Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ජනපති කෙනඩි පවුලේ සාමාජිකයන් ඝාතනය වුණේ සාපයක් නිසා ද?

අමෙරිකානු දේශපාලන ඉතිහාසයේ අදටත් ජනතාව ආදරය කරන ජනාධිපතිවරයෙක් තමයි ජෝන් එෆ්. කෙනඩි කියන්නේ. ඔහුට අමෙරිකා ජනාධිපති පුටුවේ වාඩි වී සිටීමට ඉඩ ලැබුණේ දින දහසක් පමණ යි. දේශපාලන රැලියක් සඳහා ගමන් කරන අතරතුර ඔහුට වෙඩි තබා ඝාතනය කරනවා. ඉන් පසු ඔහුගේ සොයුරාත් ඝාතනය වෙනවා.

මේ ඝාතනත් සමඟ  අමෙරිකාවේ පතළ වන්නේ අයිරිස් කතෝලික කෙනඩි පවුලේ සාමාජිකයන් අකාලයේ මිය යන්නේ සාපයක් නිසා බව යි. කෙනඩි පවුල කලක් ලොව බලවත් ම පවුල් අතරින් එකක් වුණා. නමුත් මේ සමහර ඝාතන පිටුපස සී. අයි. ඒ. සංවිධානය සිටි බවට චෝදනා එල්ල වුණා. මේ ඒ ගැන කළ සොයා බැලීමක්

ජනපති කෙනඩිගේ පියා මව සහ සොයුරු සොයුරියන් 1930 දශකයේ දී – irishcentral.com

කෙනඩි පවුලේ සාපය

කෙනඩිවරුන් ජනාධිපති ධුරය සඳහා ඉදිරිපත් වුවහොත් ඔවුන් ඝාතනය වීමේ සාපයක් ඇති බවට කතාන්දරයක්  නිර්මාණය වී තිබෙනවා. එවැන්නක් පතුරුවා හැරියේ ඝාතන කුමන්ත්‍රණකරුවන් කෙරේ ඇති වන සැකය වෙනත් මිත්‍යාවක් දෙසට යොමුකිරීමට විය හැකි යි. ජනාධිපති කෙනඩිගේ පියා ජෝ කෙනඩිට දරුවන් 9 දෙනෙක් සිටියා.

විශේෂ අවශ්‍යතා සහිත එක් දරුවෙක් නිවසේමයි කල්ගත කළේ. දරුවන් දෙදෙනෙක් ගුවන් අනතුරුවලින් මෙලොව හැර ගියා. දෙදෙනෙක් ක්‍රියාකාරී දේශපාලනඥයන් ලෙස ඝාතනයට ලක් වුණා.

මේ මරණයේ සාපය ජෝ කෙනඩිගේ මුණුබුරු මිණීබිරියන් අතර ද පැතිර ගියා‍. සාපයට ඇති බිය නිසා කෙනඩි පවුලේ ඉතිරි ව සිටි සොහොයුරා වූ එඩ්වඩ් කෙනඩි සෙනෙට් මන්ත්‍රීවරයකු ලෙස ම සිටියා විනා ජනාධිපතිවරණයකට ඉදිරිපත් වීමට නම් මියයන තෙක් ම  සිතුවේ නැහැ.  

