Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ආබාධිත බව පැරදූ ක්‍රිකට් තරු

තරඟකාරීත්වය, උද්යෝගය මෙන්ම යම් කිසි අනතුරුදායක බවකුත් ගැබ් වූ ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වීමේ දී, කෙතරම් අරක්ෂා වූවත් ක්‍රීඩකයින්ට විවිධ අනතුරු සිදුවීමේ සම්භාවිතාවක් තිබෙනවා. එමෙන්ම මේ නිසා ක්‍රීඩකයින් බරපතල ආබාධ වලට ද ලක් වෙනවා. මේ සමහර ආබාධ නිසා සමහර ක්‍රීඩකයින්ට ක්‍රීඩාවෙන් සදහටම සමුගැනීමට පවා සිදු වී තිබෙනවා. දකුණු අප්‍රිකාවේ මාක් බවුචර්, එංගලන්තයේ ක්‍රෙග් කීස්වෙටර් එවැනි අවාසනාවන්තයින් දෙදෙනෙක්.

මෙලෙස සමහරෙක්ට තමන්ට සිදු වූ අනතුරු නිසා ක්‍රිකට් ක්‍රීඩාව අතහැරීමට සිදු වෙද්දී, ක්‍රිකට් ක්‍රීඩාවට අදාල නොවන කාරණයක් හේතුවෙන් විවධ අනතුරු වලට ගොදුරු වූ සමහරෙක් තම ‘ආබාධිත’ බව පරයා ක්‍රිකට් පිටිය දිග්විජය කර ඇති බව හා අදටත් කරන බව ඔබ දන්නවා ද? මොවුන්ගේ ජීවන තතු බොහෝ දෙනාට ආදර්ශමත් වනු ඇති අතර, මෙම ලැයිස්තුවේ සමහර නම් ඇසූ පමණින් බොහෝ දෙනෙකුගේ දෙබැම රැළි ගැන්වෙනු නොඅනුමාන යි. මේ ඉන් විශිෂ්ටතමයින් තිදෙනෙකු පිළිබඳ තොරතුරු යි.

මාර්ටින් ගප්ටිල්ගේ ඇගිලි දෙකේ පාදය

ක්‍රිකට් පිතිකරුවෙකුට සිය පහරවල් කරා යාමේ දී පාද චලනය ඉතා වැදහත් වෙනවා. මේ සඳහා නිරෝගී පාද තිබීම ඔහුට මනා පිටිවහලක්. සිය පාද වල යම් ආබාධයක් තිබීම පිතිකරුවෙකුට විශාල අවාසියක් ලෙසයි සැලකෙන්නේ. කෙසේ නමුත් නවසීලන්ත කණඩායමේ ප්‍රවේගකාරී පිතිකරු මාර්ටින් ගප්ටිල්ට නම් එය අදාල වන්නේ නැහැ.

මාර්ටින් ගප්ටිල්-YouTube.com

සුපිරි පිතිකරු මාර්ටින් ගප්ටිල් නිරන්තරයෙන් ක්‍රිකට් ක්‍රීඩාව නරඹන කිසිවෙකුට අමුතුවෙන් හඳුන්වා දිය යුතු වන්නේ නැහැ. පන්දුවට පහර එල්ල කිරීමේ දී ඔහුගේ පාද චලනය විශිෂ්ට මට්ටමක පවතිනවා. කෙසේ නමුත් ඔහුගේ එක් පාදයක් අසම්පූර්ණයැයි පැවසුවොත් ඔබ පුදුමයට පත්වේවි.

මාර්ටින් ගප්ටිල් කුඩා කාලයේ හෙවත් 13 වැනි වියේ දී ඉතා දරුණු අනතුරකට මුහුණ පානවා. ෆෝක් ලිෆ්ට් රථයකට ඔහුගේ වම් පාදය හසු වන අතර එය දරුණු ලෙස තුවාල වෙනවා. වෛද්‍යවරුන් කෙතෙක් උත්සාහ කළත් එය සම්පූර්ණයෙන් සුව කිරීමට නොහැකි වන අතර, අවසානයේ ගප්ටිල්ගේ වම් පාදයේ මැදැඟිල්ලේ සිට සුළැඟිල්ල දක්වා කපා ඉවත් කිරීමට ඔවුනට සිදු වෙනවා. ඒ වන විටත් දක්ෂතා පෙන්වමින් සිටි කුඩා මාර්ටින් ගැන බොහෝ දෙනා දුක් වූයේ නවසීලන්තයට වටිනා සම්පතක් අහිමි වූ බව පවසමින්. කෙසේ නමුත් නැවත් නැඟී සිටි මාර්ටින් ගප්ට්ල් සිය පාදයට අභියෝගයක් වෙමින් ක්‍රිකට් ක්‍රීඩා කරන්නට පටන් ගන්නවා. අද වන විට මේ අනතුර පිළිබඳ යම් අතීතාවර්ජනයක් සිදුවේ නම් ඒ සිය පාදය නිසා ඔහුට පටබැඳුණු Two Toes නම් සුරතල් නාමය නිසා පමණ යි.

