ඕමානය වසර පනහකට ආසන්න කාලයක් පාලනය කළ, එමෙන්ම එරට වැඩවසම් යුගයෙන් නූතන ලෝකයට ගෙන ආ සුල්තාන් කබූස් බින් සයිද් අල් සයිද් 79 හැවිරිදිව සිටිය දී මියගිය බව ඕමාන රජය ජනවාරි 11 වන දා නිවේදනය කළා. ඔහු ජනවාරි 10 වන දා සන්ධ්‍යා භාගයේ දී අභාවප්‍රාප්ත වූ බව යි එම නිවේදනයෙන් කියවුණේ.

සුල්තාන් කබූස් ලෙස ප්‍රකටව සිටි ඕමානයේ සුල්තාන්වරයා මියයන විට අරාබිකරයේ දීර්ඝම කලක් රාජ්‍ය පාලනයේ නිරතව සිටි තැනැත්තා ද වනවා. 1970 ජූලි 23 වන දා බලය අල්ලාගත් සුල්තාන් කබූස් වැඩවසම් සමාජයක් වූ ඕමානය නවීකරණය කිරීමේ නියමුවා වුණා. බ්‍රිතාන්‍යයේ ආධාරයෙන් බලය තහවුරු කරගත්ත ද ඔහු මධ්‍යස්ථ විදෙස් ප්‍රතිපත්තියක් අනුගමනය කළා. එහෙයින් මැදපෙරදිග කලාපයේ සියළු නායකයන්ගේ ගෞරවය දිනා සිටි ඔහු නිසා මැදපෙරදිග අර්බුදයන් යම්තාක් දුරට හෝ සමනය වුණා.

රට ඇතුලත සුල්තාන් කබූස් බලය තමන් අත තබාගත්තා. ඒ අනුව අගමැති, විදේශ ඇමති, මුදල් ඇමති හා සන්නද්ධ සේනාංකයන්හි අණදෙන නිලධාරියා වූයේ ඔහු යි. කෙසේ නමුත් ඔහු සිය රට සංවර්ධනය කිරීමේ දී විදේශිකයන්ගේ සේවය නොමසුරුව ලබා ගත්තා. දිගු කලක් ඕමානයේ පොලිස්පති ලෙස ශ්‍රී ලාංකිකයකු වූ ෆීලික්ස් ද සිල්වා සේවය කිරීම ඊට එක් උදාහරණයක් වනවා.

බලය අතට ගැනීම

කබූස් බින් සයිද් අල් සයිද් උපන්නේ 1940 නොවැම්බර් 18 වන දා යි. ඔහුගේ පියා වූයේ සුල්තාන් සයිද් බින් තයිමූර්. එකල ඕමානයේ පාසැල් අධ්‍යාපනය නොදියුණු මට්ටමක පැවති හෙයින්, මූලික අධ්‍යාපනයෙන් පසු කබූස් වැඩිදුර අධ්‍යාපනය ලැබීමට එංගලන්තයට යවනු ලැබුණා. එහි පාසැල් අධ්‍යාපනය අවසන් කළ ඔහු සැන්ඩ්හර්ස්ට් මිලිටරි ඇකඩමියේ හමුදා පුහුණුව ලබා කලක් බ්‍රිතාන්‍ය හමුදාවේ සේවය කළා.

සුල්තාන් කබූස්ගේ පියා වූ සුල්තාන් සයිද් බින් තයිමූර් 1938 දී බ්‍රිතාන්‍යයේ ඇල්ඩර්ශොට්හි දී හමුදා පරික්ෂා කරමින් (AP)

1970 වනවිට ඕමානය පැවතියේ බෙහෙවින් නොදියුණු තත්ත්වයක යි. රටේ ජනතාව බහුතරය ධීවරයින්, ගොවීන්, හෝ එඬේර ජනයා වුණා. එමෙන්ම දකුණු යේමනයෙන් ආධාර ලබන මාක්ස්වාදී කැරැල්ලකට මුහුණ දෙමින් සිටියා. එම තත්ත්වය පාලනය කිරීමට සුල්තාන් සයිද් බින් තයිමූර් අපොහොසත් වන බවක් පෙනෙන්නට තිබුණා. ඔහු සිය පුත්‍රයාව රාජ්‍ය පාලන කටයුතුවලින් ඈත්කර තැබුවේ ඔවුන් අතර වූ මතවාදී වෙනස්කම් හේතුවෙන්. සුල්තාන්වරයා ලෝකයෙන් සියරට හුදෙකලා කර තැබීමට උත්සාහ කළා. මේ අවස්ථාවේ, 1970 ජූලි 23 වන දා, බ්‍රිතාන්‍ය ආධාර ද සහිතව කබූස් බින් සයිද් අල් සයිද් රටේ බලය අල්ලාගත්තා.

