නිරුවත නිසා සුද්දන් බිය වූ තාරා දෙවඟන ප්‍රතිමාව

අපේ පුරාවස්තු රාශියක් සුද්දන්ගෙ කාලෙ එංගලන්තෙට අරන් ගොස් තිබෙනවා. ඒවා එංගලන්තෙ වගේම වෙනත් යුරෝපීය රටවලත් කෞතුකාගාරවල ප්‍රදර්ශනය කෙරෙනවා. ඒ අතරින් ලන්ඩනයේ බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇති තාරා දෙවඟන ප්‍රතිමාව ඉහළම කීර්තියක් හිමිකර ගත් පුරාවස්තුවක්. එය ලන්ඩන් කටුගෙයි දකුණු ආසියානු මැදිරියේ නරඹන්නන්ගේ ආකර්ශනයට ලක්වන මූර්තියක්.

තාරා දේවිය ලන්ඩන් ගියේ කොහොම ද?

බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ දකුණු ආසියානු මැදිරියේ තාරා දෙවඟන -wikipedia.org

තාරා දෙවඟනගේ ප්‍රතිමාව හමුවූ බව පැවසෙන්නේ නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය හා මඩකලපුව අතර ස්ථානයකින්. එය, 1812-1822 අතර කාලයේ ලංකාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරයාව සිටි රොබර්ට් බ්‍රවුන්රිග් විසින් 1930 දී බ්‍රිතාන්‍ය කෞතුකාගාරයට ලබා දී ඇති බව සඳහන් කොට තිබෙනවා. බ්‍රවුන්රිග් මෙම ප්‍රතිමාව බ්‍රිතාන්‍ය කෞතුකාගාරය වෙත ලබාදෙන නමුත් 1860 වර්ෂය දක්වාම මෙම ප්‍රතිමාව මහජන ප්‍රදර්ශනයට ඉඩක් ලැබෙන්නේ නැහැ. එයට හේතුව ප්‍රතිමාව උඩුකය නිරුවත්ව පැවතීම යි.

බ්‍රිතාන්‍ය කෞතුකාගාරය- blogsmedia.ise.ac.uk

1830 සිට 1865 දක්වා මෙය තිබෙන්නේ  ප්‍රදර්ශනය නොකරන පුරාවස්තුවක් ලෙසට යි. 1865 වසරේ දී බ්‍රිතාන්‍ය කෞතුකාගාරය, ලෝකයේ විවිධ සංස්කෘතීන්ට අයත් ප්‍රසිද්ධ මහජන ප්‍රදර්ශනයට නුසුදුසුයැ යි සැලකෙන කෞතුක වස්තූන් අධ්‍යයනය සඳහා පමණක් වෙන්වූ රහසිගත ඒකකයක් ස්ථාපිත කරනවා. 1865 සිට 1960 දක්වාම මෙම ප්‍රතිමාව තිබෙන්නේ එම රහසිගත කෞතුකාගාර ගබඩාවේ ප්‍රදර්ශන භාණ්ඩයක් ලෙස යි.

විශේෂිත එකතූන් අතර වසර 130ක් පැවතීමෙන් පසු 1960 සිට අද දක්වා මෙය බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ මහජන ප්‍රදර්ශනයට තබා තිබෙනවා. මෙම ප්‍රතිමාවේ අනුරුවක් ලංකාවේ ජාතික කෞතුකාගාරයේ දී දැකගත හැකියි.

බෝධිසත්ව වන්දනාව

වැලිගම බෝධිසත්ව ප්‍රතිමාව -Lanka-excursions-holidays.com

මුල් අවධියේ ‍ශ්‍රී ලංකාවේ බුදු දහම ථෙරවාදී දහමක් ලෙස යි පැවතුණේ. පසුකාලීනව විදේශීය බලපෑම් නිසා  මහායාන සංකල්ප මෙරටට පැමිණියා. එහි දී බෝධිසත්ත්ව ඇදහීමට ප්‍රධාන තැනක් ලැබුණා. අනුරාධපුර යුගයේ මහසෙන් රජ සමයේ බෝධිසත්ත්ව ප්‍රතිමා ඉදිවූ බැව් සඳහන් වෙනවා.  ධාතුසේන රජු (ක්‍රි.ව. 459–477) විසින් මෛත්‍රෙය බෝධිසත්ත්ව ප්‍රතිමාවක් ඉදිකළ බැව් සඳහන් වෙනවා. 

