Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මිනිසුන් වෙනුවෙන් කැපවෙන කලාකරුවා – කියෝනූ රීව්ස්

ප්‍රසිද්ධ පුද්ගලයන් සහ ඔවුන් සිදුකරන සමාජ මෙහෙවර අපිට නිතර අහන්න ලැබෙන දෙයක්. ඒ අතරින් රංගන ශිල්පීන් ප්‍රමුඛස්ථානයක් ගන්නවා. අපි කලින් ලිපියකින් එලෙස සමාජ මෙහෙවරක නියැලිලා ඉන්න ඇන්ජලීනා ජොලී පිළිබඳව සඳහනක් කළා. ඉතින් අද අපි කියන්න යන්නේ ඒ වගේම සමාජ සේවයක් කරන රංගන ශිලිපියෙක් ගැන. ඒ කවුරුත් දන්න කියෝනූ රීව්ස්.

බේරූට් වල උපන් රීව්ස්

රීව්ස් කුඩා අවධියේදී (Celebuzz.com)

ඉංග්‍රීසි ජාතික මෝස්තර නිර්මාණ ශිල්පිණියක් වන පැට්‍රීශියා හා ඇමරිකානු ජාතික සැමුවෙල් රීව්ස්ගේ ආදරණීය පුත්‍රයා ලෙස කියෝනු රීව්ස් මෙලොව එළිය දකින්නේ 1964 සැප්තැම්බර් 2 වන දින ලෙබනන්හි බේරූට් වලදී. පියාගේ පාර්ශවයෙන් චීන, ඉංග්‍රීසි, හවායි, පෘතුගීසි සම්භවයන්ටද මවගේ පාර්ශවයෙන් ඉංග්‍රීසි සම්භවයන්ටද ඔහු උරුමකම් කියනවා. කියෝනූට වයස අවුරුදු 3 වන විට ඔහුගේ පියා ඔවුන්ව හැර යනවා.ඉන්පසු සිඩ්නි බලා පිටත් වන ඔවුන් නැවත නිව්යෝක් වෙත පැමිණෙන්නේ ඔහුගේ මවගේ දෙවන විවාහය හේතුවෙන්. ඒ 1970 දී පෝල් ආරෝන් නැමැති හොලිවුඩ් හි අධ්‍යක්ෂකයෙකු සමඟ සිදුවූ විවාහයයි. වයස අවුරුදු 15 වන විට කියෝනූට ආරෝන්ගේ චිත්‍රපට වල සහය නිෂ්පාදකවරයෙකු ලෙස සේවය කිරිමට අවස්ථාව ලැබෙනවා. කෙසේ වෙතත් 1994 වන විට මවගේ විවාහයන් හේතුවෙන් කියෝනූ සුළුපියවරුන් 3 දෙනෙකු ලඟ හැදී වැඩෙනවා.

හොකී ද? ඉගෙනුම ද?

කියවීම කෙරෙහි දුර්වලතාවයන් පෙන්වන ඔහු ඉගෙනීමට වඩා ක්‍රීඩා කෙරෙහි වැඩි උනන්දුවක් දක්වනවා.සාර්ථක අයිස් හොකී ගෝල රකින්නෙකු වන ඔහු පාසලේදී හැඳින්වෙන්නේ “The Wall” යනුවෙන්. කැනඩාවේ ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට සිහින දකින ඔහු අවාසනාවන්ත ලෙස අාබාධයකට ලක්වෙනවා.ඉන් ක්‍රීඩා ජීවිතයට සමුදෙන ඔහු නැවතත් ඉගෙනීම වෙත යොමුවෙන්නේ රංගන ශිල්පියෙකු ලෙස වැඩ කරන අතරතුරුමයි. නමුත් පසුව ඔහු ඉගෙනීමට සමුදෙන්නේ තම ඩිප්ලෝමාවද අතහරිමින්.