පැට්‍රික් කමින්ස් ගේ ඇඟිල්ල

වේග පන්දු යවන්නෙකුට නිසි එල්ලය, වේගය මෙන්ම පන්දුවේ පාලනය නිසියාකාරව තබා ගැනීමට සිය පන්දු යවන අතෙහි ඇඟිලි මහෝපකාරී වෙනවා. එයිනුත් දබරැඟිල්ල හා මැද ඇඟිල්ල ප්‍රධාන තැනක් ගන්නවා. මේ නිසාම වේග පන්දු යවන්නන් සිය අතැඟිලි හොඳින් රැකගන්නවා. ඒවාට වන සුළු හෝ හානියක් ඔවුන්ගේ පන්දු යැවීමේ හැකියාවට බලපෑම් කරන්නට සමත්.

පැට්‍රික් කමින්ස්-espncricinfo.com

කෙසේ නමුත් ඕස්ට්‍රේලියානු නැඟී එන වේග පන්දු යවන්නෙකු වන පැට්‍රික් කමින්ස්ගේ කතාව නම් මීට මදක් වෙනස්. වේගයෙන් මෙන්ම නිසි පාලනයකින් යුතුව පන්දු යැවීමට හැකියාවක් දක්වන මොහුගේ පන්දු යවන අතෙහි මැදැඟිල්ලේ සෙන්ටිමීටරයක පමණ කොටසක් ඉවත් කොට ඇති බව ඔබ දන්නවා ද? ඔහු කුඩා කල සිය සොහොයුරිය සමඟ ක්‍රීඩා කරමින් සිටිය දී අහම්බයකින් ඇය පැට්‍රික්ගේ මැදැඟිල්ල උළුවස්සට හසුවන පරිදි නිවසෙහි දොරක් වසා තිබෙනවා. මේ වනවිට පැට්‍රික් සිව් වන වියෙහි පමණ පසුවුණා. ඉතා දැඩි ලෙස ඔහුගේ ඇඟිල්ලේ ඉහළ පුරුකට හානි සිදුව තිබූ අතර එම කොටස කපා ඉවත් කිරීම හැර වෛද්‍යවරුන්ට වෙන විකල්පයක් තිබුණේ නැහැ. මේ පිළිබඳ ඔහුගේ සොයුරිය ඉතා කම්පා වූයේ තමා නිසා සොයුරා ආබාධිත වූ බව මෙනෙහි කරමින්.

Fox Sports

එලෙස අතැඟිලි කොටසක් අහිමි වී තිබුණ ද පැට්‍රික් කමින්ස් සිය සිහින අත්හැරියේ නැහැ. අද වන විට ඔහු ඕස්ට්‍රේලියාවේ සිටින වේගවත්ම පන්දු යවන්නෙක් බවට පත්ව සිටිනවා. සිය කෙටි ඇඟිල්ල බුහුටි ලෙස යොදා ගැනීමට ඔහු හුරු වූ අතර එමඟින් පන්දුව මනාව පාලනය කිරීමට දැඩි වෙහෙස වී ඉගෙනගත්තේ සෙසු පන්දු යවන්නන්ටත් ආදර්ශයක් වෙමින්.

