Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ටැන්සානියාවේ බුල්ඩෝසරය – ජෝන් මැගෆුලි

කජු අර්බුදයක් සම්බන්ධ ව පසුගිය දිනෙක ලෝක ප්‍රසිද්ධ වූ රාජ්‍ය නායකයෙක් තමයි ටැන්සානියා ජනාධිපතිවරයා. ඔහු නමින් ජෝන් මැගෆුලි. එරට ප්‍රධාන අපනයන බෝගයක් ලෙස කජු නම් කළ හැකි යි. කජු වගාකරුවන් තම අස්වැන්න ව්‍යාපාරිකයන්ට විකිණීම ප්‍රතික්ෂේප කරනවා. ඒ අඩු මුදලට ඔවුන් කජු මිල දී ගන්නේයැ යි චෝදනා කරමින්. එබැවින් එරට කජු අපනයනය සීඝ්‍ර ලෙස පහළ බහිනවා. ඊට පිළිතුරක් ලෙස ජනාධිපතිවරයා හමුදාව යොදා කජු මිල දී ගැනීම සිදුකරනවා.

ටැන්සානියාවේ බලයට පත් වූ වහා ම ජෝන් මැගෆුලි එරටට ඉතා සාධනීය ප්‍රතිසංස්කරණ හා ජනහිතකාමී පිළිවෙත් ආරම්භ කරනවා. නමුත් වර්තමානය වන විට දුප්පත්කමේ ගිලී සිටින ටැන්සානියාව තව දුරටත් දුප්පත්කමේ පතුලට ගිල්වීමට ඔහුගේ ප්‍රතිපත්ති සමත් වෙලා තියෙනවා.

මානව දර්ශකය සැලකීමේ දී රටවල් 187ක් අතරින් 159 වන ස්ථානය ලබාගෙන සිටින මේ රටේ බොහෝ දෙනෙකුගේ දිනක ඒක පුද්ගල ආදායම ඩොලර් දෙකටත් වඩා අඩු යි. එය නොසලකා හරින ජනාධිපතිවරයා චීනයෙන් ණය ගෙන අධිවේගී මාර්ග වැනි විශාල ව්‍යාපෘති ආරම්භ කරමින් සිටිනවා.

ටැන්සානියානු දේශපාලනයේ උගතා

ජෝන් (Al Jazeera)

2015 වසරේ නොවැම්බර් මාසයේ පස්වන දා ටැන්සානියාවේ ජනාධිපති ධූරයට පත්වෙන ජෝන් එරට දේශපානය තුළ සිටින උගතෙක් ලෙස නම් කරන්න පුළුවන්. 1981 වසරේ දී ඔහු විද්‍යාවේදී ඩිප්ලෝමාවක් හිමි කරගන්නවා. ඒ ගණිතය හා රසායන විද්‍යාව සම්බන්ධයෙන්.

ඉන් අනතුරුව 1988 දී ටැන්සානියානු රජයේ විශ්ව විද්‍යාලයක් වන Dar es Salaam වෙත ඇතුළු වෙන ජෝන්, විද්‍යාවේදී උපාදියක් ලබා ගන්නවා. එය ද ගණිතය හා රසායන විද්‍යාව සම්බන්ධයෙන්. 1994 වසරේ දී එම විශ්වවිද්‍යාලයෙන් ම රසායන විද්‍යාව සම්බන්ධයෙන් විද්‍යාපති උපාධිය ලබා ගන්නා ඔහු, එතනින් නොනැවතී 2009 වසරේ දී රසායන විද්‍යාව සම්බන්ධයෙන් ආචාර්ය උපාධිය ද ලබා ගන්නවා. පසු ව උසස් පාසල් කිහිපයක ආචාර්යවරයෙක් ලෙසත් සාමාගම් කිහිපයක ම රසායන පර්යේෂකයෙක් ලෙසත් සේවය කරනවා.

දේශපාලනයට ආ රසායන විද්‍යාඥයා

මහන්සි වී වැඩ කිරීම ගැන දේශපාලන වේදිකාවේ පවසන් ජෝන් (Zikoko!)