බාධක මැදින් ජයගත් ජීවිතය

රීව්ස් ඔහුගේ සහෝදරියන් දෙදෙනෙකු සමඟ (Pinterest.com)

කියෝනූට තම පිය සෙනෙහස අහිමි වන්නේ ඔහු කුඩා කාලයේදීම ඔවුන් හැර යාම නිසා.එමෙන්ම ඔහුගේ පියා හෙරෝයින් විකිණීම සම්බන්ධව අත් අඩංගුවට පත්ව සිටි අයෙක්ද වනවා. තම මවගේ පසු විවාහයන් හේතුවෙන් සිටි සහෝදරියන් නිසාම ඔහුට දැනුනේ අවිනිශ්චිතතාවයක්. අවුරුදු 10ක් පුරාවට තම සොහොයුරියක් ලියුකේමියාව රෝගයෙන් පෙළෙන අතර එය ඔහුට මහත් වේදනාවක් වුණා. තම සාර්ථකත්වයේ හිණිපෙත්තටම පැමිණි ඔහුට 2000 තම දියණිය උත්පත්තියේදීම අහිමි වන්නේ ඉතා අවාසනාවන්ත විදියකට. 2001 දී ඔහුගේ බිරිඳ ද නොසිතූ විදියකට රිය අනතුරකින් මිය යනවා.

සල්ලි හා සරල බව

පොදු ප්‍රවාහනය භාවිතා කරන රීව්ස් (You Tube)

ඔහුගේ ජීවන රටාව අනෙක් හොලිවුඩ් තරු හා සසඳන කල ඉතා වෙනස් ආරක් ගන්නවා. එයට හොඳම උදාහරණය ඔහුගේ නිවසයි. 2003 වන තෙක් නිවසක් හිමිව නොතිබූ ඔහු ජීවත්වූයේ කුලී නිවාස වල හා හෝටල් කාමර වලයි. ධනවත් පුද්ගලයෙකු වූ ඔහු මිලදී ගන්නේද සරල නිවාසයක්.ගමන් බිමන් සඳහා තමන්ගේ පෞද්ගලික වාහන භාවිතා කරනවා වෙනුවට ඔහු පොදු ප්‍රවාහනය භාවිතා කිරීමට පුරුදු වී සිටිනවා. ඒ ඔහු සමාජය සමඟ ගැටෙමින් ජීවත් වීමට ප්‍රිය කරන නිසාවෙන්. මුදල් පිළිබඳ අඩු තැකීමක් කරන ඔහු වරෙක “Hello” සඟරාවේ සාකච්ඡාවකදී පවසන්නේ මුදල් තමාට වැදගත් වන්නේ අවසානයට බවයි. එය පසක් කරමින් කිහිපවිටක්ම ඩොලර් මිලියන ගණනින් මුදල් ගෙවීම් මඟහරිමින් තමන් ප්‍රිය කටයුතු සඳහා යොමු වෙනවා. තමාගේ සාර්ථකතවයේ ආරම්භයේදීම Speed 2 සඳහා ලබාදෙන ලද ඩොලර් මිලියන 11ක ගෙවීම අතහරිමින් තම සංගීත කණ්ඩායමේ වැඩකටයුතු හා එක්වීම ඊට හොඳම නිදසුනක්.

රංගනයේ අඩිතාලම

Youngblood චිත්‍රපටයේ (You Tube)

වයස අවුරුදු 9 දී Damn Yankees වේදිකා නාට්‍ය තුළින් ඔහු රංගන ක්ෂේත්‍රයට පා තබනවා. රෝමියෝ ජුලියට් වේදිකා නට්‍යයටද රංගනයෙන් දායක වන ඔහු වයස අවුරුදු 17 දී පාසලෙන් ඉවත් කරනවා.ඉන්පසුව ලොස් ඇන්ජලීස් නුවරට යන ඔහු එහිදී ජීවත් වන්නේ පෝල් ආරොන් නම් තම සුළුපියා සමඟයි. මුල් අවධියේදී ප්‍රචාරක දැන්වීම් කිහිපයක පෙනී සිටින ඔහු මුල් වරට ප්‍රධාන චරිතයක් සඳහා චිත්‍රපටයකට දායකවන්නේ 1986 තිරගත වූ Youngblood හිදී. සෙසු චරිත කිහිපයකට පසු River’s Edge හි ප්‍රධාන චරිතයක රඟපෑමට ඔහුට අවස්ථාව ලැබෙනවා.

