Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

‘දයාවේ දෙවඟන’ – ධර්මදූත සේවයේ අඳුරු පැතිකඩක්

තෙරේසා මව්තුමිය ගැන අසා නැති කෙනෙක් ඔබ අතරේ නැතිව ඇති. ඉන්දියාවේ කල්කටා ප්‍රදේශයේ සිදු කළ ධර්මදූත සහ පුණ්‍ය කටයුතු නිසා දකුණු ආසියාවේ ප්‍රසිද්ධියට පත් වුණු ඈ, ඇල්බේනියානු ජාතික රෝමානු ක‍තෝලික පූජකවරියක්. ඈ විසින් කල්කටාවේ දී සිදු කරන ලද ධර්මදූත මෙහෙවර හේතු කරගෙන, 2016 සැප්තැම්බරයේ දී ශුද්ධ වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් තෙරේසා මව්තුමිය ශාන්තුවර තත්වයට උසස් කරනු ලැබුවා.

ඈ පිළිබඳව අප විසින් අසා ඇති බොහොමයක් ගුණ වැයුම් තිබියේවා, ඇගේ ක්‍රියාකලාපයේ අඳුරු, කෲර පැතිකඩක් හෙලිදරව් වන සාක්ෂි ද බොහොමයක් තිබෙනවා. මේ ලිපියේ අරමුණ තෙරේසා මව්තුමිය පිළිබඳව කියවෙන ඒ අඳුරු පැතිකඩ පිළිබඳව ද වාර්තා කිරීමයි. මෙම වාර්තාව බුද්ධියෙන් විමසීම ඔබට බාරයි.

තෙරේසා මව්තුමිය (Acton Institute PowerBlog)

තෙරේසා – කල්කටාවේ ශාන්තුවරිය

තෙරේසා මව්තුමිය ඇල්බේනියාවේ ගම්මානයක දී උපත ලැබුවේ 1910 වසරේ දී යි. කුඩා කල සිටම ආගමික දිවිය සහ ධර්මදූත මෙහෙවර පිළිබඳව උනන්දුවක් පල කළ ඇය, 1928 වසරේ දී තමාට වයස අවුරුදු 18 සම්පූර්ණවත්ම අයර්ලන්තයට ගොස්, එහි දී ආශිර්වාද ලත් කන්‍යා මරියතුමියගේ නිවාසයට සම්බන්ධ වූයේ ඉංග්‍රීසි බව ඉගෙන ධර්මදූත සේවයට සම්බන්ධ වීමේ අරමුණෙනු යි.

තෙරේසා මව්තුමිය තරුණ වියේ දී. (Pinterest)

1929 වසරේ දී ඉන්දියාවට පැමිණි ඇය ගුරු වෘත්තිය ආදී වෘත්තීන්හි නියැලුනත්, කල්කටාවේ දුප්පතුන් අතර ධර්මදූත කටයුතු ආරම්භ කළේ 1948 දී යි. 1950 වන විට වතිකානුවේ අනුමැතිය ඇතිව ඇය විසින් ‘Missonaries of Charity’ නම් පුණ්‍යායතනය ආරම්භ කළා.

ඇගේ වදන් වලට අනුව ඇගේ ආයතනය විසින් කුසගින්නේ පසුවන්නන්ට, නිවෙස් අහිමිවූවන්ට, කොර, අන්ධ, සහ ලාඳුරු ඇත්තවුන්ට, සමාජයෙන් කොන් කර දමන ලද, සමාජයට බරක් වූවන්ට සහනය සලසවන බවට කියැවුණා.

“මියයන්නන්ගේ නිවහන”

1952 දී තෙරේසා මව්තුමිය ප්‍රමුඛ Missionaries of Charity සංවිධානය විසින් ඔවුන්ගේ ප්‍රථම සාත්තු නිවහන කල්කටාවේ ආරම්භ කළා. මෙහි දී දුකට පත්වූවන්ට ප්‍රතිකාර සැලසුනු අතර, ඔවුනට ගෞරවාන්විත මරණයකට පත්වීමට ඉඩකඩ සලසා දුන්නා.

1997 දී ඇය මියයන විට ඇගේ යටතේ මෙවැනි නිවෙස් 517ක් තිබුණත්, කල්කටාවේ තිබූ මෙවැනි නිවහන කීපයකට ගිය වෛද්‍යවරුන් වෙනස් කතාවක් පලකලා. ඔවුනට අනුව මෙම නිවහන වල සනීපාරක්ෂක මට්ටම ඉතාම පහළ අගයක පැවැත තිබී ඇති අතර විධිමත් ප්‍රතිකාර ක්‍රම වල අඩුවක් මෙන්ම ආහාර සහ ඉතාම සරල වේදනා නාෂක පවා හිඟ තත්ත්වයකුයි පැවත තිබෙන්නේ.