ටැන්සානියාවේ සාමාන්‍ය පවුලකින් පැවැත්වෙන ජෝන් 1995 වසරේ දී ප්‍රථමවරට පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරග කරනවා. ඒ Chama Cha Mapinduzi (ටැන්සානියා විප්ලවීය පක්ෂය) පක්ෂය හරහා යි. 1995 පාර්ලිමේන්තු මැතිවරණයෙන් ටැන්සානියාවේ චාටෝ (Chato) දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් වීමට ජෝන්ට අවස්ථාව ලැබෙනවා.

අප්‍රිකානු රටවල බොහෝ මන්ත්‍රීවරුන්ට හා ඇමතිවරුන්ට දූෂණ හා වංචා පිළිබඳ ව චෝදනා එල්ල වූවත්, ජනතාව විසින් ජෝන් ව හඳුනාගන්නේ ජනහිතකාමි දූෂණයන් තොර පිරිසිදු දේශපාලඥයෙකු ලෙස යි.

1995 වසරේ සිට 2000 වන තුරු එරට පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය ඇමතිවරයෙක් ලෙස කටයුතු කරන ජෝන්, 2000 වසරේ සිට 2006 දක්වා රජයේ ප්‍රසිද්ධ වැඩ පිළිබඳ ඇමතිවරයා ලෙස කටයුතු කරනවා. 2006 සිට 2008 දක්වා ඉඩම් හා ජනාවාස ඇමතිවරයා ලෙසත් 2008 සිට 2010 දක්වා පශු සම්පත් හා ධීවර කටයුතු ඇමතිවරයා ලෙසත් කටයුතු කරනවා. 2010 සිට 2015 දක්වා නැවතත් රජයේ ප්‍රසිද්ධ වැඩ පිළිබඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කරනවා.

මේ කාලය තුළ ඔහු පිරිසිදු දේශපාලඥයෙකු ලෙස ජනතා ප්‍රසාදයක් දිනා ගන්නවා.

ටැන්සානියානු ජනාධිපතිවරයා වීරයෙක් ලෙස

ශ්‍රමදාන වැඩසටහනක- ජෝන් (CNN.com)

2015 වසරේ ජනාධිපතිවරණයෙන් 58%ක් ඡන්ද ප්‍රතිශතයක් ලබාගන්නා ජෝන් නොවැම්බර් මාසයේ දී එරට ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙනවා. පළමු පාර්ලිමේන්තු සැසිවාරයේ උත්සවය සඳහා වෙන් කර තිබූ මුදල් එරට මහජන සෞඛ්‍ය සඳහා යොදවනවා.

ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසු ටැන්සානියාවේ පමණක් නොව මුළු අප්‍රිකා මහාද්වීපය පුරාවට ම ඉතා ජනප්‍රිය වූ ඔහු, රජයේ අනවශ්‍ය වියදම් සියල්ලක් ම කපා දමනවා. රාජ්‍ය නිලධාරීන්ගේ අනවශ්‍ය විදේශ ගමන් සීමා කරන අතර ම ජනාධිපතිවරයා වෙත වෙන් කරන අධික වියදමක් දැරිය යුතු මෝටර් රථ ඉවත් කර ඒ වෙනුවට මිල අඩු වාහන යොදවනවා.

එරට ලෝක ඒඩ්ස් දිනය සැමරීමට වෙන්කර තිබූ සියලු මුදල් ඒඩ්ස් රෝගීන් සඳහා යෙදවීමට ඔහු වරෙක කටයුතු කරනවා. ඔහුගේ මාසික වැටුප ඇමෙරිකානු ඩොලර් 15,000 සිට ඇමෙරිකානු ඩොලර් 4,000 දක්වා තමා විසින් ම අඩු කරගැනීමට කටයුතු කරනවා.

ඔහුට ප්‍රීතිඝෝෂා නඟන ජනතාව (wavuti)

2015 ජාතික දිනය සැමරීම වෙනුවෙන් වෙන්කර තිබූ මුදල්වලින් එරට කොලරා මර්දනය සඳහා ශ්‍රමදාන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන ජනාධිපතිවරයා ශ්‍රමදානය සඳහා තමන්ම සහභාගී වෙනවා.

