Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

‘ජෝකර්’ සමඟ ම අවසන් ගමන් ගිය සුපිරි නළුවා හීත් ලෙජර්

සිනමාව යනු බොහෝ දෙනා අඩු වැඩි වශයෙන් ආදරය කරන ක්ෂේත්‍රයක් බව පැවසීම නිවැරදි යි. චිත්‍රපටයක් නරඹා නැති කෙනෙක් සොයා ගැනීමටත් අපහසුයි. ඕනෑම තරාතිරමක ඕනෑම ආදායම් මට්ටමක් ලබන කෙනෙක් වුණත් බොහොම කැමතියි චිත්‍රපටයක් නරඹා තමන්ගේ මනස නිදහස් කර ගැනීමට. මේ හේතුව නිසාම සිනමා කර්මාන්තය ලොව පුරා ම පුළුල් පරාසයක විහිදිලා තියෙනවා. බොහෝ දෙනෙක් එය තමන්ගේ ජීවනෝපාය බවට පත් කරගෙනත් තිබෙනවා.

මේ තත්ත්වය උඩ බිහිවන සුපිරි නළු නිළියන් අතරින් කතාබහට ලක්වෙන, ලොවේ ම අවධානයට පාත්‍ර වන නළු නිළියන් ද බිහි වනවා. මේ ලිපිය එවැනි විශිෂ්ටයකු සිය අවසන් ගමන ද තමා රඟපෑ චරිතයක් තුළින් ම ගිය අයුරු පිළිබඳ යි.

2019 වර්ෂයේදී ලොව පුරා උන්මාදයකින් මෙන් පැතිර ගිය චිත්‍රපටයක් බවට ජෝකර් චිත්‍රපට පත් වුණා. ආදායම් වාර්තා තබමින් තිරගත වූ මෙම චිත්‍රපටයට ප්‍රධාන රංගනය ඉදිරිපත් කළ ජොකින්න් ෆීන්ක්ස්ට ඔස්කාර් සම්මානයත් දිනා ගැනීමට හැකි වුණා. අදටත් සිනමා විචාරකයන් මෙන්ම සිනමාවට සම්බන්ධ බොහෝ දෙනා පවසන්නේ ලොව දැනට ජෝකර් චරිතය නිරූපණය වන්නේ 2008 වසරේ තිරගත වූ “ද ඩාක් නයිට්” චිත්‍රපටයේ ජෝකර් චරිතය බව යි. එම චරිතයට පණ පෙවූයේ මෙම ලිපියෙන් සාකච්ඡා කෙරෙන විශිෂ්ට නළුවකු වූ හීත් ලෙජර් ය.

හීත් ලෙජර් ගේ ඡායාරූපයක්
හීත් ලෙජර් – vogue.com

හීත් ලෙජර් උපත ලබන්නේ ඕස්ට්‍රේලියාවේ පර්ත් නගරයේදී 1979 වර්ෂයේ අප්‍රේල් මස 04 වන දින යි. හීත් ගේ කුඩා කාලය ඔහුට එතරම් සොඳුරු වන්නේ නෑ. ආර්ථික අපහසුකම්වලින් ගැට,qවක් නොවූවත් ඔහුට තිබූ විශාලත ම ගැටලුව වූයේ නිතර නිතර තමන්ගේ මාපියන් අඬදබර කිරීමේ ගැටලුව යි. මේ නිසා ම වෙනත් ළමයින් ගත කරන ආකාරයෙන් වෙනස් වූ ළමා කාලයක් ගත කිරීමට හීත්ට සිදු වුණා.

ඒ වගේම හීත් ලෙජර් ගේ සිතේ කුඩා කාලයේ පටන්ම නළුවකු වීමේ ආසාවක් ද හටගෙන තිබුණා. ඔහුට කුඩා කාලයේ දී සිහින තුනක් පසුපස හඹා යෑමේ අරමුණක් වූ අතර ම ඒවා වූයේ දිනෙක සුපිරි නළුවකු වීමත්, එමඟින් ඔස්කාර් සම්මානයක් දිනා ගැනීමත්, දිනෙක තමන් ම තම මාපියන් නැවත එක් කිරීමත් යන සිහින යි.

