Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ධනවාදයට වැටෙන්නට පහර දුන් බොක්සිං ක්‍රීඩකයා

අපි කවුරුත් දන්නා පරිදි ක්‍රීඩා භූමියේදී තම ප්‍රතිවාදියාට නැගිට ගැනීමට නොහැකි වන සේ  ඇද වැටෙන්නට පහර දීම බොක්සිං ක්‍රීඩාවේ ජයග්‍රහණයේ එක් ක්‍රමයක්. ක්‍රීඩා පිටියේදී හමුවන ප්‍රතිවාදීන්ට පමණක් නොව තම රටේ ජනතාව වෙනුවෙන් ඔවුන්ගේ බලාපොරොත්තු උදෙසා මුදල් දිගු කර තමා වෙන්දේසියකට යටත් කරගැනීමට උත්සහා දැරූ ලෝක බලවතෙකුට දැනෙන්නට පහරක් දුන් අපූරු ක්‍රීඩකයෙක් පිළිබඳවයි අද අපි කතා කරන්නට සැරසෙන්නේ.

පසුගිය ලිපියක් තුළින් මිනිසුන් වෙනුවෙන් ක්‍රීඩා කළ මොහොමඩ් අලි නම් සුවිශේෂී චරිතයක් අපි ඔබට හදුන්වා දුන්නා. එම ක්‍රීඩකයා සේම මුදලට ගිජු නොවී තම දේශයේ වැසියන්ගේ අරමුණු වෙනුවෙන් කැප වූ මෙම වීරයා වෙන කිසිවෙකුත් නොව ඔලිම්පික් පදක්කම් ත්‍රිත්වයකට හිමිකම් කියන ටියෝෆීලෝ ස්ටීවන්සන්ය.

“ස්ටීවන්සන් තරම් බොක්සිං ක්‍රීඩාවේ දීප්තිමත් ක්‍රීඩකයෙකු මා දැක නෑ. අප රටේ ප්‍රතිපත්තිමය තීරණ නොවන්නට ඔහුට තව ඔලිම්පික් පදක්කම් ද්විත්වයක් හිමි  කර ගන්නට හැකියාව තිබුණා. කෙසේ වෙතත් ස්ටිවන්සන්ට අල්ලස් දීමට මුළු ලෝකයේම මුදල් ප්‍රමාණවත් නොවන්නට පවා ඉඩ තිබුණා. ” – පිදෙල් කැස්ත්‍රෝ

බොක්සිං දිවියට අත්පොත් තබමින්

තරුණ ටියෝෆීලෝ ( Alchetron.com)

තරුණ ටියෝෆීලෝ ( Alchetron.com)

1952 මාර්තු 25 වන දින කියුබාවේ කැමගුන් පළාතේ උපත ලද මේ හුරුබුහුටි දරුවා කුඩා කළ පටන්ම බොක්සිං ක්‍රීඩාවට මහත් ලැදියාවක් මෙන්ම දක්ෂතාවයක් දැක්වුයේ ඔහුගේ පියාද දක්ෂ බොක්සිං ක්‍රීඩකයෙක් වූ බැවිනි. පියාගේ අඩි පාරේ ගමන් කරමින් කියුබානු ජාතික ලයිට් හෙවිවේට් ශූරයෙකු වූ ජෝන් හෙරේරා යටතේ ක්‍රීඩාව ප්‍රගුණ කරන්නට විය. 1960 දශකය පුරා පැවති සියළුම කණිෂ්ට තරඟ ජයග්‍රහණය හරහා හවානා නුවර නව කියුබානු සමාජවාදී ආණ්ඩුවේ ක්‍රීඩා කණ්ඩායමට ඇතුළු වීමට හැකියාව මොහුට ලැබෙනවා.

ඒ අනුව ඔහුට එවකට කියුබාව හා සමාජවාදී රුසියානු සමූහාන්ඩුවේ පැවති මිත්‍රත්වය මත ප්‍රමුඛ පෙළේ සෝවියට් බොක්සිං පුහුණුකරුවෙක් වන අන්ද්‍රේයි චර්චෝනෙන්කෝ යටතේ පුහුණු වීමේ භාග්‍යද උදා වෙනවා.  

