Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව පහළ වූ විශිෂ්ඨතම ගෝල රකින්නා – සෝවියට් දේශයේ ලෙව් යාෂින්

අන්තර්ජාතික පාපන්දු ක්ෂේත්‍රයේ එතෙක් මෙතෙක් පහළ වූ විශිෂ්ඨතම ගෝල රකින්නා ලෙස සැළකෙන්නේ සෝවියට් දේශය නියෝජනය කළ ලෙව් යාෂින් ය​.

සෝවියට් දේශයේ පාපන්දු ඉතිහාසයේ ස්වර්ණමය යුගයේදී එම කණ්ඩායම නියෝජනය කළ යාෂින් සිය කඩිසරකම​, උසැති සිරුර සහ ප්‍රතීක ක්‍රියාකාරීත්වය හේතුවෙන් ඇගයීමට ලක් වුණා​.

තනි කලු පැහැති ඇඳුමින් සැරසී පිටියට බට යාෂින් ඒ නිසාම “කලු මකුළුවා” සහ “කලු දිවියා” යන නම්වලින් ද ප්‍රචලිත වුණා. යාෂින් 1950 – 1970 සමයෙහි ඩිනාමෝ මොස්කව් ක්‍රීඩා සමාජය ද 1954 – 67 සමයේදී සෝවියට් ජාතික කණ්ඩායම ද නියෝජනය කළා​. මේ අනුව ඔහු ක්‍රීඩා සමාජය වෙනුවෙන් තරඟ 326 ක් සහ ජාතික කණ්ඩායම වෙනුවෙන් තරඟ 74 ක් ක්‍රීඩා කර තිබෙනවා. වෘත්තීය පාපන්දු තරඟවලදී ඔහු දඬුවම් පහර 150 ක් වළක්වා ඇති බව ජාත්‍යන්තර පාපන්දු ෆෙඩරේශන වාර්තා ප්‍රකාශ කරනවා. මෙය තවමත් යාෂින් සතුව තිබෙන ලෝක වාර්තාවක් වනවා.

“කලු දිවියා” (footyfair.com)

යාෂින් 1963 දී බැලන් ඩෝර් සම්මානයෙන් පිදුම් ලැබුවා. එකළ එම සම්මානය ප්‍රදානය කෙරුණේ වසරේ හොඳම යුරෝපීය පාපන්දු ක්‍රීඩකයාටයි. දැන් එය වසරේ හොඳම පාපන්දු ක්‍රීඩකයා වෙත ප්‍රදානය කෙරෙනවා. බැලන් ඩෝර් සම්මානය 1956 සිට මේ දක්වා දිනාගත් එකම ගෝල රකින්නා වන්නේ ලෙව් යාෂින්.

යාෂින් 1958, 1962 සහ 1966 වසරවල ලෝක කුසලාන පාපන්දු තරඟාවලිවලදී සෝවියට් දේශය​ වෙනුවෙන් තරඟ වැදුණා. ලෝක කුසලාන ඉතිහාසයේ හොඳම ක්‍රීඩකයන් ඇතුලත් කරමින් 1994 දී නම් කෙරුණ ලෝක කුසලාන ඉතිහාසයේ කණ්ඩායමට ඔහුගේ නම ද ඇතුලත් වුණා. 1998 දී ඔහු 20 වන සියවසේ පාපන්දු කණ්ඩායමට ද නම් කරනු ලැබුවා.

යාෂින් 1956 ඔලිම්පික් රන් පදක්කම ද 1960 යුරෝපා ශූරතාව ද දිනූ සෝවියට් පාපන්දු කණ්ඩායම්වල සාමාජිකයකු වුණා.

මුල් කාළය

යාෂින් උපන්නේ 1929 ඔක්තෝබර් 22 වනදා මොස්කව් නගරයේදී කම්කරු පවුලකයි. ඔහුට වයස අවුරුදු 12 දී ජර්මනිය විසින් සෝවියට් දේශය ආක්‍රමණය කළ අතර යුද්ධය අතරතුර යාෂින් කම්හලකට අනුයුක්ත කෙරුණා. එහිදී ඔහු පාපන්දු ක්‍රීඩාවට යොමු වූ අතර පසු කළෙක ඩිනාමෝ මොස්කව් පිළේ යොවුන් කණ්ඩායමට ඔහු බඳවා ගැණුනා.

