ආදි කාලීන මිනිසා ඔවුන්ගේ ජීවිකාව උදෙසා සතුන් දඩයම් කල ආකාරය සිතුවමට නඟා ඇත්තේ සතුන්ගේ විවිධ හැඩතල හා දිවයන සතුන්ගේ හා මිනිසුන්ගේ නොයෙකුත් හැඩතල උපයොගී කරගනිමින්. ඒවා ඈත එපිට ශිෂ්ටාචාරයේ මිනිසා චිත්‍රකලාව හා බැඳී සිටි බවට උදාහරණ ලෙස දක්වන්නට පුළුවන්.

සිය පරම්පරාවෙන් පරම්පරාවට දැනුම, විනෝදාස්වාදය, සමාජ තත්වයන් හා ජිවන වෘත්තීන් සම්ප්‍රේෂණය කිරීම උදෙසා මේ ආකාරයට චිත්‍රකලාව භාවිතා කර ඇත. මෙලෙස ක්‍රමයෙන් විකාශනය වූ චිත්‍රකලාවේ සම්ප්‍රදායික බව උඩුයටිකුරු කල කලාකරුවෙක් පිළිබඳව තමයි අද ලිපිය ලියවෙන්නේ.

චිත්‍රකලාව නවමානයක් වෙත හරවමින් මානවවාදී ආරකට එය හැරවූ ශිල්පියා ලෙස පැබ්ලෝ පිකාසෝ හදුන්වාදීම ඉතා නිවැරදියි. එකළ පැවති දේවත්වය, රදල සමාජ තත්වය හා ප්‍රභූත්වය ඔසවා තබන ආකාරයේ කාමර අලංකාර කරන චිත්‍ර සම්ප්‍රදාය කිසිඳු ආකාරයට මායිම් නොකරමින් පැවති සියළු න්‍යායන් බැහැර කරමින් කම්කරුවන්, වැඩකරුවන් හා ගණිකාවන් ඇතුළු පීඩිත පන්තියේ ජනතාවගේ සිතුවම් තෙලි තුඩට නගමින් එය සමාජගත කළ සිතුවම් ශිල්පියා ලෙස පැබ්ලෝ පිකාසෝ හදුන්වා දෙන්නට පුළුවන්.

කලා පරපුරක පුරුකක් වූ පැබ්ලෝ පිකාසෝ

පැබ්ලෝ පිකාසෝ (Yaar Pata Hai)

1881 ඔක්තෝම්බර් 25 වනදා ස්පාඥඥයේ මාලගා නගරයේ ඇන්ඩ්ලුසියා නම් ගම් ප්‍රදේශයේ උපත ලබන කුඩා පැබ්ලෝ පිකාසෝගේ මව මාරියා පිකාසෝය. වෘත්තියෙන් ගුරුවරයෙකු වන පියා ජුසේරුසිස් බස්කෝය. මෙම පරපුරේ මීට පෙරත් පිකාසෝ කෙනෙකු සිටි අතර ඔහුගේ කෘතියක් ජිනෝවා කෞතුකාගාරයේ තබා තිබෙනවා. මවගේ පෙළපත් නාමය පිකාසෝ තම නම ලෙස භාවිතා කරන්නේ මවගේ පරපුරේ චිත්‍ර ශිල්පීය මූලයක් පැවතුනු බැවිනි.

වයස අවුරුදු 10දී පමණ ඔහු පළමු චිත්‍රය නිර්මාණය කරනවා. 1895දී බාසිලෝනාවට පදිංචිය වෙනස් කරන්නට පිකාසෝගේ පියා තීරණය කරනවා. 1896දී එනම් වයස අවුරුදු 16දී කලාගාරයක් කුලියට ගන්නා පිකාසෝ තම ප්‍රථම චිත්‍ර ප්‍රදර්ශණය පවත්වනවා. ඔහු කලා පරපුරකින් පැවතෙන හෙයින් ඔහුට අනෙක් කලාකරුවන්ට වඩා වැඩි ප්‍රසිද්ධියක් ලැබුණි. ප්‍රථම චිත්‍ර ප්‍රදර්ශණය පිළිබඳව La Vanguardia සඟරාවේ ලිපියක් පවා පළවෙනවා.

