දහනව වන උපන්දිනය සැමරූ මලාලා යුසෆ්සායිගේ ජීවිතය ගැන කෙටි සටහනක්

2012 ඔක්තෝබර් 09, අනිත් හැම දවසක්ම වගේ බොහොම සාමාන්‍ය දවසක්. ජීවන බර, දරදඬු තලේබාන් පාලනය එක්ක මතුවුණ කරදර ඔය හැම එකක්ම මැදින් පාකිස්තානයේ මිනිස්සුන්ගේ ජීවිත ගෙවිලා යනකොට ස්වොට් නිම්නයේ තිබුණ පාසලක් අවසාන වෙලා ළමුන් ටිකක් පාසල් බස් එකේ නැගල තම තමන්ගෙ ගෙවල්වලට යන ගමන් හිටියේ.  ඉස්කෝලේ ළමයි අතර සිද්ධ වෙන සාමාන්‍ය කතා බස් අස්සේ ඉදිරියට ඇදුණ බස් රථය හදිසියේ නතර වුණේ පාර අයිනේ හිටිය කැප් එකක් දමාගෙන ලේන්සුවකින් නහයයි කටයි ආවරණය කරගත්ත තරුණයෙක් ඒක නවත්තන්න කියල සංඥා කරපු නිසයි. එතනින් එහාට වුණ දේවල් හරියටම කිව්වොත් හොලිවුඩ් ක්‍රියාදාම චිත්‍රපටයක් වගේ.

අත දාලා බස් එක නතරකරපු තරුණයා දැන් බස් එකට නැගලා “මේ කුෂාල් පාසල් බස් එකද?” කියල අහන ගමන් ඉඳගෙන ඉන්න ළමයි දිහා විනිවිද යන බැල්මක් හෙළනවා. ඊළඟට රියදුරුට කියනවා “මට මේ බස් එකේ ඉන්න ළමයෙක් ගැන තොරතුරු දැනගන්න ඕන” කියල. රියදුරාගේ උත්තරේ වෙන්නේ “එහෙනම් ඔහේට යන්නේ වෙන්නේ ඔෆිස් එකටයි” කියන එක. ඒක එතරම් ගණන් නොගන්න ඔහු අහනවා මෙහෙම, “කවුද මලාලා කියන්නේ?” කවුරුත් උත්තරයක් නුදුන්නත් ළමයින්ගේ ඇස් පිටිපස්සෙම ආසනේ තව ගෑණු ළමයි කීප දෙනෙක් එක්ක ඉඳගෙන ඉන්න, මුළු බස් එකටම හිටිය රෙදි කෑල්ලකින් ඔළුව ආවරණය කර නොගත්ත එකම ගෑණු ළමය දිහාට හැරෙනවා. එකිනෙකා හුස්ම ගන්න හඬ ඇහෙන තරම් පැහැදිලි නිහැඬියාවක් තිබුණ තත්පර කිහිපයකට පස්සේ ආගන්තුක තරුණයා කළු පාට පිස්තෝලයක් එළියට ගන්නවා. ඊට පස්සේ එක දිගට ඇහුණ වෙඩි හඬ..

උරහිස, ගෙල සහ හිස හරහා ගිය එකම එක උණ්ඩයකින් බරපතල තුවාල ලබන අපේ කතා නායිකාව හැකි ඉක්මනින් රෝහල් ගත කෙරෙනවා. ඇගේ ජීවිතය යාන්තමට ගලවාගන්න ඒ වෛද්‍යවරුන්ට හැකි වුණත් පහවෙලා නොගිය අනතුරුදායක බවින් ඇයව මුදවාගෙන නිසි ප්‍රතිකාර ලබා දෙන්න ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියට එනවා. (ඒ ඇයිද කියල මේ ලිපිය දිගටම කියනකොට ඔයාලට වැටහේවි). එංගලන්තයේ බර්මින්හැම් ප්‍රදේශයේ හමුදා සෙබළුන්ට ප්‍රතිකාර කරන රෝහලකදී ප්‍රතිකාර ලබල 2013 ජනවාරි මාසෙදි එතනින් එළියට එන ඇයට සහ ඇයගේ පවුලේ අයට එංගලන්තයේ ජීවත්වීමේ අවස්ථාව හිමි වෙනවා.