වාර්තාවන් අතර දිදුලමින්

Dogstar සංගීත කණ්ඩායමේ ප්‍රසංගයකදී (pinterest.com)

1990 අවධිය ඔහුගේ සාර්ථකත්වයේ ආරම්භය ලෙස සනිටුහන් වෙනවා. ඒ අතරින් 1991 තිරගත වූ Point Break සැලකිය හැකියි. ඒ සඳහා ඔහු Most Desirable Male යන කාණ්ඩය යටතේ සම්මානයද දිනාගන්නවා. ඉන් ඇරඹෙන ගමන් මග තුල Speed, A Walk in the Clouds යන චිත්‍රපට හරහාද ඔහු විශාල ප්‍රතිචාරයක් ලබා ගන්නා අතර 1999දී තිරගත වූ චිත්‍රපටය බොක්ස් ඔෆීස් වාර්ථා අතරටද රැගෙන යනවා.2000 මුල් භාගයේදී සෘණාත්මක විචාරයන් පිරුණු චිත්‍රපට නිසා ඔහුගේ රංගන ජීවිතය යම්කිසි පසුබෑමකට ලක්වෙනවා. නමුත් 2005 දී Matrix Reloaded, The Matrix Revolutions, Constantine යන චිත්‍රපට නිසාවෙන් නැවතත් වාර්තා අතරට එක්වන්නේ සාර්ථක රංගන ශිල්පියෙකු ලෙසටයි. රංගන ජීවිතයට අමතරම අනෙකුත් කලාවන් කෙරෙහිද දස්කම් දැක්වූ ඔහු සංගීත ක්ෂේත්‍රයට සහ සාහිත්‍ය කලාවට රුචියක් දක්වනවා.ඔහුගේ Dogstar සංගීත කණ්ඩායම ඊට කදිම උදාහරණයක්. 2013 දී ඔහුගේ ප්‍රථම අධ්‍යක්ෂණය වූ Man of Tai Chi එළිදකිනවා. එය බීජිං හිදී සම්මානයටද පාත්‍රවූ නිර්මාණයක්. 2014 දී හා 2017 දී ඔහු දායක වන John Wick චිත්‍රපටයද ඔහුව වාර්ථා අතර ඉහළටම ඔසවා තබන්නට සමත්වනවා.

John Wickචිත්‍රපටයේ (You Tube)

නමක් නැති පදනම හා සමාජ සේවය

ළමා රෝහල් සඳහා ආධාර උපකාර ලබා දීමේ අටියනින් කියෝනූ පුද්ගලික පදනමක් පිහිටවාගන්නවා. අප ලබා ඇති අත්දැකීම අනුව එවැනි පදනමක් පිහිටවන පුද්ගලයා එම පදනම තමාගේ නමින් නම් කරන්නේ ප්‍රසිද්ධිය ලබා ගැනීම අරමුණක් කරගෙන. නමුත් කියෝනූ කිසි දිනක එම පදනම ඔහුගේ නමින් නම් කරගැනීමට කටයුතු නොකිරීම තුලින් ඔහු තුල ඇති අව්‍යාජ බව ගම්‍ය වෙනවා. PETA, SickKids Foundation, Stand Up to Cancer ඇතුලුව අරමුදල් 13කට අධික ප්‍රමාණයක් සඳහා ඔහු ඩොලර් මිලියන ගණනින් පරිත්‍යාග කර තිබෙනවා. තවද ලියුකේමියාවෙන් පෙලුනු ඔහුගේ සොහොයුරිය ප්‍රතිකාර ලබාගත් රෝහල් සඳහාද ඔහුගෙන් ලැබුනේ නොමසුරු පරිත්‍යාගයන්. මෙසේ උපකාර අවශ්‍ය මිනිසුන් වෙනුවෙන් තමාගේ දෑත් දිගු කිරීම ඔහුගේ ජීවිතයේ ප්‍රමුඛ කටයුත්තක් ලෙස කියෝනූ සලකනවා.