රංගනයට එළඹීම

තමන්ගේ පාසල් ගමන අවසන් කරනවාත් සමඟ ම හීත් මුලින් ම රඟපෑමට එක් වන්නේ Clowning Around චිත්‍රපටයේ සුළු චරිතයකින්. ඒ 1991 වසරේදී යි. ඉන් පසුව 1996 වසරේ දී Sweat යන රූපවාහිනී කතා මාලාවට ඔහු රංගනයෙන් දායක වනවා. මීට අමතර ව 1993 සිට 1997 වසර දක්වා විකාශය වූ රූපවාහිනී කතා මාලාවක් ලෙසින් සැලකෙන Ship to Shore කතා මාලාවට තම රංගන දායකත්වය සපයනවා. Fox සමාගම නිෂ්පාදනය කළ Roar සහ Home And Away රූපවාහිනී කතා මාලාවලට ද ඔහු රංගනයෙක් එක් වනවා. ඕස්ට්‍රේලියාව පුරා මෙම කතා මාලාවන් බොහොම ජනප්‍රිය වුණා. මේ නිසා තරුණ වයසේදී ම හීත් ලෙජර් ජනප්‍රිය නළුවකු ලෙසින් මෙන් ම පැහැබැර අනාගතයක් ඇති නළුවකු ලෙසින් ද ඉඟි පළ කරමින් සිටියා.

2000 දශකය ආරම්භ වීමත් සමඟ ම තවත් නිර්මාණ රැසකට හීත් ලෙජර් තම දායකත්වය ලබා දුන්නා. ඒ අතරට The Patriot (2000), Monster’s Ball (2001), A Knight’s Tale (2001), The Order (2003), Ned Kelly (2003), Lords Of Dogtown (2005) වැනි සිනමාපට නම් කළ හැකි යි. මීට අමතර ව චිත්‍රපට සඳහා සංගීතය සැපයීමට ද ඔහු කටයුතු කළා. ඔහු සංගීත අධ්‍යක්ෂණය සඳහා ද යොමු වූ අතරම ඕස්ට්‍රේලියානු හිපොප් ගායකයෙක් වූ N’fa ගේ පළමු CD තැටියකින් එළි දැක්වූ ගීත ඇල්බමයක් සඳහා සංගීත අධ්‍යක්ෂණය ද සිදු කළා.

ඔහු විසින් රඟපෑ The Order චිත්‍රපටයේ දර්ශනයක්
හීත් ලෙජර් රඟපෑ The Order චිත්‍රපටයේ දර්ශනයක් – Imgur.com

හීත් ලෙජර් රඟපෑ නිර්මාණ වෙනුවෙන් සම්මාන රාශියක් හිමි වූ අතර ම 2005 වර්ෂයේදී New York Film Critics Circle සහ San Francesco Film Critics Circleවලට අනුව හොඳම නළුවා සම්මානයෙන් ද හීත් පිදුම් ලැබුවා. නිව්යෝක් ටයිම්ස් පුවත්පත වරෙක හීත් ගේ රංගනයන් හොලිවුඩ් ඉතිහාසයේ බිහි වූ සුපිරි නළුවකු වූ මාලන් බ්‍රැන්ඩෝ තරමට ම විශිෂ්ට බවට ද ප්‍රකාශ කළා. තවත් සම්මානයන් රාශියක් සමඟින් හීත් ලෙජර් 2000 දශකය මැද භාගය වන විට දී අති සාර්ථක රංගන ගමනකට පා තබා තිබුණා.