ක්‍රි.ව. 7–10 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ මහායාන බුදු දහම ප්‍රබලව ව්‍යාප්තව ගොස් පැවති බව හෙළිවෙනවා. පළමුවන දප්පුල රජු රුහුණේ රියන් පහළොවක් උසැති මෛත්‍රෙය බෝධිසත්ත්ව ප්‍රතිමාවක් තැනවූ බැව් මහාවංශයේ දැක්වෙනවා.  එය මොණරාගල දඹේගොඩ බෝධිසත්ව ප්‍රතිමාව විය හැකියැ යි විශ්වාස කෙරෙනවා. වැලිගම කුෂ්ටරාජගලත් විශාල අවලෝකිතේශ්වර බෝසත් ප්‍රතිමාවක් තිබෙනවා. ශ්‍රී ලංකාවෙන් බෝධිසත්ත්ව ප්‍රතිමා පමණක් නොව බෝධිසත්වවරියන්ගේ ප්‍රතිමා ද හමුවී තිබෙනවා.  අවලෝකිතේශ්වර බෝධිසත්ත්වයන්ගේ ශක්තිය හෙවත් බිරිය ලෙස සැලකෙන තාරා දෙවඟනගේ ප්‍රතිමා ඒ අතරින් විශේෂිත යි.

බ්‍රිතාන්‍ය කටුගෙයි තාරා

තාරා දෙවඟනගේ කාන්තා ලාලිත්‍යය- britishmuseum.org

බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ දකුණු ආසියානු ගැලරියට පිවිසුණු වහාම නෙත ගැටෙනුයේ ලෝකයේ වැදගත්ම කෞතුක භාණ්ඩ 100න් 54 වන ස්ථානයට ඔවුන් ඇතුළත් කර තිබෙන්නේ, පුරාණ ශ්‍රී ලාංකීය ශිල්පීන් තැනූ විශිෂ්ටතම කාන්තා මූර්තිය සේ සැලකිය හැකි තාරා දෙවඟනගේ පිළිරුව යි. බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ප්‍රදර්ශන භාණ්ඩ අතර එයට ඉහළම තැනක් මෙන්ම ඉහළම ආරක්ෂාවක් ද ලබාදී තිබෙනවා. මේ ප්‍රතිමාව කාන්තා ලාලිත්‍යය විශිෂ්ට ලෙස නිරුපනය කර ඇති කලා නිර්මාණයක් බව එය දෙස බලන විට පැහැදිලි වෙනවා. මෙය 7-8 සියවස් අතරට අයත් වන බව විශ්වාස කෙරෙනවා.

ප්‍රතිමාව නරඹන සංචාරකයන්- blogsmedia.ise.ac.uk

මේ ප්‍රතිමාව නිමාකර තිබෙන්නේ ඉඟටියෙන් මඳක් නැමී සිටින ආකාරයෙන්. දකුණු අත වරද මුද්‍රාවෙනුත් වම් අත විතර්ක මුද්‍රාවෙනුත් නිම කර තිබෙනවා. සිරුරේ ඉඟටියෙන් පහළ කොටස වළලුකර දක්වා රැලි සහිත වස්ත්‍රයක් ඇඳ සිටිනවා. උඩුකය නිරුවත් ලෙස යි තනා තිබෙන්නේ. මේ පිළිමයට මැණික් ගල් රැසක් අල්ලා තිබෙන්නට ඇති බව දකින්නට ලැබෙන සිදුරුවලින් පෙනෙනවා. මෙහි සිරස් පළඳනාවේ ඇති කුහරය ඊට මැණික් ගලක් අල්ලා තිබු බවට සාක්ෂි සපයනවා. ප්‍රතිමාවේ වමතින් නෙලුම් මලක් දරා සිටින්නට ඇතැ යි ද විශ්වාසයක් පවතිනවා.