බලයට එන සමයේදී සුල්තාන් කබූස් (Getty Images)

මාක්ස්වාදී තර්ජනය

ඕමානයේ බටහිරට වන්නට පිහිටි පළාත වූ දෝෆාර්හි 1963 සිට මාක්ස්වාදී කැරැල්ලක් ක්‍රියාත්මක වුණා. ඊට දකුණුදිග යේමන ප්‍රදේශයන්ගෙන් ද සහය ලැබුණා. විශේෂයෙන් 1967 දී දකුණු යේමනය ස්වාධීන රාජ්‍යයක් වූ පසු මෙම ආධාර තවත් වැඩි වුණා.

1970 දී බලය ලබාගත් සුල්තාන් කබූස් මෙම තර්ජනය මැඩපැවැත්වීම සඳහා කටයුතු කරන්නට පටන් ගත්තා. ඔහු සිය පියාගේ සමයේ ඔහුගේ පාලනයට එරෙහි වූවන්ට පොදු සමාවක් ප්‍රධානය කළා. යටත් නොවූ කැරලිකරුවන් හා සටන් වැදීමට බ්‍රිතාන්‍ය විශේෂ බලකා ඕමානයට පැමිණියා. එය අතිශය රහස් මෙහෙයුමක් ලෙස සිදු වුණා. මේ අතර දෝෆාර් ප්‍රදේශය මෙන්ම සමස්ථ රටම සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙලක් ද ඇරඹුණා.

දෝෆාර් හි කැරලිකරුවන් පිරිසක් 1971 දී (Getty Images)

වසර කිහිපයක් තිස්සේ බ්‍රිතාන්‍යය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඉරානය ආදී රාජ්‍යයන්ගේ සහාය ඇතිව කළ මෙහෙයුම්වලින් දෝෆාර් කැරැල්ල පරාජය කරනු ලැබුණා.

ඕමානය සංවර්ධනය කිරීම

සුල්තාන් කබූස් ඕමානයේ බලයට පත්වන සමයේ එරට ආර්ථික සහ අධ්‍යාපන අංශයන්ගෙන් ඉතා නොදියුණු මට්ටමක තිබුණා. එරට තාර දැමූ මහාමාර්ගවල දිග කිලෝමීටර් දහයක් පමණක් වූ අතර පාසැල් තිබුණේ ද කිහිපය යි. එමෙන්ම එරට එකල ද වහල් මෙහෙය පවා ක්‍රියාත්මක වුණා.

සුල්තාන් කබූස් බලයට පැමිණ මුලින්ම කළ කරුණක් වූයේ වහල් මෙහෙය අහෝසි කිරීම යි. මේ අතර ඔහු අධ්‍යාපන අවස්ථා සහ යටිතල පහසුකම් පුළුල් කිරීමට කටයුතු කළා. වසර කිහිපයකට පෙර ඕමානයේ තෙල් සම්පත සොයාගෙන තිබුණෙන් මේ සඳහා ආයෝජනය කිරීමේ අපහසුවක් වූයේ නැහැ. ඕමානය මුහුණදුන් ගැටළුව වූයේ අදාල ක්ෂේත්‍රයන්හි පුහුණුව ලත් සුදුස්සන් නොමැති වීම යි. ඊට විසඳුම ලෙස සුල්තාන් කබූස් ඕමානය විදේශික වෘත්තිකයන්ට විවෘත කළා. ශ්‍රී ලාංකිකයන් ද බොහෝ දෙනකු ඕමානයේ විවිධ වෘත්තීන්හි නියැළුණ බව ඔබ අසා ඇති. එහි පොලිස්පති ලෙස කටයුතු කළ ෆීලික්ස් ද සිල්වා ඒ අතරින් ප්‍රකටම තැනැත්තා වන්නට ඇති. එමෙන්ම ඕමානයේ ක්‍රිකට් පුහුණුකරු ලෙස දිගු කලක් තිස්සේ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක සහ කළමනාකරුවකු වූ දුලිප් මෙන්ඩිස් කටයුතු කරනවා.

සුල්තාන් කබූස් බලයට පත්වන සමයේ ඕමානයේ සාමාන්‍ය ජීවන අපේක්ෂාව වූයේ අවුරුදු 40 ගණනක්. වර්තමානයේ දී එය අවුරුදු 70 ඉක්මවා තිබෙනවා. එමෙන්ම සාක්ෂරතාව සියයට 90 ආසන්නයට පැමිණ තිබෙනවා.