 ජනපති කෙනඩි සිය බිරිය ජැකොලින් සමඟ -nydailynews.com

ජෝන් එෆ්. කෙනඩි

අමෙරිකා එක්සත් ජනපදයේ 35 වැනි ජනාධිපතිවරයා වූණේ ජෝන් එෆ්. කෙනඩි යි. පැවැත්වීමට නියමිත ව තිබූ 1964 අමෙරිකානු ජනාධිපතිවරණයෙන් වැඩි ජනතා ප්‍රසාදයක් හිමි කර ගෙන සිටි කෙනඩි දෙවැනි වරත් පහසු ජයක් ලැබෙන බව ජනමත සමීක්ෂණවලින් හෙළි වී තිබුණා.  උප ජනාධිපති ලින්ඩන් බී. ජොන්සන්ට එතරම් ජනතා ප්‍රසාදයක් හිමි ව තිබුණේ නැහැ. සිය දෙවැනිවර මැතිවරණ සටනට නව උපජනාධිපතිවරයකු නම් කිරීමට කෙනඩි ජනාධිපතිවරයා තීරණය කර තිබූ බවත් පැවසුණා. ඔහු 1963 සිට ම එළඹෙන ජනාධිපතිවරණ ප්‍රචාරක වැඩ ආරම්භ කර තිබුණා.

ජනාධිපති කෙනඩි ඝාතනය කෙරුණේ 1963 නොවැම්බර් 22 වැනි දා යි. ඒ ටෙක්සාස් ප්‍රාන්තයේ ඩලස් නගරයේ විවෘත මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී යි. ජනාධිපතිවරයා සිටි රථයේ ඔහුගේ බිරිය ජැකලයින් කෙනඩි ද ටෙක්සාස්  ආණ්ඩුකාරවරයා වූ ජෝන් කෙනලි සහ ඔහුගේ බිරිය ද ගමන් ගෙන තිබෙනවා.

ඉන් රථ තුනකට පසු ගමන් කර ඇත්තේ උප ජනාධිපති ලින්ඩන් බී. ජොන්සන්ගේ රථය යි. ජනාධිපතිවරයා දැක ගැනීම සඳහා අතිවිශාල ජනකායක් මඟ දෙපස අත් පොලසන් දෙමින් රැඳී සිටියා.

 කෙනඩිගේ අවමඟුල් උත්සවයේ දී බිරිය ජැකොලින් සහ කෙනඩිගේ බාල සොයුරන් – edition.cnn.com

 

ජනතා ආචාරය පිළිගනිමින් රථ පෙරහර ගමන් කළේ ඉතා සෙමින්. එය ටෙක්සාස් පාසල් පොත් ගබඩාව අසලට ළඟාවන විට ම වෙඩි උණ්ඩයක් ජනාධිපති කෙනඩිගේ හිසට වැදුණා.  ජනාධිපතිවරයා පසෙකට ඇල වී ගියා. ඔහුගෙන් පිටවූ ලේ දහරාවෙන් බිරිය ජැකලයින් කෙනඩි නෑවී ගියා. ඉන් පසු පැමිණි තවත් වෙඩි උණ්ඩයක් ආණ්ඩුකාරවරයාගේ පපු පෙදෙසට ඇතුළු වුණා.

ස්නයිපර් තුවක්කුවකින් ඈත සිට එල්ලය බලා තැබූ වෙඩි උණ්ඩ දෙක, කෙනඩි ජනපතිගේ ජීවිතය වසර 46කින් අවසන් කළා. ජනාධිපතිවරයාගේ ඝාතකයා ලෙස අත්අඩංගුවට ගත්තේ ලී හාවි ඔස්වල්ඩ් නම් කෙනෙක්.  ඔහු අත් අඩංගුවේ සිටියදී වෙඩි තබා මරා දැමුණේ ජනපති කෙනඩි ගේ මරණයෙන් දෙදිනක් ඇවෑමෙන්.

මෙම ඝාතන කුමන්ත්‍රණයට මාෆියා සංවිධාන මෙන් ම සී. අයි. ඒ.  ප්‍රධානීන්ටත්, උප ජනාධිපති ජොන්සන් වෙතත් ලෝකයේ සැකය එල්ල වුණා. ඝාතකයා මරණයට පත් කිරීම නිසා මේ සැකය තවත් වැඩි වුණා. විවිධ මතවාද ඉදිරිපත් වුණත් කෙනඩිගේ ඝාතනය අදටත් අබිරහසක් ලෙස පවතිනවා.