කොළඹ ජාතික කෞතුකාගාරයේ තාරා අනුරුව- එන්. එච්. සමරසිංහ archaeology.lk

පිළිමයේ උස සෙන්ටිමීටර් 143.75ක් වෙනවා. එය සාමාන්‍ය පුද්ගලයෙකුගේ ප්‍රමාණයෙන් හතරෙන් තුනක් පමණ වෙනවා. මේ ප්‍රතිමාව මැටි අච්චුවක් මත ලෝහ වත්කොට ඇතුළත කුහරයක් සිටින සේ වාත්තුකරන ලද්දක් නොවේ. ඉටි මැකුම් ක්‍රමය භාවිතකොට ඝන වාත්තු ක්‍රමයට සම්පූර්ණයෙන්ම තඹවලින් වාත්තුකොට රන් ආලේප කරන ලද්දක්. අඩක් වැසුණු නෙත් සඟල සමාධිගත ඉරියව්වක් ප්‍රකට කරනවා. පුන් පියයුරු මෙන්ම පියයුරු තුඩු ද මනාව දක්වා තිබුණත් මනා ඉන්ද්‍රිය සංවරත්වයක් හා ශාන්ත භාවයක් තමයි පිළිමයෙන් පෙන්නුම් කරන්නේ. මෙය විශිෂ්ට කුසලතාවකින් පරිපූර්ණ ශිල්පියෙකුගේ නිමැවුමක් බව කලා විචාරකයන්ගේ මතය යි. තාරා ප්‍රතිමාව කාන්තාවකගේ ශාරීරික සුන්දරත්වය නොසඟවා  කැටයම් කළ කලා කෘතියක් මෙන්ම ප්‍රතිමා ශිල්ප ක්‍රම පිළිබඳ තාක්ෂණික දක්ෂතාව ද පෙන්නුම් කරන නිර්මාණයක්. 

මේ ප්‍රතිමාව ආනන්ද කුමාරස්වාමි පත්තිනි දේවියගේ ප්‍රතිමාවක් ලෙස හඳුන්වා තිබෙනවා. නමුත් පසුව එය මහායාන අවලෝකිතේශ්වර බෝධිසත්ත්වයන්ගේ මහේසිකාව වන තාරා දෙවඟනගේ බව පිළිගැනුණා.  

තාරා කවුද?

බුදුරුවගල අවලෝකිතේශ්වර අසලම සිටින තාරා-facebook

මහායාන බුදු සමය තුළ, සියලුම දෙවඟනන්ගේ ප්‍රතිමූර්තිය ලෙස තාරා දෙවඟන ප්‍රකටව සිටිනවා. ඇය මහායානිකයන්ගේ ප්‍රධාන දෙව්දුව යි.  අවලෝකිතේශ්වර බෝධිසත්වයන්ගේ ශක්‌තිය හෙවත් පියඹ ලෙස හැඳින්වෙන තාරා දේවියගේ සම්භවය පිළිබඳ අද්භූත පුරාවෘත රැසත් පැතිර තිබෙනවා. බෝසතුන්ගේ කඳුළු බිඳුවකින් නිමවුන පොකුණක හටගත් නෙළුමකින් ඇය උපන් බව එක් විශ්වාසයක පැවසෙනවා. තවත් දේව කතාවක් අනුව අමිතාභ නම් මහායාන බුදුන්ගේ ඇසකින් නිකුත් වූ නීල වර්ණ රශ්මි කදම්භයකින් ඇය උපන් බව සඳහන් වෙනවා.