ඒ හේතුවෙන් මුල් කාලයේ පටන් ඔහුගේ කෘතීන් පිළිබඳව ජනතාවගේ අවධානය යොමු වෙනවා. 1900දී ප්‍රථම වරට පැරීසිය වෙතට යන ඔහු ලෝක චිත්‍ර ප්‍රදර්ශණයට තම චිත්‍ර ඉදිරිපත් කරන ලදී.

නිල් යුගය (Blue Period)

පොදු ජන ජීවිතය පිළිබඳව දයානුකම්පා දෘෂ්ටියෙන් නිල් යුගයේ චිත්‍ර නිර්මාණය විය. මිනිස් ජිවිතයේ කටුක පක්ෂය නිරූපණය කරන “නිල් නිරුවත් ගැහැණිය” (Pinterest)

ඔහුගේ මුල් කාලීන චිත්‍ර විචාරකයන් විසින් හදුන්වන්නේ නිල් යුගය ලෙසයි. 1902දී නැවතත් පැරීසියට යන පිකාසෝ වොලාඩිගේ කලාගාරයේ චිත්‍ර ප්‍රදර්ශනයක් පවත්වනවා. ඔහුගේ නිල් යුගය ඇරඹෙන්නේ මෙතැන් සිටයි.

නිල් යුගය ලෙස හදුන්වන්නට මූලිකම හේතුව වන්නේ බහුලව ලෙස නිර්මාණකරණය සඳහා නිල් වර්ණය උපයෝගී කරගැනීමයි. අඳින ලද සෑම චිත්‍රයක් පාසාම නිල් වර්ණය හා මිශ්‍ර වූ සුදු හා කළු වලින් යුක්ත විය. සමාජයේ විවිධ කරදර පීඩාවන්ට ගොදුරු වූ ජනතාව සෑම විටම මෙම චිත්‍ර වලට වස්තු බීජය විය.

නිල් යුගයේ සිතුවමක් වන “මහළු ගිටාර් ශිල්පියා” (Sartle)

එතෙක් කලක් චිත්‍ර ශිල්පීන් විසින් භාවිතා නොකළ මෙම තේමාව තුළින් මිනිස් ජිවිත වල කටුක කර්කශ බව ඉස්මතු වී පෙනුණි. කළු මිශ්‍ර නිල් පැහැය තුළින් අවශ්‍ය අවස්ථාවන් වලදී තේමාව වඩාත් කැපී පෙනුණි. පිකාසෝගේ වඩා ප්‍රභල ප්‍රකාශන දකින්නට පුළුවන් වන්නේ මෙම නිල් යුගයේදී බව ඇතැම් විචාරකයන් පවසනවා.

රෝස යුගය (Rose Period)

සැල්ටින් බාන්ක් නම් සර්කස් කණ්ඩායම (Pablo Picasso)

1905දී නිල් යුගය අවසන් වන අතර ඉන් පසුව පටන් ගන්නේ රෝස යුගයයි. එය ආරම්භ වන්නේ නිරුවත් ගැහැනුන් දෙදෙනා (The two female nudes) යන සිතුවමෙන්. මේ තුළින් ගැඹුරු ශාන්ත භාවය හා ස්ථාවරත්වය නිරූපණය වන බව විචාරකයන් පවසනවා. මෙහි මුළු චිත්‍රය පුරාවටම ඇත්තේ රෝස පැහැයට හුරු වර්ණයකි. මෙම චිත්‍රය නිල් යුගය, රෝස යුගයට පෙරළෙන යුග පෙරළියක මායිමක් ලෙස සදහන් වෙනවා.

මින් පසු ඔහුගේ චිත්‍ර වල වස්තු විෂය ඉස්මතු වීමේ ගුණය ක්‍රමයෙන් පහළ ගිය බව ඇතැම් විචාරකයන් විසින් පෙන්වා දෙනවා. මෙම යුගයේදී පිකාසෝගේ කෘතීන් වල ලයාන්විත ප්‍රකාශනයක් දකින්නට පුළුවන්. රෝස යුගය, චන්ගේ හා ලුට්‍රෙක් වැනි පැරණි චිත්‍ර ශිල්පීන්ගේ කාර්යයේ ඉදිරි පිම්මක් ලෙස සදහන් කල හැකියි. නිල් යුගයේ චින්තනය නිර්මාණාත්මකව වෙනස් වී ඇති ආකාරයක්ද රෝස යුගයේදී දකින්නට පුළුවන්.