මෙම තත්ත්වයට හේතුව ආයතනය වෙත මුදල් ආධාර නොලැබීම විය නොහැක්කේ, Missionaries of Charity විසින් ඩොලර් මිලියන සිය ගණනක් ආධාර වශයෙන් එකතු කර ගත් නිසායි.

 Missionaries of Charity මූලස්ථානය. (wanderant.com)

තෙරේසා මව්තුමිය යටතේ පැවති මෙවැනි නිවහන කීපයකම සේවය කර ඇති අරූප් චැටර්ජී නම් වෛද්‍යවරයා පවසන පරිදි අධික වේදනාවෙන් පීඩා විඳි පිළිකා රෝගීන්ට පවා ඔවුන් විසින් කිසිම වේදනා නාශකයක් ලබා දී නොමැත්තේ “ඔවුන්ගේ වේදනා විඳීමෙන් ලෝකය බොහෝ දෙය ලබාගන්නවා” යැයි පවසමින්.

සරල වකුගඩු ආසාදනයකට නිසි ප්‍රතිකාර ලබා නොදීම නිසා මියයමින් සිටි දරුවෙකු, ළඟම ඇති රෝහලකට නොයැව්වේ මන්දැයි වරක් වෛද්‍යවරයෙකු විසින් විමසූ විට ඇය පවසා ඇත්තේ එක් රෝගියෙකු රෝහලට යැවූ විට අනෙක් සියල්ලන්වමත් එහි යැවීමට සිදුවන බවයි.

එසේම වෛද්‍ය චැටර්ජී ද, තවත් බොහොමයක් ස්වේච්ඡා සේවකයින් ද පවසන්නේ එක් වරක් භාවිතා කර ඉවත දැමිය යුතු සේලයින් ක‍ටු ආදිය මෙම නිවහන් වලදී වතුරෙන් සෝදමින් නැවත නැවතත් භාවිතා කරන ලද බවයි. ආබාධිත වූ දරුවන් සඳහා වන නිවාස වල දරුවන් ඇඳන් වලට තබා ගැටගසා තබා ඇති අතර, ආහාර ලබා දී තිබෙන්නේ බලෙන් කටවල් අරවමිනුයි. සනීපාරක්ෂක කටයුතු තනිවම කරගැනීම උදෙසා මෙම ආබාධිත දරුවන් වැසිකිළි වල අතැර දමනු ලබන අතර, කුඩාම දරුවන් සඳහා වන නැපි රෙදි හෝ උණු වතුර ද ඔවුනට ලබා දී නැහැ. ස්වෙච්ඡා සේවකයින් පැමිණිලි කරන අන්දමට මෙම නිවාස වල තත්ත්වය කෙතරම් අයහපත් ද කිවහොත්, සබන් හෝ විෂබීජනාශක නොමැති නිසා අපිරිසිදු වූ ඇඳ රෙදි ආදිය ඔවුන් විසින් පිරිසිදු කර ඇත්තේ තිබුණු එකම විසඳුම වූ අපිරිසිදු ජලය භාවිතයෙනු යි.

මියයන්නන්ගේ නිවහනක් (Jean Luc Mege)

ඇය විසින් සිදු කළ, “දුප්පතුන් විසින් ඔවුන්ගේ ඉරණම පිළිගෙන, කිතු තුමන් මෙන් ස්වකැමැත්තෙන් දුක් විඳීමේත් යම් අලංකාරයක් තිබෙනවා. ඔවුන්ගේ ඒ දුක් විඳීමෙන් ලොව ලබනා දෙය බොහොමයි” යන ප්‍රකාශය, ඇය කරුණාවන්ත තැනැත්තියක් ය යන අදහසට විරුද්ධ බොහොමයක් දෙනා උපුටා දක්වන්නක්. ඇගේ නිවහන වල රෝගීන්ට ඇතැම් විට පෙනිසිලින් පෙත්තක්වත් ලබා නොදුන් බව කියනා ඇය, තමා අසනීප වූ විට ප්‍රතිකාර ලැබීම සඳහා ඇමරිකාවට ගිය බවත් මෙසේ උපුටා දක්වන තවත් ප්‍රසිද්ධ කරුණක්.

තව තවත් විවිධාකාර චෝදනා

‘රෝගීන්ට සිදු කළ යුතු ප්‍රතිකාර නොකර, ඔවුන්ගේ දුක වර්ණනා කිරීම පමණක් සිදුකරනවා’ ය යන්න තෙරේසා මව්තුමියට එරෙහි ප්‍රධාන චෝදනාවක්. මෙම කියමන ඔප්පු වන ප්‍රකාශ ඇය විසින් ප්‍රසිද්ධ මාධ්‍ය වල දී කීපවරක්ම සිදු කොට තිබුණා.

