Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ගම ලොවට විවර කර එළිය කරන්නට වෙහෙසුණු තාගොර්

බොහෝ දෙනා දන්නා පරිදි තාගෝර් යනු ලෝ පතල ඉන්දීය කවියෙකි. දාර්ශනිකයෙකි. එහෙත් තාගෝර් එතැනින් නැවතුන අයෙක් නොවේ. ඔහුට විකල්ප දේශපාලන දර්ශනයක් මෙන්ම එය ක්‍රියාත්මක  කරන්නේ කෙසේදැයි පැහැදිලි ප්‍රායෝගික වැඩපිලිවෙලක්ද විය.

ලාංකික සංගීතඥයින් රැසක්ද අධ්‍යාපනය ලැබූ ශාන්ති නිකේතනය 1901 දී  සහ විශ්ව භාරතී විශ්ව විද්‍යාලය 1921 දී තාගෝර් විසින් නිර්මාණය කරන ලදී. විශ්ව භාරතී විශ්ව විද්‍යාලයයට සමගාමීව 1922 දී සිරි නිකේතන් නම් ගම නගාසිටුවීම පිළිබද ආයතනයක්ද පිහිටුවන ලදී. එය ගම නගාසිටුවීම සදහා තාගෝර් විසින් ගත් ඉදිරිගාමී පියවරකි. තාගෝර්ට මේ සිරි නිකේතන් නම් ගම නගාසිටුවීම සහ කාර්මික අධ්‍යාපනය වෙනුවෙන් වූ ආයතනයක් පිහිටුවීමේ ආශාව පහළ වූයේ 1890 කාලයේ ඔහු නැගෙනහිර බෙංගාලයේ ඔහුගේ වතුවල පදිංචියට ගිය අවස්ථාවේදීය. එවකට තරුණ තාගෝර් ප්‍රථම වරට ඉන්දී්‍ය බෙංගාල ගැමි ජීවිතයට නිරාවරණය වූයේ  එහිදීය.

සිතුවටම නැගුන තාගෝර් (onbeing.org)

  • තාගෝර් ගැමියන් සමග

එවකට තිස් වන විය පසුකරමින් සිටි තාගෝර් එවිටද කවියෙකු වශයෙන් ජනප්‍රිය චරිතයකි. එවකට බ්‍රිතාන්‍ය ඉන්දියාවේ අගනුවර වූ කල්කටාවේ එතෙක් කල් ගත කළ තාගෝර් පද්මා නදිය අසබඩ සිලයිඩා වල වතු කළමනාකරුවෙකු ලෙස සේවය කළේය. ෂමින්දාර් වරයෙකු ලෙස තාගෝර් ගම්මාන වෙනුවෙන් කළ කී දෑ දිස්ත්‍රික් රාජ්‍ය සේවා ගැසට් පත්‍රවලද මනාව පිළිබිඹු වේ. තාගෝර් පසුකාලීනව මානවවාදී ක්‍රියාකාරිකයෙකු ලෙස හැඩගැසීමට පන්නරය ලබාගන්නට මෙම ගම්මාන වල සේවය ඔහුට වැදගත් වන්නට ඇත.

“ පිටිසර ගත කළ මුළු කාලය තුළ ඉතාම සුළු විස්තරය පවා සොයාගැනීමට උත්සාහ කළෙමි. මගේ වැඩ රාජකාරි අනුව සිලයිඩා සිට පටීසාර් දක්වාද, ඇළ දොළ මහා ගංගා සහ මඩවගුරු ඔස්සේ මහා දුර ගෙවීමට සිදු විය. ගැමි ජීවිතයේ සියළුම පැතිකඩවල් මා දුටුවේ මේ අන්දමින්ය. ගැමියන්ගේ දින චරියාව සහ ඔවුන්ගේ ජීවිත වල විවිධාකර දර්ශන අවබෝධ කරගැනීමේ කුහුලින් මා සිත පිරී ගියේය. ක්‍රම ක්‍රමයෙන් ගැමියන්ගේ දුක සහ දුගීභාවය මා වෙත පැහැදිලි විය. එයට කුමක් හෝ පිළියමක් යෙදිය යුතුව ඇතැයි මා නොසන්සුන් විය. ඉඩම් හිමියකු වශයෙන් මුදල් හරිහම්බ කිරීමට ලොල්ව මගේ ලාභ අලාභ ගැන පමණක් වෙහෙසීම මොන ලැජ්ජා නැති දෙයක් දැයි මට සිතිණි.” Tagore – The History and Ideals of Siri Nikethan

