Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නොබෙල් ත්‍යාගයේ සුලමුල හා ඒ හා බැදී අපූරු සිදුවීම්

සෑම වසරකම දෙසැම්බර් 10 වෙනිදා යනු මනුෂ්‍ය සංහතියේ ඉදිරිගමන වෙනුවෙන් අනූපමේය සේවාවක් කළ මිනිසුන් ලොව උසස්තම සම්මානයෙන් පිදුම් ලබන දවසයි. එනම්  ලෝකයේ ක්ෂේත්‍ර පහක ප්‍රගමනය උදෙසා කටයුතු කළ පුද්ගලයන් හට නොබෙල් ත්‍යාගය ලබා දීමේ දවසයි.

ඒ සම්මාන උණුසුමත් සමඟම අද අපි කතා කරන්න බලාපොරොත්තු වුණේ පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදනය තුළින් මානව විනාශකාරීත්වය උදා කළ පුද්ගලයෙක්ගේ හිතේ යම් කොනක සැඟවී තිබු මානව ආදරය තුළින් බිහිවූ මේ සම්මානයේ සුලමුල හා ඒ හා බැඳි අපූරු සිදුවීම් කිහිපයක් පිළිබඳවයි. මීට අමතරව නොබෙල් සම්මානය ගැන ඔබ දන්නා දේවලුත් comment එකකින් අපට කියල යන්න අමතක කරන්නත් එපා.

බෝම්බ කොන්ත්‍රාත්කරුවකුගේ පුතෙක් වූ ඇල්ෆ්‍රඩ් නොබෙල්

ඇල්ෆ්‍රඩ් නොබෙල්. (Biography.com)

ඇල්ෆ්‍රඩ් නොබෙල්. (Biography.com)

1833 ඔක්තෝම්බර් 21 වනදා ස්වීඩනයේ ස්ටොක්හෝම් හිදී උපදින ඇල්ෆ්‍රඩ් නොබෙල්ගේ පියා එම්මානුවෙල් නොබෙල්. ඔහු වෘත්තියෙන් බෝම්බ නිෂ්පාදනය පිළිබඳව විශේෂඥයෙක්. නමුත් කුඩා ඇල්ෆ්‍රඩ් උපදින විට ඔවුන්ගේ පවුල සිටියේ දැඩි ආර්ථික අර්බුදයක කරවටක් ගිලීගෙනයි.

නමුත් ඔහුගේ පියාට 1842 දී රුසියන් රජය මඟින් බෝම්බ නිෂ්පාදන කොන්ත්‍රාත්තුවක් ලබා දීමත් සමඟ රුසියාවට ස්ථිර පදිංචිය සඳහා පිටත් යන නොබෙල් පවුලේ ආර්ථික ස්ථාවරත්වය ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වෙනවා.

අධ්‍යාපන කටයුතු ඉහළටම

රුසියාවට සංක්‍රමණය වීමත් සමඟම ආර්ථික අතින් ශක්තිමත් වන ඇල්ෆ්‍රඩ්ගේ පියා ඔහුගේ පුතුන් දෙදෙනාම උසස් අධ්‍යාපනය සඳහා යොමු කරනවා. ඉන් ඉමහත් ප්‍රයෝජනය ලබා ගන්නා තරුණ ඇල්ෆ්‍රඩ් රසායන විද්‍යාව පිළිබඳව උසස් අධ්‍යාපනයට යොමු වෙනවා.

1851 දී උසස් අධ්‍යාපනයට ඇමරිකා එක්සත් ජනපදයට යන ඇල්ෆ්‍රඩ් එවකට මොනිටර් (Monitor) නම් ප්‍රභල යුධ නැව් නිර්මාණය කළ ජෝන් එරික්සන් යටතේ ඔහුගේ පර්යේෂණ සඳහා වසර හතරක කාලයක් සහය දක්වනවා.