එක්තරා සම්මුඛ සාකච්ඡාවක දී පිළිකාවක අවසාන අදියරේ දුක් විඳිමින් සිටි රෝගියෙකු විස්තර කරමින් ඇය මෙසේ පවසනවා: “මම එම රෝගියාට කිව්වා ඔහු ජේසු තුමන් කුරුසිය මත දුක්ප්‍රාප්ත වූවාක් මෙන්ම දුක් විඳින බව. එම නිසා ජේසු තුමන් විසින් ඔහුව සිපගනු ලබන බවත් කිව්වා. එවිට එම රෝගියා මට කීවේ තමාව සිප නොගන්නා ලෙසට ජේසු තුමන්ට දන්වන ලෙසයි”.

තෙරේසා මව්තුමිය මියයන්නන්ගේ නිවහනක දී. (The Irish Times)

තෙරේසා මව්තුමියට එල්ල වන තවත් දැඩි චෝදනාවක් නම් ඈ අපරාධකරුවන් ආශ්‍රය කළා යන්නයි. මෙම චෝදනාවට මූලිකව හේතු වන්නේ, විවිධ අපරාධ ‍රැසක් සිදු කර ඇති හයිටියේ ඒකාධිපති පාලක ශෝන්-ක්ලෝඩ් ඩුවලියේ ගෙන් 1981 දී Legion d’honneur සම්මානය ලබාගැනීමත්, ඇල්බේනියාවේ කෲර පාලක එන්වෙර් හෝචා කෙරෙහි ඇගේ ලැදිකමත්, තම සේවකයින්ගේ විශ්‍රාම අරමුදල් වලින් යූරෝ මිලියන 450ක් සොරකම් කළ රොබර්ට් මැක්ස්වෙල්ගෙන් මුදල් පිළිගැනීමත් ආදී කරුණුයි.

තමා දුප්පතුන්ගේ මිතුරිය යැයි තෙරේසා මව්තුමිය විසින් හඳුන්වාගත්තත්, ඇය ඊටත් වඩා දුප්පත්කමේ මිතුරියක බව ඇගේ ක්‍රියාකලාපයෙන් ඔප්පු වන්නක්. ඈ කිසිම ආකාරයක ගබ්සාවකට ප්‍රසිද්ධියේ විරුද්ධ වූ අයෙක්. එමෙන්ම AIDS වැනි රෝග බෝවීම වැළක්වීමේ එකම ක්‍රමය ද, දුප්පත්කම පාලනය කළ හැකි ජනගහන පාලනය සඳහා යොදාගත හැකි පහසුම උපක්‍රමය ද වන කොන්ඩම ජනයා විසින් භාවිතය තරයේ ප්‍රතික්ෂේප කළ ඇය, කිසිම ආකාරයක උපත් පාලන ක්‍රමයක් භාවිතා කිරීම දැඩිව අධෛර්යමත් කළා.

එමෙන්ම ඇය විසින් දික්කසාදයට දැඩිව විරුද්ධ වූ අතර, දික්කසාද වූ  කාන්තාවන්ට නැවත විවාහ වීමට ඇති අයිතිය ද සෘජුව ප්‍රතික්ෂේප කළා. 1976 දී නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබූ අවස්ථාවේ සිදු කළ කතාවේ දී ත් ඇය මේ බව සඳහන් කරනු දක්නට හැකියි.

1979 දී නොබෙල් සාම ත්‍යාගය දිනයි. (Faithful Resources for all Christian)

මෙම ලිපියෙන් කියැවුණු නොකියැවුණු තවත් මෙවැනි කරුණු බොහොමයක් පදනම් කරගෙන, තෙරේසා මව්තුමිය පිටත ලෝකයා විසින් විශ්වාස කරන ලද තරමට ශුද්ධ වූ චරිතයක් නොවන බවට බොහොමයක් දෙනා අදහස් පල කරනු ලබනවා. ඇගේ එකම අරමුණ වූයේ ඉන්දියාවේ දුප්පත් හින්දූන් සහ මුස්ලිමුන් අතර ක‍තෝලික ධර්මය පැතිරවීම බවත්, මියයමින් සිටි අන්‍යාගමිකයින් ඇය විසින් බෞතීස්ම කරවන ලද බවත් ඇසින් දු‍ටුවන් සාක්ෂි දෙනවා.

කෙසේ නමුත් තවමත් ලෝවැසි බහුතරයක් දෙනා විශ්වාස කරන්නේ තෙරේසා මව්තුමිය දුප්පතුන් උදෙසා කැපවුණු කල්කටාවේ ශාන්තුවරිය බවයි. මෙම ලිපිය ලියනා අප විසින් අදාල කරුණු කිසිවකට සහය හෝ විරුද්ධත්වය නොදක්වන අතර, අප සොයාගත් කරුණු ඔබට ඉදිරිපත් කිරීම පමණක් සිදු කරනවා. එම තොරතුරු බුද්ධියෙන් විමසා බැලීමෙන් අනතුරුව පිළිගැනීම, නොගැනීම, හෝ ඊට සහයව හෝ විරුද්ධව හෝ කරුණු ඉදිරිපත් කිරීම ඔබට බාරයි.

Cover image: MOTHER-TERESA-facebook.jpg (The Huffington Post)

Related Articles