ලෝකයම එකම ගම්මානයක් බවට පත්කරමින් චන්ද්‍රිකා සන්නිවේදන තාක්ෂණ සංකල්පයේ පියා බවට පත් වූ කීර්තිමත් විද්‍යා ප්‍රබන්ධ ලේඛක ආතර් සි ක්ලාක් පිළිබඳව ලිපියක් ගෙන එන්නට අප අදහස් කළා.

විද්‍යා සාහිත්‍ය වෙනුවෙන් ඉතා විශාල පොත් හා ලිපි ගණනාවක් ලියා ඇති ක්ලාක් විද්‍යා අනාවැකි කරුවෙකු ලෙස විවිධ ක්ෂේත්‍ර වලින් කැපී පෙනුණු අතර විශේෂයෙන් මොහු අන්තර්ජාතික වශයෙන් ප්‍රසිද්ධියට පත් වන්නේ 1945 වසරේදී “වයර් ලස් වර්ල්ඩ්” (Wireless World) සඟරාවට ලිපියක්‌ යවමින් චන්ද්‍රිකා ත්‍රිත්වයක්‌ භාවිතා කරමින් කළ හැකි අන්තර් මහාද්වීපික විද්යුත් සන්නිවේදන ශක්‍යතාව පිළිබඳ වන “භූ ස්‌ථාවර චන්ද්‍රිකා” සංකල්පය ඉදිරිපත් කිරීම හේතුවෙන්.

ඉතින් අද ලිපියේ ඉඩ විවර වෙන්නේ 50 දශකයෙන් පසු තම ජිවිතයේ වැඩිම කාලයක් ලංකාවේ ගතකල ආතර් සි ක්ලාක් හෙවත් ආතර් චාල්ස් ක්ලාක් පිළිබඳවයි.

මිතුරන් සමඟ එක් වී රොකට් නිර්මාණය කල කුඩා ක්ලාක්

කුඩා ක්ලාක් (Open Minds!)

චාල්ස්‌ රයිට්‌ ක්‌ලාක්‌ හා නෝරා මේරි යන දෙමවුපියන්ට දාව 1917 දෙසැම්බර් 16 වනදා බටහිර එංගලන්තයේ සමර්සෙට්‌ ප්‍රාන්තයේ “මයින්හෙඩ්” ප්‍රදේශයේ උපත ලබන ආතර් චාල්ස් ක්ලාක් දරුවන් සිවු දෙනෙක්ගෙන් යුත් පවුලේ වැඩිමලා විය. මූලික අධ්‍යාපනය  සමර්සෙට් ප්‍රාන්තයේ හුයිෂ්ස්‌ හා ග්‍රැමර් ස්‌කූල් නම් පාසල් වලින් ලබා ගන්නා ක්ලාක්ට වයස අවුරුදු 13ක් වන විට සිදු වූ පියාගේ අභාවය හේතුවෙන් වැඩිමලා ලෙස පවුලේ සියළුම බර දරන්නට සිදු වෙනවා. මේ හේතුවෙන් ඔහුට අධ්‍යාපන කටයුතු වල නියැලෙන්නට වන්නේ මහත් බාධා හා කරදර මධ්‍යයේයි.

පියාගේ ගොවිපොළේ වැඩ කරමින් තම යහළුවන් සමඟ රොකට් නිර්මාණය කිරීමට ආශාවක් දැක්වූ කුඩා ක්ලාක් එම අවධියේ පටන්ම පුවත් පත් හා සඟරා වලට ලිපි ලිවීමට නැඹුරුවක් දක්වනවා. එලෙසම එකළ කනිෂ්ට අභ්‍යවකාශ විද්‍යාඥයන්ගේ සංගමයේ සාමාජිකයෙකුද වෙනවා.

දෙවන ලෝක යුද්ධය හා ඉන් පසුව

හමුදා නිළධාරියෙක් ලෙස (The British Interplanetary Society)

දෙවන ලෝක යුධ සමයේදී බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාවේ රේඩාර් විශේෂඥයකු ලෙස කටයුතු කරන ක්ලාක් එහිදී පෙර දැනුම් දීමේ රේඩාර් ආරක්ෂක පද්ධතිය හා සම්බන්ධ වෙනවා. මෙහිදී ක්ලාක් විසින් තම තාක්ෂණික දැනුම උපයෝගී කරගනිමින් කල කාර්යන් හේතුවෙන් කෝප්‍රල් නිලයේ සිට පියාසර ලුතිනන් ධූරය දක්වා උසස්වීම් ලබනවා. 1943 සිට යුද්ධයේ අවසන් වනතුරු Royal Air Force Honiley හි ප්‍රධාන පුහුණු උපදේශක ලෙස කටයුතු කරන්නෙත් ක්ලාක්.