පවුලටම අවාසනාව උදා වීම හා ව්‍යාපාරය තහනම් වීම

ඇල්ෆ්‍රඩ් නොබෙල් ස්මාරකය. (Big Apple Secrets)

ඇල්ෆ්‍රඩ් නොබෙල් ස්මාරකය. (Big Apple Secrets)

ක්‍රිමියානු යුද්ධය අවසන් විමත් සමඟම රුසියානු කොන්ත්‍රාත්තුවද අවසන් වීම නිසා නැවතත් නොබෙල් පවුල දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දුන් බැවින් 1859 දී අධ්‍යාපනය අතරමඟ හැරදමා තරුණ ඇල්ෆ්‍රඩ් නැවතත් රුසියාවට පැමිනෙන්නේ තම පියා හා සහෝදරයා සමඟ එක් වී පිපිරුම් ද්‍රව්‍ය නිෂ්පාදන කම්හලේ සේවය කරන අදහසින්.

ආපසු ස්වීඩනයට එන නොබෙල් පවුල එහි පදිංචි වෙනවා. නයිට්‍රෝග්ලිසරින් ආශ්‍රිත පිපුරුම් ද්‍රව්‍ය නිපදවමේදී ඇති වූ පිපුරුමක් හේතුවෙන් ඇල්ෆ්‍රඩ්ගේ සොහොයුරා මරණයට පත් වන අතර පියා සදාකාලික අංගවිකල තත්වයට පත් වෙනවා.

ඒ සමඟම ඔහුගේ මෙම ව්‍යාපාරය ස්වීඩන රජය විසින් තහනම් කරනු ලබනවා.

හමුදාව යන අර්ථය ගත් ඩයිනමයිට් හි උපත

එවකට ඩයිනමයිට් කර්මාන්ත ශාලාවක්. (eforelephant)

එවකට ඩයිනමයිට් කර්මාන්ත ශාලාවක්. (eforelephant)

ව්‍යාපාරය තහනම් කිරීම හේතුවෙන් ඇල්ෆ්‍රඩ් ධීවර යාත්‍රා නිෂ්පාදනාගාරයක් මුවාවෙන් දිගටම තම පිපුරුම් ද්‍රව්‍ය පිළිබඳව අත්හදා බැලීම් කරනවා. එහි ප්‍රතිඵලයක් ලෙස 1866දී ආරක්ෂා සහිත පිපුරුම් ද්‍රව්‍යක් ලොවට හදුන්වා දීමට ඔහුට හැකි වෙනවා.

ග්‍රීක බසින් ඩයිනමික් යනු හමුදාව යන අර්ථය දෙන වචනයක්. ඩයිනමික් යන වචනය  බිදීමෙන් ඩයිනමයිට් යන වචනය මේ පුපුරණ ද්‍රව්‍ය සඳහා නම ලෙස යෝජනා වෙනවා.

කෝටිපතියෙක් බවට පත් වීම

ඔහු තමන් සොයා ගත් මෙම පුපුරණ ද්‍රව්‍ය සඳහා පේටන්ට් බලපත්‍ර බ්‍රිතාන්‍ය හා එක්සත් ජනපදයෙන් ලබා ගන්නවා. තවත් පර්යේෂණ කරමින් මෙම රසායන ද්‍රව්‍ය දියුණු කළ ඔහු ලොව වටා කර්මාන්ත ශාලාවන් ඉදි කරනු ලබනවා.

මීට අමතරව ඔහු විසින් බැලිස්ටයිට්, බ්ලාස්ටින් ජෙලටින්, නයිට්‍රෝ සෙලියුලෝස් නම් පුපුරණ ද්‍රව්‍යයන්ද සොයා ගනු ලබනවා. අවසන් කාලයේදී ඩයිනමයිට් යුද්ධ සඳහා යොදාගැනීම ගැන එතරම් පැහැදීමකින් නොසිටි ඔහු විශාල මුදල් ප්‍රමාණයක් සමාජ සේවය සඳහා යොදවන්නටත් කටයුතු කරනවා.

නොබෙල් සම්මානයේ උපත

ඇල්ෆ්‍රඩ්ගේ රුව සහිත නොබෙල් රන් පදක්කම . (www.history.com)

ඇල්ෆ්‍රඩ්ගේ රුව සහිත නොබෙල් රන් පදක්කම . (www.history.com)

පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදනයෙන් ලැබුණු ඩොලර් මිලියන 9ක මුදල නොබෙල් ස්වීඩන් බැංකුවක තැන්පත් කරනවා. 1896 වර්ෂයේ ඉතාලියේ නිවසේ ලියන මේසය මත මරණයට පත් වී සිටි ඇල්ෆ්‍රඩ්ගේ අවසන් කැමති පත්‍රයේ සටහනක වාර්ෂිකව ඉන් ලැබෙන පොලිය ක්ෂේත්‍ර පහක් ආවරණය කරමින් මානව සුබසාධනය උදෙසා කැප වූ පස් දෙනෙකුට බෙදා දෙන ලෙස සටහන් කර තිබුණා. භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, වෛද්‍ය විද්‍යාව, සාහිත්‍ය හා ලෝක සාමය උදෙසා සම්මාන ලබා දීම ඔහුගේ අරමුණ වුණා.