  රොබට් කෙනඩි ප්‍රචාරක රැලියක දී- thedelite.com

රොබට් කෙනඩි ඝාතනය

අමෙරිකානු ජනාධිපති  ජෝන් එෆ්. කෙනඩිගේ සොයුරු රොබට් කෙනඩි සෙනෙට් මන්ත්‍රීවරයෙක්. ඊට පෙර ඔහු ඇටර්නි ජනරාල්වරයා ලෙස අමෙරිකානු නීති පද්ධතියට විශාල සේවයක් කළ කෙනෙක්. ඔහු 1968 අමරිකානු ජනාධිපතිවරණයෙන් දිනන බවට තමයි මත පළ වු‍ණේ. ඩිමොක්‍රටික් පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකයා වීමේ අරමුණින් ඔහු තරග වැදී සිටි අතර ඔහුගේ ප්‍රතිවාදියා ලෙස සිටියේ එවකට උපජනාධිපති ධුරය හෙබ වූ හර්බට් හම්ප්‍රි යි.

 අමෙරිකානු ජනාධිපතිවරණයට ඩිමොක්‍රටික් පක්‍ෂ අපේක්ෂකත්වය දිනා ගැනීම සඳහා පැවැත්වුණු මූලික ඡන්ද විමසීම් මාලාවේ ‘කැලිෆෝනියා’ නිලවරණයෙන් රොබට් කෙනඩි ජය ගත් බව ප්‍රකාශයට පත් වුණා. පසුව  ඔහුගේ ආධාරකරුවන්  එම සතුට සමරමින් සිටියදී තමයි  වෙඩි තැබීම සිදු වුණේ. ඒ 1968 ජුනි 5 දායි. 

මිය යන විට රොබට්ගේ වයස අවුරුදු 43 යි. ලොස් ඇන්ජලීස්හි ‘ඇම්බසඩර්’ හෝටලයේ මුළුතැන්ගෙය තුළ දී තමයි රොබට් කෙනඩිට වෙඩි පහර තුනක් එල්ල වුණේ. වෙඩිතැබීම සම්බන්ධයෙන් සැකපිට පලස්තීන ජෝර්දාන් සම්භවයෙන් යුත්  සිර්හාන් සිර්හාන් සිර්හාන් නමැති පුද්ගලයකු  ඒ අවස්ථාවේ දී ම අත්අඩංගුවට ගත්තා.

 වෙඩි වැදීමෙන් පසුව රොබට් කෙනඩි වැටී සිටි අයුරු-wikipedia.org

 

ඉන් වසර පහකට පෙර, 1963 දී ජනපති කෙනඩි මිහිදන් කළ  ‘ආර්ලින්ටන්’  සුසාන භූමියේ ජනපති කෙනඩිගේ සොහාන් ගැබ අසල ම  රොබට් කෙනඩිගේ දේහයත් මිහිදන් කෙරුණා. රොබට් කෙනඩිගේ අභාවයෙන් පසු ඩිමොක්‍රටික් පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකත්වය උප ජනාධිපති හර්බට් හම්ප්‍රිට ලැබුණා. ජනාධිපතිවරණයේදී ඔහු රිපබ්ලිකන් අපේක්‍ෂක රිචඩ් නික්සන්ට පරාජය වුණා.