යුද්ධය අවසන් වීමත් සමඟම 1948 වසරේදී ලංඩනයේ King’s College සරසවියෙන් පළමු පෙළ පන්ති සාමාර්ථයක් සහිතව භෞතික විද්‍යාවේදී උපාධිය සම්පුර්ණ කරනවා. අනතුරුව  British Interplanetary Societyහි සභාපති ධූරය දරමින් වසර ගණනාවක් අනාගත අභ්‍යවකාශ තරණය පිළිබඳ වැඩිදුර පර්යේෂණ දියත් කරමින් සිටිනවා.

ආතර් සි ක්ලාක් නම් මේ විද්‍යා ප්‍රබන්ධකරුවා ලොව පුරා ප්‍රසිද්ධියට පත් වන්නේ 1945 වසරේ ඔක්තෝම්බර් මාසයේදී Wireless World නම් තාක්ෂණික සඟරාව මඟින් පල කරන ලද ඔහු විසින් ලියූ භූ ස්‌ථාවර චන්ද්‍රිකා සංකල්පය අඩංගු වූ ලිපිය හේතුවෙන්.  එම ලිපියේ සඳහන් වූයේ පෘථිවියට කිලෝ මීටර් 22,300 ක් ඉහළ අභ්‍යාවකාශයේ භූ ස්ථාවර කක්ෂයේ අංශක 120 ක පරතරයක් ඇතිව පැයට සැතපුම් 7000 ක වේගයකින් පෘථිවිය වටා භ්‍රමණය වන චන්ද්‍රිකා මධ්‍යස්ථාන තුනක් පිහිටුවීම තුලින් මුළු ලෝකයම ආවරණය වන පරිදි සන්නිවේදන ජාලයක් පිහිටුවිය හැකි බවයි.

නමුත් එකල පැවති තාක්ෂණික දියුණුව හා සසඳන විට එය සිතා ගැනීමටවත් නොහැකි තරමේ විය. කෙසේ වෙතත් එම සංකල්පය අනුව අද වනවිට මුළු ලොවම එකම සන්නිවේදන ජාලයක් මෙන්ම විශ්ව ගම්මානයක් බවට පත් වෙලා තිබෙනවා. ක්ලාක්ව චන්ද්‍රිකා සන්නිවේදනයේ පියා (Father of the Communication Satellite) ලෙස හැඳින්වීමට තරම් මෙම සංකල්පය හදුන්වා දීම හේතු වෙනවා.

ශ්‍රී ලංකාවට පැමිණීම

ආතර් සි ක්ලාක් (Bio.com)

කිමිදීම හා සාගර ගවේෂණය පිළිබඳව උනන්දුවෙන් කටයුතු කල ක්ලාක් 1954 වසරේ දෙසැම්බර් මාසයේදී කොළඹ වරායට ගොඩ බසින්නේ ඕස්ට්‍රේලියාවේ මහා බාධක කොරල් පරය ගවේෂණය කිරීමට යන අවස්ථාවේදීයි.

ශ්‍රී ලංකාවේ පිහිටීමට හා වෙරළාශ්‍රිත කලාපයට මහත් ඇලුම් කළ මොහු 1955 වසරේදී නැවත ලංකාවට පැමිණෙන්නේ ගවේෂණ කිහිපයකටයි. 1956දී ශ්‍රී ලංකාව තම ස්ථිර පදිංචිය සඳහා ඔහු විසින් තෝරා ගන්නවා. රටේ සමාජීය හා ආර්ථික ක්ෂේත්‍රයට මෙහෙවරක් ඉටුකරන විදේශ පුද්ගලයින්ට 1975දී ශ‍්‍රී ලංකා රජය හඳුන්වා දුන් විශේෂ ප‍්‍රතිපත්තියක් යටතේ Resident Guest යන තත්වය ක්ලාක්ටද හිමි වෙනවා.

