Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඔබාමාගේ “HOPE” තුළින් ඔබ මා හඳුනාගත්- ෂෙපාර්ඩ් ෆේරි

ඇමරිකාවේ හිටපු ජනාධිපති බරැක් ඔබාමාගේ පෝස්ටරයක් එක් කලෙක දී ඉතාම ජනප්‍රියත්වයට පත් විය. සමාජ ජාලයන්ගේ පවා එය අසීමිතව ශෙයාර් වන්නට විය. ඉන්පසු, සාමාන්‍ය පුද්ගලයන්ගේ පින්තූර පවා ඒ අයුරින් නිර්මාණය කෙරෙන්නට වූ අතර, එය එක්තරා රැල්ලක් බවට පරිවර්තනය විණි. අද අප මෙම ලිපියෙන් ගෙන එන්නේ ඔබාමාගේ එම පෝස්ටරය හරහා ඔබ මා හඳුනාගත් ෂෙපාර්ඩ් ෆේරි පිළිබඳ ව යි.

ෂෙපාර්ඩ් ෆේරි- thefamouspeople.com

පිවිසුමට කෙටි විමසුමක්

වීදියෙන් සිතුවම්කරණයට පිවිසෙන ෆේරි, ඇමරිකානු ජාතිකයෙකි. එමෙන්ම ඔහු වෘත්තීමය ග්‍රැෆික් නිර්මාණ ශිල්පියෙකු ද වනවා. සමකාලීන වීදි සිත්තරුවන් අතර ඉතාමත් දක්ෂ මෙන්ම ප්‍රකට තැනෙක ඔහුගේ නම ස්ථානගතව පැවතීම සුවිශේෂී කරුණකි. ස්මිත්සෝනියන් කෞතුකාගාරය, ලොස් ඇන්ජලීස්හි කලා කෞතුකාගාරය, නිව්යෝක්හි නූතන කලා කෞතුකාගාරය, රිච්මන්ඩ්හි වර්ජිනියා ප්‍රාන්ත ලලිත කලා කෞතුකාගාරය, හා ලන්ඩනයේ වික්ටෝරියා සහ ඇල්බර්ට් කෞතුකාගාරයන් ඇතුළු ලෝකප්‍රකට කෞතුකාගාර රැසක ෆේරිගේ නිර්මාණ ප්‍රදර්ශනයට විවෘතව තිබීමත් විශේෂිත ය.

යෞවනයට පිවිසෙත්ම කලාවට මහත් නැඹුරුවක් දැක්වූ ෆේරි, රෝඩ් අයිලන්ඩ් ස්කූල් ඔෆ් ඩිසයින්හි නිර්මාණ සැලසුම්කරණය ඉගෙනුමට ඇතුළත් වෙයි. ඒ අතරවාරයේ ඔහු එහි ශිෂ්‍යයෙකු වශයෙන් සිටිය දීම ව්‍යාපාරික අරමුණින් ග්‍රැෆික් නිර්මාණ ක්ෂේත්‍රයට පිවිසීමට තීරණය කරයි. ඊට ඇරඹුමක් වශයෙන් ඔහු ස්ටිකර්ස්, ටී-ෂර්ට්, ස්කෙට්බෝඩ්ස්, සහ පෝස්ටර්ස් සඳහා ග්‍රැෆික් නිර්මාණයෙන් දායක වෙයි. වරක් ප්‍රසිද්ධ රෙස්ලින් ක්‍රීඩකයෙකු වන ප්‍රංශ ජාතික ඔන්ඩ්‍රෙ (André the Giant  ))ව උපහාසාත්මක  සිත්තම් කොට ප්ලාස්ටික් විශේෂයක් යොදාගනිමින් සැකසූ ස්ටිකරයක් හා පෝස්ටරයක් ලෙස තම මිතුරන් අතරේ බෙදාහරින අතර, එමඟින් ඔහු නොසිතූ ජනප්‍රියත්වයකට මෙන්ම ජනතාවගේ නොමසුළු අවධානයට ලක්වෙයි.