පරාජයෙන් නොසැළි ජයග්‍රහණය කරා

මධ්‍යම ඇමරිකානු ශූරතාවලියේදී (alchetron.com)

මධ්‍යම ඇමරිකානු ශූරතාවලියේදී (alchetron.com)

ටියෝෆීලෝගේ ක්‍රීඩා දිවිය තුළ සාර්ථකත්වය ඇරඹෙන්නේ ඔහු 17 වන වියේ පසු වන විට ගාබ්‍රියෙල් ගාර්ෂියා නම් දක්ෂ බොක්සිං ක්‍රීඩකයා හමුවේ පරාජයට පත්වෙමින්ය. නමුත් අනතුරුව පැවති තරඟ වලදී දක්ෂ කියුබානු බොක්සිං ක්‍රීඩකයන් කිහිප දෙනෙකු පරාජය කිරීම හේතුවෙන් ජාතික කණ්ඩායමට ඇතුලත් වීමේ හැකියාව ඔහුට ලැබෙනවා.

1970 වර්ෂයේ  මධ්‍යම ඇමරිකානු ශූරතා තරඟාවලියේදී ජයග්‍රහණ තුනක් හිමිකරගත්තත් අවසන් තරඟයේදී මොහු පරාජයට පත්වෙනවා. පරාජයන් තුළින් නොසැලෙන ටියෝෆීලෝ කියුබානු පුහුණුකරු ඇල්සිඩේස් සාගාරාගේ මඟ පෙන්වීම යටතේ 1971 වර්ෂයේ ජර්මනියේදීම නැගෙනහිර ජර්මානු බොක්සිං ශූර බර්න්ඩ් ඇන්ඩර් පරාජය කරමින් මෙතෙක් පරාජය වෙමින් ජයග්‍රහණ ලබමින් අස්ථාවරව පැවති තම ක්‍රීඩා දිවිය ස්ථාවර කරගනු ලබනවා.

මියුනිච් ඔලිම්පික් තරඟයේදී ප්‍රතිවාදින් බියෙන් සලිත වෙයි  

මියුනිච් ඔලිම්පික් තරඟයේදී ඩුනේ බෝබික්ට වැටෙන්නට පහර දෙමින් (Getty Images)

මියුනිච් ඔලිම්පික් තරඟයේදී ඩුනේ බෝබික්ට වැටෙන්නට පහර දෙමින් (Getty Images)

1972 මියුනිච් ඔලිම්පික් තරඟාවලියේදී පළමු වටයේදීම තම ප්‍රහාරාත්මක ශෛලියට අනුගත වන ටියෝෆීලෝ ප්‍රතිවාදී පෝලන්ත ක්‍රීඩකයාට නැගිටන්නට බැරි වනසේ ඇද වැටෙන්නට පහර එල්ල කරනු ලබනවා. 1971දී තමන්ව පරාජයට පත් කල ඇමරිකානු එක්සත් ජනපද ක්‍රීඩක ඩුනේ බෝබික්ට අර්ධ අවසන් පූර්ව තරඟයේදී තුන් වරක් බොක්සිං වළල්ලෙන් පිටතට විසි වන සේ දැඩි ප්‍රහාර එල්ල කරන්නේ බොක්සිං පිටියේ ජයග්‍රාහකයා තමන් බව ඇමරිකානුවන්ට එළිපිටම ඒත්තු ගන්වමින්.

මියුනිච් ඔලිම්පික් අවසන් පුර්ව තරඟයෙන් පීටර් හුසින් නම් ජර්මානු ක්‍රීඩකයාවද  ටියෝෆීලෝ පහසුවෙන්  පරාජය කරනු ලබනවා. අවසන් තරඟයට සුදුසුකම් ලැබූ මෙම කියුබානුවාත් සමඟ තරඟයට ඒමට තුවාල ලබා සිටි රුමේනියානු ක්‍රීඩක ඉයන් ඇලෙක්සි නොපැමිණි බැවින් මංගල ඔලිම්පික් රන් පදක්කම නිතැතින්ම හිමි කරගනු ලබනවා.

පිට පිට ඔලිම්පික් පදක්කම් ත්‍රිත්වයක්

මොස්කව් ඔලිම්පික් තරඟයේදී (Alamy)

මොස්කව් ඔලිම්පික් තරඟයේදී (Alamy)

මියුනිච් ඔලිම්පික් රන් පදක්කම දිනා ගැනීමෙන්  පසුව 1976 කැනඩාවේ මොන්ට්‍රියල් හි පැවති වසන්ත ඔලිම්පික් තරඟාවලියේදීද කිසිදු තරඟයක් පරාජයට පත් නොවෙමින් රන් පදක්කම කරා ගමන් කරනු ලබනවා. ඇමරිකා එක්සත් ජනපද ක්‍රීඩකයාට මෙවරද දෙවරක් බොක්සිං වළල්ලෙන් ඉවතට විසි වනසේ එල්ල කරන ලද දැඩි ප්‍රහාර මුළු ලොවේම අවධානය දිනා ගැනීමට සමත් වෙනවා.