විද්‍යා ප්‍රබන්ධ

Space Odyssey චිත්‍රපටයේ දර්ශනයක් (The Red List)

කලාක් විසින් ලියූ විද්‍යා ප්‍රබන්ධ ගණන 100කට ආසන්නයි. ඔහුගේ පොත් අතර 1954 දී ලියූ “2001” කෘතිය විදුලොව වැලැඳගත් කෘතියක් ලෙස නම් කල හැකියි. ඊට අමතරව 2010 – 2 වැනි අභ්‍යවකාශ චාරිකාව (2010 Odyssey Two), 2061 – තුන් වැනි චාරිකාව (2061 Odyssey Three), 3001 වැනි ජනප්‍රිය ප්‍රබන්ධ සිංහලයට පවා පරිවර්තනය වී තිබේ. මෙයින් ක්‌ලාක්‌ ගේ 2001, 2010 විද්‍යා ප්‍රබන්ධ ඇසුරු කරගෙන නිර්මාණය වූ Space Odyssey 1 හා Space Odyssey 2 වාර්තාගත අදායම් උපයනවා.

මෙම ප්‍රබන්ධ වලදී ඉදිරිපත් කල DNA නම් සෛලගත ද්‍රව්‍ය විශ්ලේෂණය මගින් ජීව විද්‍යාත්මක සාක්‍ෂි ලබාගත හැකි බව, වෘත්තීය අපරාධකරුවන් හදුනාගැනීමට ඉලෙක්‌ට්‍රොනික තාක්‍ෂණයෙන් හැකි බව හා මිනිසකු ඉහළ අභ්‍යවකාශයට ගිය විට මිනිසා ජලයේ කිමිදීමේ අවස්ථාවට සමාන තත්ත්වයක්‌ හා බර රහිත තත්ත්වයක්‌ අත්වෙන බව වැනි කරුණු සඵල අනාවැකි බවට පත් වෙනවා.

සම්මාන

විද්‍යා ලේඛක නාලක ගුණවර්ධන සමඟ (Open Mind)

1959දී පිහිටුවන ලද ශ‍්‍රී ලංකා තාරකා විද්‍යා සංගමය (Sri Lanka Astronomical Association)  පිහිටුවීමට මුල් වන්නේත් එහි ආරම්භක සභාපති ලෙස මෙරට තාරකා විද්‍යා කටයුතු හා පර්යේෂණ ඉහළ නැංවීමට ක්‍රියා කරන්නේ ක්ලාක් වන අතර 1979දී පමණ මෙරටට රූපවාහිනී මාධ්‍යය හඳුන්වා දීමට තාක්‍ෂණික උපදෙස් ලබා දෙනවා.

ඔහුගේ සේවය අගය කරමින් දෙස් විදෙස් සම්මාන රාශියක් හිමි වූ අතර ඒවා අතුරින්,1962 වසරේදී යුනෙස්කෝව මගිනි පිරිනැමූ “කාලිංග සම්මානය”,  1973,1974,1979 යන වසරවලදී පිරිනැමුණු නොබියුලා සම්මානය, 1979 දී “ගැලැක්සි සම්මානය”,1982 දී “මාකෝනි සම්මානය ”,1987දී “චාර්ල්ස් ඒ ලින්ඩ්බර්ග් සම්මානය” ,1989 දී බ්‍රිතාන්‍ය රැජිණ විසින් ලබා දුන් නයිට් පදවිය හා 1986 දී ශ්‍රී ලංකා රජයේ “විද්‍යාජෝති සම්මානය” ආදිය ඔහු ලබාගත් සම්මාන අතරින් කිහිපයක්. සම්මාන ලබා ගැනීමට අමතරව ශ්‍රීමත් ආතර් සී. ක්‌ලාක්‌ 1979 සිට 2001 වසර දක්‌වා දශක දෙකකට වැඩි කාලයක්‌ මොරටුව විශ්වවිද්‍යාලයයේ කුලපතිවරයා ලෙසද කටයුතු කරනවා.

ශ්‍රී ලංකා යන නාමය ජාත්‍යන්තරයට ගෙන යාමට මහගු සේවාවක් කල ක්ලාක් නම් මෙම මහා ප්‍රාඥයා 2008 වසරේ මිය යන්නේ වයස අවුරුදු 90 ක් භුක්ති විදීමෙන් පසුවයි. ඔහු ඉල්ලා සිටි පරිදි 2008 මාර්තු 22 වනදා සිරුර මිහිදන් කරනු ලබන්නේ නිරාගමික හා රාජ්‍ය අනුග්‍රහයකින් තොරවයි. එදින ශ්‍රී ලංකාවේ සියළුම ගුවන්විදුලි හා රූපවාහිනී නාලිකා විනාඩි 3කට තම විකාශනයන් නවත්වා මේ අසහාය විද්‍යාඥයාට සිය ගෞරවය පිරිනමනු ලබනවා.

කවරයේ ජායාරූපය – Known people

මුලාශ්‍ර – Wikipedia, www.clarkefoundation.org, www.biography.com,  sundaytimes.lk,     www.rupavahini.lk