මලාලා පාකිස්තාන රෝහල තුල ප්‍රතිකාර ලබමින්. black-in.com

මලාලා පාකිස්තාන රෝහල තුල ප්‍රතිකාර ලබමින්. (black-in.com)

මලලා යුසෆ්සායි, ඒ වෙනකොට අවුරුදු 15ක්ව සිටි දැරිය ගැන ලෝකයේම අවධානය යොමු වෙන්නේ ඔය ඉහත කිව්ව සිද්ධිය නිසා. මේ 12 වෙනිදා ඇය සැමරුවේ 19 වෙනි උපන්දිනයයි. ඒ වෙනුවෙන් 13 වෙනිදා කෙන්යාවේ ඩඩාබ් හි පිහිටි ලොව විශාලතම සරණාගත කඳවුර තුල සංචාරයකට එක්වීමට ඇය කටයුතු කළා. 2014 වසරේ ඉන්දියාවේ ළමා අයිතිවාසිකම් පිලිබඳ ක්‍රියාධරයෙකු වූ කයිලාෂ් සත්‍යාර්ති සමඟ සමව නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබූ ඇය කාන්තාවන් හා ළමුන්ගේ අධ්‍යාපනය ලැබීමේ අයිතිය පිලිබඳ සිය හඬ අවදි කරන ලොව සිටින ප්‍රමුඛතම සමාජ ක්‍රියාකාරිනිය ලෙස හැඳින්වුවහොත් එය වැරදි යැයි කිසිවෙකුත් පවසන එකක් නැහැ.

ළමා කාලය

ගැහැණු ළමයෙක් ඉපදීම පවුලට බරකුත්, පිරිමි ළමයෙක් ඉපදීම ආශිර්වාදයකුත් විදිහට සලකන පාකිස්තානයේ පළාතක (වයඹ දිග පාකිස්තානයේ, ස්වොට් නිම්නයේ පිහිටි මින්ගෝරා නගරය) මලලා උපත ලබන්නේ 1997 ජූලි 13 වෙනිදා. පටු ආකල්ප සිත් තුල රඳවාගෙන නොහිටි ඇගේ පවුලේ අය දියණියක පවුලට එකතුවීම ප්‍රීතියෙන් යුතුව සැමරූ ආකාරය දැකල අහල පහල මිනිස්සු සෑහෙන්න පුදුම වුණ බව මලාලා එයාගේ ජීවිත කතාව රැගත් පොතේදී පවසනවා.

මලාලාගේ පියා සියාඋද්දීන් යුසෆ්සායි ජාත්‍යන්තර කාන්තා සංවිධානයේ රැස්වීමක් අමතමින්. (gwtoday.gwu.edu)

මලාලාගේ පියා සියාඋද්දීන් යුසෆ්සායි ජාත්‍යන්තර කාන්තා සංවිධානයේ රැස්වීමක් අමතමින්. (gwtoday.gwu.edu)

සියා උද්දීන් යුසෆ්සායි, ඇගේ පියා මෙන්ම ඇගේ සෑම සමාජ ක්‍රියාකාරකමක් පසුපසම සිටි යෝධ සෙවණැල්ල, මේ බිලිඳියට මලාලා කියල නම තියන්නේ ඒ නමින් සිටි පෂ්තුන් වීරවරියක් සිහිපත් කරන්නයි. ඔහු අධ්‍යාපන උපදේශකවරයෙක්. තම නිවසට ආසන්නව පාසලක් ඉදිකර එය පවත්වාගෙන ගිය අයෙක්. මලාලා අධ්‍යාපනය ලැබුවේත් ඒ පාසලේමයි. වඩාත්ම වැදගත් දේ ඒ වන විට සාමාන්‍ය ජන ජීවිතයට හිරිහැරයක් වෙමින් තිබූ තලේබාන් ත්‍රස්තවාදීන්ගේ පාලනය සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් නිර්දය ලෙස විවේචනය කළ මිනිසෙක්. ඒ නිසාම ඒ සංවිධානයේ අපමණ වෛරයට පාත්‍ර වූ අයෙක්.

මලාලා ගැහැණු දරුවන්ට ලැබිය යුතු අධ්‍යාපනයේ අයිතිය ඉල්ලා හඬ නගයි

තලේබාන් ප්‍රහාරයට පෙර මලාලා ඇගේ පාසලේදී. (jinnahimrankhan.tumblr.com)

තලේබාන් ප්‍රහාරයට පෙර මලාලා ඇගේ පාසලේදී. (jinnahimrankhan.tumblr.com)

මලාලා ඉගෙන ගන්න කැමති, දක්ෂ දැරිවියක්. පොත් ගුල්ලියක්. ගැහැණු ළමුන් අධ්‍යාපනය ලැබීම  ගැන තාත්තට වගේම අදහස් තිබුණ කෙනෙක්. මලාලා ඇතුළු ඒ පළාතේ පාසල්  ගොස් හොඳින් ඉගෙන ගන්න හීන මැව්ව ගෑණු ළමයිට ඒ හීනවලට නැවතීමේ තිත තියන්න කියල බලකෙරුණේ 2009දී ස්වොට් නිම්නයේ බලය අල්ලාගත්ත තලේබාන් ත්‍රස්තවාදීන් විසින්. ඔවුන් ගැහැණු ළමයි පාසල් නොයැවිය යුතු බවට නීති නිකුත් කරනවා. පළාතේ පාසල් ඔවුන්ගේ කඳවුරු විදිහට යොදාගන්නට පටන් ගන්නවා. රූපවාහිනී නැරඹීම, වර්ණවත් ඇඳුම් ඇඳීම, සාප්පු සවාරි යාම ආදී බොහෝ දේවල් ගෑණු ළමයිට තහනම් දේවල් බවට පත්වෙනවා. සියා උද්දීන්ටත් ඔහුගේ පාසල වසා දමන ලෙසට බලපෑම් එල්ල වෙනවා. නමුත් ඔහු ඒ තර්ජන කණකට ගන්නේ නැහැ.

ඔහොම තත්වයක් යටතේදී මලාලා, ගුල් මකායි කියන අන්වර්ථ නමෙන් බ්ලොග් සටහන් පෙළක් BBC උර්දු සේවයේ වෙබ් අඩවියට ලබා දෙනවා. දුක සහ කඳුල යන තේරුම රැගත් තමන්ගේ සත්‍ය නමට වඩා ඒ අන්වර්ථ නමට ඇය ප්‍රිය කරන බව මලාලා පවසා සිටිනවා. සටහන් ලියන්න ඇයට ධෛර්ය දෙන්නේ ඇගේ තාත්තා. ඒවා තුලින්  ඇය ස්වොට් නිම්නය පුරා පැතිරුණ තලේබාන් පාලනය ගැන, ඒ නිසා ඇතිවෙලා තියෙන බිය මුසු පරිසරය වගේම තමන්ගේ පාසල ගැන සහ ඉගෙනුම ගැන ඇයට ඇති බියත් සඳහන් කරනවා. මුලදී අනන්‍යතාව හෙළි නොකර හිටියත් පස්සේ කාලෙක නිව්යෝක් ටයිම්ස් විසින් කළ වාර්තා වැඩසටහනකදී අර කිව්ව BBC බ්ලොග් එක ලියන්නේ තමන්ය කියල මලාලා හෙළිදරව් කරනවා. ඇයට තලේබාන් මරණ තර්ජන එල්ල වෙන්න ගන්නේ ඔහොමයි.

2009 පෙබරවාරි 8 ඉරිදා දින ඇය විසින් තැබූ බ්ලොග් සටහන මෙසේයි.

“මගෙ පාසල් නිල ඇඳුම, බෑග් එක, කවකටු පෙට්ටිය එහෙම දකිනකොට ගොඩක් දුක හිතෙනවා. ඇඳුම් අල්මාරිය ඇරලා ඒවා දිහා බලන එකත් ලොකු වේදනාවක්. හෙට ඉඳන් පිරිමි ළමයින්ට පාසල් විවෘත වෙනවා. ඒත් තලේබාන් සංවිධානය ගැහැණු ළමයින්ට පාසල් යන එක  තහනම් කරලා…”

2011 වසරේදී පාකිස්තානු රජය විසින් එරට ප්‍රථම සාමය සඳහා වුණ ජාතික තරුණ සම්මානය මලාලා වෙත පිරිනමනවා. ඊට අමතරව ඩෙස්මන්ඩ් ටුටූ පියතුමා විසින් අන්තර්ජාතික ළමා සාම ත්‍යාගය වෙනුවෙන් ඇගේ නම නිර්දේශ කරනවා. මලාලාට ලැබෙන මේ ජනප්‍රියත්වය නිසා ඇයව මරා දමන බවට තලේබාන් සංවිධානය නිවේදන නිකුත් කරන්නේ ඉන් පසුවයි.

ගරු බුහුමන්

මලාලා නොබෙල් සාම ත්‍යාගය සමග (france24.com)

මලාලා නොබෙල් සාම ත්‍යාගය සමග (france24.com)

කාන්තාවන්ට ලැබිය යුතු අධ්‍යාපනයේ නිදහස වෙනුවෙන් එදා මෙදා තුර ඇය විසින් විශාල මෙහෙයක් ඉටු කර තිබෙනවා. මලාලා පදනම පිහිටුවීම මගින් උපකාර අවශ්‍ය ගැහැණු දරුවන්ට සවියක් වීම ඇය විසින් සිදු කරනවා. අධ්‍යාපනය සහ කාන්තා අයිතිවාසිකම් පිලිබඳ වූ ඇගේ අදහස් ලෝකය පුරාම දැඩි අවධානයට පාත්‍ර වී තිබෙන බවත් කියන්නට අවශ්‍යමයි. පහත දැක්වෙන්නේ ඇගේ ජීවිතයේ විශේෂ අවස්ථා කිහිපයක් සහ ඇයට ලැබුණු ගරු බුහුමන් අතරින් කිහිපයක්.