සිහිනය – රෝස යුගයේ නිර්මාණයක්. (www.catchy.ro)

පිකාසෝ 1904දී පැරීසියේ පදිංචි වූ අතර රෝස යුගයේ චිත්‍ර වලින් බොහෝමයකට පාදක වී තිබෙන්නේ සර්කස්කරුවන්ගේ ජීවිතය හා බැඳී සිදුවීම්ය. “සැල්ටින් බාන්ක්” නම් සර්කස් කණ්ඩායම සමඟ ලඟින් ආශ්‍රය කිරීම ඊට හේතුව වන්නට ඇති බව වරෙක ඔහු ප්‍රකාශ කරනවා. “සැල්ටින් බාන්ක් පවුල”, “සිහිනය”යන චිත්‍ර පිකාසෝ විසින් මෙම කාලයේ නිර්මාණය කරන කෘතීන් වෙනවා.

නීග්‍රෝ යුගය

රෝස යුගයෙන් පසුව 1907 දක්වා කාලය පිකාසෝගේ නීග්‍රෝ යුගය ලෙස හදුන්වනවා. මෙම යුගයේදී අප්‍රිකානු නීග්‍රෝ මූර්ති වල ඇති හැඩ තල හා රිද්ම දැඩිව අධ්‍යන කරන පිකාසෝට එහි ආභාෂය ලබා ගැනීමට හැකි වෙනවා.

මින් පසුව පිකාසෝගේ චිත්‍ර වල මිනිස් මුහුණු ආදිය යථාරූපි බවින් තොර වුණු විකාරරූපි හැඩ වලින් යුක්ත විය. ඒවා ස්වභාවිකත්වය ඉක්මවා ගිය අතිශයෝක්තියෙන් යුතු වෙනවා.

ඝනිකවාදය

අවිග්නොන් යනු බාසිලෝනා නගරයේ වීදියක්. ගණිකාවන් ජිවත් වන ප්‍රදේශයක්. චිත්‍රයේ මුහුණු හා අඟපසග විරූපී වී ඇත. මෙයින් නිරූපණය වන්නේ ගණිකාවන්ගේ වේදනා විදින මනුෂ්‍යභාවයයි. සුන්දර මුහුණු සහිත සුවද විහිදෙන ගණිකාවන්ගේ අභ්‍යන්තර චිත්ත සන්තානයේ වේදනාත්මකභාවයයි.(WikiArt)

1907 පිකාසෝට පෙරළිකාර වර්ෂයක් විය. ඔහුගේ සුප්‍රසිද්ධ “අවිග්නෝන්හි යුවතියෝ” සිතුවම නිර්මාණය තුළින් ඔහු ඝනිකවාදය තුළට ගමන් කිරීම මෙම වර්ෂයේදී සිදු වෙනවා. මිනිස් සිරුරේ තාත්වික බව බිද දමන ලද පළමු චිත්‍රය වන්නේද මෙයයි. ස්වභාවිකත්වය ඉක්මවා ගිය විකෘති හැඩයකින් චරිතය විනිවිද දැකීමේ සෞන්දර්යය චිත්‍ර කලාව තුළට ගමන් කළේ මීට පසුවයි.

පැතලි හැඩ වෙනුවට ඝන සමූහයක් චිත්‍රය තුළින් නිරූපණය වනවා. ස්වභාවික පර්යාවලෝකනය වෙනුවට විකෘති හැඩතල වලින් මැවුණු කාල්පනික පර්යාවලෝකනය මෙම චිත්‍ර වල දකින්නට ලැබෙන ප්‍රධානතම ලක්ෂණයක් ලෙස හදුන්වන්නට පුළුවන්.

