Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මීටර් 200 ඉසව්වෙන් ලොව ජයගත් සුසන්තිකා ජයසිංහ

1948 ලන්ඩන් ඔලිම්පික් තරගාවලියේ පිරිමි මීටර් 400 කඩුලු පැනීමේ ඉසව්වෙන් ඩන්කන් වයිට්, රිදී පදක්කමක් ලබාගත්තේ ලංකාවට මුල්ම ඔලිම්පික් පදක්කම හිමිකර දෙමින්. එම ජයග්‍රහණය ලබාගෙන වසර 52ක් යනතුරුම කිසිදු ඔලිම්පික් පදක්කමක් ලබාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හැකි වුණේ නැහැ. එලෙස දිගු කලක් පැවති නිහැඩියාව බිඳ දැමූ සුසන්තිකා ජයසිංහ, 2000 සිඩ්නි ඔලිම්පික් තරගාවලියේ දී මීටර් 200 කාන්තා ඉසව්වෙන් රිදී පදක්කමක් දිනාගැනීමට සමත් වුණා. එසේ නම් මේ ලිපිය ලියැවෙන්නේ, සුසන්තිකා ජයසිංහ නම් ක්‍රීඩිකාව මීටර් 200 ඉසව්වෙන් පෑ හපන්කම් පිළිබඳව තොරතුරු ඉදිරිපත් කිරීමට යි.

2000 සිඩ්නි ඔලිම්පික් තරගාවලියේ දී දිනාගත් රිදී පදක්කම 

2000 සිඩ්නි ඔලිම්පික් තරගාවලියේ දී මීටර් 200 කාන්තා ඉසව්ව නියෝජනය කළ සුසන්තිකා, පළමු සහ දෙවන වටයන්හි දී ඉහළ දස්කම් දැක්වීමට සමත් වුණේ අවසන් පූර්ව වටය සඳහා පහසුවෙන්ම සුදුසුකම් ලබාගනිමින්. ඉන්පසුව පැවති අවසන් පූර්ව වටයේ දෙවන තරගය සඳහා සහභාගි වුණු සුසන්තිකා, තත්පර 22.45ක කාලයක් වාර්තා කරමින් දෙවන ස්ථානය ලබාගත්තා. ඒ අනුව ඇය මීටර් 200 කාන්තා ඉසව්වෙන් ඔලිම්පික් අවසන් තරගයක් සඳහා සුදුසුකම් ලබාගත් මුල්ම ආසියානු ක්‍රීඩිකාව ලෙසින් ඉතිහාසගත වුණා. එලෙස සිය උපරිම දස්කම් දක්වමින් අවසන් තරගයට පැමිණි සුසන්තිකාට එහි දී අභියෝගයක් වුණේ ඇමරිකාවේ මේරියන් ජෝන්ස්, බහාමාස් හි පෝලින් තොම්සන්, ජැමයිකාවේ බෙවර්ලි මැක්ඩොනල්ඩ්, සහ බහාමාස් හි ඩෙබී ෆර්ගසන් යන ක්‍රීඩිකාවන් සිව්දෙනා යි. එවැනි වටපිටාවක පැවති අවසන් තරගයේ දී කරට කර සටනක නිරත වුණු සුසන්තිකා, තත්පර 22.28ක කාලයක් වාර්තා කරමින් ලෝකඩ පදක්කම දිනාගත්තේ ජෝන්ස්ට සහ තොම්සන්ට පිටුපසින් සිටිමින්. නමුත්, පසුකලෙක ඇමරිකානු ක්‍රීඩිකා මේරියන් ජෝන්ස් තහනම් උත්තේජක ලබාගත් බවට ඔප්පු වීමත් සමගම ඇයට හිමි පදක්කම් සියල්ල අවලංගු වුණා. ඒ අනුව සුසන්තිකාට ඔලිම්පික් රිදී පදක්කම හිමි වුණා. 

