Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

තායිලන්තයේ වැඩිම කලක් රජකම් කළ භූමිබෝල් අදුල්යාදේජ් රජු

තායිලන්තයේ භූමිබෝල් අදුල්යාදේජ් රජු තායිලන්තයේ වැඩිම කාලයක් පාලනය ගෙන ගිය රජු ලෙස ඉතිහාසයට එක් වුණා. චක්‍රී නමැති රාජවංශයේ නව වැනි රජු බවට පත් වූයේ මෙතුමායි. වයස අවුරුදු 18 දී රජ බවට පත් වූ භූමිබෝල් රජු වර්ෂ 1946 සිට 2016 වසරේ මිය යන තුරුම පාලනය ගෙන යනු ලැබුවා.

ළමා කාලය සහ අධ්‍යාපනය

පින්තූරය – තරුණ අවධියේ දී (nytimes.com)

භූමිබෝල් අදුල්යාදේජ් උපත ලැබුවේ වර්ෂ 1927 දෙසැම්බර් මස 05 වන දිනයි. මොහුගේ පියා මහිදෝල් අදුල්යාදෙජ් නම් වූ අතර, තායිලන්තයේ චූලලොංග්කෝර්න් රජුගේ 69 වන දරුවා වුණා. මහිදෝල් අදුල්යාදෙජ් තායිලන්තයේ නූතන වෛද්‍ය විද්‍යාවේ පියා ලෙසද සලකනු ලබනවා. භූමිබෝල්ගේ මව ශ්‍රීනාගරින්ද්‍රා කුමරිය යි​.

භූමිබෝල් අදුල්යාදෙජ්ගේ උපත සිදු වන අවධියේ මොහුගේ පියා හාර්වඩ් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යාව හදාරමින් සිටියා. මහිදෝල් අදුල්යාදෙජ් වර්ෂ 1928 උපාධිය ලබා ගත් අතර 1929 දී වකුගඩු අකර්මන්‍ය වීම හේතුවෙන් ජිවිතක්ෂයට පත්වුණා.

භූමිබෝල් අදුල්යාදේජ් මූලික අධ්‍යාපනය බැන්ග්කොක් හි මැටර් ඩෙයි නමැති පාසලෙන් ලබා ගනු ලැබූ නමුත් ඔහුගේ මව විසින් ඔහුව 1933 දී ස්විට්සර්ලන්තයට රැගෙන ගියේ වඩා හොඳ අධ්‍යාපනයක් ලබා දෙන අටියෙන්. වර්ෂ 1935 ප්‍රජාධිපොක් නමැති මාමා සිහසුනෙන් ඉල්ලා අස් වූ අතර, ඔහුට දරුවන් නොමැති වීම හේතුවෙන් භූමිබෝල්ගේ වැඩිමහළු සහෝදරයා වූ ආනන්ද මහිදෝල් කුමරු තායිලන්තයේ නව රජු ලෙස නම් කෙරුණා.

භූම්බොල් උසස් අධ්‍යාපනය සඳහා ලූසාන් හි ජිම්නාස් ක්ලැසික් කැන්ටනල් පාසලේ ලියාපදිංචි වූ අතර, අනතුරුව විද්‍යාව අධ්‍යනය කිරීම සඳහා ලූසාන් හි විශ්ව විද්‍යාලයට ඇතුළත් වුණා.

ඔටුනු පැළඳීම

පින්තූරය – oglobo.globo.com (රජ ලෙස)

භූමිබෝල්ගේ වැඩිමහල් සහෝදයාගේ අභිරහස් මරණය හේතුවෙන් 1946 ජූනි මස නව රජු ලෙස භූමිබෝල් ප්‍රකාශයට පත් කෙරුණා. කෙසේ නමුත් මොහුගේ විධිමත් රාජාභිෂේකය පවත්වන ලද්දේ වර්ෂ 1950 මැයි මස 05 වන දින යි. ව්‍යවස්ථානුකුල රාජාණ්ඩු ක්‍රමය යටතේ රාජාභිෂේකය ලද​ පළමු රජු බවට භූමිබෝල් අදුල්යාදෙජ් පත් වුණා. රාජාභිෂේකයෙන් අනතුරුව භූමිබෝල්, IX රාමා රජු ලෙස හැඳින්වීම සිදු කළා.

1950 වසරේම අප්‍රේල් මස 28 වන දින කිට්ටියාකර පවුලේ සිරිකිට් නමැති රැජිණ හා විවාහ වීම සිදු වුණා. අනතුරුව දේශපාලන විද්‍යාව සහ නීතිය ඉගෙන ගැනීම සඳහා නැවත ස්විට්සර්ලන්තය බලා පිටත් වුණා.

පාලන කටයුතු

බොහෝ විට මොහු චාරිත්‍රානුකූල භූමිකාවක් රඟ දක්වනු ලැබුවා. රාජ්‍යයේ නායකයා සහ සන්නද්ධ හමුදා සඳහා අණදෙන නිළධාරියා වුවත් ප්‍රයෝගිකව මොහු  භාවිතා කරනු ලැබුවේ ඉතාමත් අල්ප දේශපාලන බලයකි. රජ කෙනෙකු ලෙස මොහු තායි සමාජයේ සහ එහි එක්සත් භාවයේ සංකේතය ලෙස ජීවත් වුණා.  එමෙන්ම තායි සමාජයේ බුදු දහමට උපකාර කළ ප්‍රධාන තැනැත්තා ඔහුයි.