තනි ඇසින් ලොවක් සැනහූ මන්සූර් අලි ඛාන්

ත්‍රිමාණ දෘෂ්ඨිය ඇති වීම සඳහා මිනිසෙකුට අක්ෂි ද්විත්වයක් තිබීම ප්‍රයෝජනවත් වෙනවා. විශේෂයෙන් මේ ත්‍රිමාණ දෘෂ්ඨිය යම් වස්තුවකට තමා කෙරෙන් ඇති දුර නිර්ණය කිරීමට අත්‍යවශ්‍ය සාධකයක් බැවින් එය ක්‍රිකට් පිතිකරුවෙකුට කෙතරම් වැදගත් වෙනවා ද යන්න අමුතුවෙන් කිව යුතු නැහැ. කොටින්ම යමෙක් තනි ඇසකින් බලා පන්දුවට පහර දෙන විට පන්දුව තමා කරා එන අයුරු නිසියාකාරව නිර්ණය කිරීමට ඉතාමත් අපහසු යි. මේ නිසා එක් ඇසක පෙනීම නොමැති අය ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වන්නේ නැති තරම්. කෙසේ නමුත් එක් ලෝක පූජිත ක්‍රීඩකයෙක් ඒ අභියෝගය ජයගෙන තිබෙනවා.

මන්සූර් අලි ඛාන් -mid-day.com

මන්සූර් අලි ඛාන් හෙවත් පතවුදියේ නවාබ් සැළකෙන්නේ ඉන්දියාව බිහි කළ අති විශිෂ්ට ටෙස්ට් නායකයෙකු ලෙස යි. මොහු අද වනතුරුත් ටෙස්ට් තරඟයක දී ඉන්දියාව මෙහෙය වූ ලාබාලතමයා වන අතර ඉන්දීය නිළි ශර්මිලා තාගෝර් සමඟ විවාහ ගිවිස ගැනීමත්, පුතණුවන් වන සිනමා නළු සයිෆ් අලි ඛාන් නිසාත් පසු කාලීනව පවා ජනප්‍රියත්වයට පත් වුණා.

මන්සූර් අලි ඛාන් ක්‍රිකට් ක්‍රීඩකයෙකු වශයෙන් එංගලන්තයේ ද ජනප්‍රියත්වයක් ඉසිළූ අතර 21 වන විය වන විටත් එංගලන්තයේ ප්‍රාන්ත වලට ක්‍රීඩා කළා. ‘ටයිගර් පතවුදි’ යන සුරතල් නාමයෙන් ඔහුව හැඳින්වුණේ සටන්කාමී ක්‍රීඩා විලාශය නිසා යි. කෙසේ නමුත් 1961 වසරේදී එංගලන්තයේ දී ඔහු දරුණු රිය අනතුරකට මුහුණ පානවා. මේ නිසා ඔහුට දකුණු ඇසෙහි පෙනීම සම්පූර්ණයෙන්ම අහිමි වෙනවා. මේ වන විට ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් වරම් ලැබීමට ආසන්න තත්ත්වයේ සිටි ඔහු ඉන්දියාවේ ප්‍රබලම බලාපොරොත්තුවක් වූ නිසා ඉන්දියානුවන් හඬා වැලපෙනවා. එක් ඇසක පෙනීම අහිමි වූවෙකුට ක්‍රිකට් ක්‍රීඩා කිරීම උගහට වූ නිසා සියළු දෙනා සිතුවේ ඒ මන්සූර්ගේ ක්‍රිකට් දිවියේ අවසානය කියා යි. කෙසේ නමුත් ධෛර්යය පෙරටු කොටගත් මන්සූර් ඉක්මණින්ම ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණ වන අතර ඉන් මාස කිහිපයකට පසු ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් වරම් ලබනවා. එයින් නොනැවතුණු ඔහු වසර 13ක් ඉන්දියාව නියෝජනය කරන්නේ එරටින් බිහිවූ විශිෂ්ටතම නායකයෙකු ද වෙමින්. මොහුගේ නායකත්වය යටතේ ඉන්දියාව විදේශයක දී ලද ප්‍රථම ටෙස්ට් ජයග්‍රහණය පවා ලබාගන්නවා. තනි ඇසක පෙනීම ඔස්සේ ඔහු ටෙස්ට් ලකුණු 2793ක් ලබා තිබූ අතර එයට ශතක 6ක් හා අර්ධ ශතක 16ක් ද අන්තර්ගතව තිබුණා. සිය ටෙස්ට් ක්‍රිකට් දිවිය අවසන් කරන විට ඔහු 34.91ක පිතිකරණ සාමාන්‍යයක් රඳවාගෙන තිබුණේ බොහෝ දෙනාට ධෛර්යයේ හා කැපවීමේ පාඩමක් උගන්වමින්.

තවත් මෙවැනි ක්‍රීඩකයින් ගැන ඔබ අසා තිබෙනවා ද?

කවරයේ පින්තූරය -au.eurosport.com

Related Articles