඉම්රාන් විසින් තවත් විවාහයක් කරගත්තද එයද අවසන් විය. මේ වනවිට ඔහු විවාහ වී සිටින්නේ බුෂ්රා මනේකා සමඟින්ය.   

ශෞකාත් ඛානූම් පිළිකා රෝහල

ශෞකාත් ඛානූම් රෝහල” (shaukatkhanum.org.pk)

ඉම්රාන් ඛාන්ගේ සමාජ සේවා අතරින් ප්‍රධානම තැනක් ගනු ලබන්නේ ශෞකාත් ඛානූම් පිළිකා රෝහලයි. ශෞකාත් ඛානූම් පිළිකා රෝහල පාකිස්තානයේ තිබෙන විශාලතම පිළිකා රෝහලයි. 1985 වසරේ දී පිළිකාවක් හේතුවෙන් මියගිය සිය මව වෙනුවෙන් ඉම්රාන් විසින්, ඔහුගේ ප්‍රධානත්වයෙන් මෙම රෝහල ඉදිකර​ තිබේ. 1994 වසරේ දී ආරම්භ කර තිබෙන මෙම රෝහල සඳහා සිය මුදල්, කාලය සහ ශ්‍රමය කැප කිරීමට ඉම්රාන් කටයුතු කරන ලදී. 1992 ලෝක කුසලානයෙන් ඔහු ලද සියලුම මුදල් මෙම රෝහල ගොඩනැංවීම සඳහා ඔහු යොදවා තිබේ. එයට අමතරව ලොව පුරා සිටින බොහෝ පිරිසක් ද මෙම රෝහල සඳහා ධනය පරිත්‍යාග කොට තිබේ.

ලාභ නොලබන රෝහලක් වන මෙය ආර්ථික අපහසුතා තිබෙන රෝගීන් සඳහා නොමිලයේ ප්‍රතිකාර කරනු ලබයි. වාර්ෂිකව මිලියන ගණනක් වූ රෝගීන්ට පිහිටක් වන මෙම රෝහලෙන් 75% දෙනෙකුට පමණ ප්‍රතිකාර කරනුයේ නොමිලයේ බව විවිධ වාර්තා වල සඳහන් වේ. එසේ වූවත් ලෝකයේ තිබෙන හොඳම ප්‍රතිකාර ක්‍රම වලින් මෙම රෝහල සන්නද්ධය.

ශෞකාත් ඛානූම් රෝහලේ ඇතුළත” (mapio.net)

ආරම්භයේ සිට මේ දක්වා ප්‍රතිකාර සඳහා ඩොලර් මිලියන 270 ක පමණ මුදලක් වැයවී ඇති බව සඳහන් වේ. ඉම්රාන් ඛාන්ගේ පෞද්ගලික සහ විවිධ පුද්ගලයන්ගේ ධන පරිත්‍යාගයෙන් මෙම රෝහල පවත්වාගෙන යයි. පිළිකා සඳහා සිදුකෙරෙන පර්යේෂණ කටයුතු ද මෙම රෝහලෙන් සිදුකරන අතර මෙම රෝහලේ ප්‍රධාන මූලස්ථානය ලාහෝර් හි පිහිටා තිබේ. පේශාවර් හි ද මෙම රෝහලේ තවත් ශාඛාවක් ඇති අතර ඉදිරියේදී කරච්චි නගරයේ ද රෝහලක් ඉඳිකිරීමට සැලසුම් කරමින් පවතී.

