Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ජපාන සිනමාවේ සදාතනික ලකුණ – අකිරා කුරසොවා

වසර සියයකටත් වඩා පැරණි ඉතිහාසයට උරුමකම් කියන ජපාන සිනමාව විශිෂ්ට අධ්‍යක්ෂකවරුන් හා රංගධරයන් කිහිප දෙනෙක්ම ලෝකයට දායාද කර තිබෙනවා. ඒ අතරින් ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂක අකිරා කුරසොවා මුල් තැනක් ගන්නවා. වසර 88 ක දිගු ජීවිත කාලය තුළ දශක 6 කටත් අධික කාලයක් ඔහු කැප කළේ සිනමාවටයි. මේ ලිපිය වෙන් වන්නේ ඔහු වෙනුවෙනුයි.

කුඩා කාලය

අකිරා කුරසොවා ජපානයේ ටෝකියෝ නුවරදී 1910 වසරේ මාර්තු මස 23 වනදා උප්පත්තිය ලැබුවේ ඉතා වැදගත් සමුරායි පවුලක දරුවෙකු ලෙසයි. සාම්ප්‍රදායික චින්තනයක් තිබූ ජපාන වංශවතුන් කුඩාකල සිටම සිය දරුවන් ජපාන සංස්කෘතියට අනුව හැඩගැස්සවීමට උත්සාහ කළා. කෙසේ නමුත් අකිරාගේ පියා නිතරම පාහේ සිය කුඩා දරුවන් ජපාන සංස්කෘතිය මෙන්ම බටහිර ඇවතුම් පැවතුම්ද හොඳින් ප්‍රගුණ කළ යුතු බව විශ්වාස කළ අතර අවස්ථා ලද සෑම විටම ඔවුන් ඉංග්‍රීසි චිත්‍රපට නැරඹීම සඳහා රැගෙන ගියා.

තුරුණු වියේදී-fadeinonline.com

සිනමාවට පිවිසීම

ඉංග්‍රීසි චිත්‍රපට නැරඹීමෙන් චලන චිත්‍ර කෙරෙහි පෙමින් බැන්දත් කුරසොවා සිය දිවියේ මුලින්ම කැපී පෙනුණේ  චිත්‍ර ශිල්පියෙකු ලෙසයි. සිය මූලික අධ්‍යාපනය නිමා කළ පසු ද්විතීයික අධ්‍යාපනය ලැබීමට චිත්‍ර ශිල්පය තෝරා ගන්නා ඔහුගේ ගමන් මඟෙහි ප්‍රධාන සංධිස්ථානයක් වන්නේ 1936 වසරේදී රසායනාගාරයක රැකියාවක් බලාපොරොත්තුවෙන් ඔහු විසින් සකසන ලද ජීව දත්ත සටහනක් එවකට ජපාන සිනමාවේ ප්‍රවීණ අධ්‍යක්ෂකවරයෙකු වූ කජිරො යමමොටො ගේ අතට පත් වීමත් සමඟයි. මෙම තරුණයාගේ නිසඟ හැකියාව හා චිත්‍ර ශිල්පියෙකුට වැසුණු සිනමාකරුවකුගේ ප්‍රතිභාව වටහා ගන්නා යමමොටො කුරසෝවා තමන් යටතේ සේවයෙහි පිහිටුවා ගන්නේ සහය අධ්‍යක්ෂකවරයෙකු ලෙසයි.

කුරසොවා (වමේ) යමමොටො සමඟ-strangewood.tumblr.com

ඉන්පසු ගෙවුණු සත් වසර කුරසොවා සිනමා අධ්‍යක්ෂකවරයෙකු ලෙස මූලික පරිචය ලබාගත් කාල සීමාව වන අතර යමමොටො ගේ මෙන්ම තවත් අධ්‍යක්ෂකවරයින් කිහිප දෙනෙක් යටතේ සිනමා නිර්මාණය රාශියකම සහය අධ්‍යක්ෂකවරයෙකු ලෙස කටයුතු කිරීමේ භාග්‍යය ඔහුට උදා වෙනවා. මේ කාලය තුළ ඔහු විසින් සම්මාදම් වූ සිනමා නිර්මාණ ගණන 24 ක් වූ අතර සිනමා නිර්මාණය සඳහා සාර්ථක පිටපතක් නිර්මාණය කරගන්නා ආකාරයේ සිට අවසන් සංස්කරණ කටයුතු දක්වා ප්‍රායෝගික පුහුණුව ලැබීමට ඔහුට හැකි වෙනවා.