1967 මැදපෙරදිග යුද්ධයේ දී අමෙරිකාව,  ඊශ්‍රායලයට සහාය දැක්වීම නිසා රොබට් කෙනඩි මරා දැමූ බව අත්අඩංගුවට පත්වීමෙන් පසු සිර්හාන් සිර්හාන් පැවසුවා.  සෙනෙට් සභික රොබට් කෙනඩිට එවැනි තීරණයක් ගැනීමට බලයක් තිබුණේ නැහැ. මේ නිසා එම හේතුව බොරු හේතුවක් බවයි දේශාපාලන විචාරකයන් පැවසුවේ. රොබට් කෙනඩි ඝාතනය තනි පුද්ගලයකුගේ වුවමනාවක් අනුව සිදුවූවා විනා ඊට කුමන්ත්‍රණයක් මුල්වූයේ නැති බව  මේ ඝාතනය ගැන පරීක්‍ෂණ පැවැත්වූ එෆ්.බී.අයි. රහස් පොලිසියේ පරීක්‍ෂණවලින් ප්‍රකාශ වුණෙත් රොබට් ඝාතනය තනි පුද්ගලයකුගේ වැඩක් වූ බව යි.

යම් ලෙසකින් තමා ජනාධිපති වුවහොත් තම සහෝදරයාගේ ඝාතනය ගැන සෙවීම සඳහා නව කොමිසමක් පත් කරන බවට රොබට් කෙනඩි ඒ වන විට ඉඟි කර තිබුණා. 1969 වසරේ දී ‘සිර්හාන්’ට මරණීය දණ්ඩනය නියම කෙරුණා. පසුව කැලිෆෝනියා ප්‍රාන්තය කෙටි කාලයකට මරණීය දණ්ඩනය නීතියෙන් ඉවත් කරනු ලැබීම නිසා  සිර්හාන්ගේ දඬුවම ‘ජීවිතාන්තය තෙක්’ බල පැවැත්වෙන සිර දඬුවමක් බවට පසුව පරිවර්තනය වුණා.

 ජූනියර් කෙනඩි බිරිය සමඟ – edition.cnn.com

ජනපති කෙනඩිගේ පුත් ජූනියර් කෙනඩි

ජනපති ජෝන් එෆ්. කෙනඩි සහ ජැකොලයින් කෙනඩිට ලැබුණු දෙවැනි දරුවා වුණේ ජූනියර් ජෝන් කෙනඩි යි. කෙනඩි පවුලට අලුත් ම සාමාජිකයා එක්වෙද්දී ජනාධිපති කෙනඩි ධූරයේ දිවුරුම් දී ගත ව තිබුණේ දින 16 ක් පමණ යි.  ජේ. ජේ. ජූනියර්., ජෝන් එෆ්. කෙනඩි ජූනියර්, ජෝන් ජූනියර් යනාදී නම්වලින් ඔහු හැඳින්වුණා.

පියා වූ ජනාධිපති කෙනඩි ඝාතනය වෙද්දී මේ කුඩා දරුවාගේ වයස අවුරුදු තුනක් පමණ යි. ජනාධිපතිවරයාගේ අවමඟුල පැවැති දින පියාගේ මෘත දේහය සහිත දෙනට මේ කුඩා දරුවා අත ඔසවා අවසන් ගෞරවය දක්වන ඡායාරූපය එකල ලෝකය පුරා කනගාටුවක් දැන වූ පින්තූරයක් බවට පත් ව තිබුණා.

 කෙනඩි පුතු බාල කල මව සමඟින් – People.com

 

ජනාධිපති ඝාතනයෙන් පසු ව ජෝන් ජූනියර් හැදී වැඩුණේ නිව්යෝක් නගරයේ යි. බ්‍රවුන්ස් විශ්ව විද්‍යාලයේ ඉතිහාසය සම්බන්ධයෙන්  උපාධියක් ඔහු හිමි කර ගත්තා. මේ තරුණයා පසුව ඉන්දියාවට පැමිණ දිල්ලි විශ්ව විද්‍යාලයේ ද උපාධියක් හදාරා තිබෙනවා. ජෝන් කෙනඩි නීතිය හදාරා නීතිඥවරයෙක් බවට ද පත්වුණා. ජෝන් කඩවසම් තරුණයෙක් ලෙස අමෙරිකාව පුරා ජනප්‍රිය ව සිටියා. ඔහුට  පෙම් සබඳතා රාශියක් තිබුණු බව සඳහන් වෙනවා. ඔහු විවාහ වුණේ  කැරොලින් බෙසෙට් නම් පෙම් සබඳකම් ඇතිකර ගත් තරුණියක සමඟ යි. ඒ 1996 දී යි.