හීත් ලෙජර් ගේ අමුතුම ආරූඪය

හීත් ලෙජර් යනු අමුතු ම ආකාරයේ නළුවකු බවට ඔහු සමඟින් කටයුතු කළ බොහෝ අධ්‍යක්ෂකවරුන් ප්‍රකාශ කරන කාරණයක්. මීට ප්‍රධානත ම හේතුව වන්නේ හීත් තමන් රඟපාන චරිතයට මුළුමනින් ම ආරූඪ වීම යි. හීත්ට කිසියම් චරිතයක් රඟපෑමට අවස්ථාව ලබා දීමෙන් පසුව එම කාලය පුරාවට ම ඔහුගේ මුළු දිවිය ම එම චරිතයට කැප කිරීම යි. එම කාලයේ දී ඔහුගේ සාමාන්‍ය දිවියත් තමන් රඟපාන චරිතය බවට පත් කර ගන්නවා. මේ නිසා ඔහු සමග ජීවත් වීම පහසු කාරණයක් බවට පත් වුණේ නෑ.

හීත් ලෙජර්ගේ දියණියට උපත ලබා දුන් මිචෙලී විලියම්ස් ඔහුගෙන් වෙන් වූයේ ද මේ හේතුව නිසා යි. කාලයෙන් කාලයට හීත් තමන් රඟපාන චරිතයට මුළුමනින් ම ආරූඪ වීම ඇයට ඔහුත් සමඟ ජීවත් වීම අපහසු කළා. හීත් මෙලෙස තම චරිතය කැප වී නිරූපණය කිරීම නිසා ම ඔහුට විශිෂ්ට රංගනයක් ලබා දෙමින් රඟපාන චරිතයට උපරිම සාධාරණයක් ඉටු කිරීමට හැකි වුණා. ගැටලුව වූයේ එම චරිතවලට ප්‍රවිශ්ට වීමෙන් අනතුරු ව නැවතත් එම චරිතවලින් මිදී තම සාමාන්‍ය දිවියට එළඹීම ඔහුට ඉතාමත් ම අපහසු කාරණයක් බවට පත් වීම යි. මේ හේතුව නිසා චරිතයක් රඟපෑමෙන් අනතුරු ව එයින් මිදීමට ඔහුට විශාල වෙහෙසක් දරන්නට සිදු වුණා.

හීත් ලෙජර් සහ මිචෙලි විලියම්ස්
හීත් ලෙජර් සහ මිචෙලි විලියම්ස් – UsMagazine.com

The Dark Knight හි ජෝකර් චරිතය

හීත් ලෙජර්ගේ රංගන දිවියේ විශාල පිම්මක් පනින්නට ඔහුට හැකි වන්නේ The Dark Knight හි ජෝකර් චරිතය ලැබීමත් සමඟිනු යි. විශිෂ්ට සිනමා අධ්‍යක්ෂවරයකු වන ක්‍රිස්ටෝපර් නෝලන් අධ්‍යක්ෂණය කළ බැට්මෑන් කතා මාලාවේ දෙවන චිත්‍රපටයේ ප්‍රධාන දුෂ්ටයා ලෙසින් රංගනයෙන් දායක වීමට ඔහුට ඇරියුම් ලැබෙනවා. ඒ අනුව නෝලන්ගේ ඇරියුම පිළිගන්නා හීත් ජෝකර් චරිතය නිරූපණය කිරීමට තමන්ගේ කැමැත්ත පළ කළා. එතැන් පටන් හීත් ලෙජර් ගේ සාමාන්‍ය දිවියත් ජෝකර් මෙන් හැඩ ගැසීම ආරම්භ වුණා.

ඒ අනුව “The Dark Knight” චිත්‍රපටය වෙනුවෙන් හීත් සුවිශේෂී රංගනයක් ඉදිරිපත් කරනවා. එම චිත්‍රපටයේ වීරයා වූ බැට්මෑන් ගේ චරිතයට වඩා දුෂ්ටයා ලෙසින් කටයුතු කළ ජෝකර් ගේ චරිතය ජනප්‍රිය වන ලෙසින් ඔහු රංගනය ඉදිරිපත් කළා. චිත්‍රපටය ප්‍රදර්ශනය වීමෙන් අනතුරු ව ජෝකර් ලෙසින් මුළු ලොව පුරා ම විශාල රැල්ලක් හට ගන්නා ආකාරයේ රංගනයක් ඉදිරිපත් කිරීමට ඔහුට හැකියාව ලැබුණා. එදා මෙදා තුර බිහි වූ සාර්ථක ම ජෝකර් චරිතය ඔහු නිරූපණය කළා යන්න බොහෝ දෙනා ප්‍රකාශ කරන්නේ මේ නිසාම යි.