ගැමියන්ට පහසුකම් සලසන්නකු වශයෙන් මේ දැවැන්ත අවශ්‍යතාවය අභිමුව ඔහුගේ ස්වල්ප ආදායමින් කළ හැකි විශාල දෙයක් නොමැති බව ඔහුට පෙනී ගියේය. එහෙත් මේ කාර්යයේ කිසියම් ආරම්භයක් විය යුතුයැයි ඔහු අධිෂ්ඨාන කරගත්තේය. ඔහු අරමුණු දෙකක් ප්‍රකාශ කලේය. පළමුවැන්න ගැමියා ආත්ම විශ්වාසයට හුරු කිරීමය; අනෙක අතීතයේ මෙන් පුරාණ වීර කාව්‍ය සහ සංගීතය රස විඳින “පූර්ණ ජීවිතයක්” ගම තුළ නැවත බිහිකිරීමය. ගම් එකක හෝ දෙකක වත් මෙය යථාර්ථවාදීව ඉටුකළ හැකිනම් තමා සතුටුවන බව කී තාගෝර් මෙසේද ලීවේය.

“ අපිට එක ගමක් හෝ අසරණ භාවයේ සහ දුගීභාවයේ යදම් වලින් නිදහස් කළ හැකිනම් සමස්ත ඉන්දියාවටම පොදු පරමාදර්ශයක් ඇති වන්නේය. ගම් කිහිපයක් මෙසේ ගොඩනගමු. එවිට මම ඒවාට මගේ ඉන්දියාව යැයි කියන්නෙමි. සැබෑ ඉන්දියාව සොයාගත හැකි මාර්ගය එයයි.

Tagore – Towards Universal Man

  • දැනුම කෙලින්ම ගමට

ඉංග්‍රීසි අධ්‍යාපනය ලද ඉන්දියානු ප්‍රභූ පන්තිය අතර වෘත්තිය පන්තියක් මතු වීම නිසා ප්‍රථම වරට ඉන්දියානු ගම් වල ප්‍රජා ජීවිතය බිඳ වැටෙන්නට විය. නගරය ගැමියන් ආකර්ශනය කරගන්නට පටන් ගත්තේය. මේ නව වෘත්තිය පන්තිය මිනිසුන් රැකබලාගැනීම රජයට පවරා ස්වකීය සුඛ විහරණය පිණිස පමණක් පෙනී සිටියෝය. මෙයින් ගම සහ නගරය අතර පරතරය වැඩි විය. පිටිසරයා යනු පටු මනසක් ඇත්තාටය යන කියමන සත්‍ය වන්නේ ගම තුළට නව දැනුම නොයෑම හේතුවෙන් යැයි ඔහු ලීවේය. නවීන තාක්ෂණය සහ විද්‍යා දැනුම ගමට ගෙනයෑමෙන් ගම තුළ නව පිබිදීමක් ඇති කළ හැකි වෙතැයි තාගෝර් ගේ විශ්වාසය විය.

වෙනත් කෘෂිකාර්මික රටවල් ගැන හැදෑරු තාගෝර්ට තාක්ෂණය භාවිත කිරීම නිසා එම දියුනු රටවල අස්වැන්න සිය උපන්බිමෙ ඉඩමක අස්වැන්න මෙන් දෙතුන් ගුණයක් වන බව අවබෝධ විය. ඔහු සිරිනිකේතන් හරහා එම දියුණු රටවල අලුත් දැනුම සාම්ප්‍රදායික නාගරික ප්‍රභූ පන්තියෙක මැදිහත් වීමෙන් තොරව දැනුම කෙළින්ම ගමට ලබාදෙන්නට සිරි නිකේතන් හරහා කටයුතු කරන්නට විය. 1906 දී ඔහුගේ පුත්‍රයා රතීන්ද්‍රනාත් සහ බැනා වූ නාගේන්ද්‍රනාත් ඇමරිකා එක්සත් ජනපදයේ අර්බානා හි ඉලිනොයිස් විශ්ව විද්‍යාලයයට පිටත් කළේය. එහිදී කෘෂිකර්මය, ගව පාලනය, නවීන තාක්ෂණය ගැන සන්නද්ධ වූ ඔවුහු නැවත 1910 දී පැමිණ සිය දැනුම සිරිනිකේතන් හරහා ගමට ලබාදෙන්නට කටයුතු කළෝය.