සුසන්තිකා සිය ඔලිම්පික් පදක්කම ලබාගත් මොහොත (gettyimages)

ලෝක මලල ක්‍රීඩා තරගාවලියේ දී සුසන්තිකා පෑ හපන්කම් 

1983 වසරේ දී ආරම්භ වුණු ලෝක මලල ක්‍රීඩා තරගාවලි ඉතිහාසය තුළ වැඩිම පදක්කම් ප්‍රමාණයක් දිනාගත් දකුණු ආසියානු රට බවට පත්ව සිටින්නේ ශ්‍රී ලංකාව යි. එහි දී ශ්‍රී ලංකාව ලබාගත් පදක්කම් 2ම හිමිකර ගත්තේ මීටර් 200 ඉසව්ව යටතේ තරග කළ සුසන්තිකා ජයසිංහ යි. 

1997 ඇතන්ස් ලෝක මලල ක්‍රීඩා තරගාවලිය

1997 ඇතන්ස් ලෝක මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 200 ඉසව්වේ දී කාගේත් අවධානය දිනාගෙන සිටියේ මර්ලින් ඔටේ නම් ජැමයිකානු ක්‍රීඩිකාව යි. ඇය 1996 ඇට්ලන්ටා ඔලිම්පික් තරගාවලියේ දී මීටර් 200 ඉසව්වෙන් රිදී පදක්කම දිනාගෙන තිබීම එලෙස අවධානයට ලක් වීමට හේතුවක් වුණා. එලෙස දක්ෂ ක්‍රීඩිකාවන් රැසක් සහභාගි වුණු මෙම ඉසව්වේ පළමු සහ දෙවන තරගවටවල දී සුසන්තිකා ඉහළ දස්කම් දක්වමින් පහසුවෙන්ම අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබුවා. ඉන්පසුව පැවැත්වුණු අවසන් පූර්ව වටයේ දෙවන තරගය සඳහා ඉදිරිපත් වුණු සුසන්තිකා, තත්පර 22.33ක කාලයක් වාර්තා කරමින් දෙවන ස්ථානය දිනාගත්තේ මර්ලින් ඔටේට පමණක් පිටුපසින් සිටිමින්. දැඩි විශ්වාසයෙන් තරග කරමින් අවසන් තරගය කරා පැමිණි සුසන්තිකා එහි දීත් සුපුරුදු දස්කම් දැක්වීමට අමතක කරේ නැහැ. එම නිසාම තත්පර 22.39ක කාලයකින් තරගය අවසන් කළ සුසන්තිකාට රිදී පදක්කම දිනාගැනීමට හැකි වුණා. සුසන්තිකා එලෙස රිදී පදක්කම දිනාගන්නා විට යුක්‍රේනයේ සානා පින්තුසේවිච් සහ ජැමයිකාවේ මර්ලින් ඔටේ පිළිවෙලින් රන් සහ ලෝකඩ පදක්කම් දිනාගනු ලැබුවා.

සුසන්තිකා ජයසිංහ අවසන් තරගයේ දී (gettyimages)

2007 ඔසාකා ලෝක මලල ක්‍රීඩා තරගාවලිය

2007 ඔසාකා ලෝක මලල ක්‍රීඩා තරගාවලිය ආරම්භ වන විට සුසන්තිකා ජයසිංහ 31 වැනි වියේ පසු වුණා. නමුත්, ඇය යොවුන් ක්‍රීඩිකාවන් සමග කරට කර සටන් කරමින් අවසන් තරගය සඳහා සුදුසුකම් ලබාගත්තේ සුපුරුදු දස්කම් දක්වමින්. එලෙස අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබූ සුසන්තිකාට එහි දී තරගවැදීමට සිදුවුණේ ඇමරිකානු ක්‍රීඩිකාවන් හතරදෙනෙකු සහ ජැමයිකානු ක්‍රීඩිකාවන් දෙදෙනෙකු සමග යි. එම නිසාම සුසන්තිකාට පදක්කමක් දිනාගැනීම ප්‍රබල අභියෝගයක් වුණා. නමුත් එම අභියෝගය සාර්ථකව භාරගත් සුසන්තිකා, තත්පර 22.63ක කාලයකින් ඉසව්ව නිමා කරමින් ලෝකඩ පදක්කම ලබාගත්තේ ශ්‍රී ලංකාවට විශාල ගෞරවයක් හිමිකර දෙමින්.