භූමිබෝල් අදුල්යාදෙජ් රජකෙනෙකු ලෙස අතිවිශාල ජනප්‍රියභාවයක් භුක්ති විඳිනු ලැබුවා. අවස්ථා කිහිපයකදීම දේශපාලන අර්බුධ විසඳීමට හෝ ඒවායින් මඟ හැරීමට උපකාර කරමින් තීරණාත්මක භූමිකාවක් ඉටු කරනු ලැබුවා.  

මොහුගේ පාලන සමය තුළ දක්නට ලැබුණ කැපී පෙනෙන ලක්ෂණයක් වූයේ අනෙක් රජවරුන් මෙන් නොව​ තායිලන්තයේ සෑම පළාතකම සංචාරය කිරීමයි. එමෙන්ම ජනතාවට ප්‍රයෝජනවත් විය හැකි ආකාරයේ යටිතල පහසුකම් වර්ධනය කිරීම් යෝජනා කරනු ලැබුවා. එමෙන්ම මෙතුමා විසින් ග්‍රාමීය ප්‍රදේශ සඳහා සිදු කරන ලද වැඩ විශාල ලෙස ගෞරවයෙන් පිළිගනු ලැබුවා. මෙතුමා විසින් කඳුකර ගෝත්‍රයන් එළවළු, පළතුරු සහ කෝපි වගාවට යොමු කිරීම හේතුවෙන් අබිං වගාව 85% කින් පමණ අඩු වීමක් සිදු වූ බව කියනු ලබනවා. ගම්මාන වල මාර්ග,  විදුලිය සහ වාරි කර්මාන්ත පද්ධති රජුගේ ග්‍රාමීය සංවර්ධන උත්සාහයන් සහ තායි ගොවිතැන් ක්‍රමයේ නවීකරණයන් සඳහා දායකත්වයන් වනවා.

රාජකීය චිත්‍රලාද මාලිගා ඉඩමේ පශු සම්පත් වර්ධනය, කිරි නිෂ්පාදන, ධාන්‍ය දෙමුහුන් කිරීම, වන සංරක්ෂණය සහ නොයෙක් ආකාරයේ ආහාර සැකසුම් තාක්ෂණික ක්‍රම ආදිය පිළිබඳ පරීක්ෂණ සඳහා ඔහු ආධාර කළා. මෙතුමා විසින් සිදු කරන ලද තවත් ප්‍රධාන වැඩ කටයුත්තක් ලෙස මත්ද්‍රව්‍ය වලට එරෙහිව සටන් කිරීම දැක්විය හැකියි.  

ගෞරව සම්මාන

දේශීය වශයෙන් මෙන්ම විදේශීය වශයෙන්ද මොහු සම්මාන සහ ගෞරව වලට හිමිකම් කියනු ලැබුවා. ඒ අතර වර්ෂ 1990 දී  Philae නමැති පදක්කමත්, වර්ෂ 1992 දී UNEP විශිෂ්ටතා රන් පදක්කමෙනුත්, මත්ද්‍රව්‍ය පාලනය සඳහා මැදිහත්වීම හේතුවෙන් වර්ෂ 1994 දී එක්සත් ජාතීන්ගේ අන්තර්ජාතික මත්ද්‍රව්‍ය පාලන වැඩසටහෙනුත් පිදුම් ලබනු ලැබුවා.

පෞද්ගලික ජීවිතය සහ අවසන් සමය

පින්තූරය -hu.pinterest.com(බිරිඳ සමඟ)

වර්ෂ 1950 අප්‍රේල් මස මෙතුමාගේ විවාහය සිදු වූ බව මීට ඉහතදී ද සඳහන් කරනු ලැබුවා. ඒ අනුව මෙම යුවළට දරුවන් සිව් දෙනෙකු උපත ලැබුවා. මහා වචිරලොංග්කෝන් යන කුමරු එකම පුත්‍රයා වූ අතර සිය පියාගේ අභාවයෙන් පසු වර්ෂ 2016 මොහු සිහසුනට පත් වුණා. මීට අමතරව දූවරු තිදෙනෙක්ද සිටින අතර, ඔවුන් මහා චක්‍රී, උබෝල්රටන, චූලභෝර්න් යන කුමරියන් වනවා.

වර්ෂ 2006 පටන් භූමිබෝල් රජු අසනීප තත්ත්වයෙන් පෙළුන අතර, එතැන් සිට ඔහුගේ සෞඛ්‍ය හීන වීමත්, නිතර නිතර රෝහල් ගත කිරීමත් ආරම්භ වුණා. වර්ෂ 2016 ඔක්තෝබර් මස 16 වන දින 88 වන වියේ පසු වූ භූමිබෝල් රජු ජීවිතක්ෂයට පත් වුණා.

කවරයේ පින්තූරය: time.com

Related Articles