ප්‍රතිමාවේ පසුපස සිට – Senal Wanniarachchi- blogsmedia.ise.ac.uk

විවිධ කාලවල මහායාන බුදුදහමේ විවිධ දෙවඟනන් නිර්මාණය වී තිබෙනවා. සරස්‌වතී වැනි දෙවඟනන් හින්දු ආගමෙන් ද, මාරීච්, මහාමයුරී වැනි දෙවඟනන් තාන්ත්‍රික ධර්මයෙන් ද මහායානයට සංක්‍රමණය වී සිටින බව යි පේන්නේ මැය බෝධිසත්ව මෙන්ම ශක්‌ති තත්ත්වයෙන් ද පෙනී සිටිනවා. සර්වාභරණයෙන් සහ කිරීට සහිතව යි ඇය මූර්තිවල පෙන්නුම් කරන්නේ. නිතරම සිනහ මුහුණින් දැක්වෙන තාරා ප්‍රතිමාවල ඌර්ණ රෝමයක්‌ ද, රැළි සහිත දිගු කෙස්‌ කළඹක්‌ ද සහිත යි. නිතරම ස්වාමියා ළඟ සිටින ලෙස මූර්තිමත් කර තිබෙනවා. බුදුරුවගල මහායාන ප්‍රතිමා සංකීර්ණයේ එලෙස ඇය ස්වාමියා අසල සිටින සේ කැටයම් කර ඇති අයුරු දැකගත හැකියි.

සුරබිදෙන තාරා

ප්‍රතිමාව පැත්තට පෙනෙන අයුරු- එන්. එච්. සමරසිංහ archaeology.lk

බ්‍රිතාන්‍ය කටුගෙයි මූර්තියට අමතරව වැල්ලවායේ බුදුරුවගල ශෛලමය තාරා මූර්තියක් ද, ගම්පොළට නුදුරු වේගිරිය දේවාලය, මහනුවර පස්ගම නාථ දේවාලය  වැනි ස්ථානවල මැටියන් කළ තාරා පිළිම ද පිහිටා තිබෙනවා. අනුරාධපුර විජයාරාමයෙන් හමූවූ 9 වන ශත වර්ෂයට පමණ අයත් සංස්කෘත තඹ ඵලකවල ද තාරා දෙවඟන යදින ස්තොත්‍ර හමුවී තිබෙනවා. 

අනුරාධපුර යුගයේ දී මෙන්ම ඊට පසු යුගවල දී ද වෙනත් තාන්ත්‍රික ඇදහීම් සමග තාරා දෙවඟන ඇදහීම ද මෙරට තිබූ බවට ඒවා සාධක තිබෙනවා. ගම්පොළ යුගය වන විට තාරා මෙන්ම ඇගේ සැමියා වන අවලෝකිතේශ්වර සිංහල දේවතාවන්ගේ තත්ත්වයට පත්ව සිටි බව තිසර සංදේශ කවියෙන් පැහැදිලි වෙනවා. ඔවුන් එහි නිරූපණය කර ඇත්තේ බැතිමතුන්ගේ අපේක්ෂා ඉටුකර දෙන සිංහල දෙවිවරු වශයෙන්. මෙය විශේෂයෙන්ම තාරා කෙරෙහි පැවති බව ඇය “සුරබිදෙන” ලෙස සැලකීමෙන් සිතිය හැකි බව ජෝන් ක්ලිෆඩ් හෝල්ට් සඳහන් කරනවා (මකුට මුනිධාරි අවලෝකිතේශ්වර නාථ ලංකා පුරාණය).

තිසර සන්දේශයේ තාරා ගැන සඳහන් කවිය යි මේ:

බෝරා යස වියන මහරු සිරිලක් මදුර වෙසෙසී

තෝරා හැර දුසිරි සුසිරි ලකරින් ලකළ එකසී

වාරා නොව රුසිරු ඉසුරු දෙන සුරබිදෙන් සදිසී

තාරා බිසොවුනුදු නැමැද යා ගන් එයින් නොලැසී

ආශ්‍රිත මූලාශ්‍රයයන්:

britishmuseum.org

archaeology.lk

මකුට මුනිධාරි අවලෝකිතේශ්වර නාථ ලංකා පුරාණය- ජෝන් ක්ලිෆඩ් හෝල්ට්, පරි. පී. බී. මීගස්කුඹුර

ලංකාවේ මහායානවාදය ලිපිය- සෙනරත් පරණවිතාන -පුරාණ යුගය. තිසර පොත්

Cover - තාරා දෙවඟන මූර්තියේ නිරුවත - britishmuseum.org

Related Articles