චිත්‍රපටයේ එක් දර්ශනයක දී සාදයක් පවතින ස්ථානකයට කඩා පනිනා ජෝකර් එහි සිටින අයට තර්ජනය කරනවා. මෙම අවස්ථාවේ දී ඔහු නිරූපණය කළ යුතු දර්ශනයක් වන්නේ චිත්‍රපටයේ ප්‍රධාන කාන්තා චරිතය නිරූපණය කළ රේචල් නම් වූ කාන්තාවගේ ගෙලට පිහියක් තබා තර්ජනය කිරීම යි. එම චරිතය රඟපෑ මැගී ගිලෙන්හාල් ප්‍රකාශ කරන්නේ හීත් ඒ අවස්ථාවේ එම තර්ජනය කිරීම කෙතරම් තාත්වික ව නිරූපණය කළා ද යත් තමන් සත්‍ය වශයෙන් ම බියට පත් ව සිටි බව යි.

 

ජෝකර්හි අතුරු ප්‍රතිපල 

එම චරිතයෙන් අනතුරු ව හීත් ලෙජර් මුහුණ දුන්නේ බොහොම අසීරු කාල පරිච්ඡේදයකට යි. කලින් ප්‍රකාශ කළ අන්දමට ම ජෝකර් චරිතයෙන් ඉවත් වීමට ඔහුට අතිශයින් ම අපහසු වුණා. ජෝකර් චරිතයෙන් නිරූපණය වන්නේ සමාජය තුළ බැටකෑමට ලක් වී මනස විකල් වී එයින් අපරාධ කිරීමට යොමු වූ චරිතයක්. මේ නිසා ම නින්ද නොයෑම, මානසික පීඩනය වැනි ව්‍යාකූලතා රැසක් හීත්ට හට ගත්තා. ඔහු සමඟ ම Dark Knight හි රංගනයේ යෙදුණු ක්‍රිස්ටෝපර් ප්ලමර් ප්‍රකාශ කර සිටින්නේ මේ හේතුව නිසා හීත් අතිශය මානසික පීඩාවෙන් දිවි ගෙවූ බව යි.

The Dark Knight චිත්‍රපටයේ ජෝකර් චරිතය නිරූපණය කරමින්
The Dark Knight චිත්‍රපටයේ ජෝකර් චරිතය නිරූපණය කරමින්
Image – MendelLipszyc.com

හීත් ලෙජර් ජීවත් වූ මෑන්හැටන් හි නිවසේ ඔහු කාමරය තුළ අසාමාන්‍ය ලෙසින් සිටින ආකාරය නිවසේ සේවිකාව වූ තෙරේසා සොලමන්2008 වසරේ ජනවාරි මස 22 වනදා සවස 3 ට පමණ දකිනවා. හීත් තවදුරටත් හුස්ම නොගනිමින් සිටින බව දකින ඇය නිව්යෝර්ක් හි පෞද්ගලික ආරක්ෂකයකුට සවස 3.26 ට පමණ මෙම සිදුවීම දැනුම් දෙනවා. අනතුරුව 911ට දුරකතන ඇමතුමක් ගෙන හීත් ලෙජර් හුස්ම නොගන්නා බව පවසා සිටිනවා. එය ප්‍රකාශ කරන්නේ තෙරේසා ගේ උදවුවට පැමිණි මේරි කේට් ඔල්සෙන් ය.