André the Giant  – widewalls.ch

ඉන් වසර කිහිපයක ඇවෑමෙන් ඔහු තවත් බර වැඩකට අත ගසයි. 2008 දී පැවැත්වුණු ඇමරිකානු ජනාධිපතිවරණය ඉලක්ක කොටගෙන ෆේරි විසින් බරැක් ඔබාමාගේ රුව පෝස්ටරයක් ලෙස නිර්මාණය කරයි. ඉන් ඔහුට ජාත්‍යන්තර ආකර්ෂණය ලැබුණා සේම, එම “HOPE” නම් පෝස්ටරය ද අතිශය ජනප්‍රිය විය. එසේම ඔහුට යම් අකරතැබ්බයකට ද මුහුණපාන්නට විය. අතිශය නිර්මාණශීලි සහ නව්‍ය අදහස් සහිත නිර්මාණකරුවෙකු වශයෙන් ඔහුට ලැබුණු ජාත්‍යන්තර පිළිගැනීමත් සමග එය දරා ගන්නට නොහැකි වූ ඇතැමුන්, ෆේරි අනෙක් ශිල්පීන්ගේ නිර්මාණ සොරකම් කරන්නේයැ යි චෝදනාවට ලක්කරන්නට විණි.

“HOPE” පෝස්ටරය- en.wikipedia.org

ළමා කාලය හා අධ්‍යාපනය

1970 පෙබරවාරි 15 වන දා දකුණු කැරොලිනාවේ, චාර්ල්ස්ටන්හි දී ඉපදුණ ෆ්රෑන්ක් ෂෙපාර්ඩ් ෆේරිගේ, පියා ස්ට්‍රේට් ෆේරි නම් වෛද්‍යවරයෙකු වූ අතර මව දේපළ වෙළඳාමේ යෙදුණු චාලට් නැමැත්තියකි. කුඩා කල සිටම කලාව පිළිබඳ වූ ඉමහත් ඇල්ම හේතුවෙන් කැලිෆෝනියාවේ, අඩිල්වයිල්ඩ්හි පිහිටි සංගීත හා කලා විද්‍යාලයට ඇතුළත් වන ෆේරි, 1988 දී එහි අධ්‍යාපන කටයුතු සාර්ථකව නිම කරන ලදී. අප පෙර සඳහන් කළ රෝඩ් අයිලන්ඩ් ස්කූල් ඔෆ් ඩිසයින්හි නිර්මාණ සැලසුම්කරණය ඉගෙනුමට ඇතුළත් වන්නට එය ඔහුට මහත් පිටිවහලක් විණි. 1992 දී ඔහු එම විද්‍යාලයෙන් ලලිත කලාව පිළිබඳ උපාධිධාරියෙකු වෙමින් අධ්‍යාපනයේ උපරිම ඵල නෙළා ගනියි.  

ඔබාමාගෙන් ප්‍රශංසා

ෆේරි ව “ලෝකප්‍රකට චිත්‍ර ශිල්පියෙකු” වශයෙන් ඔසවා තබන්නට ඉවහල් වූයේ, “HOPE” පෝස්ටරය යි. එමෙන්ම බරැක් ඔබාමාගේ 2008 ජනාධිපතිවරණ ප්‍රචාරණයට මනා පිටිවහලක් වුණු මෙම “HOPE”, “CHANGE” හා “VOTE”, යන පෝස්ටර් මාලාව වෙනුවෙන් 2008 පෙබරවාරියේ දී ෆේරි අතට ලියමනක් ලැබෙයි. ඒ වෙන කවරෙකුගෙන් හෝ නොව, ඔබාමාගෙනි.