විදෙස් ප්‍රතිපත්තිය

සුල්තාන් කබූස් මැද මාවතේ විදේශ ප්‍රතිපත්තියක් ගෙනගිය අයෙක්. ඔහු මැදපෙරදිග නායකයින් සියල්ලන්ගෙන්ම පාහේ විශාල ගෞරවාදරයක් දිනා සිටි අයෙක්.

බලයට පැමිණි පසු සිය පියාගේ විදේශ ප්‍රතිපත්තිය උඩුයටිකුරු කළ සුල්තාන් කබූස්, ලෝකය සමග ගනුදෙනු පුළුල් කළා. අරාබි ලීගයට බැඳුණු ඔහු 1981 දී ගල්ෆ් සහයෝගීතා කවුන්සිලයේ ආරම්භක සාමාජිකයකු වුණා. එහෙත් ඔහු බොහෝවිට මැද මාවතක් අනුගමනය කිරීමට උත්සුක වුණා. ඔහුගේ විදේශ ප්‍රතිපත්තිය සරල ප්‍රකාශයකින් විස්තර කෙරුණේ "Friend of all, enemy to no one (සියල්ලන්ගේම මිත්‍රයා, කිසිවකුගේ සතුරා නොවේ) යන ප්‍රකාශයෙන්.

එවකට ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී සමග සුල්තාන් කබූස් මස්කට් අගනුවර දී 2013 වසරේ (US Department of State)

1991 දී ඔහු සදාම් හුසේන්ට විරුද්ධ යුද්ධයට සහාය දුන්නා. එය ඔහුගේ විදේශ ප්‍රතිපත්තිය යම් වෙනසකට භාජනය වූ අවස්ථාවක් වුණත් එහිදී කුවේටය පිළිබඳ ප්‍රශ්නය පැහැදිලි ලෙස බලපෑවා. කෙසේ වෙතත් සුල්තාන් කබූස්, 1979 ඉස්ලාමික විප්ලවයෙන් පසුව වුව ද, ඉරානය සමග යහපත් සබඳතා පවත්වාගැනීමට සමත් වුණා. 2015 දී අත්සන් කරන ලද ඉරාන න්‍යෂ්ටික ගිවිසුම සඳහා මැදිහත්කරුවකු ලෙස සුල්තාන් කබූස් වැදගත් භූමිකාවක් රඟ දැක්වූවා. මේ අතර, ඕමානය ඊශ්‍රායලය සමග පවා සීමිත සබඳතා ගොඩනගාගෙන තිබෙනවා.

අනුප්‍රාප්තිකයා

සුල්තාන් කබූස්ගේ අනුප්‍රාප්තිකයා පිළිබඳ කලක පටන් අවිනිශ්චිතතාවක් තිබුණා. ඔහුට දරුවන් නොසිටීමත් ඔහු විසින් අනුප්‍රාප්තිකයකු නම් නොකිරීමත් ඊට හේතු වුණා. කෙසේ නමුත් 2017 දී ඔහු සිය අනුප්‍රාප්තිකයා පිළිබඳ රහස් ලියවිල්ලක් ලියා තැබූ බව වාර්තා වුණා. සුල්තාන්වරයාගේ මරණයෙන් දින තුනක් තුළ නව පාලකයා නම් කළ යුතු වුණා. ඒ පිළිබඳ රජ පවුලට එකඟතාවක් ඇතිකරගත නොහැකි වී නම්, අදාල ලියවිල්ල විවෘත කරන ලෙස සුල්තාන් කබූස් උපදෙස් දී තිබුණා. කෙසේ නමුත්, ජනවාරි 11 වන දාම රජ පවුල විසින් අදාල ලියවිල්ල විවෘත කර​, ඒ අනුව සුල්තාන් කබූස්ගේ ඥාති සොයුරකු වූ හයිතම් බින් තරික් අල් සයිද් ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස පත් කෙරුණා. සුල්තාන් කබූස්ගේ ප්‍රතිපත්ති දිගටම ක්‍රියාත්මක කරන බව යි නව සුල්තාන්වරයා සඳහන් කළේ.

සුල්තාන් කබූස්ගේ අවමංගල්‍ය උත්සවය මුස්ලිම් චාරිත්‍ර අනුව, පූර්ණ රාජ්‍ය අනුග්‍රහයද සහිතව ජනවාරි 11 වන දා සිදු කෙරුණා.

Cover Image: සුල්තාන් කබූස් (Reuters)

මූලාශ්‍රයයන්: