Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

රිදී තිරයේ රන් ස්වරය මොහොමඩ් රාෆී

බොලිවුඩ්  සිනමාව හෙවත් සැවොම දන්නා හින්දි සිනමාව ලොව පුරාම ප්‍රචලිතව ඇත්තේ ඒවායේ අඩංගු මධුර මනෝහර ගීත හේතුවෙනුයි. මේ හින්දි සිනමාවේ බිහිවූ විශිෂ්ටතම ගායකයා හෙවත් උතුරු ඉන්දීය සිනමාවේ සදානුස්මරණිය ගීත කෝකිලයා, මොහොමඩ් රාෆි  පිළිබඳවයි.

2013  වසරේ CNN විසින් කල සමීක්ෂණයකට අනුව එදා මෙදාතුර ඉන්දියානු සිනමාවේ බිහිවූ විශිෂ්ටතම ගායකයා මොහොමඩ් රාෆි ලෙස අනාවරණය වී තිබෙනවා. එමෙන්ම ඉන්දියානු සිනමාවට වසර සියයක් පිරීම නිමිත්තෙන් BBC ගුවන් විදුලිය කළ මත විමසුමකදී ඉන්දියානු සිනමාව තුළ බිහිවූ ජනප්‍රියම ගීතය ලෙස තේරුණේ රාෆි ගේ හඬින් ගැයෙන Baharon Phool Barsao ගීතයයි.2001 වසරේදී සුප්‍රකට ඉන්දියානු Stardust සඟරාව ඔහුව නම් කළේ සහශ්‍රකයේ ගායකයා ලෙසිනුයි.

www.dhakacourier.com

එමෙන්ම Outlook සඟරාව විසින් 2010 වසරේදී ඉන්දියානු සිනමාවේ හොදම ගායක ගායිකා යුවල ලෙස නම් කරනු ලැබුවේ මොහොමඩ් රාෆි සහ ලතා මන්ගෙෂ්කාර් දෙදෙනායි. එහිදී හොඳම ඉන්දියානු සිනමා ගීතය ලෙස නම් කෙරුණේ “Man re, tu kahe na dheer dhare” (Chitralekha, 1964)  ගීතයයි. මේ මොහොමඩ් රාෆි යනු ඉන්දියානු සිනමාවේ අග්‍රතම ගායකයා බවට සාක්ෂි කිහිපයක් පමණයි.

ඔහුගේ හඬට මුළු ලොවම වශීව සිටි අතර ඒ නිසාම රාෆිව හැඳින්වුණේ රිදී තිරයේ රන් ස්වරය යන අන්වර්ථ නාමයෙනුයි. මොහොමඩ් රාෆි සම්බන්ධයෙන් සුප්‍රකට සිනමා අධ්‍යක්ෂක සහ නිෂ්පාදක මනමෝහන් දේසායි පැවසූ වදන් ඔහුගේ ස්වරය සම්බන්දයෙන් ඉන්දියානු සිනමාවේම පැවති ආකල්පය මානව ප්‍රකට කරන්නක්. දේසායි එහිදී සඳහන් කර තිබුණේ ඔබට දෙවියන් ගේ හඬ අසන්නට අවශ්‍ය නම්  රාෆි ගේ ගීයක් අසන්න යනුවෙනුයි.

www.sikhnet.com

රාෆි ප්‍රකටව සිටින්නේ හැඟුම්බරත්වය, කලාත්මක බව මෙන්ම ජාතිමාමකත්වයද හින්දි ගීතයට මුසුකළ ,ගසල් භජන් ආදී සෑම ශෛලියක්ම එක ලෙස ප්‍රගුණ කළ ගායකයකු ලෙසටයි. එසේම ඕනෑම රංගන ශිල්පියකුට උචිත පරිදි පසුබිම් ගායනයේ යෙදීමේ හැකියාවත් රාෆී සතු තවත් විශේෂත්වයක්. භාෂා විස්සකින් පමණ ගීත ගායනා කර ඇති ඔහු සිය ජීවිතයේදී ගීත හත්දහසකට වඩා ගායනා කර ඇති බවත් පැවසෙනවා.

උතුරු ඉන්දියානු සිනමාවේ යුගයක් රසවත් කළ මෙම අමරණීය ගායකයා දිනා ඇති ෆිල්ම් ෆෙයාර් සම්මාන ගණන 6ක්. එසේම ඉන්දියානු ජාතික සම්මානයද හිමි කරගෙන සිටින රාෆි සුප්‍රකට පද්ම ශ්‍රී සම්මානයෙන්ද පිදුම් ලැබුවෙක්. ඔහු ඉන්දියානු ජාතික සම්මානය දිනා ගත්තේ Kya Hua Tera Wada ගීතය වෙනුවෙනුයි.

1924 වසරේ නත්තල් දිනට පෙර දිනයේ මොහොමඩ් රාෆී උපත ලැබුවේ හාජි අලි මොහොමඩ් පවුලේ දෙවැනි දරුවා ලෙසටයි. ඔහුගේ පවුල සොහොයුරන් සය දෙනෙකුගෙන් යුතු වූ අතර කෙළිලොල් ළමා වියකට උරුමකම් කීමට සමත්වුණු රාෆී එවකට පවුලේ සැම විසින් හඳුන්වනු ලැබුවේ ‘පීකෝ’ යන සුරතල් නමෙනුයි.

www.youtube.com

වෙනත් ගායකයන් අනුකරණය කිරීමට කුඩා රාෆීට තිබුණු හැකියාව නිසාම ඔහු ගම පුරාම යම් ප්‍රසිද්ධියක් හිමි කරගෙන සිටි අතර ඔහුගේ දිවිය සංගීතය දෙසට වඩාත් යොමු වුනේ හාජි අලි මොහොමඩ් පවුල ලාහෝරයට පිටත්වීම හේතුවෙනුයි. උස්තාද් අබ්දුල් වහිඩ්, පණ්ඩිත් ජීවන් ලාල් ආදී සංගීත විශාරදයන් ඇසුරේ සිය සංගීත දැනුම පුළුල් කරගත් රාෆි ප්‍රසිද්ධ වේදිකාවේ සිය පළමු ඉදිරිපත් කිරීම සිදු කළේ වයස අවුරුදු 13 දි යි.