වර්තමානය වන විට ස්වීඩනය හා නොර්වේ යන රටවල් දෙක සම්බන්ධීකරණය වෙමින් මෙම කාර්යය සිදු කරනු ලබනවා. මරණයෙන් පස් වන අනුස්මරණයේ සිට පටන් ගත් මෙම සම්මාන ප්‍රධානය කිරීම සෑම දෙසැම්බර් 10 වන දිනකම මුළු මහත් ලෝක ප්‍රජාවගේ අවධානය ලබා ගනිමින් අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වෙනවා.1900 දී පිහිටුවන ලඳ ස්වීඩන්-නෝර්වීජියානු පදනමේ ස්ටෝක්හිම්හි පිහිටා තිබෙන මුලස්ථානය මගින් තමයි වාර්ෂිකව සම්මාන පිළිබඳව සෑම කටයුත්තක්ම අධීක්ෂණය කරන්නේ.

ඉතින් යුද්ධය සහතික කළ මනුෂ්‍යකුගේ හිතේ කොනක සැඟවී තිබූ මානව ආදරය යම් තරමකට වත් මින් හෙළි වන බවයි අපිටනම් හැඟෙන්නේ.

රසායන විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගය

නොබෙල් සම්මාන ප්‍රධානය කිරීමේ අවස්ථාව. (Nobelprize.org)

නොබෙල් සම්මාන ප්‍රධානය කිරීමේ අවස්ථාව. (Nobelprize.org)

රසායන විද්‍යා ක්ෂේත්‍රයේ ඉතා වැදගත් නිපදවීමක් හෝ සොයාගැනීමක් සඳහා කිසිදු ජාති ආගම් බේදයකින් තොරව සම්මානය පිරිනැමීම නොබෙල්ගේ අදහස විය. විද්‍යාව සඳහා වූ රාජකීය ස්වීඩන විද්වත් පර්ෂදය මේ සඳහා වගකීම භාරගෙන කටයුතු කරනවා.

භෞතික විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගය

භෞතික විද්‍යා ක්ෂේත්‍රයේ වැදගත් නිපදවීමක් හෝ සොයාගැනීමක් සිදුකරන පුද්ගලයෙකුට මෙම සම්මානය හිමි වන අතර ඒ සඳහා වගකීම දරන්නේ රාජකීය ස්වීඩන විද්වත් පර්ෂදයයි.

වෛද්‍ය විද්‍යාව හෝ ශාරීරික විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගය

ජාති, ආගම් හා දේශ පිළිබඳව නොසලකා වෛද්‍ය විද්‍යාව හෝ ශාරීරික විද්‍යාව අතින් මානව සංහතියේ අභිවෘදියට කළ උසස් සේවාවක් උදෙසා මේ සම්මානය හිමිවන අතර මෙහි වගකීම දරනු ලබන්නේ ස්ටොක්හෝම් නුවර කාර්ඔලින්ස්ක ආයතනයයි.

සාහිත්‍ය සඳහා වූ නොබෙල් ත්‍යාගය

මේ සම්මානය හිමිවන්නේ සාහිත්‍ය වෙනුවෙන් කරන ලද නිර්මාණශීලි දායකත්වයටයි. අනෙක් සම්මාන ආයතන සඳහාද පිරිනැමුනත් මෙයනම් වෙන්කර ඇත්තේ පුද්ගලයින් සඳහාම පමණයි. මේ සම්බන්ධ තේරීම් සිදුකරනු ලබන්නේ ස්වීඩන විද්වත් පර්ෂදයයි.