යාෂින් 1950 දී ඩිනාමෝ මොස්කව් වෙනුවෙන් සිය ප්‍රථම තරඟයට මුහුණ දුන්නා. ඉතා පහසු ගෝලයක් ලබා දීම හේතුවෙන් එම තරඟය ඔහුට එතරම් හොඳ එකක් වුණේ නැහැ. ඔහුට ක්‍රීඩා සමාජ කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථා ඒ සමයෙහි එතරම් ලැබුණේ නැහැ. ඔහු ක්‍රීඩා සමාජයේ ප්‍රධාන කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයකු බවට පත් වූයේ 1953 න් පසුවයි.

කෙසේ වෙතත් යාෂින් නැවත ප්‍රධාන කණ්ඩායමට එක් වද්දී ඔහුගේ දක්ෂතාවල පැහැදිලි දියුණුවක් දකින්නට තිබුණා. ඒ හේතුවෙන් ඊළඟ වසරේදී ඔහුට ජාතික කණ්ඩායමේ ද දොරටු විවර වුණා.

1956 ඔලිම්පික් තරඟාවලියේදී යාෂින් ගෝල රකින්නා ලෙස සෝවියට් පිළට විශේෂ සේවයක් කළ අතර සමස්ථ තරඟාවලිය පුරාම ඔහු ප්‍රතිවාදී කණ්ඩායම්වලට රැස් කරන්නට ඉඩ දුන්නේ එකම එක ගෝලයක් පමණයි. ඒ ජර්මනිය සමඟ තරඟයේ අවසන් මිනිත්තු කිහිපයේදී.

1958 ස්වීඩනයේදී පැවති ලෝක කුසලාන තරඟාවලිය සෝවියට් දේශය සහභාගී වූ පළමු ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය වුණා. මෙහිදී යාෂින් දැක්වූ දස්කම් ඔහුගේ ප්‍රසිද්ධිය පාපන්දු ලෝකය පුරා පැතිරවීමට සමත් වුණා. සෝවියට් දේශය අර්ධ අවසන් පූර්ව වටයේදී බ්‍රසීලය හමුවේ පරාජය වූ අතර ලකුණු සංඛ්‍යාව දැක්වුණේ 2-0 ක් ලෙසයි. යාෂින් නොවන්නට එම ලකුණු තත්ත්වය ඊටත් වඩා වෙනස් වන්නට ඉඩ තිබුණ බව නොරහසක්.

1962 – ඔලිම්පික් ගෝලය

1962 දී චිලී රාජ්‍යයේ පැවති ලෝක කුසලාන තරඟාවලිය යාෂින්ට එතරම් හොඳ තරඟාවලියක් වුණේ නැහැ. මූලික වටයේ තරඟයකදී කොළොම්බියානු ක්‍රීඩක මාර්කස් කෝල් විසින් ලෝක කුසලාන ඉතිහාසයේ එකම ඔලිම්පික් ගෝලය වාර්තා කළේ යාෂින් ගෝල රකින අවස්ථාවේදී. ඔලිම්පික් ගෝලයක් යනු කොන් පහරක් කෙළින්ම දැල කරා ගමන් කිරීමයි. මෙය ඉතාමත් ම විරල අවස්ථාවක් බව අමුතුවෙන් කිව යුතු නැහැ.

සෝවියට් දේශය තරඟාවලියෙන් ඉවත් වූයේ චිලී දේශය සමඟ පැවති තරඟයෙන් 2-0 ක් ලෙස පරාජය වීමෙන්. මෙම තරඟයේදී ද යාෂින් ලබා දුන් ගෝල දෙකම ලබා නොදිය යුතු ආකාරයේ ඒවා බව අදහස් පළ වුණා.

යාෂින්ගේ මෙම දුර්වල ක්‍රීඩා විලාශය හේතුවෙන් ඇතැම් ජනමාධ්‍ය සඳහන් කළේ ඔහු ක්‍රීඩා පිටියෙන් සමුගනු ඇති බවයි. ඒ වන විටත් ඔහුගේ වයස අවුරුදු 33 ක් වූ හෙයින් එම ප්‍රකාශය තවත් වලංගු බව ඇතැම් අය අදහස් කළා.