තාගෝර්ම කියන පරිදි “මෙම යුගයට බලය දෙන නවීන විද්‍යාව අප සතුව ඇත්නම් තවමත් අපිට දිනිය හැකිය තවමත් අපට ජීවයෙන් යුතුව දිවි ගෙවිය හැකිය. “

තාගෝර්  නිමවූ පෙහෙකම් පුහුණු පාසැලක් (santitown.files.wordpress.com)

  • සමූපකාර අදහස

ගැමියන් විසින්ම පවත්වාගෙන යන ආහාර ගබඩා, කෘෂිකාර්මික මධ්‍යස්ථාන, වෙළඳසැල් , පාසල් බැංකු ආදී ක්‍රම බිහිවුවහොත් සැමදා ගැමියා රජයෙන් සියල්ල සපයන තෙක් බලා සිටින සිඟන්නෙක් නොවනවා ය යන්න තාගෝර් ගේ අදහස විය. එසේ  ගැමියා දැනුමින් සන්නද්ධව ස්වශක්තියෙන් නැගී සිටින කල්හි රජය කෙරහි වන ගැතිකම ගැමියා කෙරෙන් තුරන් වේයැයි ඔහු විශ්වාස කළේය.

එවකට දේශපාලනිකව ප්‍රබල මතවාදයක් වූ ස්වදේශ රාජ්‍යයට වඩා ගැමියා ස්වශක්තියෙන් නැගීසිටීමට දිරිමත් කිරීම වඩාත් ප්‍රතිඵලදායක බව පැවසී නිසා තාගෝර් සහ එවකට ස්වදේශානුරාගයෙන් මත් වූ පිරිස් අතර මත ගැටුම්ද නිර්මාණය විය.

විශ්ව භාරතී ඔහුගේ අධ්‍යාපන ක්‍රමය තුළ එක් පසෙකින් දරුවන්ට දැනුම ලබාදුන්නේය. අනෙක් පසින් දරුවා නර්තනය, සංගීතය ආසියානු කලාවන්හි නිපුණයෙක් බවට පත් කළේය. ඒ කවර දැනුමක්  සැපයුවද අනාගත දරුවාගේ ජීවිකා වෘත්තිය සපයන්නේ නැතිනම් පලක් නොමැති බැව් අවබෝධ කරගත් තාගෝර් විශ්ව භාරතිය හරහා දරුවන්ට කාර්මික දැනුම ලබාදී පන්ති කාමරයෙන් පිටතදී අතපය වෙහෙසා වැඩකරන ආකාරයද හුරු කරනු ලැබීය.

තාගෝර්ගේ සිරිනිකේතන් හි ඉගෙනගන්නා දරුවන් (ඉන්දියා දර්ශන සගරාවෙනි )

  • දේශපාලනික මතය

ගාන්ධී ප්‍රමුඛ ජාතිකවාදීන් සිය රටට ඇති විශාලතම විපත්තිය ස්වදේශික පාලනයක් නැති කම යැයි පුන පුනා කියමින් ජනයා ගේ ජාතිකවාදය අවුලුවද්දී තාගා්ර්ගේ මතය ඊට වඩා ගැඹුරු විය. නිතරම නාගරික සුඛිත මුදිත සුකුමාර ජීවිතය හඹා යන, රාජ්‍ය ධනයෙන් වැඩිමනක් පංගුවක් තමුන්ට ඉල්ලන විප්ලවවාදී මත පසෙකලා  ස්වයංපෝෂී අතීත චර්යාව නව දැනුම සමග කාලානුරූපීව නැවත දියුණු කර ගම සවිමත් කළ යුතු බව තාගෝර්ගේ මතය විය.

තාගෝර් යනු ඉන්දියානු ජාතික ගීයේ නිර්මාතෘවරයාණෝය. ඔහු නොබෙල් සාහිත්‍ය සම්මානයෙන්ද පිදුම් ලැබූ දීප්තිමත් ඉන්දියානු කවියෙකි. එහෙත් ඔහුගේ දේශපාලනික දැක්ම භෞතික දේශසීමාවන් සහ ජාති ආගම් වැනි පටු බෙදීම් වලින් වලින් එපිටට ගිය වඩාත් දියුණු එකක්ම විය. දුප්පත් ග්‍රාමීය ජනයාට ස්වශක්තියෙන් නැගී සිටින්නට මග විවර කරන්නට වෙහෙසුන තාගෝර් සිය මතය අනුව ගැමි සිසුනට පරිපූර්ණ අධ්‍යාපනය ලබා දී මට සිය නොබෙල් ත්‍යාග මුදල පවා වැය කරමින් කැපවුණි. හැකියාවන්ගෙන් සපිරි සෞන්දර්යයෙන් ඔපවත් වූ සංවේදී ගැමියන් සහිත ගමක් නිර්මාණය කරන්නට රබීන්ද්‍රනාත් තාගෝර් කවියාණෝ  ඔහුගේ දිවිය අවසානය දක්වාම වෙහෙස විය.

කවරයේ පින්තූරය – Stylewhack

Related Articles