දෙවන ඔලිම්පික් රන් පදක්කම දිනා ගැනීමත් සමඟම බොක්සිං ක්‍රීඩා ලෝලි සෑමදෙනාගේම ආදරයට ලක් වූ ටියෝෆීලෝ 1976 වර්ෂයේ කියුබාවේ ජාතික වීරයෙක් ලෙස පිදෙල් කැස්ත්‍රෝ විසින් නම් කරනු ලබනවා. 1980 රුසියාවේ මොස්කව් නුවර පැවති ඔලිම්පික් තරඟය මොහුගේ දිවියේ සුවිශේෂී අවස්ථාවක් බවට පත් වන්නේ පිට පිට ඔලිම්පික් තරඟ තුනකදී රන් පදක්කම් තුනක් ලැබූ ලොව දෙවන බොක්සිං ක්‍රීඩකයා බවට පත් වීමට හැකියාව ලැබුණු නිසාවෙනි.

ඇමරිකානු රජයට පාඩමක් ඉගැන්වූ සමාජවාදියෙක් ලෙස

ලොවේම අවධානය දිනාගත් ටියෝෆීලෝව මාධ්‍යවේදීන් විසින් වටකරගනිමින් (Wikimedia Commons)

ලොවේම අවධානය දිනාගත් ටියෝෆීලෝව මාධ්‍යවේදීන් විසින් වටකරගනිමින් (Wikimedia Commons)

1977 වර්ෂයේදී ඇමරිකානු රජය විසින් ඔලිම්පික් ශූර ටියෝෆීලෝව ඇමරිකානු ලෝක හෙවිවේට් ශූර මොහොමඩ් අලි සමඟින් තරඟ වැදීම සඳහා වෘත්තිමය ක්‍රීඩා ගිවිසුමකට පොළඹවා ගැනිමේ අසාර්ථක උත්සාහයක නිරත වෙනවා. මේ ගිවිසුම සඳහා ඔවුන් ඇමරිකානු ඩොලර් මිලියන පහක් ගෙවීමට සුදානමින් සිටියා. මේ වකවානුව වන විට ඇමරිකානු රජය කියුබානු රජයට එරෙහිව සම්බාදක පනවමින් නොයෙකුත් හිරිහැර සිදු කළ කාලයක්. මෙම ගිවිසුම තඹයකට මායිම් නොකරන මේ වීරයා තමන් හුදෙක් ක්‍රීඩා කරනු ලබන්නේ විනෝදයට හා රට වෙනුවෙන් පමණක් බව ප්‍රකාශ කරනවා. ඔහු මේ අවස්ථාවේදී ඉතා සංවේදී ප්‍රකාශයක් කරනු ලබනවා.

“ඇමරිකානුවන් මට දෙන්න හදන මේ විශාල මුදලට මිලියන අටක් වූ කියුබානු ජනතාවගේ ආදරය හමුවේ කිසිදු වටිනාකමක් ලැබෙන්නේ නෑ. ඔවුන්ගේ අල්ලස ජනතාවගේ ආදරය හමුවේ පරාජය වෙනවා.”

“ඇමරිකානුවන් මට දෙන්න හදන මේ විශාල මුදලට මිලියන අටක් වූ කියුබානු ජනතාවගේ ආදරය හමුවේ කිසිදු වටිනාකමක් ලැබෙන්නේ නෑ. ඔවුන්ගේ අල්ලස ජනතාවගේ ආදරය හමුවේ පරාජය වෙනවා.”  ඒ ඔහුගේ රටට තිබු ආදරය විදහා දැක්වෙන ප්‍රකාශයයි.

තවත් ඔලිම්පික් රන් පදක්කම් දෙකක් අහිමිවීම

කියුබානු නායක පිදෙල් කැස්ත්‍රෝ සමඟ (BoxingScribe)

කියුබානු නායක පිදෙල් කැස්ත්‍රෝ සමඟ (BoxingScribe)

ක්‍රීඩා ඉතිහාසයේ පුද්ගලික ලෙස අසාධාරණයට ලක් වූ ක්‍රීඩකයෙක් ලෙස ටියෝෆීලෝව හදුන්වන්න පුළුවන්. ඒ 1984 ලොස් ඇන්ජලිස් ඔලිම්පික් තරඟය සෝවියට් දේශය ප්‍රමුඛ සමාජවාදී රටවල් වර්ජනය කිරීම හේතුවෙන් කියුබාවද ඔලිම්පික් තරඟය වර්ජනය කිරීමත් සමග තම සිව් වන ඔලිම්පික් පදක්කම ටියෝෆීලෝට අහිමි වීමෙනි.