සාමය සඳහා වූ නොබෙල් ත්‍යාගය

සාමය සදහා නොබෙල් සම්මානය ලැබූ යුසුෆ්සායි මලාලා ( Dawn)

සාමය සදහා නොබෙල් සම්මානය ලැබූ යුසුෆ්සායි මලාලා ( Dawn)

මනුෂ්‍ය වර්ගයාට යහපත ඉටු කිරීමට කැපවූ පුද්ගලයින්ට හෝ ජාත්‍යන්තර සංවිධාන වලට මෙම සම්මානය හිමිවේ. මෙම සම්මානය පිරිනැමිය යුත්තේ කාටද යන්න නොර්වේ පාර්ලිමේන්තුව මගින් තෝරා පත් කර ගත් සාමාජිකයන් පස් දෙනෙකුගෙන් සමන්විත නෝර්වීජියානු නොබෙල් කමිටුව මඟින් තීරණය කරනු ලබයි.

සාම සම්මානය නොර්වේ ඔස්ලෝ නුවරදී පිරිනමන අතර අනෙක් සියලුම සම්මාන පිරිනමන්නේ ස්ටොක්හෝම් වලයි.

ආර්ථික විද්‍යා ඇල්ෆ්‍රඩ් නොබෙල් අනුස්මරණ නොබෙල් සම්මානය

මෙම සම්මානය ඇල්ෆ්‍රඩ් විසින් යෝජනා කළ එකක්නම් නොවේ.

1968 දී ස්වීඩන් බැංකුව විසින් මෙම අනුස්මරණ සම්මානය යෝජනා කරන ලද්දේ එම බැංකුවට වසර 300ක් පිරීම හේතුකරගෙනයි. 1969 දී මුල්වරට පිරිනැමුණු මෙම සම්මානයට අනෙක්වාට සමාන ආකාරයෙන් මුදල් ත්‍යාගය හා රන් පදක්කමක් හිමි වෙනවා.

කොහොමද ප්‍රධානය කරන්නේ

නොබෙල් සම්මානය සඳහා සුදුසු අයගේ නම් යෝජනා සෑම වර්ෂයකම පෙබරවාරි පළමු වෙනිදාට පෙර ලැබිය යුතු වෙනවා. පසුව රැස්වන නොබෙල් කමිටු හය අවශ්‍ය අවස්ථාවන් හිදී ජන්ද විමසීම් පවා සිදුකරනු ලබන්නේ රහසිගතවයි.

ඕනෑම සම්මානයක් ප්‍රධානය නොකර සිටි හැකි නමුත් සාමාන්‍යයෙන් එසේ ප්‍රධානය නොකරන්නේ සාමය සඳහා වූ සම්මානය පමණි. නොබෙල් සම්මානලාභීන් ලෙස මියගිය පුද්ගලයන්ගේ නම් යෝජනා නොකළ යුතු වෙනවා. නමුත් යෝජනා කිරීමෙන් පසු මියගිය පුද්ගලයින් සඳහා ඒ අවස්ථාව වලංගු වෙනවා.

එක් වසරක් තුළ සිදුකල කාර්යයන් දෙකක් සඳහා සම්මානය දෙදෙනෙක් අතරේ බෙදී ගියත් තුන් දෙනෙකුට වැඩි පිරිසක් අතරේ බෙදීයන ආකාරයට ප්‍රධානය කරන්නේ නැහැ. යම්කිසි වසරක සම්මාන ප්‍රධානය කිරීමට නොහැකි වූවොත් එය ඊළඟ අවුරුද්දේ ප්‍රධානය කරනු ලබන අතර නියමිත දිනට පෙර අදාළ ත්‍යාග මුදල භාර නොගත් විට එය නැවතත් නොබෙල් අරමුදලට බැර වීමක් සිදු වෙනවා.

තොරතුරු ලබා ගැනීමේ අපහසුතා හා ලෝකය මුහණ පා සිටින නොයෙක් ගැටළු හේතුවෙන් සම්මාන ප්‍රධානය කිරීමෙන් වැලකි සිටීමටත් නොබෙල් කමිටුවට හැකියාව පවතිනවා.(පළමු හා දෙවන ලෝක යුධ සමයේ මෙය සිදුවුනි.)