දේශපාලන ජීවිතය

මෙවර පාකිස්තානු මහා මැතිවරණය පැවැත්වූ දින” (newstoptrending.site)

මෙවර පාකිස්තානු මහා මැතිවරණය ජයග්‍රහණය කළ තෙහ්රීක්-ඊ-ඉන්සාෆ් පක්ෂයේ නිර්මාතෘ වන්නේ ඉම්රාන් ඛාන්ය. ඔහු විසින් 1996 වසරේ දී එම පක්ෂය පිහිටුවන ලදී. කෙසේවෙතත් එම පක්ෂය ඉදිරිපත් වූ පළමු මහා මැතිවරණයෙන් (1997) ඔවුන්ට එකදු ආසනයක් හෝ ජයගැනීමට නොහැකි විය. නමුත් 2002 වසරේ දී පැවති මහා මැතිවරණයේ දී එක් ආසනයක් හිමිකරගත් එම පක්ෂය (ඉම්රාන් ඛාන් විසින් එම ආසනය ජයග්‍රහණය කරන ලදී. ඒ මියන්වාලි ප්‍රදේශයෙනි) 2008 වසරේ පැවති පාකිස්තානු මහා මැතිවරණයට සහභාගී නොවූයේ හදිසි නීතිය යටතේ මැතිවරණය පැවැත්වීම නිසාය.

2013 වසරේ පැවති මහා මැතිවරණයට ඉතා ශක්තිමත්ව මුහුණදුන් ඉම්රාන් ඛාන් ඇතුළු පක්ෂය එහිදී 16.92% ක ඡන්ද ප්‍රතිශතයක් හිමිකරගන්නේ ආසන 35 ක් පක්ෂයට ලබාගනිමිනි. ඉන්පසු තමන්ගේ පක්ෂය තව තවත් ව්‍යාප්ත කරනා ඉම්රාන් ඛාන් විවිධ මාර්ග ඔස්සේ ජනතාවට සිය පක්ෂය සමීප කරලීමට කටයුතු කරන ලදී. ඉන් නොනැවතුන ඔහු ජනතාවට තිබෙන ප්‍රශ්න වෙනුවෙන් හඬනැගූ අතර සිය සමාජ සේවා මෙහෙවරද ඉදිරියට කරගෙන ගියේය.

ඉම්රාන් ඛාන් සහ ආමීර් ඛාන්” (thedemocraticbuzzer.com)

එම ක්‍රියාවල සහ පැවති පසුගිය රජයන් කෙරෙහි ජනතාව දැක්වූ අප්‍රසාදයේ ප්‍රතිඵලයක් වශයෙන් මෙවර පාකිස්තානු මහා මැතිවරණයෙන් ඉම්රාන් ඛාන්ගේ තෙහ්රීක්-ඊ-ඉන්සාෆ් පක්ෂය ජය ලබනු ලැබීය. මෙවර මහා මැතිවරණයේ දී 31.87% ක් හිමිකරගත් එම පක්ෂයට හිමිවූ මුළු ආසන ප්‍රමාණය වන්නේ 115 කි. ශේහ්බාස් ෂරීෆ්ගේ මුස්ලිම් ලීගය (මීට පෙර එම පක්ෂයේ නායකයාව සිටියේ හිටපු පාකිස්තානු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් ය.  ශේහ්බාස්, නවාස්ගේ බාල සොයුරාය) 24.40% ක් හිමිකරගන්නා ලදී. ආණ්ඩුවක් පිහිටුවීම සඳහා තෙහ්රීක්-ඊ-ඉන්සාෆ් පක්ෂයට කුඩා පක්ෂ සමඟින් එකතුවීමට සිදුවනු ඇත.

මේ වනවිට පාකිස්තානු ජනතාව මුහුණදෙන සාමාජීය, ආර්ථික ගැටළු රාශියකට පිළිතුරු සෙවීමට අග්‍රාමාත්‍යවරයා වශයෙන් ඉදිරි කාලයේ දී ඉම්රාන් ඛාන්ට සිදුවනු ඇත. ඊට අමතරව ඉම්රාන් ඛාන්ගේ ප්‍රමුඛ මැතිවරණ පොරොන්දුවක් වූයේ පාකිස්තානයට නැවතත් සාමය ගෙන ඒම වන අතර ඒ සඳහා ද විශාල වැඩ කොටසක් සිදුකිරීමට ඔහුට සිදුවනු ඇත.

Cover Image – Reuters

Related Articles