විශාල අමාත්‍ය මණ්ඩලය සංශෝධනයකට ලක් කර, අමාත්‍යවරුන් ගණන අඩු කිරීමට ද ඔහු විසින් කටයුතු කරනවා. ඒ 30 කැබිනට් මණ්ඩලය 19 දක්වා අඩු කිරීමෙන්. දුෂණ චෝදනා ලබන ඇමතිවරුන් ඉවත් කිරීමටත් කටයුතු කරනවා.

2017 වසරේ දී අශුද්ධ ලෝපස් අපනයනය කිරීම තහනම් කරන්නේ දේශීය ලෝහ කර්මාන්තය දියුණු කිරීමේ අරමුණෙන්. එවැනි තවත් සාධනීය ක්‍රියාමාර්ග රැසක් මේ අවුරුදු කිහිපය තුළ ඔහු විසින් ගනු ලබනවා.

ඔහුට එරෙහි චෝදනා

වීදි පුරා (CNN.com)

සමලිංගික ප්‍රජාව දැඩි ලෙස මර්දනය කරන කෘරතර පාලකයෙක් ලෙස ඔහු ව මේ වන විට ලෝක ප්‍රජාව විසින් හඳුන්වා දෙනවා. අප්‍රිකානු මහද්වීපය තුළ ඒඩ්ස් රෝගයට ගොදුරු වූවන් ඉතා විශාල පිරිසක් සිටිනවා. සමලිංගික ප්‍රජාව තහනම් කිරීමට කටයුතු කරන ඔහු, ඔවුන් වෙනුවෙන් එක්සත් ජනපදයෙන් ආධාර වශයෙන් ක්‍රියාත්මක කෙරෙන වෛද්‍ය පහසුකම් අත්හිටුවීමට ද කටයුතු කරනවා.

සමලිංගික පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ජෝන්ගේ රජය, සමාජ ජාලා ඔස්සේ සමලිංගික පුද්ගලයන්ගේ ගිණුම් ෆලොව් කරන ඔවුන්ගේ මිතුරන් පවා අත්අඩංගුවට ගන්නේ ඔවුන් ද සමලිංගිකයන් බව පවසමින්. සමලිංගිකත්වයට වසර 30ක දඬුවමක් ද ගෙන එනවා.

මිස්ටර් බුල්ඩෝසර්

එරට දරුවන් සමග (Kitomari Banking & Finance Blog)

අනෙක් ප්‍රබල ම චෝදනාව වන්නේ විශාල චීන ණය ආධාර මත රටේ මාහාමාර්ග, ගොඩනැඟිලි හා යටිතල ව්‍යුහ විශාල ලෙස ඉදිකිරිම යි. මේ වන විට ණය ආධාර මත චීනය, අප්‍රිකානු මහද්වීපයේ තම බලය පතුරවා ඇති අතර, එහි ප්‍රබල මධ්‍යස්ථානය ලෙස ටැන්සානියාව ක්‍රියාත්මක වෙනවා.

බටහිර හා ලෝක බැංකුව සමාජ දර්ශක වර්ධනය හා විවිධ කොන්දේසි යොදා ගනිමින් ණය ලබා දුන්නත්, චීනය ඒ ආකාරයෙන් රටට කොන්දේසි ඉදිරිපත් නොකිරීම සතුටට කරුණක් බව යි ජනාධිපතිවරයා පවසන්නේ.

රටේ ජනගහනය අධික දරිද්‍රතාවයකින් පෙළෙන විට සාමාජ සුබ සාධනය පසෙක තබා මහාමාර්ග අධිවේගී මාර්ග ඉදිකරන බැවින්, ඔහුව මිස්ටර් බුල්ඩෝසර් ලෙසත් හඳුන්වනවා.

චීන තානාපතිනිය සමග (China Daily Africa)

කාන්තා අයිතිවාසිකම් මර්දනය කිරීමට කටයුතු කරන ඔහු, දැනටමත් එරට කාන්තා පාර්ලිමේන්තු මන්ත්‍රීනියන් හට ඇහිබැමි පාට කිරීම හා කෘත්‍රිම නියපොතු පැළඳීම තහනම් කර තිබෙනවා.

කවරයේ පින්තූරය: Daily Maverick

මූලාශ්‍රයයන්:

face2faceafrica.com

bbc.com

theguardian.com

Related Articles