නමුත් සිය විවේචකයින්ට යාෂින් පිළිතුරු දුන්නේ තම ක්‍රීඩා ඉතිහාසයේ හොඳම වර්ෂය බවට 1963 පත් කරගනිමින්.

බැලන් ඩෝර්

1963 වසරේ යාෂින් වෙනදාටත් වඩා හොඳින් සිය ගෝල රැකීමේ යෙදුණා. ඔහු සිය වැරදිවලිනුත් පාඩම් ඉගෙන ගත් බවක් තමයි දකින්න ලැබුණේ. ඔහුගේ දක්ෂතාවන්  හොඳින්ම දිස් වූ අවස්ථාවක් ලෙසට එම වසරේදී පැවැත්වුණ එංගලන්තය සහ සෙසු ලෝකය අතර පාපන්දු තරඟය පෙන්වා දෙන්න පුලුවනි.

බැලන් ඩෝර් සම්මානය සමඟ​, ඩිනාමෝ මොස්කව් ටී ෂර්ටයකින් සැරසී (gemmagazines.net)

එංගලන්ත පාපන්දු සංගමයේ 100 වන සංවත්සරය සැමරීම සඳහා වෙම්බ්ලි ක්‍රීඩාංගනයේ පැවති මෙම තරඟයේ පළමු අර්ධයේදී සෙසු ලෝක කණ්ඩායම වෙනුවෙන් ගෝල රැකීමේ නිරත වුණේ යාෂින්. ඔහුගේ අනගි ගෝල රැකීම් කිහිපයක් හේතුවෙන් එංගලන්තයේ ජිමී ග්‍රීව්ස්ට ලබාගත හැකිව තිබූ ගෝල කිහිපයක් ම මග හැරී ගියා. යාෂින් “කලු මකුළුවා” ලෙස ප්‍රකට වුණේ මෙම තරඟයෙන් පසුවයි. පන්දුව දැල වෙත එද්දී යාෂින් කොහෙන් හෝ අතක්, පයක් දමා එය නවත්වා ගත් හෙයින් මෙම නම පට බැඳුනා. නමුත් ඔහුගේ රසිකයින් ඔහුව වඩාත් ම ආදරයෙන් ආමන්ත්‍රණය කළේ කලු දිවියා ලෙසයි.

තරඟයේ දෙවන අර්ධයේදී යුගෝස්ලාවියාවේ මිලුටින් ශොෂිච් දැල් රැකීමේ නිරත වූ අතර තරඟය 2-1 ක් ලෙස එංගලන්තය ජය ගත්තා.

එම වසරේ දෙසැම්බරයේදී යාෂින් වෙත බැලන් ඩෝර් සම්මානය පුද කරනු ලැබුණා.

1966 ලෝක කුසලානයට ද යාෂින් ක්‍රීඩා කළ අතර එම වසරේදී සෝවියට් පිළ සිව් වැනි ස්ථානය කරා ගෙන යාමට ඔහුගෙන් සිදු වූයේ අපමණ සේවයක්. ඉන් ටික කළකට පසු ඔහු ජාත්‍යන්තර පිටියෙන් සමුගත් නමුත් 1970 දී ද මෙක්සිකෝවේ පැවති ලෝක කුසලානයට සහභාගී වෙමින් සහය පුහුණුකරුවකුගේ කාර්ය භාරය ඉටු කළා. එම වසරේදීම ඔහු ඩිනාමෝ මොස්කව් කණ්ඩායම වෙනුවෙන් ද තරඟ වැදීමෙන් ඉවත් වුණා.

ඔහුගේ සමුගැනීම සනිටුහන් කිරීම සඳහා 1971 දී මොස්කව් හි ලෙනින් ක්‍රීඩාංගණයේදී 100,000 ක ප්‍රේක්ෂකයන් ඉදිරියේ ප්‍රදර්ශන තරඟයක් පැවති අතර ඊට එවක ලොව විශිෂ්ඨම පාපන්දු ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම සහභාගී වුණා. ක්‍රීඩාවෙන් සමු ගනිද්දී යාෂින්ට වයස අවුරුදු 41 ඉක්මවා තිබුණා.