දෙවන ලෝක යුද්ධයේ ස්පාඥඥයේ ගුවෙර්නිකා නගරයට බෝම්බ දැමූ අයුරු නිරූපිත  “ගුවෙර්නිකා” සිතුවම හා ගණිකාවන් සිතුවමට නගා ඇති “අවිග්නොන්හි යුවතියෝ ” නිර්මාණය ලෝකයේ පිළිගත් කලාකෘති ලෙස සැලකෙනවා.

දෙවන ලෝක යුද්ධයේදී ගුවෙර්නිකා නගරයට බෝම්බ දැමීමට විරුද්ධව නිර්මාණය කළ මෙම සිතුවම අද විශ්ව කලා කෘතියකි. (Pablo Picasso)

1907දී ප්‍රංශයේදී ඔහුට බ්‍රාක්ව හදුනාගැනීමට ලැබෙනවා. බ්‍රාක් යනු ඝනිකවාදය පිළිබඳව පර්යේෂණ පවත්වන්නෙක්. ඉතින් ඔහු පිකාසෝ අදින සියළුම චිත්‍ර මිලදී ගැනීම සඳහා එකඟ වෙනවා. ඝනිකවාදයේ යුග පුරුෂයන් දෙදෙනා ලෙස හදුන්වන්නේ පිකාසෝ හා බ්‍රාක්ය. ඔවුන් දෙදෙනා එකතු වී ඝනිකවාදය නම් චිත්‍රකරණය තුළින් 20 වන සියවසේදී මහත් පෙරළියක් ඇති කරනවා.

පැරණි දෘෂ්ටිවාද මුල් කරගෙන සිතුවම් කරණයේ යෙදුනු ශිල්පීන් මේ සමඟම සමාජය විසින් ප්‍රතික්ෂේප කරනවා. එම දෘෂ්ඨින් වලට විරුද්ධව මුල්ම පිම්ම පනින ලද්දේ පිකාසෝ විසින්.

ඔහු කිසිම දිනෙක ආදර්ශ රූප භාවිත කළේ නෑ. ඔහු නිතරම අදින ලද්දේ හිතේ මවාගන්න ලද කාල්පනික රූපයන්ය. දීර්ඝ සුදානමකින් තොරව හදිස්යේ පැන නගින නිර්මාණාත්මක සිතුවිලි වලට මුල් තැන දීම මෙහිදී දකින්නට පුළුවන්. එක් එක් යුග වලදී විවිධ ශෛලීන් වලට හැඩගැසුණු ඔහුට ස්ථිර කලා ශෛලයක් නොවීය. චිත්‍ර ශිල්පීන් විසින් තම ක්‍රමවේදය සොයා ගත යුතු බවත් එය තවකෙකුට ඉගැන්විය නොහැකි බවත් වරෙක ඔහු ප්‍රකාශ කරනවා.

දේශපාලනය හා කලාව

ඝනිකවාදය – සංගීතකාරයෝ තිදෙනා (Pablo Picasso)

වර්ෂ 91ක් ජිවත් වන පිකාසෝ 1944 දී ප්‍රංශයේ කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකත්වය ලබා ගන්නා අතර සිය කලාව සමාජවාදී අරමුණු වෙනුවෙන් කැප කරනවා. ඔහුගේ සමාජ මෙහෙවර අගයනු වස් 1950දී ස්ටාලින් සාම ත්‍යාගයෙන්ද, 1962දී ලෙනින් සාම ත්‍යාගයෙන්ද පුදනු ලබනවා. ඇමරිකාව විසින් කොරියාවට එරෙහිව කල දරුණු යුද්ධයෙදී ඇමරිකාවට එරෙහිවත් ඒකාධිපති ජර්මනිය විසින් ස්පාඥඥයට බෝම්බ දැමූ විට ඊට එරෙහිවත් ඔහු තම පින්සල මෙහෙයවනවා. කුඩා කල සිට චිත්‍ර කලාවට මහත් දක්ෂතාවක් දක්වූ පිකාසෝ 1973 අප්‍රේල් මස 8 වනදා ප්‍රංශයේදී මිය යන්නේ ජීවිතය කලාව හා දේශපාලනය මැනවින් කියවාගත් අසහාය පුද්ගලයෙක් ලෙසයි.