නොබෙල් ත්‍යාගය හා සම්බන්ධ අපූරු සිදුවීම්

දිවිනසාගත් අර්නස්ට් හෙමිංවේ. (Corbis)

දිවිනසාගත් අර්නස්ට් හෙමිංවේ. (Corbis)

නොබෙල් සම්මානය දෙවරක් ලබා ගත් පුද්ගලයන් අපට දකින්නට පුළුවන්. නොබෙල් සම්මාන දෙකක් දිනාගත් පළමු කාන්තාව ලෙස මාරි කියුරි ඉතිහාසගත වෙනවා. ඒ රසායන විද්‍යාවට හා භෞතික විද්‍යාවටයි. 1954 දී රසායනික විද්‍යාව සඳහා නොබෙල්  සම්මාන ලබා ගන්නා ලිනස් පෝලිං 1962 දී න්‍යෂ්ටික අවි භාවිතයට එරෙහිව කටයුතු කළ බැවින් සාම සම්මානයෙන්ද පිදුම් ලබනවා. බ්‍රිතාන්‍ය ජාතික ෆෙඩ්රික් සන්ගර් දෙවරක්ම රසායන විද්‍යාව සඳහා සම්මාන දිනා ගන්නවා. ඒ 1958 හා 1980දීයි.

එක්සත් ජාතීන් හා රතු කුරුස යන ජාත්‍යන්තර සංවිධානද එක් වරකට වඩා සාම සම්මානය ලැබූ ආයතන ලෙස නම් කරන්න පුළුවන්.

එකම පවුලේ සාමාජිකයන් නොබෙල් ත්‍යාගය දිනා ගැනීමද දකින්නට පුළුවන්. 1903 දී භෞතික විද්‍යා නොබෙල් සම්මානය ලැබූ මාරි කියුරි හා පියරේ කියුරි යනු සැමියා හා භාර්යාවයි. ඔවුන්ගේ දියණිය වන අයිරින් කියුරි 1935දි රසායන විද්‍යාව සඳහා නොබෙල් සම්මාන ලබනවා. විලියම් බ්‍රෑග් හා ලෝරන්ස් බ්‍රෑග් එකම වර්ෂයකදී නොබෙල් සම්මාන ලැබූ පිය-පුතු යුවලක්. ඒ 1915දි භෞතික විද්‍යාව වෙනුවෙනුයි. තවත් මෙවැනි එකම පවුලේ සාමාජිකයන් නොබෙල් සම්මාන ලබා ගත් අවස්ථා බොහොමයක් පවතිනවා.

1937 දී ජර්මනිය පාලනය කළ හිට්ලර් විසින් ජර්මානුවන්ට නොබෙල් ත්‍යාගය ප්‍රතික්ෂේප කරන ලෙස නියෝග කළ බැවින් රිචඩ් කූන් (1938) හා ඇඩොල්ෆ් බුටෙන්ඩ් (1939) යන දෙදෙනා රසායන විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය ප්‍රතික්ෂේප කරනවා.

සම්මාන ප්‍රධාන අවස්ථාවට යාමට නොහැකිවූ අවාසනාවන්තයන්ද සිටිනවා. 1988දි සාහිත්‍ය සඳහා සම්මානය ලබා ගත් නගියුවේ මාතොස්ට මෙන්ම 1984දි ජරෝසලාවී හටද සාහිත්‍ය සම්මානය ලබා ගැනීමට නොහැකි වුයේ ඒ වනවිට පැවති අසනීප තත්ව හේතුවෙන්. මානව සාහිත්‍යයේ වර්ධනය උදෙසා තම තෙලි තුඩ ක්‍රියාත්මක කරවූ නොබෙල් සම්මාන ලැබූ දක්ෂ ලේඛකයන් දෙදෙනෙක් අවාසනාවන්ත ලෙස සියදිවි නසා ගත්තවුන් ලෙස ඉතිහාසයට එක් වෙනවා. ඒ අර්නස්ට් හෙමිංවේ හා යසුනරි කවබතායි.

මෙම ලිපිය තුළින් නොබෙල් ත්‍යාගයේ සුලමුල හා බැදී සිදුවීම් කිහිපයක් පිළිබඳවයි අපි අනාවරණය කලේ. මේ සම්බන්ධයෙන් තවත් තොරතුරු දන්නවානම් අපි එක්ක බෙදාගන්නත් අමතක කරන්න එපා.

Related Articles