දෙවන ලෝක යුද සමය

දෙවන ලෝක යුද සමයේදී යුද බිමට යාම කුරසොවා අතින් දෛවෝපගතව ගිලිහුණේ ඔහු ඒ සඳහා සුදුසු ශාරීරික යෝග්‍යතාවයක නොමැති බව ඔප්පු වීම නිසායි. මේ නිසා ඔහුට ටෝකියෝහි නැවතී සිට සිනමාකරණය පිළිබඳ කටයුතු කරගෙන යාමට ඉඩ ලැබුණා. කරදර බාධක මධ්‍යයේ ඔහුට සිය ප්‍රථම චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමට වරම් ලැබෙන්නේ මේ කාලයේදී යි. ‘සන්ෂිරො සුගතා‘ නමින් 1943 වසරේදී එළිදැක්වුණු එය ක්‍රියාදාම චිත්‍රපටයක් වුණා. මේ චිත්‍රපටය කුරසොවාගේ සිනමාකරණය හා තිර රචනය පිලිබඳ දක්ෂතා මොනවට ප්‍රකට කළ අතර වැඩි කල් නොගොස්ම ඔහු ඉචිබන් උත්සුකුෂිකු (1944) නම් සිනමාපටයක්ද නිපදවනවා. එහි කතා තේමාව ලෙස දෙවන ලෝක යුද්ධය යොදාගෙන තිබුණා. මෙහි ප්‍රධාන චරිතය රඟපෑ යොකො යගුචි සමඟ ඔහු යුග දිවියට එළැඹෙන්නේත් මේ කාලයේ මයි.

සන්ෂිරො සුගතා (1943) -janusfilms.com

ජපානය දෙවන ලෝක යුද්ධයෙන් පරාජය ලැබූ අතර කෙටි කාලීනව ඇමෙරිකානු හමුදා වලට යටත්ව තිබුණා. මේ කාලයේදී කුරසොවාගේ සිනමාකරණයට බාධා එල්ල වූ අතර ඉකමණින්ම නැවතත් සිනමා කැමරාවට අත ගැසූ ඔහු 1946 වසරේදී ‘No regrets for our youth’ නම් සිනමා නිර්මාණයක් කරන්නේ දෙවන ලෝක යුද්ධයට පෙර ජපානයේ සමහර යුදමය උපක්‍රම විවේචනයට ලක් කරමින්. ඉන් පසුව ඔහු විසින් තනන ලද ‘Drunken Angel (1948)’ නම් නිර්මාණයේ පශ්චාත් යුද ටෝකියෝවේ ඇවතුම් පැවතුම් සාකච්ඡාවට බඳුන් කර තිබුණා. මේ නිර්මාණය අකිරා කුරසොවා සිනමාකරුවෙක් ලෙස පරිණත භාවයට පත් කරලීමට සමත් වුණා.

ජාත්‍යන්තර පිළිගැනීම

කුරසොවා විසින් 1950 වසරේදී නිෂ්පාදනය කරන ලද ‘රෂොමාන්’ ජාත්‍යන්තර වශයෙන් ප්‍රේක්ෂක හා විචාරක ප්‍රසාදයට බඳුන් වුණා. මෙහිදී ඔහු විසින් යොදා ගන්නා ලද කතා ශෛලිය හා කැමරා කෝණ විශේෂිත වුණා. ‘රෂොමාන්’ පිළිබඳව ජපාන ජනතාවගෙන් හොඳ හා නරක ප්‍රතිචාර දෙකම ලැබුණත් වැනිස් සිනමා උළෙලේ ඉහළම ස්ථානය හා ඇකඩමි සම්මාන උළෙලේ (ඔස්කාර්) හොඳම විදේශීය චිත්‍රපටයට හිමි සම්මානය ලබා ගැනීමට  හැකි වෙනවා.

රෂොමාන්-(1950)-mubi.com

රෂොමාන් චිත්‍රපටයෙන් පසු කුරසොවා සාර්ථක චිත්‍රපට රාශියක් අධ්‍යක්ෂණය කරනවා. ක්‍රි.ව 1952 දී නිපැ‍යුණු ‘ඉකිරු‘  නම් චිත්‍රපටයත් 1954 වසරේදී නිපැයුණු Seven Samurai හා විලියම් ශේක්ස්පියර්ගේ ‘මැක්බත්’ අනුසාරයෙන් 1957 දී නිපැයුණු Throne of Blood කුරසොවාගේ විශිෂ්ටතම සිනමා කෘති ගොන්නෙහි ලා සැලකෙනවා.

Seven Samurai (1954) -Associated Press

අකිරා කුරසොවා නවීන තාක්ෂණයත් යුහුසුළුව සිය සිනමා නිර්මාණ වලට එක් කොට ගත් අයෙක්. ක්‍රි.ව 1958 දී තිරගත වූ  Hidden Fortress නම් චිත්‍රපටය ජපානයේ පළමු පුළුල් තිර චිත්‍රපටය ලෙස සැලකෙනවා. මොහුගේ මෙම සිනමා නිර්මාණ සමහරක් අනුසාරයෙන් පසුකාලීනව හොලිවුඩ් චිත්‍රපට පවා නිපදවුණා.