තරුණයකු වූ පසු ඔහු ගුවන් යානා පැදවීම ද ඉගෙන ගත්නා. ගුවන් නියමුවකු ලෙසත් දස්කම් දැක්වූ ජෝන්ට පුද්ගලික ගුවන් යානා පැදවීම අරුමයක් වුණේ නැහැ.

1999 ජූලි 16 වැනිදා රෑ ජෝන් කුඩා ගුවන් යානයෙන් අහසට නැඟුණේ සිය ඥාති සොහොයුරකුගේ රාත්‍රී භෝජන සංග්‍රහයකට එක්වීම සඳහා යි.  ගුවන් යානයේ ඔහුගේ බිරිය කැරොලින් සහ ඇගේ සොහොයුරිය ලොරේන් ද සිටියා.  සාදය පැවැතියේ මාර්තාස් වයින් යාර්ඩ් නම් වූ  ස්ථානයේ යි. මේ ස්ථානය ජෝන්ට ඉතා හුරුපුරුදු පළාතක් වුණා.   

කෙසේවුවත් එම රාත්‍රියේ ගුවනින් ඒ දුරක් ගමන් කිරීමට ඔහුට හැකියාව ලැබුණේ නැහැ. කාලගුණය ඔහුට අහිතකර ලෙස බලපෑ බවයි පැවසෙන්නේ. පාලනයෙන් ගිලිහුණු  ගුවන් යානය   වෙරළ තීරයට කඩා වැටුණා.  එය මැසසුසෙට් නගරයට නුදුරු ස්ථානයක් වුණා.   මේ කඩවසම් කෙනඩිවරයාගේ ජීවිතය නිමවුණේ වයස අවුරුදු 38 කින්.

ගුවන් අනතුරකින් මිය ගිය ජනපති සොයුරිය කැත්ලින් – edition.cnn.com

 සාපය ගැන තවත් කතා

ජනාධිපති කෙනඩිගේ වැඩිමල් සොයුරා වූ ජෝශප් කෙනඩි ජූනියර් 1944 අගෝස්තු 12 දා  මිය ගියෙත් දෙවන ලෝක යුද්ධයට ස්වේච්ඡා ගුවන් නියමුවකු  ලෙස එක්ව සිටියදී නාසි ජර්මනියට බෝම්ම දැමීමේ මෙහෙයුමක දී සිදුවූ ගුවන් අනතුරකින්. 1944 දී කෙනඩිගේ සොයුරියක වූ කැත්ලින් කෙනඩිගේ සැමියා වු විලියම් කැවෙන්ඩිෂ් බෙල්ජියමේ දී දරුණු වෙඩි ප්‍රහාරයකට ලක්වුණා.

පසුව ප්‍රංශයේ දී සිදුවූ  ගුවන් අනතුරකින් ජනපති කෙනඩිගේ සොයුරිය වුණු කැත්ලින් කෙනඩි මරු වැලඳ ගත්තා. 2020 අප්‍රෙල් 2 දා ජනපති කෙනඩිගේ මිත්තණියක් වුණු මාවේ කෙනඩි අමරිකාවේ චෙසපික් බොක්කේ ඔරු පැදීමක දී සිය අට හැවිරිදි පුතණුවන් සමඟ අතුරුදන් වුණා. පසුව ඔවුන් ගේ මළ සිරුරු හමු ව තිබෙනවා.

කවරයේ ඡායාරූපය- සාපය වැදුණු ජනපති කෙනඩි පවුල - memorie. Ai

මූලාශ්‍ර:

Lankadeepa.lk

Dinamina.lk

edition.cnn.co

irishcentral.com

Related Articles