සවස 3.33 පමණ වන විට වෛද්‍ය ප්‍රතිකාර කණ්ඩායම් ඔහුගේ නිවසට පැමිණෙනවා. ඉන් පසුව හරියට ම සවස 3.36 ට 28 හැවිරිදි  හීත් ලෙජර් මිය ගොස් ඇති බවට වෛද්‍ය කණ්ඩායම් දැනුම් දෙනවා. ඔහුගේ මරණයෙන් පසු ව වෛද්‍ය වාර්තාවේ සඳහන් වන්නේ ඔක්සිකෝඩෝන්, ඩයසපෑම්, ටෙමාසෙපාම්, ඇල්ප්‍රසෝලාම් සහ ඩොක්සිලමයින් අධි මාත්‍රා මත්පැන් සමඟ ගැනීම ඔහුගේ මරණයට හේතුව වූ බව යි. ජෝකර් චරිතය රඟපෑමෙන් අනතුරු ව දිගින් දිගට ම ඔහු පියවි සිහියට පැමිණීමකින් තො රව අධික ලෙස මානසික පීඩනයකට පත්වී සිටීම මෙයට හේතු වූ බවට ඔහුගේ සමීපතමයන් රැසක් ප්‍රකාශ කර සිටියා. ඔහුගෙන් වෙන්වූ මිචෙලී විලියම්ස් පවා ඔහු නින්ද නොයෑම නිසා අධික මානසික පීඩනයකට පත් ව සිටි බව හෙළි කළා.

හීත් ගේ මව සහ පියා එකට පැමිණ ඔහුට හිමි ඔස්කාර් සම්මානය ලබාගත් මොහොත
හීත් ගේ මව සහ පියා එකට පැමිණ ඔහුට හිමි ඔස්කාර් සම්මානය ලබාගත් මොහොත – KoiMoi.com

සාර්ථක වුණු හීත්ගේ සිහින

හීත් ලෙජර් ගේ මිය යෑමෙන් මාස 6 කින් අනතුරුව The Dark Knight චිත්‍රපටය ලොව පුරා අති සාර්ථක ලෙසින් තිරගත වනවා. වාර්තා පිට වාර්තා තබමින් තිරගත වන මෙම සිනමාපටය එදා මෙදා තුර බිහිවූ විශිෂ්ටත ම සිනමා පට අතරේ ප්‍රමුඛ පෙළෙ ස්ථානකයට පැමිණීමට පවා සමත් වුණා. අදටත් IMDB ශ්‍රේණිගත කිරීම් හි ප්‍රේක්ෂක මනාපය අනුව සිව්වන ස්ථානය The Dark Knightට හිමි යි. 

හීත් ගේ පළමු සිහිනය වූ ලෝකයේ ම ජනප්‍රිය සුපිරි නළුවකු වීමේ සිහිනය මෙන් ම ඔස්කාර් සම්මානයක් දිනා ගැනීමේ සිහිනය ද සැබෑ වනවා. ඒ The Dark Knight චිත්‍රපටයේ ඔහු කළ විශිෂ්ට රංගනය වෙනුවෙන් හොඳ ම සහාය නළුවාට හිමි ඔස්කාර් සම්මානය හිමි වීමත් සමඟ යි. ඔහුගේ එම සිහින ද්විත්වයට අමතර ව තෙවන සිහිනයත් සැබෑ වුණා. ඒ කුඩා කල පටන් ම අඬදබර කළ හීත්ගේ මව සහ පියා වසර ගණනාවකට පසුව එකට එක් ව පැමිණ ඔහුට හිමි ඔස්කාර් සම්මානය ලබා ගැනීමත් සමඟ යි.

තමන්ගේ සිහින සියල්ල ම සැබෑ වන ආකාරය සියැසින් දැක ගැනීමට ජීවතුන් අතර සිටීමට මේ විශිෂ්ට රංගන ශිල්පියාට හැකි වුණේ නෑ. එය දෛවෝපගත සිදුවීමක්. කෙසේ වුවත් හීත් ලෙජර් සහ ජෝකර් යන නාමය අදටත් ලෝක සිනමාවේ ගහට පොත්ත මෙන් බැඳී පවතිනවා.

චරිතයක් වෙනුවෙන් වැඩි ම කැප කිරීමක් කළ නළුවන් හය දෙනෙක් ලිපියත් කියවන්න.

කවරයේ ඡායාරූපය - හීත් ලෙජර් The Dark Knight හි ජෝකර් චරිතය රඟමින් - Wallpaper Access.com 

මූලාශ්‍ර :

WWW.Biography.com 

IMDB.com 

Hellomagazine.com 

FilmiBeat.com

Related Articles