රාෆි සිය පළමු සිනමා පසුබිම් ගායනය සිදු කළේ 1941 වසරේදී තිරගත වූ Gul Baloch නම් පන්ජාබ් සිනමාපටය වෙනුවෙනුයි. 1945 වසරේදී  තිරගත කෙරුණු Gaon Ki Gori රාෆිගේ හඬ බොලිවුඩයට හඳුන්වා දුන් පළමු සිනමාපටයයි. 1945-1980 අතර කාලයේදී රාෆි විසින් හින්දි සිනමා ගීත 4425 ක්, හින්දි නොවන සිනමා ගීත 310 ක් ගයනා කර තිබෙනවා. කෙසේ වෙතත් ඇතැම් වාර්තා සඳහන් කරන්නේ රාෆි විසින් ගයනා කළ සම්පූර්ණ ගීත ගණන විසි හයදාහක් ඉක්මවන බවයි.

abbtakk.tv

ඉන්දියානු සිනමාවේ බිහිවූ අසමසම ගායකයා වූ රාෆිට ප්‍රබලතම තරඟය ලබා දෙනු ලැබුවේ ක්‍රිෂෝර් කුමාර් විසිනුයි. ඔවුන් දෙදෙනා සැබෑ ජීවිතයේදී සමීප මිතුරන් වූ අතර ක්‍රිෂෝර් බොහෝ අවස්ථා වලදී රාෆි වෙතින් ගුරුහරුකම් ලබා ගත් බවත් පැවසෙනවා. එහෙත් ජනප්‍රිය සංගීත අධ්‍යක්ෂක R.D.බර්මන් ඔවුන් දෙදෙනා අතර තරඟයක් නිර්මාණය කිරීමට කටයුතු කර ඇති අතර එවන් එක් අවස්ථාවක් වුනේ pyaar ka mausam(1969) සිනමාපටයේ දී tum bin jawum kahan ගීතය සඳහා ඔවුන් දෙදෙනාගේම හඬ යොදා ගැනීමයි. එම එකම පදවැල සිනමාපටයේ අවස්ථා දෙකකදී හඬවල් දෙකකින් රංගන ශිල්පින් දෙදෙනකු වෙනුවෙන් ගැයෙන අතර එහිදීද වඩාත් ජනප්‍රියව ඇත්තේ රාෆි ගේ ගායනයයි.

රාෆි සිනමා චරිත 517 ක් වෙනුවෙන් පසුබිම් ගීත ගයා ඇති අතර ඔහුගේ ගීත වැඩිපුරම සංගීතවත් කර ඇත්තේ ලක්ශ්මිකාන්ත්-ප්‍යාරේලාල් විසිනුයි. එම ගණන 369ක් ලෙස සඳහන් වනවා. රාෆි අවසානයට ගැයූ ගීතය සංගීතවත් කරනු ලැබුවේ ඔවුන් දෙදෙනාම වීමත් විශේෂත්වයක්.

www.geo.tv/

ගායකයකු ලෙසට අමතරව රාෆි රංගන ශිල්පියකු ලෙසටද වරක් කටයුතු කරනු ලැබුවා. රිදී තිරයේ හොදම ගායක යුවල ලෙස සැලකුණත් රාෆි සහ ලතා මන්ගෙස්කාර දෙදෙනා වසර හයකට වැඩි කාලයක් තිස්සේ අමනාපව සිට ඇත්තේ ගීතයක අයිතිය සම්බන්ධයෙන් ඇති වූ ගැටළුවක් හේතුවෙනුයි.

රාෆි 1980 වසරේදී හර්දයාබාධයකින් මිය යන විට සිය වෘත්තීය ජිවිතයේ හිනි පෙත්තේම වැජඹුණු අතර ඒ වන විට ඔහු පසු වුනේ 55 වැනි වියෙයි. රාෆි ගේ මරණය හේතුවෙන් ඉන්දීය රජය දින දෙකක ශෝක කාලයක් ප්‍රකාශ කළ අතර දැඩි වර්ෂාවද නොතකා ඔහුගේ අවසන් කටයුතු සඳහා ලක්ෂ සංඛ්‍යාත පිරිසක් සහභාගී වුනේ රාෆි සතුව තිබු අසම සම ජනප්‍රියත්වය මනාව ප්‍රකට කරමින්. රාෆි ගේ මරණයෙන් පසු ඉන්දීය රජය ඔහුට ගෞරව කළේ  ඉන්දියානු සිවිල් පුරවැසියකුට හිමිවන ඉහළතම සම්මානය වන භාරත රත්න සම්මානය පුද කරමින්.

Cover: www.inmemoryglobal.com

Note-

www.dhakacourier.com

http://zeenews.india.com/

https://www.inmemoryglobal.com/

Related Articles