1990 මාර්තු 20 වනදා බඩෙහි ඇතිවූ පිළිකාවක් හේතුවෙන් යාෂින් මිය ගියා. ක්‍රීඩාවෙන් සමුගත් පසු මිය යන තෙක්ම ඔහු ඩිනාමෝ මොස්කව් ක්‍රීඩා සමාජයේ විවිධ නිලයන් දැරුවා.

දායාදය

යාෂින් ලෝක පාපන්දු ක්ෂේත්‍රයට අලුත් දේ හඳුන්වා දුන් ගෝල රකින්නෙක් ලෙස සැළකෙනවා. අපහසු අවස්ථාවක අතින් පන්දුව තල්ලු කිරීම ඔහු ප්‍රගුණ කළ ක්‍රමයක්. එමෙන්ම අපහසු අවස්ථා කළින් අනුමාන කර දැල අසළින් පිටතට පැන ඒවා මග හැරීමත් ඔහු ප්‍රගුණ කළ දෙයක්.

එමෙන්ම යාෂින් ක්‍රීඩා පිටියේ සිටියදී ආරක්ෂක වළල්ලේ ක්‍රීඩකයන් පාලනය කරන්න පටන් ගත්තා. ඔහු ක්‍රීඩා කරන සමයේ අද මෙන් නොව දැල් රකින්නන් පාපන්දු කණ්ඩායම්වල නායකත්වයට පත් වූයේ නැහැ. සාමාන්‍යයෙන් ඔවුනගේ කාර්ය භාරය වූයේ දැල් රැකීම​, නැතහොත් ගෝල රැකීම​, පමණයි. යාෂින් මෙම ක්‍රමය උඩු යටිකුරු කරමින් සමස්ථ ආරක්ෂක වළල්ලම හැසිරවීමට පටන් ගත්තා. මෙය කෙතරම් සාර්ථක වූවාද යන්නට හොඳම සාක්ෂිය වන්නේ අද වනවිට ගෝල රකින්නන් සිරිතක් ලෙස ඔහුගේ ක්‍රමය අනුගමනය කිරීමත්, ගෝල රකින්නන් කණ්ඩායම්වල නායකත්වයට පත් වීම දුලබ නොවීමත් දකින විටයි.

2016 නිකුත් වූ රුසියානු සමරු මුද්දරයක යාෂින් (Public Domain)

ලෙව් යාෂින් හඳුන්වා දුන් ක්‍රමවේදයන් ගෝල රකින්නන් සඳහා ඉමහත් ප්‍රයෝජනයක් වුණා. ඒ පිළිබඳ හොඳම අදහස ඉදිරිපත් කළේ 20 වන සියවසේ ඊළඟ හොඳම ගෝල රකින්නා ලෙස සැළකෙන එංගලන්තයේ ගෝර්ඩන් බෑන්ක්ස්. ඔහු කියා සිටියේ යාෂින් මෙන් ගෝල රැකීම තමාගේ සිහිනයක් වූ බවත් ඔහුගෙන් තමා බොහෝ දේ උගත් බවත්.

සෝවියට් දේශයට මහත් සේ ආදරය කළ යාෂින් වරක් ප්‍රකාශ කළේ, “යූරි ගගාරින් අභ්‍යාවකාශ ගතවීම දකිද්දී දැනෙන සතුට අභිබවා යා හැක්කේ හොඳ දඬුවම් පහරක් වැළැක්වීමෙන් පමණයි” යනුවෙන්.

යාෂින්ට ආදරය කරන්නන්ට 2017 වසර ඉතා වැදගත් වනවා. ඒ ඔහුගේ ජීවන චරිතය අළලා “මගේ සිහින ගෝල රකින්නා” නම් රුසියානු චිත්‍රපටයක් එළි දැක්වීමට සූදානම් කෙරෙන බැවින්. එය සිදු වනු ඇත්තේ ඩිනාමෝ මොස්කව් ක්‍රීඩා සමාජයේ නව ක්‍රීඩාංගණය විවෘත කිරීමට සමගාමීවයි. එම ක්‍රීඩාංගණය ද නම් කර ඇත්තේ යාෂින් සිහි වීම පිණිසයි.

මූලාශ්‍ර​: The path of the ‘Panther’, BBC, April 9, 2002, Lev Yashin, Fifa.com

කවරයේ ඡායාරූපය​: ලෙව් යාෂින් (footyfair.com)

Related Articles