1 – 2013 වසරේදී ඇය ක්‍රිස්ටිනා ලෑම්බ්ගෙ සම කතෘත්වයෙන් යුතුව සිය ජීවිත කතාව එලි දක්වනවා. එය නම් කරන්නේ ‘I am Malala : The Girl Who Stood Up For Education And Was Shot By Taliban’ ලෙසයි. ලොව පුරා ඉහළ අලෙවියක් හිමි කරගැනීමට එය සමත්වනවා.

2 – 2014 වසරේදී ටයිම් සඟරාව මගින් ලෝකයට වඩාත්ම බලපෑමක් කළ හැකි පුද්ගලයන් 100 දෙනා සහ යෞවන යෞවනියන් අතරට ඇගේ නම එක් කරනවා.

3 – 2015 වසරේ පුද්ගලයා තේරීම පිණිස ටයිම් සඟරාව විසින් පැවැත්වූ ඡන්දයෙන් මලාලා දෙවන ස්ථානය දිනා ගන්නවා. ප්‍රථම ස්ථානය හිමිවන්නේ ජර්මානු චාන්සලර්වරිය වන ඇන්ජලා මර්කල්ට.

4 – 2015 වසරේදීම ඇය ජනප්‍රිය සිනමා නිළි එමා වොට්සන් සමඟ කාන්තා අයිතිවාසිකම් පිලිබඳ වූ සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වනවා. මෙහිදී මලාලා තමන්ව ‘ස්ත්‍රීවාදිනියක්’ ලෙස හඳුන්වාගන්නවා.

මලාලා සිනමා නිළි එමා වොට්සන් සමඟ. (independent.co.uk)

මලාලා සිනමා නිළි එමා වොට්සන් සමඟ. (independent.co.uk)

5 – මේ වන විට බටහිර ලෝකයට මුහුණ පෑමට සිදුව ඇති විශාලතම ගැටළුවක් වන සිරියානු සරණාගතයන් පිලිබඳ සිද්ධියේදී මලාලා සිරියානුවන්ට උපකාර කළ යුතුබවට ලෝක නායකයන්ගෙන් ඉල්ලා සිටිනවා.

ලෝකය මීට වඩා යහපත් තැනක් බවට පත්කරන්නට අවශ්‍ය වන්නේ නිර්ව්‍යාජ අදහස් සහ නිර්භීත හදවත් බව මලාලාගේ කතාවෙන් අපට ගන්න පුළුවන් හොඳම ආදර්ශයයි. හඬක් නොමැතිව සිටි බොහෝ කාන්තාවන්ට හඬක් සහ හඬ නගන්නට බියෙන් සිටි තවත් අයට මලාලා උත්තේජනයක් වූ බව නොරහසක්. නමුත් විවිධ පුද්ගලයන්ගෙන් විවිධාකාර වූ විවේචන ඇයට එල්ලවන බවත් මෙහි ලියා තැබිය යුතුයි. ඒ අතරින් නැගෙන ප්‍රධානම විවේචනය වන්නේ ඇය බටහිර බලවතුන්ගේ පදයට අනුව නටන රූකඩයක් පමණක් බවයි. ඇයට එල්ල වූ ප්‍රහාරය පාකිස්තානු හමුදාවට වයඹ දිග පාකිස්තානයට ඇතුළුවීම පහසු කරවීම සඳහා යොදාගත් සැලසුමක් බවත් ඇතැමුන් පවසනවා.

ඒ කරුණු කාරණා කෙසේ වුවත් මේ ලිපිය එක්සත් ජාතීන්ගේ සම්මේලනය අමතමින් මලාලා කළ කතාවේ කොටසක් උපුටා දක්වමින් අවසන් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.

“අන්තවාදීන් වඩාත් බිය වන්නේ පොතක් අතින් ගත් ගැහැණු ළමයෙකු දකින්නටයි..ඔවුන් හිතුවේ තුවක්කුවලින් සහ වෙඩි උණ්ඩවලින් අපව නිහඬ කරවන්න. නමුත් ඔවුන් අසමර්ථයි. වෙඩි උණ්ඩ නිසා ඔවුන් බලාපොරොත්තු වුණ නිහඬතාව වෙනුවට නැගුණේ දහස් ගණනක් වූ කටහඬවල්. දුබලතාව, භීතිය වගේම අපේක්ෂාභංගත්වය ඒ කටහඬවල් නිසා මියැදුණා. ඒ වෙනුවට ජවය, ශක්තිය සහ ධෛර්යසම්පන්න බව උපත ලැබුවා..”

ඉතින් මේ චරිතය ගැන ඔබට සිතෙන්නේ කුමක්ද? අපිට කියන්න.

කවරයේ පින්තුරය: Malala/ www.emgn.com

Related Articles