සුසන්තිකා ලෝකඩ පදක්කම ලබාගනිමින් (gettyimages)

2006 ලුසපෝනියා තරගාවලියේ දී ලබාගත් රන් පදක්කම 

2006 වසරේ දී මුල්මවරට ආරම්භ වුණු මෙම තරගාවලිය සඳහා පෘතුගාලයට යටත් වී සිටි රටවල් වල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි වනවා. ඒ අනුව 2006 වසරේ දී පැවති තරගාවලියේ මීටර් 200 කාන්තා ඉසව්ව සඳහා ඉදිරිපත් වුණු ප්‍රබලම ක්‍රීඩිකාව වුණේ ශ්‍රී ලංකාවේ සුසන්තිකා ජයසිංහ යි. එවැනි වටපිටාවක ආරම්භ වුණු මෙම ඉසව්වේ දී තත්පර 23.20ක කාලයක් වාර්තා කළ සුසන්තිකා, පහසුවෙන්ම රන් පදක්කම දිනාගත්තේ රිදී පදක්කම දිනාගත් ක්‍රීඩිකාවට වඩා පැහැදිලි ඉදිරියක් ලබාගනිමින්.

සුසන්තිකා ලුසපෝනියා තරගාවලියේ දී (gettyimages)

සුසන්තිකා ආසියානු මට්ටමේ තරගවල දී පදක්කම් රැසක් දිනාගත්තා 

සුසන්තිකා ජයසිංහ ආසියානු ක්‍රීඩා තරගාවලියේ දී මීටර් 200 ඉසව්වෙන් රන් පදක්කම් දිනාගැනීමට අසමත් වුණත්, ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේ දී මීටර් 200 ඉසව්වෙන් රන් පදක්කම් කිහිපයක් දිනාගැනීමට සමත් වුණා. 

ආසියානු ක්‍රීඩා තරගාවලිය

1994 වසරේ ජපානයේ, හිරෝෂිමා නුවර පැවති ආසියානු ක්‍රීඩා තරගාවලියේ දී මීටර් 200 ඉසව්ව සඳහා සහභාගි වුණු සුසන්තිකා තත්පර 23.57ක කාලයක් වාර්තා කරමින් රිදී පදක්කම දිනාගැනීමට සමත් වුණා. ඉන්පසුව පැවති 1998 ආසියානු ක්‍රීඩා තරගාවලියේ මීටර් 200 ඉසව්වට සහභාගි නොවුණු සුසන්තිකා, 2002 වසරේ පැවති තරගාවලියේ අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබීමට සමත් වුණා. නමුත්, ආබාධ තත්ත්වයක් නිසා ඇයට එම අවසන් තරගය සඳහා සහභාගි වීමට හැකි වුණේ නැහැ. එලෙස අවාසනාවන්ත අයුරින් පදක්කමක් අහිමිකර ගත් සුසන්තිකා, 2006 ආසියානු ක්‍රීඩා තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබුවත් එහි දී ඇයට ලෝකඩ පදක්කමින් සෑහීමකට පත් වීමට සිදුවුණා.

සුසන්තිකා 2006 ආසියානු ක්‍රීඩා තරගාවලියේ දී (gettyimages)

ආසියානු මලල ක්‍රීඩා තරගාවලිය

1995 වසරේ සිට 2007 වසර දක්වා ආසියානු මලල ක්‍රීඩා තරගාවලි 3ක දී සුපිරි දස්කම් දැක්වූ සුසන්තිකා ජයසිංහ, එහි දී මීටර් 200 කාන්තා ඉසව්වෙන් රන් පදක්කම් 3ක් දිනාගැනීමට සමත් වුණා. එම තරගාවලිවල දී සුසන්තිකා වාර්තා කළ දස්කම් මෙසේ යි.

1) 1995 ජකාර්තා ආසියානු මලල ක්‍රීඩා තරගාවලිය- රන් (තත්පර 23.00)

2) 2002 කොළඹ ආසියානු මලල ක්‍රීඩා තරගාවලිය- රන් (තත්පර 22.84)

3) 2007 අම්මාන් ආසියානු මලල ක්‍රීඩා තරගාවලිය- රන් (තත්පර 22.99)

කවරයේ ඡායාරූපය- සුසන්තිකා ජයසිංහ 2000 සිඩ්නි ඔලිම්පික් තරගාවලියේ දී (gettyimages)

Related Articles