අංශභාගයට අත්වැලක්

අංශභාගය රෝගයෙන් පීඩා විඳින මිනිසුන් වෙනුවෙන්ද ඔහු පරිත්‍යාගයන් සිදු කරන්නේ ඉතා ඕනෑකමින්. සහෝදර ශිල්පීන් මෙන්ම ජාතික හොකී ලීගයේ ක්‍රීඩකයන් හා එක්ව කොඳු ඇට පෙලෙහි අාබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් ආධාර මුදල් රැස් කීරිමේ කටයුතුද ඔහු අතින් සිදු කෙරෙනවා. Spinal Cord Opportunities for Rehabilitation Endowment (SCORE) සංවිධානය වෙනුවෙන් මුදල් එක් රැස් කිරීම සඳහා රංගන ශිල්පීන් සහභාගීත්වයෙන් පැවැත්වූ අයිස් හොකී තරගය ඊට කදිම උදාහරණයක්.

තම සගයන් වෙනුවෙන්

Matrix Reloadedචිත්‍රපටයේ (You Tube)

තම සහෘදයන් වෙනුවෙන්ද උදව් උපකාර කිරීම ඔහුගේ උතුම් ගුණංගයක්. Matrix චිත්‍රපටයේ අනුගාමී චිත්‍රපට වූ Matrix Reloaded, Matrix Revolutions චිත්‍රපට වල විශේෂ ප්‍රයෝග හා වේශ නිරූපණ සඳහා ඔහු ඩොලර් මිලියන 80ක් වැය කර තිබෙනවා. ඒ චිත්‍රපටයෙහි නිෂ්පාදකවරුන්ට මූල්‍යමය සහයෝගයක් ලෙස යි. කෙසේ වෙතත් ටිකට් පත් විකිණීමෙන් ලද ආදායමෙන් ඔහුට ලැබී ඇත්තේ ඩොලර් මිලියන 38ක් පමණයි. එමෙන්ම කාර්ය මණ්ඩලයේ බොහෝ අය සඳහා ඔහු මුදල් පරිත්‍යාග සිදු කරන බවද සඳහන්. ඒ ඔවුන්ගේ ජීවන වියදමට අත්වැලක් විමට ඔහු තුල තිබෙන ආශාව නිසාමයි. වර්තමානයේ යතුරුපැදි ධාවනයටද යොමු වී සිටින ඔහු Arch යතුරුපැදි සමාගමේ නිර්මාතෘවරයාද වනවා.

රීව්ස් යනු ලෝක ප්‍රසිද්ධ පුද්ගලයෙක් බව ලිපිය කියවූ ඔබට නොරහසක්.එමෙන්ම ඔහුගේ ජීවිතෙයෙන් එක්කර ගතහැකි දෑ බොහෝයි.මෙසේ තමාට ලැබෙන ලාභ සත්කාර මඟහරිමින් ලොව දුක් විඳින ජනතාව වෙනුවෙන් තම සේවය ඉටුකිරීමට ඇපකැප වී ක්‍රියා කරන්නවුන් මානවවාදී මිනිසුන් ලෙස ඉතිහාස පොත් අතර ලියවෙන බව නම් නොඅනුමානයි.

මූලාශ්‍ර :- Wikipedia, looktothestars.org

කවරයේ පින්තූරය (You Tube)

Related Articles