පසුබැස්ම

කලාකරුවෙකු වශයෙන් වැඩි නිදහසක් ලබා ගැනීම උදෙසා කුරසොවා 1960 වසරේදී තමන්ගේම සිනමා නිෂ්පාදන ආයතනයක් පිහිටුවා ගන්නවා. මේ මඟින් ඔහු මුලින්ම නිෂ්පාදනය කළ යොජිම්බෝ (1961) චිත්‍රපටය සාර්ථක වූ අතර එය පාදක කරගෙන හොලිවුඩ් චිත්‍රපටයක් වන A fist full of dollars (1964) තැනුණා.

යොජිම්බෝ (1961)-www.janusfilms.com

කෙසේ නමුත් ජපානය තුළ රූපවාහිනිය ප්‍රචලිත වීමත් සමඟ සිනමා කර්මාන්තයට නම් උදා වූයේ හොඳ කල දසාවක් නොවේ. මේ නිසා ඔහු හොලිවුඩ් පුරවරය බලා පිටත් වූ අතර එහිදී ඔහු අතින් නිපැයුණු චිත්‍රපට කිසිවක් ඉපැයීම අතින් සාර්ථක නොවූ අතර මින් මානසිකව හා ආර්ථිකව කඩා වැටුණු කුරසොවා 1971 වසරේදී සිය දිවි නසා ගැනීමට පවා උත්සාහ කරනවා. කෙසේ නමුත් සිය මානසික මට්ටම නැවත ප්‍රකෘති තත්වයට ගෙන ඒමට ඔහු සමත් වන අතර නැවත සිනමා අධ්‍යක්ෂණය සිදු නොකිරීමට ඔහු ඉටා ගන්නවා.

නැවත ආගමනය

ලෝක සිනමාව තුළ අකිරා කුරසොවාගේ සාර්ථකත්වය වියැකී යමින් තිබූ මොහොතක ඔහුට Dersu Uzala (1975) නම් රුසියානු නිර්මාණයක වැඩ කටයුතු පැවරෙනවා. මෙය අන්තර්ජාතික වශයෙන් පිළිගැනීමට ලක් වන අතර නැවතත් අධ්‍යක්ෂකවරයෙකු වශයෙන් ඔහුගේ අළු ගසා නැඟී සිටීම සනිටුහන් වෙනවා. කෙසේ නමුත් මෙහි රූපගත කිරීම් සයිබීරියාවේ කටුක ශීතල මධ්‍යයේ සිදු වූ බැවින් ඔහුගේ සෞඛ්‍යයට නම් යම් බලපෑමක් සිදු වෙනවා.

Kagemusha (1980) –YouTube.com

අසූව දශකයේ ආරම්භයත් සමඟ කුරසොවාගේ දොම්නස් අවසන් කරමින් Twentieth century Fox සමාගම ඔහුගේ Kagemusha (1980) නම් සිනමා නිර්මාණය නිෂ්පාදනය කිරීමට ඉදිරිපත් වෙනවා. මෙය කෙතරම්  සාර්ථක වීද යත් ප්‍රංශයේ කාන්ස් සිනමා උළෙල ජය ගැනීමට එය සමත් වන අතර ඇකඩමි සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය ලෙස පිදුම් ලබනවා. මේත් සමඟම ඔහු Ran (1985) නම් චිත්‍රපටයක්ද අධ්‍යක්ෂණය කරන අතර එයද සාර්ථක වෙනවා.

පුරාවෘතයක අවසන් සමය

ක්‍රි.ව 1990 දී 80 වැනි වියට පා තැබූ කුරසොවා ඩ්‍රීම්ස් (1990) නම් සිනමා නිර්මාණයක් සිදු කරන අතර එයත් සාර්ථක වෙනවා. මීට අමතරව ඔහු විසින් නිපදවන්නට යෙදුණු Rhapsody in August  (1990) හා Madadayo (1993) චිත්‍රපටත් සාර්ථක වෙනවා. මේ කාලයේදීම ඔහු විශේෂ ගෞරව ඔස්කාර් සම්මානයකින් ද පිදුම් ලබනවා.

තම දිවියේ 85 වැනි සැතපුම් කණුව පසු කරමින් සිටි 1995 වසරේදී හදිසි ඇද වැටීමකින් ඔහුගේ පිට කොන්දට හානි සිද්ධ වෙනවා. මේ නිසා ඔහුට සිය දිවියේ අවසාන භාගය රෝද පුටුවක ගත කිරීමට සිදු වන අතර ක්‍රි.ව 1998 සැප්තැම්බර් මස 6 වනදා සදහටම නෙතු පියා ගන්නේ සිනමා ලෝකය දොම්නස් සයුරේ ගිල්වමින්.

sensesofcinema.com

අකිරා කුරසොවා මෙලොවින් සමුගෙන වසර 20 ක් ගත වුවත් ඔහුගේ ආභාසය අදටත් ලෝක සිනමාවේ දක්නට පිළිවන්. සිනමා මාධ්‍යයේ ප්‍රගමනයට ඉතා දැඩි ලෙස උර දුන් පුරෝගාමියෙකු ලෙස අකිරා කුරසොවා නාමය අදටත් ඉහළින්ම සඳහන් වෙනවා.

කවරයේ පින්තූරය- thecinemaarchives.com

Related Articles