නමුත් තමන් තවමත් ලෝක ශූරයා බවට ඔප්පු කරමින් 1986 ලෝක බොක්සිං  ශූරතාවලියෙදී එක්සත් ජනපද ක්‍රීඩක ඇලෙක්ස් ගාසියා පරාජය කරමින් රන් පදක්කම ලබා ගන්නවා. 1988 ඔලිම්පික් ක්‍රීඩා උළෙලද කියුබාව වර්ජනය කිරීම හේතුවෙන් ඔහුගේ පස්වන ඔලිම්පික් පදක්කම දින ගැනීමේ අවස්ථාවත් අහිමි වෙනවා. යම් හෙයකින් මෙම ඔලිම්පික් තරඟ දෙකම ටියෝෆීලෝ නියෝජනය කලානම් ඔලිම්පික් පදක්කම් පහක් දිනු ප්‍රථම බොක්සිං ක්‍රීඩකයා ලෙස අනිවාර්යෙන්ම ඔහු ඉතිහාසගත වන්නට තිබුණි. අනතුරුව බොක්සිං ක්‍රීඩාවෙන් සමුගත් ටියෝෆීලෝ කියුබානු බොක්සිං කණ්ඩායමේ උපදේශක ලෙස තම රට හැරදා යෑමකින් තොරව තව දුරටත් තම සේවය රට වෙනුවෙන් ලබා දෙනවා. බොක්සිං ක්‍රීඩාවේ විශිෂ්ටත්වයේ සංකේතය බදු වූ ටියෝෆීලෝ ජයග්‍රහණ 302කට පරාජයන් ලබා තිබුනේ 23ක් පමණයි.

රටට අපහාස කළ ඇමරිකානුවකුගේ දත් ගලවයි

විශිෂ්ටයන් දෙදෙනෙකුගේ හමුවීම -මොහොමඩ් අලි සමඟ (boxingscribe.com)

විශිෂ්ටයන් දෙදෙනෙකුගේ හමුවීම -මොහොමඩ් අලි සමඟ (boxingscribe.com)

1999 කියුබානු බොක්සිං කණ්ඩායමක් සමඟ එක්සත් ජනපදයේ මියාමි ගුවන්තොටුපොළ හරහා සියරටට පැමිණෙමින් සිටියදී ඔහු හමුවට ආ යුනයිටඩ් එයාර්ලයින් සමාගමේ ටිකට් නිකුත් කරන්නෙකු කියුබානු රජයට එරෙහිව අපහාසාත්මක ස්වරයෙන් කෑ ගසන්නට විය. ක්‍රීඩා ජිවිතයෙන් සමුගෙන තිබුනත් රටට ඇති ආදරය හමුවේ සුරත වහා ක්‍රියාත්මක විය. ඒ ක්ෂනිකයෙන්ම දත් කිහිපයක් අහිමි වූ ටිකට් නිකුත් කරන්නා බිම පතිත වී සිටියේ නාසයෙන් ලේ ගලමිනි. මේ ක්‍රියාව හේතුවෙන් ඔහු ඇමරිකානු පොලිසියේ අත් අඩංගුවට පත් වෙනවා.

කියුබාව සසළ කරවූ විශිෂ්ටයකුගේ වෙන්ව යාම

අවසන් මොහොතේ කියුබානු ජනතාවගේ ආචාරය (Getty Images)

අවසන් මොහොතේ කියුබානු ජනතාවගේ ආචාරය (Getty Images)

2012 වර්ෂයේ ජුනි 11 දින හවානාහිදී මෙලොවින් සමුගත් මේ විශිෂ්ටයා ක්‍රීඩාවේ සිට දේශපාලය දක්වා විකිනෙන, තම රට දෙවන කොට සලකා මුදල් පසුපස හඹා යන වත්මන් ක්‍රීඩකයන්ට මහත් වූ ආදර්ශයක් වෙනවා. මොහුගේ නික්ම යාම එවකට කියුබානු නායක පිදෙල් කැස්ත්‍රෝ සටහන් කර තිබුනේ මේ ආකාරයෙන්.

“ස්ටීවන්සන් තරම් බොක්සිං ක්‍රීඩාවේ දීප්තිමත් ක්‍රීඩකයෙකු මා දැක නෑ. අප රටේ ප්‍රතිපත්තිමය තීරණ නොවන්නට ඔහුට තව ඔලිම්පික් පදක්කම් ද්විත්වයක් හිමි  කර ගන්නට හැකියාව තිබුණා. කෙසේ වෙතත් ස්ටිවන්සන්ට අල්ලස් දීමට මුළු ලෝකයේම මුදල් ප්‍රමාණවත් නොවන්නට පවා ඉඩ තිබුණා. ”

Related Articles