ඒ මෙලෙසිනි;

“මාගේ ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුත්ත වෙනුවෙන් ඔබගේ දක්ෂතාව උපයෝගී කොටගෙන සිදුකළ මෙහෙවරට මා ඔබට ස්තුතිවන්ත විය යුතු ම යි. එහි වූ දේශපාලනමය පණිවුඩය හේතුවෙන් ජනතාව තුළ, සිදුවිය යුතු සමාජීය-දේශපාලන පෙරළිය පිළිබඳ ප්‍රබල විශ්වාසයක් ගොඩනැගී තිබෙනවා. ඔබගේ එම සිත්තම, ජනතාව වෙත විශාල දේශපාලනමය බලපෑමක් කොට තිබෙනවා. ඔබගේ නිර්මාණයක කොටස්කරුවෙකු වීමම මා ලද භාග්‍යයක් සහ ඔබගේ මෙම සහයෝගය මට ඉමහත් ආඩම්බරයක්.

බරැක් ඔබාමා

2008 පෙබරවාරි 22”

ෆේරිගේ නිර්මාණ දායකත්වය හා ලැබූ ජයග්‍රහණ

ඇන්ජෙලා ඩේවිස් සිතුවම- shepardfairey.co.uk

ඔබාමාගේ සිතුවමට ප්‍රථම ව තවත් එවන් විප්ලවීය චරිත කිහිපයක්ම ෆේරි අතින් සිත්තමට නැගිණි. 60 දශකයේ දී සිටි ඇමෙරිකානු කාන්තා සමාජ ක්‍රියාකාරිනියක වූ ඇන්ජෙලා ඩේවිස්ගේ ‘Panther Power’ නම් සිතුවම ඒ අතරින් සුවිශේෂි යි. එම සිතුවමේ ද විවිධ වූ සංස්කරණ කිහිපයක් ෆේරි විසින් කලින් කලට නිර්මාණය කෙරිණි. එමෙන්ම ජනප්‍රිය බොක්සිං ශූරයෙකු වූ මොහොමඩ් අලී, ඇමෙරිකානු රොක් ගිටාර් වාදන ශිල්පී ජිමී හෙන්ඩ්රික්ස්, ඇමරිකානු පැසිපන්දු ක්‍රීඩක මයිකල් ජෝර්ඩන් යන චරිත ද ෆේරි අතින් සිතුවමට නැගුණි. ඊට අමතරව තවත් බොහෝ විප්ලවීය නිර්මාණ බොහොමයක් ඔහු විසින් පෝස්ටර්, ස්ටිකර්ස්, වීදි සිතුවම්, බිතු සිතුවම් ආදී වශයෙන් සිත්තම් කෙරිණි.

2009 වසරේ දී මෙම “HOPE” පෝස්ටරය සඳහා Brit Insurance Design Award නම් සම්මානය ද ෆේරි වෙත පිරිනමන ලදී. එපමණක් නොව, 2010 දී AS220 Free Culture Award නම් ජාත්‍යන්තර සම්මානයට ද ෆේරි හිමිකම් දැරුවේ ය.

ෂෙපාර්ඩ් ෆේරි, ඔහුගේ ආදරණීය බිරිඳ වන ඇමැන්ඩා අයාලා සහ දියණියන් දෙදෙනා වන විවියන් හා මෙඩ්ලින් සමග මේ වන විට කැලිෆෝනියාවේ, ලොස් ඇන්ජලීස්හි වෙසෙයි.

මෙවන් දක්ෂතාවන්ගෙන් සපිරි ශ්‍රී ලාංකිකයන් ද නැතුවා නොවේ. එවන් විවිධ වූ හැකියාවන් ඇති, විවිධ ක්ෂේත්‍රයන්හි නියැලෙන තරුණ නිර්මාණ ශිල්පීන් පිළිබඳ තොරතුරු ද Roar-සිංහල ඔස්සේ ඉදිරියේ දී බලාපොරොත්තු වන්න. එමෙන්ම, ඔබ දන්නා එවන් නිර්මාණ ශිල්පීන් පිළිබඳ ව පහතින් කමෙන්ටුවක් ඔස්සේ අපට හඳුන්වා දෙන්නත් අමතක කරන්න එපා.

Related Articles